මතක දිගහැරුම 48 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හතලිස් අටවන දිගහැරුම ,

වරක් මා බැංකොක් හි හෝටලයක නවාතැන් ගෙන සිටින විට මගේ කාමරයට පහළින් පිහිටි ස්ථානයක මාළු ටැංකි මෙන් ටැංකි කිහිපයක් සකස් කර තිබෙනවා මම දුටිමි.එහි සිටි කිසියම් විශාල සතුන් විශේෂයක් ඒ මේ අතට පනිමින් සිටිනවාද මා දුටු අතර මා හොඳින් බැලූ විට දැකගන්නට ලැබුණේ එසේ ඒ මේ අතට පනිමින් සිටින්නේ විශාල ගෙම්බන් වර්ගයක් බවයි.එසේ ටැංකි වල ගෙම්බන් ඇති කරන්නේ කුමක් සඳහා දැයි මා දැන සිටියේ නැත.

අප ආහාර ගැනීම සඳහා අවන්හලට ගොස් වාඩි වී ආහාර ඇනවුම් කිරීමට සූදානම් කරන විට එහි සිටි සේවකයෙක් ” frog fried rice ” කියමින් තරමක් උස් හඬින් කෑ ගසනවා මට ඇසුනි.ටැංකි වල දමා ගෙම්බන් ඇති කරන හේතුව මට වටහා ගැනීමට හැකි වූයේ එවිටය.එවිට මට දැනුණේ අතිශය අප්‍රියජනක හැඟීමකි. එම අවන්හල් වල ගෙම්බන්ගෙ කකුල් බැද විකිණීමට ඇති අතර ඒවා සාමාන්‍යයෙන් අප ආහාරයට ගන්නා ” චිකන් ඩ්‍රම්ස්ටික් ” වල පෙනුම ගනී.එසේ ඇති කරන ගෙම්බන් එතරම්ම විශාල ය.ඒවා දුටු විට මට සිතුනේ මීට කලින් අවස්ථාවල දී මා නොදැනුවත්ව හෝ ඒවා ආහාරයට ගෙන ඇතිද යන්නයි.මන්ද , විවිධ වූ රටවල් වල සංචාරය කිරීමේදී විවිධ වර්ග වල ආහාර රැසක් මා රසවිඳ ඇති නිසාය.

බැංකොක් හී සංචාරය කරන මා ඇතුළු මගේ කණ්ඩායමේ සියලු දෙනා නැවත පැමිණෙන්නේ අපගේ ගමන් මලු සියල්ල සම්පූර්ණයෙන්ම පුරවා ගෙනය.සාප්පු සවාරි වල යෙදෙන විට අපගේ මිලදී ගැනීම් වල සීමාවක් නොමැති තරම් ය.නවාතැනට හෝ අපගේ නිවසට පැමිණ බලන විට ඇතැම් ඇඳුම් දුටු පමණින් ඇති වූ ආසාවට මිලට ගත් ඒවා වන අතර අඳින්නට ප්‍රිය කරන ඇඳුම් ඇත්තේ කිහිපයක් පමණි.විවිධ වර්ගයේ ඇඳුම් ,බෑග් සහ සපත්තු මා මිලදී ගන්නා අතරම බොහෝ විට මා අම්මාට තාත්තාට සහ නංගිට ද බැංකොක් යන අවස්ථාවන්වලදී ඇඳුම් මිලදී ගන්නෙමි.

බැංකොක් ගුවන් ගමන් වාරය අවසන් කර මා නැවත ඩුබායි හී පිහිටි මගේ නවාතැනට පැමිණියෙමි.දින දහයක 10 ක වාර්ෂික නිවාඩුවට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා සූදානම් වීම සඳහා මා සිටියේ නොඉවසිල්ලෙනි.රාජකාරී වලට යන විට මා දුරකථනයේ පිළිතුරු දෙන යන්ත්‍රයේ පටිගත වීම ද ක්‍රියාත්මක කර යන අතර මා නැති අතරේ දී ලැබෙන පණිවිඩ දැනගැනීමට එය මට ඉතා පහසුවක් විය.කෙසේ හෝ මා රාජකාරි අවසන් කර පැමිණෙන බොහෝ දින වලදී පටිගත කිරීමේ යන්ත්‍රය ක්‍රියාත්මක කර බලන විට දින ගණනාවක්ම අරාබි භාෂාවෙන් පණිවිඩ කිහිපයක් ම ලැබී තිබුණි.කවුරුන් හෝ වැරදීමකින් මට එසේ පණිවිඩ තබනවා යැයි සිතමින් මා සෑම දිනකම පැමිණ එම පණිවිඩ මකා දැමූයෙමි.වරක් එම පණිවිඩ වල Mercedes, BMW වැනි වාහන වල නම් ද කියවෙනු මා හට ඇසුනි.කුතුහලයට පත් මා අප නිවාස සංකීර්ණයෙහි පිළිගැනීමේ කවුන්ටරයේ සේවය කරන අරාබි භාෂාව දත් තරුණයකු අමතා, සිදුවී ඇති දෙය පැහැදිලි කර මගේ කාමරයට පැමිණ එම පණිවිඩ කියවන ලෙස ඔහුගෙන් කාරුණිකව ඉල්ලා සිටියෙමි.ඉන්පසුව එම තරුණයා පැමිණ එම පණිවිඩ වලට සවන් දී ඒවා පරිවර්තනය කළේය.

එම පණිවිඩ එවා තිබුණේ මා රාජකාරි කළ ගුවන් ගමන් වාරයක ගමන් කළ අරාබි ජාතික පුද්ගලයකු විසිනි.ඔහු මා දුටුවනම මා පිළිබඳව ඉතා කැමැත්තක් ඇතිවූ බවත් ,ඒ නිසාවෙන් මට තෑග්ගක් ලබා දීමට ඔහුට වුවමනා බවත් ඔහු එම පණිවිඩ වල සඳහන් කර තිබුනි. ඒ වගේම ඔහු විවිධ වාහන වර්ග වල නම් සඳහන් කර ඒ අතුරින් මා කැමති කුමන වාහන වර්ගයට දැයි යනුවෙන් ද විමසා තිබුණි. එම අවස්ථාව අත් නොහරින ලෙස සිනාසෙමින් මහල් නිවාසයේ සේවක තරුණයා පැවසුවද මම නිරන්තරයෙන්ම එවැනි යෝජනා ප්‍රතික්ෂේප කළෙමි.ගුවන් ගමන් වාර වල ගමන් කරන සමහර මගීන් බොහෝවිට ගුවන් සේවිකාවන් හට එවැනි යෝජනා ගෙන එන අතර ඒවා සෑම විටම සුළුකොට තැකිය නොහැක. විටෙක එවැනි දේවල් විනෝදජනක යැයි සිතුවද අපිට විවිධාකාරයේ මිනිසුන් මුණ ගැසෙන නිසා ,ඒවායින් ජීවිත අවදානම් පවා ඇතිවිය හැකි බව මට බොහෝ විට සිතී තිබුණි. එම නිසා හැකි සෑම විටම ප්‍රවේශම් වීමට මා වග බලා ගතිමි

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles