හේමන්ත සන්ධ්‍යා -26

සිඩ්නි අහස පැහැදිලි නිල් පැහැයකින් බබලමින් තිබිණි. සුළඟ සෞම්‍ය වූයේ ය. සිය මං තීරුවෙහි විදත් ගේ රිය ඇදෙමින් තිබුණේ වේගයෙනි. නිදහසේ ඉගිල යන විහඟෙකු ගේ සැහැල්ලුව ඔහු අත් විඳිමින් සිටියේ ය. 

සහස් ගේ ඇමතුම එත්දී හෙතෙම රියෙහි වේගය බාල කරමින් එය නවත්වන්නට සුදුසු තැනක් බැලුවේ ය. ඔහු කතා කරන්නට හේතුවක් ස්ථිර වශයෙන් හිතා ගන්නට විදත් අසමත් විණි. පොඩි කාලේ දැක්කාට පස්සේ විදත් ඔහු ව දුටුවේ, නැවත ඔස්ට්‍රේලියාව බලා නික්මෙන බව කියන්නට ඔබේසේකර මැදුර වෙත ගිය අවස්ථාවේ ය. දුරකතන ඇමතුමක් දෙන්නට තරම් හිත මිතුරු කමක් එදා ඔවුන් දෙදෙනා අතර ඇති නො වුණ බව විදත් ට සහතික ය. සමහර විට මේ ඇමතුමට හේතුව, ඕස්ට්‍රේලියාවට පැමිණිම සඳහා සදිසා දක්වන උනන්දුව වන්නට ඇතැයි අන්තිමට විදත් නිගමනය කළේ ය.

“කොහොමද සහස්…”

“ඉන්නව විදත් අයියෙ ඉතිං..ඔයා වැඩකද…”

“නෑ නෑ කතා කරන්න පුළුවං. ඉතිං…”

සහස් ගේ කටට පුරුදු විදත් අංකල් යන ආමන්ත්‍රණය ය. නමුත් මිත්‍ර මාමා ගේ නෑකම මත ඔහු ට එහෙම අමතනවාට වඩා නිකිනි අක්කා ගේ නෑකම මත අයියා යි ඔහු අමතන්නට පුරුදු වෙන එක වඩා සාධාරණ යයි ඔහු කලින් ම තීරණය කර ගෙන සිටියේ ය. අනිත් අදට අද එසේ නො ඇමතුවොත් ආයේ කිසි දා ක ඒ වරද නිවැරදි කර ගත නොහෙන බව ද හෙතෙම දැන සිටියේ ය.

“නිකං අප්ප කතා කළේ…එදා මිත්‍ර බාප්පගෙං ඉල්ලගෙන නම්බර් එක තිබුණනෙ. ඉතිං හිතුණා කතා කරන්න”

“මොකද කොල්ලටත් ඔසී පනින්න හිතිලද”

විදත් සැහැල්ලුවට ගෙන හිනැහුණේ ය.

“අපෝ නෑ නෑ නෑ. මට මෙහේ හොඳයි. අපේ අක්කත් බුක් ශොප් එකක් පටංගන්නවනෙ. ඒකෙ හරි පොඩි ජොබ් කෑල්ලක් ඉල්ල ගන්න පුළුවන්නෙ මට”

එවර දෙදෙන ම හඬ නගා හිනැහෙන්නට වූහ. කෙසේ වෙතත් සහස් ගේ මේ දුරකතන ඇමතුම පිටුපස වන්නේ නිකිනි සම්බන්ධ යම් කාරණයක් බව, ඒ සිනහව අතරේ ම විදත් ට ඉව වැටුණේ ය.

“නිකිනි ගෙ ප්‍රශ්නෙ ගැන මට හරි කණගාටුයි මල්ලි. ඇත්තටම එයාගෙ හස්බන් මහ නැරෝ මයින්ඩඩ්නෙ අප්ප. මං තේරුං කරල දෙන්න හැදුවත් ඇහුවෙ නෑනෙ. මටත් හෙණ අවුල් අප්ප. ශිට්…”

“ඒ ප්‍රශ්නෙ අලුතෙං ඇති වෙච්ච එකක් නෙවෙයිනෙ අයියෙ. කලිනුත් අක්ක ගෙදර ඇවිත් හිටියෙ”

“මං ලංකාවට එනකොටත් නිකිනි එහෙනෙ. මං එවෙලෙම ආන්ටිටත් කිව්ව ඕක හොඳ වැඩක් නෙවෙයි නිකිනි ව හස්බන් ළඟට යවන්න කියල…”

“ඒක නිසා තමයි අක්ක ගියේ. අපි කලිං කොච්චර කිව්වද….මං කොච්චර කිව්වද…බෑ කිය කියමයි හිටියෙ. අයිය කිව්ව නිසයි අක්ක ගියේ…”

පපුවට පිහි පහරක් වැදුණා වැනි සංවේදනයක් එක වර විදත් ට දැනිණ. ඔහු ගේ වචනයක් හින්දා ඈ ඒ සා කැප කිරීමක් කළේ ඇයි? 

“එතකොට දැං…මංද වැරදි කාරය කොහොමටත්…නිකිනි ආපහු ගෙදර ගිය එකටයි…ආයෙත් මහ ගෙදර ආව එකටයි…”

විදත් කතා කළේ සහස් ගෙන් ප්‍රශ්න කරනවා සේ නොව තමන් ගෙන් ම ප්‍රශ්න කර ගන්නා ස්වරයකිනි.

“ඒක කොහොමත් වෙන්න තිබුණ දෙයක් අයියෙ. අක්කගෙ හිතේ හිටිය කෙනාව එයාට ලැබුණනං මේ දේවල් මෙහෙම නොවෙන්න තිබුණා”

විදත් ගේ සිත් අහසේ අකුණක් පුපුරා ගියේ ය. ඒ කියන්නේ නිකිනි වෙනත් කෙනෙකුට පෙම් කළ බවක් ද?

“ඇත්තටම මං හරියටම විස්තර මුකුත් දන්නෑ මල්ලි. ඇයි නිකිනි මංජුලව මැරි කළේ අෆෙයා එකකිං නෙවෙයිද…”

“නෑ. ඒක ප්‍රපෝසල් එකක්”

“එතකොට…නිකිනි කැමති වෙලා හිටිය කෙනාට ගෙදරිං අකමැති වුණාද…”

“එහෙම දෙයක් නෙවෙයි අයියෙ…”

සහස් සුසුමක් හෙළුවේ ය. විදත් අවංක බව කතා කළ මේ වචන කිහිපය අනුව සහස් ට අනමාන කළ හැක. ඔහු ගේ හිතේ නිකිනි පිළිබඳව කිසියම් ම හෝ හැඟීමක් ඇත්තේ නැති ද? එසේ නම් ඇය ට සදහට ම ඒ ළමා වියේ ප්‍රේම සංවේදනය හදවතට සීමා කර ගෙන ඉන්නට සිදු වන්නේ ද? 

සහස් මේ ඇමතුම ගත්තේ ම විදත් ගේ සිතේ නිකිනි ගැන වන්නේ කවර අදහසක් දැයි තේරුම් ගනු වස් ය. ඈ සිය සිත ඔහු ඉදිරියේ විවර කළ අවස්ථාවේ සහස් තරමක් කැළඹුණේ ය. ඒ, විදත් දික්කසාදිත පුරුෂයෙකු බව අසා තිබූ නිසාවෙනි. එහෙම පිරිමියෙකුට නිකිනි වාගේ අහිංසක, සිත් බිඳුණු තරුණියක රවටා ගැනීම බෙහෙවින් පහසු බව ඔහු දැන සිටියේ ය. නමුත් දැන් පෙනෙන ආකාරයට විදත් එබඳු සිතකින් ක්‍රියා නො කරයි.

“මගෙ අතේ ම කොල්ලො කී දෙනෙක් අක්ක එක්ක යාළු වෙන්න අහල එවල තියෙනවද…ඒත් එයා ඒ එකකටවත් කැමති වුණෙ නෑ”

“ඒ මොකද…ඇයි කියල හොයල බැලුවෙ නැද්ද…”

“අන්තිමට බිනුරි අක්ක යාළු වෙලා හිටිය අයියගෙ ගෙදරිං වෙඩින් එක හදිස්සි කරද්දි තමයි මංජුල අයියව නිකිනි අක්කට ප්‍රපෝස් කළේ. එයා කිසි විරෝදයක් නැතුව ඔහේ බැන්දා. ඒත් ඌ අක්කගෙ ජීවිතෙත් එක්ක සෙල්ලං කළා. අයිය ඇහුවනෙ  නිකිනි අක්ක කාත් එක්කවත් යාළු වුණේ නැත්තෙ ඇයි කියල හොයල බැලුවෙ නැද්ද කියල….හොයල බැලුවෙනං නෑ. ඒත් මේ ඊයෙ පෙරේද මං ඒකට හේතුව දැන ගත්තා”

සිඩිනි අහසත් කොළඹ අහසත් යට පිරිමින් දෙදෙනෙකු කතා කරමින් සිටියේ එක ම ගැහැනියක ගැන ය. ඔවුන් දෙදෙන ම එම ගැහැනිය කෙරේ කවරාකාරයකින් හෝ බැඳුණ අය වෙති. එනිසා ම ඇගේ දුර්වලත්වයක් ගැන කතා කරත්දී දෙදෙන ම සානුකම්පිත ව සිටියහ.

“මොකද්ද මල්ලි හේතුව…මන්දා…මට අහන්න අයිති දෙයක්ද කියලත් මංදන්නෑ. ඔයා මාත් එක්ක මේ ගැන කියපු නිසයි මං ඇහුවෙ. අනිත් අතට මාත් දැං මේ ප්‍රශ්නෙට කොයි කොනකිං හරි ඉන්වෝල්ව් වෙලා ඉන්න නිසා…අනේ මන්දා…”

“හේතුව තමයි එයා කෙනෙකුට ආදරේ කරපු එක”

“ඉතිං අප්ප…ඇයි ඒක ඔය ප්‍රපෝසල් එක ගෙනාපු වෙලාවෙ කියල නැත්තෙ….”

“ඒ වෙත්දිත් අක්කා ඒ තරමට ම අසරණ වෙලා ඉඳල නිසා. එයා ඒ වෙද්දි ලංකාවෙ ඉඳල නෑ”

“ඉතිං කොල්ලො…කිව්වනං ගෙන්නගන්න හරි තිබුණනෙ…කොහෙද…ගෑනු හැම දේම හිතේ හිර කරං ඉන්නවනෙ…”

“අක්ක මට කියපු විදිහට… ඒ කෙනාට ආදරේ කරද්දි අක්ක ලොකු ළමයෙක් වෙලාවත් නෑලු”

“ඕහ් ගෝඩ්…”

විදත් මඳක් හිස ඉහළට හරවා අහස දෙස බලමින් ම නෙතු පියා ගත්තේ ය. එක අතක ජංගම දුරකතනය තිබිය දී අනිත් අතින් සිය හිස කේ පිටුපසට පිරිමැද ගත්තේ ය. යළි වහා බිම බැලු හෙතෙම, පැළඳ උන් ඩෙක් ශූ වර්ගයේ සපත්තුවෙන් පදික වේදිකා ගලකට වේගවත් පහරක් එල්ල කළේ ය.

“අයිය දන්නවද ඒ කොල්ලා කවුද කියල…”

“මං ලංකාවෙන් ඇවිත් අවුරුදු විස්සක්නෙ සහස්…මං හිතන්නෙ මං දන්න කෙනෙක් නෙවෙයි වෙන්නැති”

“ආයෙ වෙන පිරිමියෙකුට ආදරේ නොහිතෙන තරමට අක්ක ආදරේ කරල තියෙන්නෙ…ලංකාවෙං ගිහිං කියලත් ටික කාලයක් යනකල් නොදැන හිටිය මනුස්සයෙක්ට. මං හිතන්නෙ එහෙම බවක් තාමත් නොදන්න මනුස්සයෙක්ට…විදත් අයියෙ ඒ ඔයා…”

“ආ…”

සිඩ්නි අහස ඔහු වටේ කැරකී ගියා සේ ය විදත් ට එක වර දැනුණේ. හෙතෙම රියට හේත්තු වූයේ සැබවින් ම ඒ කරකැවිල්ල නිසා වැටෙත හැකි යයි ඇති වූ හදිසි සිතිවිල්ල නිසා ය. 

“මංවත් මේක ඔයාට කියන්න ඕනෙ කියල හිතුවෙ…මේ වතාවෙත් අක්ක ඕක ඔයාට කියන්නෑ කියල දන්න නිසා. ඒකි හරි අහංසකයි අයියෙ”

විදත් නො දැන ම ඔහු ගේ ඇස් දෙකට කඳුළු බිඳු කිහිපයක් උනා ඇවිත් තිබිණ. වැහි පොදයක් අතරින් දේදුන්නක් පායනවා වැනි ව ඔහු ගේ දෙතොල් අතරේ සිනහවක් ද ඇඳෙන්නට වූයේ ය. 

“හැබැයි මං මේක කියපු බවක් අක්කට කියන්න එපා. එතකොට අවුල් වගේනෙ”

“නෑ නෑ මල්ලි නෑ. මං මල්ලිට පස්සෙ හෙමිහිට කෝල් එකක් ගන්නං හරි”

කියමින් විදත් ඒ දුරකතන සංවාදයට තිත තැබුවේ, ටිකක් තනි වීමේ අවශ්‍යතාව ඔහු ට තදින් දැනෙන්නට වූ බැවිනි.  

නියමිත හෝරා ගණන රැකියාව කිරීමෙන් පස්සේ එදා ඔහු තනි ව මී විතක් තොල ගෑවේ ය. විටෙක ඔහු සිනහ වුණේ ය. විටෙක ඉබේ ම හැඬිණි. ඒ කිසිදු සංවේදනාවක් හිත අස්සේ ගුලි කොට සඟවා නො ගෙන, ඔහු ඒවාට ඉඩ දුන්නේ ය. 

ජීවිතය වූ කලී කෙතරම් පුදුම එලවන සුළු දෙයක් දැයි  විදත් ට සිතේ. කරේ තියා ගෙන සෙල්ලම් කළ පුංචි කෙල්ල ගැන ඒ කාලේ ඔහු වෙත වූයේ දයාවක් පමණකි. නමුත් වසර විස්සකට පසු දෛවය නැවත ඔහු ට ඇය ව මුණගස්වන්නේ ජීවිතයත් සමග ඇති පමණට ඔට්ටු වී අත්දැකීම් ඇසුරේ බොහෝ පාඩම් ඉගෙන ගත්තා ට පසු ය. ඒ වෙත්දී ඇයත් පුංචි සුරංගනා කෙල්ල නොව විවාහ ජීවිතයක කටුක අත්දැකීම් ලද ගැහැනියකි. දෛවය ඔවුන් යළි මුණ ගැස්වූයේ, එය කල් තියා ම එහි සැලැස්මක් වූ නිසාවෙන් ද? ඒ හමුව දෛවෝපගත ලෙස ඔහු ට ඇය යළිත් සමීප කරවන ලදී. 

ලොකු ළමයෙක් වෙන්නටත් පෙර සිට ඔහු ට පෙම් කළ රෝස මල! තමන් වියපත් බමරෙකුයි විදත් ට කොහෙත් ම සිතුණේ නැත.

ඔහු ඒ අවේලාවේ ඇයට දුරකතන ඇමතුමක් ගත්තේ ය. වෙනදා ට ඔහු අමතන්නේ රෑ බෝ වී නිසාවෙන් නිකිනි දුරකතන තිරය දෙස බලා උන්නේ මඳ විමතියකිනි. ඇගේ වත මත ඇඳුණු හැඟුම් රේඛා දෙස ගුවනි හොඳින් බලා උන්නා ය.

“අද වැඩ නැද්ද…මේ වෙලාවෙ කෝල් කරන්නෙ…”

ඇය දුරකතනය සවනේ තියා ගෙන විසල් වීදුරු පවුර වෙත ගියා ය. එතැනට නගරයේ විශාල පෙදෙසක් එක වර දැකිය හැකි ය.

“ඇයි එපාද කෝල් කරන්න…”

ඒ හඬෙහි වෙනදා නැති ආදර බර බවක් ඇයට දැනුණේ ය.

“නෑ ඉතිං එපා කිව්ව නෙවෙයි”

“කාලද ඉන්නෙ…”

පපුව පැලෙන්නට එන නම නොදන්නා හැඟීමකින් නිකිනි පිටාර ගලා ගියා ය. ජීවිතයේ මෙතුවක් කලකට ඇගේ හදවත පෙම් කළ එක ම එක පිරිමියා මේ තරම් පෙම්වත් ස්වරයකින් ජීවිතය හාරා පාරා විමසත්දී, දරා ගන්නට ගැහැනු හදකට පහසු නැත.

“හ්ම්”

“ඔයා පව්”

“වොයිස් එක වෙනස් අද. ඩ්‍රිංක්ස් ගත්තද…”

එය තරමක තරවටුවකි. විදත් මඳ සිනා පෑවේ ය.

“හ්ම්..”

“ඇයි…”

“මන්දා”

“ශෝක් උත්තරයක්නෙ….එතකොට කවුද ඒ ඇයි කියල දන්නෙ…”

ළඟ පාතක ඈ විණි නම් තදින් ඈ සිය ළයෙහි හොවා සිප ගන්නට තරම් ස්නේහී හැඟීමක් විදත් ට දැනිණ.

“සතුටටද දුකටද කියල මාත් දන්නෑ”

“හරි ඉතිං සතුටු වෙන්න හරි දුක් වෙන්න හරි හේතුවක් තියෙන්න ඕනනෙ”

“හේතුවක් තියනව”

“මොකද්ද…”

“එයා මට ආදරෙයි”

නිකිනි තදින් ඇස් දෙක පියා ගත්තා ය. මේ වෙලාවේ මේ පොත් සාප්පු ගොඩනැගිල්ලේ නොව සිය කාමරයේ යහන මත සිටියා නම් හොඳයි කියා ඇය ට සිතිණි. එසේ වී නම් හිතේ හැටියට හඬන්නට තිබිණි. 

ඔහු යළිත් ආදරයක පැටලී තිබේ!

විදත් කියන්නේ කාන්තා ආකර්ෂණය මැනවින් දිනා ගත හැකි පෞරුෂයක් බව නිකිනි දනී. ලංකාවේදී ඈ දැක තිබි හීන්දෑරි උස තරුණයාට වඩා, ඕස්ට්‍රේලියාවේ විසි වසක් ගත කොට පැමිණි විදත් පෞරුෂවත් ය. විවාහ දෙකකින් දික්සාද වූවාට තවමත් ඔහු වයස දහ අටක කෙල්ලකගේ නෙතු වසඟ කර ගන්නා  පුරුෂ ලක්ෂණ වලින් අනූන ය. එහෙම එකේ යළිත් ඔහු ප්‍රේමයක පැටළුණ එක ගැන පුදුම විය යුතු ද නැත. නමුත් උල් කටුවකින් පපුව කූරු ගානා රිදුම යටපත් කර ගැනීම ඇයට පහසු වූවා නොවේ.

“කන්ග්‍රෑට්ස්”

ඈ කෙඳිරුවා ය. විදත් හඬ නගා හිනැහුනේ ය. නිකිනි දෙදරා ගියා ය.

“මේ…බොරු හරිද මං කිව්වෙ”

එසැනෙන් විදත් එසේ කීවේ නිකිනි ගේ බිඳුණු හදෙහි හීන් ඉකි හඬ ඔහු ට ඇසෙන්නා සේ වූ නිසා ය. නිකිනි ට සැනසුමක් දැනිණ.  ඊළඟ තත්පරයේ ඒ ඇස් කඳුළෙන් පෙඟිණ. ඕ ඉක්මන් ඇස් පිය සලා කඳුළ ඇස් මත්තේ ම ගබ් සා කිරීමට තැත් කළා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles