නුගේගොඩ අහසට මත්තෙන් හඳ පායා ආවේ ය. සූර්යා මහල් ගොඩනැගිල්ලේ සිය බැල්කනියේ සිට බලා සිටියා ය. ඇගේ ළය පැළෙන්නට එන වේදනාවක් දැනේ. අද හෙට ම දවසක දෙවන වරට ද ආලෝක අහිමි වී යනු ඇත්ද?
අහිමි වීමේ වේදනාව බරපතල ලෙස දැනෙන්නේ හිමි වූ අයට ය. ඔවුහු ආත්මීය වශයෙන් ඔවුන් ට අත් පත් වී සිටියහ. නමුත් වසර විසි ගණනක දීර්ඝ අහිමි කරනු ලැබීමක දුක්ඛ දෝමනස්සයන් ඕනෑ තරමටත් වඩා වළඳා සිටි සිත් වලට දුක දැනෙනා විදිහ වෙනස් ය. ඉටි පන්දමක් තමන් දැවෙමින් ළඟින් සිටිනා අයට ආලෝකය ලබා දෙන්නා සේ, හදවතින් දැවී යාමක් තුළ වුව වෛරී සිතිවිලි පහළ නොවන තරමට දැන් සූර්යා ආදරය අතින් පරිනත ය. නමුත් යළි අතින් අත අත්හැරී යාමක් කියන්නේ හදවතින් උහුලා ගත හැක්කක් නොවේ. තනිව සිටියදීත් කඳුළු කඩා හැලෙන්නේ ඒක ය.
නුගේගොඩ නගරය පාළුවට ගොස් තිබිණ. පෝය දවසට ඒ පාළුව කෑලි කැපිය හැකි තරම් දැඩි ය. තනියට ආලෝක ළඟ නැති මූසල හුදෙකලාව සිනහවකින් විඳ දරා ගන්නට පුළුවන. අම්මා එක අතකින් ඔහු ව ඇගේ පැත්තට අදිත්දී තමන් වෙතට අනිත් අතින් ඔහු අදින්නට තරම් දැඩි වන්නට ඇය ට නුපුළුවන. ඔහු කෙරේ ශුද්ධ වූ අයිතියක් ඇය ට ඇතැයි චාන්දනී සිතනවා නම්, හුණු වටයක ඔහු තියා ආදරය විමසා බලන්නට සූර්යා ට බැරි ය. ආලෝක කියන්නේ ඇය ට පෑරිය හැකි වස්තුවක් නොවේ!
මේ තරම් දුකක් පපුව ඇතුළේ මේ මොහොතේ හිර කර ගෙන සිටිය නො හැකි බව සූර්යා දනී. අවුරුදු විසි ගණනක දුකක් දැන් හදවත තුළ මුුතු බෙලි බවට පත් ව තිබේ. ඒ දුක තුනී කර ගැනීමට නම් බසයක වීදුරු කවුළුවක් අයිනේ ගුලි වී බෝ දුරක් නිහඬ ගමන් කළ යුතු ය. නිහඬව ය කීවා ට එතකොට හිත ට ඇති තරම් දොඩමළු වීමේ අවස්ථාව උදා වේ.
නමුත් මේ වගේ ස්ත්‍රියකට මෙහෙව් රැයක තනිව පාරට බැසිය හැකි නැත. පැරීසියේ දී නම් ඕ රැය පහන් වන තුරු ම බසයක හෝ මෙට්‍රෝ එකක හෝ එවන් හුදෙකලා දීර්ඝ ගමන් යන්නී ය. පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා වුව ගැහැනියකට තනිව ගමන් කළ හැකි වූයේ අතීත ලංකාවේ ය!
නමුත් මේ හැඟීම් රළ පහරේ බලපෑම අඩු කර ගන්නට නම් එක්කෝ හිස බමනා තුරු තිත්ත රසයක මිහිර විඳිත යුතු ය. නැත්නම් කොහේ හෝ යා යුතු ය.
ඉක්මන් තීරණයකට නතු ව සූර්යා පහළ ට ආවා ය. හෙමින් ඇවිද ගෙන පාරට පැමිණි ඕ නුගේගොඩ මන් සන්ධිය දෙසට ඇවිදින්නට පටන් ගත්තා ය. විහාරයේ දොරටුව තවමත් විවර ව තිබුණේ පුර පෝය නිසා විය යුතු ය.
නාගරික කුඩා විහාරයක් වන එහි කුඩා වෙහෙර වට ඕ සැතපුම් ගණක් ඇවිද්දා ය. වෙහෙරක වෘත්තාකාර පාදම වට ඇවිදිනවා කියන්නේ සසරෙහි වට ගැසීමේ භයානක බව පහදා දෙන අභ්‍යාසයකි. පන්සලේ සිටියේ අතේ ඇඟිලි වලින් ගිනිය හැකි තරමේ සැදැහැවතුන් ගණනකි. ඒ නිසා සූර්යා ට කිසිදු බාධාවක් තිබුණේ නැත. අන්තිමට ඔවුන් ද නික්ම ගොස් විහාරයට ම ඉතිරි වූයේ ඇය පමණ ය. තවත් ටික වෙලාවක් පන්සලේ බෝ මළුවේ බිම හිඳ ගෙන සඳ රැස් ගලන අවකාශය දෙස බලා උන් සූර්යා යළි ගෙදර එන්නට නැගිට්ටේ පන්සලේ ආවතේව කරු යතුරු කැරැල්ල එල්ලා ගත් අත පිටුපසට කර ගෙන එහෙ මෙහෙ වෙමින් සිටිනු දුටු නිසා ය.
හිත මඳක් සැහැල්ලු වී තිබිණ. අත් හරින්නට පුරුදු වීමේ අභ්‍යාසය පහසු නැති බව ඇය මඳහසකින් යුතුව සිතුවා ය.
සූර්යා ලිෆ්ට් එකෙන් පිටතට එත්දී ම ආලෝක ව දුටුවා ය. ඔහු ඇගේ නිවස්න ඉදිරියේ වන ලොබියෙහි සක්මන් කරමින් සිටියේ ය.
දෙදෙනා ම මොහොතකට නතර ව උනුන් දෙස බලා සිටියහ. ඊළගට එක ම මොහොතක ඔවුන් වෙත එළඹ උනුන් දැඩිව වැළඳ ගත්හ.
“මං හිතුව දුකෙන් ඇත්තෙ කියල”
මඳ වෙලාවකට පසු ආලෝක මිමිණුවේ ය.
“ගෙදර නැති වෙනකොට මට හිතුණා…ඉබාගාතේ ඇවිදින්න ගිහිං ඇති කියල. ෆෝන් එකත් ඇතුළෙ රිං වුණා”
“පන්සලට ගියා”
“දුක් වෙන්න එපා මැණික”
ඔහු තදින් ඇගේ කොපුලක් සිප ගත්තේ ය.
“නෑ”
එය වූ කලී උගුර යටින් කළ කෙඳිරීමක් සරි ය. ඉකි බිඳ බිඳ හැඬිය හැකි දුක් හැඟීම් සමුදායක් අභ්‍යන්තරයේ තෙරපී තිබිණ. සූර්යා මෝල්ටඩ් මිල්ක් හැදුවා ය.
“මං දන්නව චණ්ඩිය වගේ කතා කළාට…දැන් ඇත්තෙ පුපුරල යන දුකකින් කියල”
ආලෝක අඩ සිනහවකින් ඇගේ මූණට එබුණේ ය. කුඩා බැල්කනියේ බිම ඉඳ ගෙන නිදන්නට සැරසෙන නුගේගොඩ දෙස බලාගෙන ඔවුහු හෙමිහිට මෝල්ටඩ් මිල්ක් තොල ගෑහ.
“අම්ම හිතයි ඔයා මෙහෙ ඇවිත් කියල”
“හ්ම්…එහෙම හිතන්න ඇරල තමයි මං ආවෙ”
“අම්මගෙ වයසත් එක්ක…එයාට ලොකු ප්‍රේශර් එකක් දෙන්න එපා”
“අම්මනෙ දැං මාව ප්‍රෙශර් කරන්නෙ”
ඔහු එසේ කීවේ සිනහවකිනි. සූර්යා දැනෙන නො දැනෙන ගානට සිය හිස ආලෝක ගේ උරහිස මතින් තබා ගත්තා ය.
ආදරය කියා දෙයක් ලොව පවතින බව, කවුරු එසේ නොවන බව කීවත් සූර්යා තදින් විශ්වාස කළා ය. දැන් ඒ විශ්වාසය තහවුරු වී තියේ. ඕනෑ ම පිරිමියෙකු සමගින් ගැහැනියක ට ජීවිතයේ මිහිරි ම හැඟීම් හුවමාරු කර ගත හැකි නම්, ජනිත් සමගින් ඉතා යහපත් යුග දිවියක් ගෙවන්නට ඇයට හැකියාව තිබිණි. බෝ කාලයක් ඔවුහු එසේ කළහ. නමුත් ඒ මුළු කාලය පුරා ම වචන වලින් පැහැදිලි කළ නො හැකි හිස් කමක් තිබුණ බව සූර්යා දැන සිටියා ය. ජනිත් කියන්නේ උගත් හා ගතිගුණ අතින් ඉතා ඉහළ වූ පුරුෂයෙකි. ඔහු ට ලැබී තිබෙන්නේ ඉතා ම හොඳ සැමියෙකැයි ප්‍රංශයේ ජීවත් වුණ සිංහල බිරින්දෑවරු ඕනෑ තරම් ඇය ට කියා තිබේ. සූර්යා ඒ වෙලාවට සිනහවක් නගා ගත්තා විතර ය. සැබවින් ම අහවල් එක යයි ඇඟිල්ල දිගු කොට පෙන්විය හැකි වරදක් ජනිත් කෙරේ නොවී ය. ඔහු ඇයටත් දරුවන්ටත් මැනවින් යුතුකම් ඉටු කළේ ය.
“මං ජනිත්ට වරදක් කරන්නෑ. එච්චර හොඳ මනුස්සයෙක්ව රවට්ටන්න මට බෑ”
ඒ කාලේ ඇය යටපත් කර ගෙන උන් සැබෑ සූර්යා ඉස්මතු වී ආලෝක ට කෙසේ හෝ කතා කරන්නට සිතුණ වෙලාවක සූර්යා ඇයට ම කීවා ය. උවමනාව තිබුණා නම් ඇයට ආලෝක ගැන කොරතුරු හොයා ගන්නට බැරි වෙන්නේ නැත. ඇය එහෙම නො කර හිටියේ හිතා මතා ම ය.
ජනිත් කෙතරම් හොඳ මිනිසෙකු වී ද සූර්යා ට ඔහු විෂයේ කිසි දාක සතුටක් වූයේ නැත. එය බෙහෙවින් කෘතීම සම්බන්ධයකැයි කොතෙකුත් ඇය ට සිතී තිබේ. ජනිත් සමග කිසි දා ක ඇය හදවතින් ම සිනා සී නැත. ඒ ලිංගික ඇසුරක් වුව යුතුකමක් වෙනුවෙන් පෙනී හිටීමක් පමණක් වූයේ ය.
“මං ආදරෙයි”
සූර්යාට එහෙම කියවී තිබිණ. ඇය ආලෝක ගේ අතක් සිය දෑතින් ම තදින් අල්ලා ගෙන සිටියා ය.
“ආදරේ කියන දේ මට දැනිල තියෙන්නෙ ඔයා ළඟදි විතරයි ආලෝක”
සූර්යා ගේ ඇස් තෙත් වී තිබිණ. සඳ ඇති රැයක සඳ කිරණ වැද කාන්තිමත් වන චන්ද්‍ර කාන්ත පාෂාණ සේ ම මේ සඳ පානේ ඇගේ ඇස් බැබළිණ.
මැදියම් රැයක් වන තුරු ඔවුහු ඒ සඳැල්ලේ සඳ පානේ උනුන් ට තුරුලු ව හිඳ සමු ගත්හ.
“කොහේ ගියත් මොනා කළත් මට කියල ඉන්න ඕන…තේරුණාද…”
විදුලි සෝපානය ළඟදී ආලෝක සූර්යා ගේ හිස් මුදුන සිප ගත්තේ එසේ කියමිනි. ඇය දෙතොල් තද කර ගෙන සිනහ වෙමින් ම හිස සැළුවා ය.
ආලෝක උදේ අවදි වූයේ යහන පසෙක වූ ජංගම දුරකතනය හැඬවෙන හඬ ඇසී ය. එහි සනිටුහන් වූයේ අංකයක් මිස නමක් නොවේ.
“හෙලෝ…”
ඔහු ප්‍රශ්නාර්ථයෙන් ඇමතුමට සම්බන්ධ වූයේ ය.
“ගුඩ් මෝනිං අයිය..මං සන්දීපනී”
ආලෝක ගේ නළල රැළි ගැන්විණි. ඔහු නිවැරදි ව අවදි වූයේ ඒ වෙලාවේ ය.
“ගුඩ් මෝනිං. ඇයි නංගි කතා කළේ…”
“මොකද්ද අනේ…කතා කළේ ඇයි කියල අහනකොට නිකං…මං කතා කළාට ඔයා අකමැතියි වගේනෙ”
ඇය බොරු හුරතලයක් පෑවා ය. ආලෝක කියන්නේ ගෑනු ළමයින්ගේ ඔය වාගේ රංගන ඕනෑ තරම් දැක ඇති පුද්ගලයෙකි. එවැනි තරුණියන් විකාරයක් සේ ඔහු ට දැනෙන්නේ ම, ප්‍රථම ප්‍රේමය සූර්යා වාගේ යුවතියක වූ නිසා ම ය.
“සන්දීපනී කියන්නකො මොකටද කතා කළේ කියල”
ආලෝක බොහෝ ඉවසීමෙන් දෙඩුවේ ඇය ඉන්ද්‍රාණි ගේ දියණිය වූ නිසා ම ය.
“ඇයි අනේ…මං ඔයත් එක්ක කතා කරන්න ඕනනෙ ආලෝක අයිය. පොඩි කාලෙ ඉඳලම දන්නව වුණත් අපි කතා කරල හරි තියෙන්නෙ දවස් කීයද…එහෙම නාඳුනන කෙනෙක්ව මැරි කරන්න මට බෑ”
“කොහොමත් මං ඔයාව මැරි කරන්නෙ නෑ නංගි”
ආලෝක ගේ කට කොනක සමච්චල් සිනහවක් විය. මේ වගේ සිත පසුගාමී කරවනා වචන වලින් පසු බාන්නේ නැතැයි සිතා ගෙන ම ය සන්දීපනී මේ ඇමතුම ගත්තේ.
“අයිය. මේක මේ මගෙ උවමනාවට තරන දෙයක් නෙවෙයිනෙ. ඔයාගෙ අම්ම ගැන හිතන්න. තාත්තා ත් නැතුව අමාරුවෙන් ඔයාව මේ තත්වෙට ගෙනාපු එයාට ඔහොම කරන්නෙපා. පව්…”
ආලෝක ගෙන් සුසුමක් ගිළිහිණ. කොහේවත් ඉන්නා කෙල්ලන් අතින්, අම්මාට සැලකීම ගැන පාඩම් අසා ගන්නට සිදු කරලීම ගැන ඔහු චාන්දනී ට හිතෙන් දොස් කීවේ ය.
“අම්ම කියන්නෙ බොරුවක් නෙවෙයිනෙ. ඇයි මේ ඩිවෝස් වෙච්ච ගෑනියෙක් මත්තෙ නහින්න යන්නෙ…එයා ඔයාට මැච් වෙන්නෙ නෑ අයිය. මේක තේරුං ගන්න බලන්න”
“ඔයා මේක තේරුං ගන්න බලන්න නංගි. නිකං බොරුවට මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා. වෙන අතක් බලා ගන්න ඕකේ…”
ආලෝක දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ ය. කෑ ගසා හඬන්නට තරම් ලැජ්ජාවක් දැනුණ ද සන්දීපනී ඒ හැඟීම යටපත් කර ගෙන හිත තවත් සවිමත් කර ගත්තා ය.
“මේ සන්දීපනී ලේසියෙන් පරදින්නෙ නෑ ආලෝක”
ඇය තමන්ට ම කියා ගත්තා ය. ඔහු ප්‍රතිචාර දක්වන්නේ ඒ විදිහට නම් ඔහු ගේ කාර්යාලයට යන්නට වුව ඇය සූදානමින් සිටියා ය.
“අම්ම අර ගෑනු ළමයගෙ ඔළුවට ඕන නැති දේවල් දාල නිකං නැති ප්‍රශ්නයක් ඇති කරල. එයා සූර්යාව හම්බ වෙන්න ගිහිං නිකං ජෝක් එකක් වෙලා ඇවිත්. දැං මට මේ විකාර කිය කිය කෝල්ස් දෙනව. පව් ඒ ළමය”
උදේ කෑම මේසයේ දී ආලෝක චාන්දනී ට ඇසෙන සේ කීවේ ය. ඕ තොමෝ හිතේ කේන්තිය වචන බවට පත් වෙන්නට ඉඩ නොදී පුත්‍රයා වෙතට දැඩි බැල්මක් හෙළුවා ය. ආලෝක ගේ දුරකතනය මේසය මත හිඳ නාද වන්නට වූයේ ඒ වෙලාවේ ය. ඔහු ටෝස්ට් කළ පාන් පෙත්ත පිඟාන මතින් තබා දෙනෙත් බැමි රැළි නංවා ගෙන දුරකතනය සවනට ගත්තේ ය.
“ඔව් නයනජිත් කියන්න”
නයනජිත් යනු ද සිනමන් හි සම්බන්ධීකරණ නිලධාරියා ය.
“මුකුත් ප්‍රශ්නයක් නෑනෙ. අපිට ඕඩර් එක බාර දෙන්න පුළුවන්නෙ…”
“සර්…පොඩි ප්‍රශ්නයක් තියෙනව සර්”
කොහොම මේ බව කියන්නද කියා සිතා ගන්නට බැරිව නයනජිත් කල් ගත්තේ ය.
“ඔව් කියන්න නයනජිත්”
“සර්…මිඩ්ල් ඊස්ට් ඕඩර් එක කෑන්සල් වෙලා”
“මොකද්ද…”
“ඔව් සර්. මේල් එකක් ඇවිත් තියෙනව අපේ රික්වෙස්ට් එක රිජෙක්ට් කරල. මේක වෙන්න අමාරු දෙයක් සර්. ගිය සැරේ සිනමන් ටී තොගේ පිටින් ගිනි ගත්ත නිසා අපිට මේ ඕඩර් එක සප්ලයි කරන්න බැරි වුණානෙ. අපි ඒ බව ඉන්ෆෝම් කරලයි තිබුණෙ. මට පේන්නෙ සර්…ඒ ඕඩර් එක කවර් කරපු කෙනා අපේ කස්ටමර්ස්ලව කඩල වගේ”
ආලෝක ඇඟිලි තුඩගින් දෑස් මුල් පොඩි කර ගනිමින් මඳක් කල්පනා කළේ ය..
“මං එන්නංකො. අපි ඔෆිස් එකේදි කතා කරමු”
කියමින් දුරකතනය මේසය මතින් තැබුවේ ය. පිටතින් පෙන්වූ තරම් සන්සුන් බවක් ඔහු ගේ අභ්‍යන්තරයේ වූයේ නැත. එහි සුළි සුළඟක කැළඹීමක් විය. වසර ගණනාවක් තිස්සේ අමාරුවෙන් ඇති දැඩි කර ගත් ව්‍යාපාරය ඇස් පනාපිට බිඳ වැටෙමින් යයි.
“ඇයි පුතා…”
ආලෝක ගේ වෙනස දුටු චාන්දනී ප්‍රශ්න කළා ය.
“අම්මගෙ අර හිතවතා…ප්‍රවීන්…මගෙ මිඩ්ල් ඊස්ට් ඕඩර් එකටත් විදල. අම්මට සතුටුද දැන්…”
ඔහු ජංගම දුරකතනය අතින් ගනිමින් ම පුටුවෙන් නැගිට ගත්තේ ය.
“අර සූර්යෙක් ආපු දා ඉඳං තමයි මේ ඔක්කොම ප්‍රශ්න”
අම්මා දෙසට ඍජු බැල්මක් හෙළු ආලෝක රියට නැගී පිටත් වූයේ ය. ඔහු ගේ හිස යකා ගේ කම්මල සේ විය. ප්‍රවීන් පළි දරමින් සිටී. ඒ ආලෝක ට හිස ඔසවා ගත නො හැකි වන පරිදි ය. ඒ ඇනවුම අවලංගු වීම ආයතනයට දරුණු පහරක් එල්ල කරනු ඇත. නමුත් ඒ සියල්ලට වඩා ඔහු ට සූර්යා වටිනා බවක් ආලෝක දැන සිටියේ ය.