සූර්යා වූ කලී අති දක්ෂ සිසුවියක නොවූවා ය. අදක්ෂ එකියක ද නොවූවා ය. ඇය විටෙක ඉගෙනීමේ විශාල උනන්දුවක් පෙන්වූවා ය. විටෙක නැගී සිටිය නො හැකි තරමින් අධෛර්යමත් වූවා ය. ඇය ට උගන්වන එක ලෙහෙසි දෙයක් ද අසීරු දෙයක් ද කියා හෝ ආලෝක ට සිතා ගත නො හැකි වූයේ ඒක ය.
මුදල් වල අග හිඟයක් නොවූ පවුලක දියණිය වූ සූර්යා වාණිජ විෂය ධාරාව උසස් පෙළ සඳහා තෝරා ගෙන තිබුණේ ජීව විද්‍යාව හා ගණිතය වෙනුවෙන් වැඩිපුර වෙහෙසිය යුතු නිසා ය. කලා විෂයන් කරන්නට තරම් ඇය කලාවට ලැදි නොවූවා ය.
තමන් ට උගන්වන ලෙස ලැබී ඇති සිසුවා කවර මට්ටමක කෙනෙකු වීපද මෙත් සිතින් ඔහු ට ඉගැන්වීම හොඳ ගුරුවරයෙකු ගේ ලක්ෂණයක් විය යුතු බව ආලෝක දැන සිටියේ ඔහු පාසල් සිසුවෙකු කාලයේ සිට ය. ඒ නිසා සූර්යා ගේ සියලු අලස කම් ද දඟකාර කම් ද උද්යෝගය ද ඉවසන්නට හෙතෙම සැදී පැහැදී සිටියේ ය.
“ඔහොම කම්මැළි වෙලා බෑ ළමයො. කලින් දවසෙ ලෙසන් එක ටිකක් බලා ගෙන එන්න ක්ලාස් එකට එනකොට”
ආලෝක අසනා එකදු පැනයකට හෝ පිළිතුරු නොදී, මේසය මත නිකට තියා ගෙන ඇය ඔහු දෙස බලා සිටියදී ආලෝක කීවේ ය.
“බෑ”
ඇය හිතුවක්කාර ලෙස කීවා ය.
“බෑ…දෙමව්පියන්ගෙ සල්ලි නාස්ති කරන එක අපරාදෙ කියල හිතෙන්නෙ නැද්ද…ඕගොල්ලො මෙහෙම ගුරුවරුංව කකුල් දෙක ළඟට ගෙනල්ල ඉගෙන ගත්තට…ලක්ෂ කීයක් නං ළමයි ඉගෙන ගන්න දුක් විඳිනවද කියල දන්නවද…ඇයි ඔයාට බැරි ලෙසන් එක බලං එන්න…මොකද්ද ප්‍රශ්නෙ…”
ඇයට බණින්න ද නැත්නම් කර බා ගෙන උගන්වා මාසේ අන්තිමට ටියුෂන් ෆී එක ගන්නවා ද කියා නිර්ණය කර ගත නො හැකි ව ආලෝක විචාළේ ය.
“පොත ගත්තහම ඔයාව මතක් වෙනව”
ආලෝකට දැනුණේ ඔහු ව උස්සා පොළොවේ ගැසුවා සේ ය. මේ කෙල්ලට මේ වාගේ කතා කරන්නට දිරියක් කොයින් දැයි ඔහු ට සිතා ගත හැකි වූයේ නැත. සූර්යා කියන්නේ සල්ලිකාර පවුලක, කිසිදු අනාගත අරමුණකින් තොර ව, ඉස්කෝලේ යන්නට ඕනේ කමට පමණක් ඉගෙන ගන්නා දැරියකි. ඇය ගේ මේ හැසිරීම බරපතල ලෙස ගන්නට ගියහොත් වන්නේ ඔහු ගේ අතට ලැබෙනා මුදල ට නැවතීමේ තිත වැටෙනා එක පමණකි.
ආලෝක සිනහවක් නගා ගත්තේ ය.
“මාව මතක් වෙන්න තමයි ඕනෙ. මතක් වෙලා පාඩම කරල තියා ගන්න ඕනෙ. එහෙම නැත්තං මට තීරණයක ගන්න වෙනව”
“තීරණයක් කිව්වෙ…”
“මේ ටියුෂන් එක කරනවද නැද්ද කියල. මොකද…බොරුවට කාගෙවත් සල්ලි අරගන්න මං කැමති නෑ. මං වැඩක් කරල සල්ලි ගන්නවනං ඒකෙං ඒ වැඩේ ගන්න කෙනාටත් ප්‍රයෝජනයක් තියෙන්න ඕන. එහෙම නැතුව කවුරුවත් මට පිණට සල්ලි දෙනව නෙවෙයිනෙ. මං පිණට ගන්න කැමතිත් නෑ”
ආලෝක එසේ කීවේ තරමක් තදිනි. සූර්යා මෙල්ල වූයේ ඒ වචන ටිකට ය. ආලෝක ගේ බැල්මේ වූ ස්ථිරසාර බව නිසා ඔහු සැබවින් ම පන්තිය නතර කර දමාවියි ඇය බිය වූවා ය. එක ගුරුවරයෙකු නතර වුව හොත් තව කිහිප දෙනෙකු වුව ගෙන්වන්නට සූර්යා ගේ පියා ට හැකි බව සැබෑ ය. නමුත් ඇය ට ඕනෑ ආලෝක ය!
ඒ නිසා ඇය ඔහු බලාපොරොත්තු වූ පරිදි පාඩම් කළා ය. ඒ විෂයට වාර විභාග වලට ලකුණු ද තිබිණි. ඒ හින්දා ම සූර්යා ගේ ගෙදරින් ආලෝක ගැන කිසිදු සැක සංකාවක් වූයේ නැත.
“දැං මං පාඩං කරනවනෙ. මාක්ස් තියෙනවත්නෙ අනිත් ඒවට වඩා”
දිනක් ඇය කීවා ය.
“හ්ම්. ඒක තමයි. අනිත් ඒවත් ඒ විදිහට පාඩං කළානං ලකුණු ගන්න බැරි කමක් නෑ”
ආලෝක ඇය ව නොතේරෙනවා වාගේ කීවේ ය.
“එහෙම නෙවෙයි. ඔයා දන්නවනෙ අයියෙ. මං ඔයා ගැන හිතනව. මට ඔයා ගැන හිතෙනව. ඒක මේ…මං දන්නව ඔයා හිතන්නෙ කිසි වැඩකට නැති වටිනාකමක් නැති සීනි බෝල හැඟීමක් කියලනෙ..එහෙම නෑ”
ඇය ඒ අන්තිම ටික කීවේ උගුර යටිනි. හඩ බිඳී ගියේ ඇය ට ඈ ගැන දැනුණා වූ ආත්මානුකම්පාවක් එක්ක ය.
ඒ හැඟීම සිය ඇතැම් යෙහෙළියන් කියනවා වාගේ සෙල්ලක්කාර එකක් නොවන බව සූර්යා දැන සිටියා ය. එහෙම සෙල්ලමට පෙම් කරනවා නම් ඇය ට ඒ සඳහා ඕනෑ තරම් අවස්ථා තිබුණේ ය. නමුත් සූර්යා එසේ කළේ නැත. එසේ කරන්නට ඇයට ඕනෑ වූයේ ත් නැත.
“මට කතා කරන්න ඕනෙ. එළියෙදි”
ඇය කිහිප වතාවක් එ් ඉල්ලීම කරමින් ආලෝක ට වද දුන්නේ ය. නමුත් ඔහු සිටියේ නෑසූ කන්ව ය. සූර්යා ගේ සඳ කත් මිණි ඇස් ගැන ගැස්මක්, මුල සිට ම ඔහු ගේ පිරිමි හදට දැනුණ බව ඇත්ත ය. නමුත් ඒ ගැස්ම ගැන හිතන්නට හෝ ඊට අනුබල දෙන්නට කිසි සේත් ඔහු ට ඕනෑ වූයේ නැත. ඇය වගේ උස අත්තක පිපුණ මලක් වෙත ලං වෙනු වස් උඩ පැනීමත් අනුවණ කමක් බව ආලෝක දැන සිටියේ ය. අනිත් අතට සමනල කන්ද මුදුණේ හිස ගසා මියැදෙන සමනලයෙකු වන්නට ඔහු ට බැරි බව ආලෝක දැන සිටියේ ය. මේ පන්තිය නිසා සූර්යා ගේ මව් පිය දෙදෙන ආලෝකට ඔවුන් දන්නා තැන් වල තවත් පන්ති කිහිපයක් ද සකසා දුන්හ. අම්මා ට කරදර නොකර මාසේ වියදම් පියවා ගන්නට ඒ නිසා ඔහු ට හැකි වී තියේ. ආලෝක සිතා ගෙන ඉන්නේ විශ්ව විද්‍යාල පාඨමාලා ඇරඹුන පසුත් මේ විදිහට උපකාරක පන්ති කිහිපයක් කරගෙන මුදලක් උපයා ගන්නට ය. සූර්යා ගේ හිතුවක්කාරකම් වලට අනුබල දීමෙන් වන්නේ මේ පන්තිය පමණකුදු නොව ඔවුන් නිසා ඇරඹුණා වූ අනිත් පන්ති ද ඇනහිටීම විය හැක.
“ඔයා මාව මීට් වුණෙ නැත්තං මං සුයිසයිඩ් කර ගන්නව”
අන්තිමට ඇය ඈ සතු වූ හොඳ ම තුරුම්පුව පාවිච්චි කළා ය. ආලෝක ට වචනයකුදු කතා කළ නො හැකි වූයේ ය. කෙසේ වෙතත් පිටත දී ඇය ව මුණ ගැසෙන්නට දිනයක් වෙලාවක් යොදා ගන්නට ම සිදු විය.
“පුතා…පුතා….පුතා…ඔයා තාමත් නිදිද දරුවො”
කාමරයේ දොරට හෙමිහිට තට්ටු කරමින් ම ඔහු අමතන හඬින් ආලෝක ඇඳෙන් බිමට පැන්නේ ය. සැබවින් ඔහු හිටියේ නින්දේ නොවේ. නින්දත් නො නින්දත් අතරේ අතීතයේ සරමිනි.
“ඉන්න අම්මෙ”
වහ වහා ගොස් ඔහු දොර හැරියේ ය. චාන්දනී කම්මුලේ අතක් තියා ගත්තා ය.
“එහෙමත් නින්දක්..දැං වෙලාව කීයද ළමයො…අද වැඩ නැද්ද…මං ඒත් බැලුවෙ මොකක් හරි අසනීපයක්වත්ද කියලයි”
ආලෝක මඳ සිනහවක් මුහුණට නගා ගත්තේ ය.
“මුකුත් අසනීපයක් නෑ අම්මෙ”
“එහෙනං මූණ හෝදගෙන එන්න. මං තේ ලෑස්ති කරන්නං”
චාන්දනී ගේ හිතේ වේදනාවක් වේ. මිනිසුන් හිතන්නේ සල්ලි තිබෙනවා නම් ජීවිතය සතුටෙන් සැනසීමෙන් ගත කළ හැකි බවයි. නමුත් සල්ලි වලට කළ නොහැකි දේවල් ඕනෑ තරම් වන බව චාන්දනී ට වුව තේරෙන්නේ දැන් ය. ටාගට් කවර් කරන්නට හුස්ම ගැනීම පවා අමතක කළ යුගයක, නිදන්නට ඇඳට වැටෙත්දී ඈ සිතුවේ ආලෝක උස් මහත් වූ විට ඒ දුක් කරදර සියල්ල දූරිං භූත වී යනු ඇති බවයි. නමුත් එදාටත් වඩා අද ඇගේ හිතට සැනසීමක් නැත්තේ ය.
ආලෝක පහළ මාලයේ කෑම කාමරය වෙත එන විට චාන්දනී තේ සේ ම ඔහු ගේ උදෑසන ආහාරය ද මේසයට යවා තිබිණ. ලා හසරැල්ල ඔහු ගේ වත මත නො වෙනස් ව තිබිණ.
“තේ එක බීල ඉන්න”
චාන්දනී පුතු ඉදිරියේ තේ එක තබමින් පුටුවක් ඇද හිඳ ගත්තා ය. අද දේශනයක් අසා සිටින්නට සිදු වනු ඇතැයි ආලෝක ඒ පෙර සූදානම අනුව ම සිතා ගත්තේ ය.
“මොකද්ද පුතා මේකෙ තේරුම…”
ඔහු ගේ මඳහස් වත තව දුරටත් නො වෙනස් ව තිබිණ.
“බීල බීල රෑ ජාමෙක ඇවිත් නිදියනව..ඊට පස්සෙ උදේට නැගිට ගන්න බෑ”
“අම්ම කතා කරන්නෙ හරියට හැමදාම මං දවල් වෙනකල් නිදියගෙන වැඩ පාඩු කර ගන්නව වගේනෙ”
“හැමදාම නැතත්… කොහොමටත් පුතා ඔයා දැං මේ ජීවිතේ ගත කළා හොඳටම ඇති. මොකද්ද ඔයා පිළිවෙලක් වෙන්නෙ නැතුව ඉන්න හේතුව..”
“ඇයි අම්මට පේනවද මගෙ පිළිවෙලක් නැති කමක්…”
“පුතා. හැම දේම විහිළුවකට ගන්න එපා. දැන් ඔයාට හතලිස් තුනකුත් වුණා”
“කොල්ලෙක්ට හතළිස් තුනක් කියන්නෙත් වයසක්ද අම්මෙ…”
“වයසක් ද කිය කිය දැං අවුරුදු කීයක් ගෙවුණද…කසාදයක් බඳින්නෙ නැති වුණහම පිරිමියෙක්ට අරමුණක් නැති වෙනව. ගෑනියෙක් දරුවෙක් ඉන්නකොට අඩු ගානෙ හවසට ගෙදර එන්න හේතුවක්වත් තියෙනව”
“ඊයෙ බිස්නස් ෆීල්ඩ් එකේ ගෙට් ටුගෙදර් එකක් තිබුණා අම්මෙ…ඒකයි”
“ඊයෙ ඒකයි වෙන්න ඇති. ඒත් හැමදාමත් මොකක් හරි හේතුවක් හේතුවක් තියෙනවනෙ පුතා. මාත් මේ ලෙඩ ගොඩක් එක්ක ජීවත් වෙන ගෑනි වෙච්චි. කොයි වෙලේ මගෙ ඇස් ටදක පියවෙයිද කියන්න බෑ. ඊට කලින් ඔයාගෙ ජීවිතේ පිළිවෙලක් කරගන්න බැරි වුණොත්…මට සැනසීමෙන් මැරෙන්නවත් පුළුවන් වෙන එකක් නෑ”
ආලෝක ව නිහඬ කරන්නට චාන්දනී ගේ ඒ කතාව සමත් විය. ඔහු හිස බිමට හරවා ගෙන තේ කෝප්පය උගුර උගුර තොල ගාන්නට වූයේ ය. චාන්දනී ඔය වගේ කතා කියනවාට ආලෝක කැමති ම නැත. අම්මා මරණය ගැන කතා කරනා හැම වෙලාවක ම ඔහු ගේ ආත්මය පත්ලෙන් සෑයක ගිනි රොටු බුර බුරා නැගෙන්නට ගනියි. ඔහු ට පුළුටු ගඳ දැනෙන්නට ගනියි. තාත්තේ කියා කෑ ගසා හඬන කොලු ගැටයෙකු ගේ වේදනාත්මක විලාපය ආත්මයේ දුර ඈතකින් ඇදෙන්නට ගනී.
එතකොට ආලෝක ට හිතෙන්නේ හිස බිත්තියේ හප්පා ගන්නට ය. අහිමි කිරීමක බරපතල ම විඳවීම ඔහු ගේ ළමා හදවත විඳවා තිබේ. යොවුන් වියේ දී හෝ මේ ගෙවෙන තරුණ වියේදී කියා ද එහි වෙනසක් නැත්තේ ය. කුරුඳු ව්‍යාපාරය වෙනුවෙන් මීටියාගොඩ යන හැම වතාවක ම ඒ පුළුටු ගඳ ඔහු පසු පස එයි. පිළිකාවක් සේ ඒ වේදනාව ඔහු ගේ මනස පුරා ඔඩු දුවයි.
තාත්තා ගේ අහිමි වීම තවමත් විඳවීමක් ව තිබියදී අම්මා ගැන එහෙම හිතනා එකත් ආලෝක ට භීතියකි.
“මං අම්මට කියල තියෙනවනෙ ඔය මැරෙන කතා කියවන්න එපයි කියල”
කියා ගෙන ආලෝක පුටුව පසුපසට තල්ලු කරමින් නැගිට ගත්තේ ය.
“කෑම කාල යන්න”
චාන්දනී පුතු ගේ වැලමිට ළඟින් ඇල්ලුවා ය. නමුත් ආලෝක නතර වූයේ නැත.
“පස්සෙ කනව”
ඔහු මතු මහලට නැගිණ.
කාමරයේ යහන මත දමා ගොස් තිබි දුරකතනයේ මගහැරුණ ඇමතුම් දෙකක් සනිටුහන් ව තිබිණි. ඒ එක ම අංකයක් බව දුටු ආලෝක ඊට අමතන්නට සූදානම් ව නැවතත් දුරකතනය යහන මතට විසි කළේ ය. මේ මොහොතේ කිසිවෙකු සමග කතා නොකර ඉන්නා එක හොඳ ය.
ඒ ඇමතුම් දෙක ගනු ලැබූවේ සූර්යා විසිනි. සාදය අතරේ ඔහු දුන් අංකය අමතනවාද නැත්ද යන දෙගිඩියාවේ ඇය පාන්දර සිට හෝරා ගණනක් ම ගත කළා ය. ව්‍යාපාරයක් ගැන කතා කරන්නට ඔය තරම් හදිසි විය යුතු නැත. නමුත් මේ ඇමතුම ගන්නා මොකක්දෝ හදිසියක් ඇගේ යටි හිතේ වූයේ ය. ඒ හදිසිය ඇය ව උසි ගන්වන්නට වූයේ ය. ඔහු අසල දී දැනුණ ඒ හුරු පුරුදු කම කුමක් ද කියා තේරුම් ගන්නට නම් සූර්යා සමත් වූයේ නැත.
දෙවතාවක් ම ඇය ගේ ඇමතුම අපතේ ගියේ ය. ඉතිරි විනාඩි දහයත් පහළොවත් අතර කාලය ගෙවී ගියේ දිගු තත්පර වශයෙනි. සූර්යා යළිත් වතාවක් ඇමතුම ගත්තා ය.
“හෙලෝ”
ඇගේ පපුව නැවතිණ. ඒ හඬ ආලෝක ගේ ම ය. තමා ට පිස්සු දැයි ඇය අනිත් අතට හිතුවා ය. හැම පිරිමියා ව ම ආලෝක වගේ දැනෙනා අසනීපයක් ලංකාවට පය තැබූ පසු ඇයට වැළඳී ද?
“මිස්ට..සුමන්…”
ඒ සූර්යා ගේ හඬ බව ඔහු නො හැඳින්නා නොවේ. ආලෝක ඇස් දෙක තද කොට පියා ගත්තේ ය.
“යස්…”
“මං සූර්යා. ඊයෙ ගෙට් ටුගෙදර් එකේදි නටාෂා ඔයාට ඉන්ට්‍රඩියුස් කළේ…”
“ඔව් කියන්න සූර්යා”
“මං මේ වෙලාවෙ කතා කරන එක…මිස්ට සුමන් ට ඩිස්ටර්බ් ද දන්නෙ නෑ”
“නෝ ඉට්ස් ඕකේ. කියන්න සූර්යා “
ඉරණම මේ විදිහට සිය ජීවිතයත් එක්ක සෙල්ලම් කරන්නට කාරණා ගැන හිතමින් ආලෝක වීදුරු දොර හැර ගෙන සඳැල්ලට ගොඩ වූයේ ය.