නාස්තිකාරියෝ

“ඔයාගේ නේල්ස් හරීම ලස්සනයි ගයා…”

ගයාත්‍රිගේ කකුලේ නියපොතු ක්‍රමානුකූලව සකස් කරලා තියෙන හැටි බලන අතර රුවිනි කිව්වේ සන්තෝසෙන්.ගයාත්‍රි හිනා වුණේ ස්තූතිපූර්වක බැල්මක් එක්ක.

“තෑන්ක් යූ රුවී.අර බියුටි කෙයා සැලෝන් එකේ වැඩ නියමයි..වෙලාවක යන්න..”

රුවිනි ඒ රූපලාවණ්‍යගාරයේ විස්තර ඉල්ලා ගත්තේ හරිම කැමැත්තකින්.තමන්ගේ රූපය ගැන හරිම සැලකිලිමත් ගයාත්‍රි රුව සත්කාර ගැන කවුරුහරි ඇහුවම කිසිම අහිතක් නැතුව ඒ ගැන කියන්න මැලි වෙන්නේ නෑ.

“හරි ෂෝක්..රුවිනිගෙත් සල්ලි කන මාර්ගෙ කියල දුන්නා..”

රංගිකා පුටුවත් ඇදගෙන නැගිට්ටේ හරියට රුවිනි එයාගේ සල්ලිවලින් සැලෝන් යනවා වගේ කේන්තියක් ඔලුවට අරගෙන.ගයාත්‍රි රුවිනි දිහා බැලුවේ පුදුමයෙන් වගේ.ඒත් මොකුත්ම නොකියා හිටියේ රංගිකාව අවුස්සා ගන්න එක හවස්වරුවම නාස්ති වෙන වැඩක් නිසා.

ඒත් කාර්යාලයේ ලන්ච් රූම් එකේ කතාබහ එහෙම ලේසියකට නවතින දේවල් නෙවෙයි.ජයනි ගයාත්‍රි ගාවට ආවේ මුහුණ නරක් කරගෙන.

“අනේ ගයා අක්කේ අහන්නකෝ..”

ගයාත්‍රිගේ හැඩරුව දීපිකා පදුකොන් වගේ කියලා දවසක් තමන්ගේ නංගි කිව්ව හැටි මතක් වුණු රුවිනි ගයාත්‍රි දිහා ආයෙමත් බැලුවේ ඒ කතාව ඇත්ත නේද කියලා හිතන ගමන්.ලස්සන රූපයක් උපතින්ම ලැබුණු ගයාත්‍රි ඒ රූපය ගැන සැලකිලිමත් වෙන්නේ බොහොම ප්‍රවේසමෙන්.හැබැයි “අනේ මම නම් සබන් විතරයි ගාන්නේ” කියන අයගේ ගොඩට ගයාත්‍රි වැටෙන්නේ නෑ.තමන්ට සාර්ථක වෙන ආලේපන,රූපලාවණ්‍යගාර,ඇඳුම් කඩ ගැන ගයාත්‍රි කාර්යාලයේ මිතුරියන් එක්ක බෙදා ගන්නේ කිසිම රහසක් නැතුව.

“මගේ කොන්ඩේ යනව අයියෝ..”

ජයනිගේ කතාව අහගෙන රුවිනි ආයෙත් පියවි ලෝකයට ආවා.

“කොන්ඩෙ යනවනම් හොඳට කොළ ජාති කන්න.නිකං සල්ලි නාස්ති කරගන්නෙ ඇයි..”

රංගිකාගේ සැර හඬ මතු වුණේ ජයනිගේ මුහුණ හතරැස් කරගෙන.

“කොළ කන එකත් හොඳයි නංගි.හොඳට එළවළු පළතුරු පලා ජාති කෑවම කොහොමත් හොඳ පෝෂණයක් එනවා.ඔයා කරපිංචා තෙල් හදලා ගන්න.හොඳටම හොඳයි..”

ඊට පස්සේ ගයාත්‍රි බොහොම කැමැත්තෙන් ජයනිට ඒ සත්කාරය ගැන කියලා දුන්නා.රංගිකාගේ උස් හිනා හඬ පැතිරෙන්න ගත්තේ ගයාත්‍රිගේ කටහඬ මකාගෙන.

“මෙහෙමයි ගයා..ඔයාගේ ඔය බියුටි කචල් උපදෙස් දෙවිල්ල නම් මහ විකාරයක්.ඔයා හැමතිස්සෙම රූපෙ ගැන හිතුවට අපේ ඇඟ දිරලා යනව කියලා අමතක කරන්න එපා අනේ.සල්ලි නාස්ති කරගෙන අරවා මෙව්වා උලලා හිටියට අපි කවුරුත් නාකි වෙනවා. “

කවදාවත් කතුරු පාරක් නොවැදුණු කොණ්ඩයත්,කිසිම උනන්දුවකින් බලා නොගන්න නිසාම වේලිලා ගිය හමත්,රස කෑම මිසක් ගුණ කෑම නොකන නිසා මහත් වුණු ඇඟත් රංගිකාගේ තෝරා ගැනීම වෙන්න ඇති.ඒත් ලස්සනට ඉන්න කැමති අයට අපහාස කිරීම නම් ඇගේ අයිතියක් නෙවෙයි කියලා ගයාත්‍රිට හිතුණා.

“රංගි මෙහෙමනෙ,ගහක් වුණත් මල් දාලා ලස්සනට හැදෙන්නේ පොඩි සාත්තුවක් කරාම.අපි වුණත් එහෙම තමයි.ලස්සනට ඉන්න කැමති අයට ඒ ගැන කියලා අපහාස කරන්න එපා.අපි ඔයා ඔය ඉන්න විදිය වෙනස් කරන්නෙත් නෑනෙ.ඔයා අපිව වෙනස් කරන්නත් එපා..”

ගයාත්‍රි කතා කළේ බොහොම නිවුණු හඬකින්.ඒත් ඒ කටහඬේ තද ගතියෙන් පිරුණු බවක් තියෙන විත්තිය ජයනිටත් රුවිනිටත් වැටහුණා.

“අපි ගෑනු.ඔය මොන හැඩ වැඩේ දැම්මත් අම්මලා වුණාට පස්සෙ දිරන්න ගන්නවා.අනික ඉතින් කසාදයක් බැන්දට පස්සෙ කවුරු බලන්නද? මනුස්සයටත් ලස්සන බලන්න මතක් වෙන්නේ කරුවලේ.බොරුවට සල්ලි නාස්ති කරන්න එපා කියලා මං ඔයාලට කියන්නේ ඒකයි..”

රංගිකා නැගිටල ගියේ එහෙම කියන ගමන්.එයාව වෙනස් කරන්න බැරි බව දන්න ගයාත්‍රි හිනාවකින් රංගිකා යන දිහා බලාගෙන හිටියේ වෙදැගිල්ලේ තියන මුදුව පිරිමදින ගමන්.

“අපි ඉස්සරලම අපිට ආදරේ වෙන්න ඕන.කසාදෙන් පස්සෙ අපි ඉවරයි කියලා හිතන්නම හොඳ නෑ..”

ගයාත්‍රි එහෙම කියනකොට තවම විවාහයක් ගැන හිතලා නැති රුවිනිත් ජයනිත් ඒ කතාව අහගෙන හිටියේ හරිම කැමැත්තකින්.

“අපේ පෙනුම අපේ ආත්ම විශ්වාසයට හරි වැදගත්.අපි පිළිවෙලකට ඉන්නවා කියලා අපිටම දැනෙනකොට දැනෙන මානසික සුවය මොන වෙලාවකවත් නැති කරගන්න නරකයි.අනික ඉතින් අපි කවුරුත් කැත නෑ.හැබැයි ඕනම චිත්‍රයක් පාට කරාම ටිකක් වැඩියෙන් ලස්සනයිනෙ..”

ගයාත්‍රි එහෙම කියනකොට ජයනි උරහිස් නටවලා ඒ කතාවට තව දෙයක් එකතු කරා.

“මගේ හස්බන්ඩ් මට ආදරේ කරන්නේ කළුවරේ විතරයි කියලා දැන ගත්තොත් මම නම් ඒ කසාදේ එතනම ඉවර කරනවා.මං කැමති එයා මගේ ලස්සන දකිනවට..මාව අගය කරනවට.හැබැයි මං මොකක්හරි ලෙඩක් හැදිලා කොණ්ඩෙ ගිහින් සම්පූර්ණයෙන් වෙනස් වුණත් ඒ ආදරේ පරිස්සම් වෙන්න ඕන..”

ජයනි එහෙම කියනකොට අඳුරේ යහන බෙදා ගැනීම විතරක් විවාහය කියලා හිතන ගැහැනියකගේ ලෝකේ මොනතරම් අඳුරු ඇතිද කියලා ගයාත්‍රිට ආයෙමත් හිතුණා.

“එච්චර නරක මිනිස්සු ඉන්නේ හරිම අඩුවෙන් ජයනි.වෙලා තියෙන්නේ ඒ වගේ මිනිස්සු බැඳගත්තු රංගිකා වගේ අය ජීවිතේ කියන්නේ හරිම බෝරිං දෙයක් කියලා ටිකක් වැඩියෙන් කියෝනවා.එතකොට අපිත් පොඩ්ඩක් කලබල වෙනවා..”

ගයාත්‍රි නැගිට්ටේ තමන්ට බොහෝ දවසක් හිතුණු දෙයක් මිතුරියන්ට හෙළි කරන ගමන්.

More Stories

Don't Miss


Latest Articles