කරුණු දැනගෙන දෙතොල් සිපගන්න

සුන්දර මතකයක්

දෙතොල් සිප ගැනීමට පාදක වන විද්‍යාත්මක හේතු කවරක් වුවත් සියලු ප්‍රේමවන්තයින්ට සිය පළමු දෙතොල් සිප ගැනීම ජීවිතයේ අමතක නොවන සුන්දර මතකයක් වන බව නම් නිසැකයි.

අප්‍රසන්න හැසිරීමක්

බොහෝ යුරෝපීය සමාජවල දෙතොල් සිප ගැනීම ස්ථාපිත ප්‍රේමනීය හැසිරීමක් වශයෙන් සලකනු ලැබුවත් ඇතැම් සංස්කෘතීන් දෙතොල් සිප ගැනීම ඉතා අප්‍රසන්න ජනක හැසිරීමක් ලෙස සලකා බැහැර කරනු ලබනවා. ඒ විතරක් නොවෙයි,  ලොව බොහෝ සංස්කෘතීන්වල මිනිසුන් සිය ප්‍රේමාන්විත හැඟීම් ප්‍රකාශනය සඳහා දෙතොල් සිප ගැනීම සිදු නොකරන බව නව අධ්‍යනයකින් හෙළි වී තිබෙනවා. දෙතොල් සිප ගැනීමෙන් වරකට මිලියන අසූවකට අධික හිතකර මෙන්ම අහිතකර බැක්ටීරියා ඛේටය සමග හුවමාරු වන බවයි වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු අනුව හෙළිවන්නේ.

60% ක් අකමැතියි

මෑතක දී සිදුකළ සමාජ විද්‍යාත්මක අධ්‍යනයක් මගින් හෙළි වී ඇත්තේ දෙතොල් සිපගැනීම කෙරෙහි එක් එක් පුද්ගලයින් වටා ඇති සංස්කෘතිය බලපෑම් ඇති කරන බවයි. ඒ අනුව, නිරීක්ෂණයට ලක් කරන ලද සංස්කෘතීන් 168කින් දෙතොල් සිප ගැනීම සිදු කරනු ලබන්නේ ඉන් 40% ක ප්‍රමාණයක් පමණක් බව හෙළිවී තිබෙනවා. අධ්‍යනය මගින් හෙළි කරගත් මෙම නව කරුණත් සමගම යුරෝපීය සහ අනෙකුත් බොහෝ සංස්කෘතීන් තුළ ස්ථාපනය වී තිබූ දෙතොල් සිප ගැනීම ලොව පුරා පෙම්වතුන් විසින් සිදු කරනු ලබන පොදු හැසිරීමක්ය යන මතය බැහැර වී තිබෙනවා.

පටන්ගත්තේ මෙහෙමලු

වසර 3500කට වඩා පැරණි හින්දු සංස්කෘතික ලේඛනයක දෙතොල් සිප ගැනීම සම්බන්ධයෙන් ලියවී ඇති අතර මෙම ලේඛනය දෙතොල් සිප ගැනීම සම්බන්ධයෙන් වූ පැරණිම ලිඛිත සාධකයයි.

ආත්මීය හුවමාරුව

එම පැරණි සංස්කෘත ලේඛනයට අනුව දෙතොල් සිප ගැනීම හඳුන්වා ඇත්තේ සිය ආත්මය ප්‍රේමවන්තයා සමග හුවමාරු කර ගැනීමක් වශයෙනි.

වානරයා ගෙන් පැවත එන මනුෂ්‍ය වර්ගයාගේ මෙම කුතුහලය දනවන හැසිරීම සම්බන්ධ අධ්‍යනය ආරම්භ කිරීමට සුදුසුම ආකාරය, වානර වර්ගයේ චිම්පන්සීන්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීමයි.

චිම්පන්සීන්ගේ හැසිරීම අධ්‍යනය කළ ජෝර්ජියාවේ ඉමොරි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ෆ්‍රාන්ස් ඩි වාල් පවසන්නේ චිම්පන්සීන් සිය සහකරු හෝ සහකාරිය සමග සිප ගැනීම මෙන්ම වැළඳ ගැනීමද සිදු කරන බවයි.

චිම්පන්සීන් අතර සිප ගැනීම දැක ගත හැකි වුවද වෙනත් කිසිදු සත්ව කොට්ඨාශයක මෙම හැසිරීම දැක ගත නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

එකිනෙකාගෙ සුවඳ විඳගන්නට ඉඩක්..

මිනිසුන් අතර පවතින දෙතොල් සිප ගැනීම පිටුපස ඇති විද්‍යාත්මක හේතුව වශයෙන් අධ්‍යනය විසින් පෙන්වා දෙන්නේ සිය සහකරුවා තෝරා ගැනීමේ දී සහ ඔහු හෝ ඇය සමග ලිංගික එක් වීමකට පෙර එම පුද්ගලයාට තමන් කැමතිද යන්න තීරණය කිරීමට එම පුද්ගලයාගේ දහදියෙන් නිකුත් වන ගන්ධය උපයෝගී වන අතර සිප ගැනීම තුළින් සහකරු හෝ සහකාරියගේ සුවඳ ආග්‍රහණය කිරීමට ඉතා පහසු ඉඩ කඩක් ලබා දීමයි. මේ අනුව  සිප ගැනීම තුළින් සිදු කරන්නේ සහකරුවන්ට එකිනෙකාගේ සුවඳ ආග්‍රහණය කිරීමට ඉඩ සැලසීම පමණක් වන බව විද්‍යාත්මක ව තහවුරු වී තිබෙනවා.

දෙතොල් සිප ගැනීම මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට අත්‍යවශ්‍ය නොවන, එහෙත්  ඇතැම් සංස්කෘතීන් විසින් පරපුරෙන් පරපුරට නොකඩවා ආරක්ෂා කරගෙන යන  ප්‍රේමනීය හැසිරීමක් පමණක් වන බව මේ අනුව හෙළිදරව් කර තිබෙනවා.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles