මරණ දඬුවම නිසා වටිනාකම වැඩිවූ ආදර කතාවක්

0
500

අපේ රටේ හිටියා, ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ කියල රජ කෙනෙක්. ඔහුගේ අග බිසව ප්‍රමිලා. ප්‍රමිලා, දකුණු ඉන්දියාවෙන් ගෙන්වාගත් සුරූපී තරුණියක්. නරේන්ද්‍රසිංහ රජුගේ මහාධිකාරම් ධූරය දැරුවේ පෘතුගීසි ජාතික මවකට සහ ප්‍රංශ ජාතික පියෙකුට දාව උපන්නා යැයි සැලකෙන පේද්රූ ගැස්කන් නමැති කඩවසම් තරුණයෙක්. මේ තරුණයා නරේන්ද්‍රසිංහ රජුගේ පියා වන සෙනරත් රජුට හමුවී ඇත්තේ මව්පියන් විසින් ඔහු කෝන් ගසක් යට අතහැර දමා ගොස් සිටියදීයි. ඒවනවිට ඔහු ළදරුවෙක්. සෙනරත් රජු ඔහු තමන්ගේ දරුවෙක් ‍මෙන් හදාවඩාගෙන තිබෙන අතර තම පුත් නරේන්ද්‍රසිංහ රජ වීමෙන් පසු ඔහුට මහාධිකාරම් තනතුර ලබා දී තිබෙනවා. ගැස්කන් මහාධිකාරම්වරයා අපේ රටේ ජනතාව හැඳින්වූයේ දස්කොන් අදිකාරම් ලෙසයි.

සුන්දර කාන්තාවන්ට අධිකව ලොල් වූ නරේන්ද්‍රසිංහ රජු ඇතැම් අවස්ථාවන්වල දී අගබිසව මඟහැර වෙනත් කාන්තාවන් වෙත යොමු වන්නට පටන්ගත්තා. මේ තත්වය දිගින් දිගට ම සිදුවන විට රජුට අගබිසව නොදැනීම මඟහැරී ගියා. ප්‍රමිලා බිසව තම දුක් වේදනා කවියට නැඟුවා. ඇය අවබෝධ කරගන්නට දස්කොන් අදිකාරම්ට වැඩි කාලයක් ගතවුණේ නැහැ. ටිකෙන් ටික ඔවුන් දෙදෙනාගේ අදහස් හුවමාරුව ආදර සම්බන්ධයක් තෙක් වර්ධනය වුණා. ප්‍රමිලා දස්කොන් ආදර අන්දරය රජ මාලිඟය තුළ සැඟවුණු රහසක් ලෙස දිගහැරුණා. ඔවුන් දෙදෙනා එකිනෙකා වෙත තම ආදරය පළ කළේ කවියෙනුයි. කුඩා කල සිට ම දස්කොන් හොඳින් සිංහල බස හසුරවන්නට දැන සිටි අතර ප්‍රමිලා දකුණු ඉන්දියාවෙන් පැමිණි කාන්තාවක් වුව ද ඇයට ද එම හැකියාව තිබුණා. කෙසේ වුවත් මේ ආදර සම්බන්ධය රහසිගත සහ අතිශයින් භයානක වූ එකක් බව ඔවුන් දෙදෙනා ම දැන සිටියා.

කියවන්න :  පතිනියකගේ සටහන්- 4

රන්මාලය පැළඳගෙන ගත සුවිපුල්ලා
ඉන් ආලය වඩයි මගෙ සිත නුඹ පල්ලා
පන්දහසකට මැද තිබුණත් උඩ එල්ලා
රන් භාජනය නොවිඳිද විදිනා ගුල්ලා

කෙතෙක් ආරක්ෂාව තර කර තිබුණ ද කෙසේ හෝ ප්‍රමිලා අත්පත් කරගන්නා බව දස්කොන් කවියෙන් ම කියා සිටියේ ඒ අයුරිනුයි. ප්‍රමිලා ඊට පිළිතුරු සපයා ඇත්තේ මේ කවියෙනුයි.

යන්නෝ මෙ මග රෑ දහවල තොර වෙත්ද
බොන්නෝ මෙ ගඟ දිය බොර කරලා බොද්ද
දන්නෝ පහස ගෙට අඬ ගහලා දෙත්ද
දන්නෝ උපා මිණි බැඳි දොර නාරිත්ද

මේ ආදර කතාව රහසේ ලියවෙන අතරතුර, ප්‍රමිලා බිසවට ඇතිව තිබූ යම් අපලයක් දුරු කරන්නට නැකැත්කරුවන් විසින් ශාන්තිකර්මයක් පිළියෙළ කරනවා. ඒ සඳහා ප්‍රමිලා බිසවගේ රුවට සැම අතින්ම සමාන පිළිමයක් නිමවන්නට ප්‍රතිමා නිර්මාණකරුවන්ට පැවරෙනවා. ඔවුන් බිසවගේ රුව ඒ අයුරින් ම නිර්මාණය කරන අතර රජු එම ප්‍රතිමාව බිසව හා හැම අතින් ම සම වන බව පවසනවා. එහෙත් දස්කොන් එහි වරදක් පෙන්වා දෙනවා. බිසවගේ කලවයෙහි වූ උපන් ලපයක් එහි නිමවා නොමැති බව දස්කොන් හෙළි කරනවා. ප්‍රතිමා නිර්මාණකරුවන් නොදත් තමා සහ බිසව පමණක් දැන සිටි උපන් ලපය පිළිබඳ ‍දස්කොන් දැනගැනීම ගැන රජු පුදුමයට පත්වනවා. රජු දස්කොන් අදිකාරම්ට සිරභාරයට පත් කරන්නට නියම කරනවා. දස්කොන්-ප්‍රමිලා ආදර කතාව තහවුරු කරගත් රජු අවසානයේ දස්කොන්ට මරණ දඬුවම ලබාදෙන්නට අණ කරනවා.

කියවන්න :  තනිකමට පිළියමක්

දස්කොන් සිර කුටියේ සිටිය දීත් ප්‍රමිලා ඔහුට කවි ලියා යැවීම නතර ක‍ර නැහැ.

සක්මන් කරන මළුවේ දී බැඳි හාද
සිත් සන්තොසින් දුන් මුව මී බීවාද
ඉක්මන් ගමන් හිමියනි අද යනවාද
දස්කොන් මගෙ නමට ජීවය දෙනවාද

ප්‍රමිලාට ඊට ලැබුණු පිළිතුරු කවියත් මේ අයුරින්ම රසවත්.

විසැස් කමලාවි රස පහස නොවිඳ මා
දසිස් දුණි පොරණ ඇසු දුටු පමණට මා
වෙසෙස් නුඹේ අමයුරු පහස ලද මෙමා
මසිස් එකක් ගියෙ නම් නුඹෙ නමට කිමා

කෙසේ වෙතත් අවසානයේ දස්කොන්-ප්‍රමිලා ආදර කතාව මරණ දඬුවමකින් අවසන් වෙනවා. මේ ආදර කතාව මෙතරම් ජනප්‍රිය වන්නට හේතුවත් දස්කොන්ට ලැබුණු මරණ දඬුවම විය හැකියි. දස්කොන්-ප්‍රමිලා කතාව නූතන ගීත සාහිත්‍යය තුළත් සුවිශේෂ වටිනාකමක් හිමි වී ඇති බව පෙනී යනවා. අනියම් සම්බන්ධතාවල අවසානය අද පමණක් නොවෙයි අතීතයේ පවා ඛේදනීය ඉරණමකින් අවසන් වන බවටත් මෙය කදිම උදාහරණයක්.

– නිරංජලා –