ආලෝක නාන කාමරයෙන් පිටතට ආවේ ලුණු ඇඹුල් ඇති ව සන්දීපනී ට කතා කරන්නට සිතා ගෙන ය. නමුත් ඒ වෙත්දී ඕ කාමරයේ සිටියේ නැත.
පිටතට යාමට සූදානම් වූ අලෝක පහළ මහළට විත්, බරාඳයේ උන් සන්දීපනී වෙතට ම ගියේ ය. ඇගේ ඇස් වල සිනහවක් ඇඳිණි.
“ඔයා ලෑස්ති වෙලත් ආවද…දැන්ම යන්න ඕන නෑ ඉතිං. තව ටිකක් දවල් වෙලා යං”
ඇය සිතුවේ ම ඒ සිඟිති විහිළුවට බියෙන් ආලෝක ඇය සමගින් පිටතට යාමට පැමිණියා කියා ය.
“හොල්මන්ද…දැං හිතන් ඉන්නෙ ඔය ජරා පින්තූර කෑල්ලට බයේ මං තමුන් කියන විදිහට නටන රූකඩයක් වෙයි කියලද…මං හිතන් හිටියෙ ඔයා මාත් එක්ක ම පොඩි කාලෙ ඉඳලම හැදුණ සහෝදරියක් කියල. දැං ඉතිං ඒ සහෝදරකමුත් ඉවරයි හරිද…ඔයා වගේ ජරා මානසිකත්වයක් තියන කෙල්ලෙක්ව කසාද බඳින්නද මට කියන්නෙ…හාපෝ…ඊට වඩා හොඳයි ලොකු ගලක් බැඳගෙන මුහුදෙ පනිනව. කෙල්ලොද හලෝ ඕගොල්ලො…”
ඒ වචන නම් පිහි තුඩු වගේ සන්දීපනී ගේ පපුවේ ඇනුණේ ය.
“අනේ ආලෝක අයිය ඔහොම හිතන්න එපා”
කියමින් ඇය ආලෝක ගේ අතක එල්ලුණේ ය. ඔහු ඒ අත වැරෙන් මුදවා ගත්තේ ය.
“කරන දෙයක් කරමුකො බලන්න ඔය ෆොටෝ ටික තියාගෙන. හිතං ඉන්නෙ සූර්යා ඕගොල්ලො වගේ ළිඳේ ඉන්න මැඩි ගෑනු සතෙක් කියලද…”
“අනේ මේ. ඔයා හිතං ඉන්නෙ සූර්යා වන් අන්ඩ් ඔන්ලි කියල වෙන්නැති. ළිඳේ ඉන්න ගෙම්බා වගේ හිටියෙ ඔයානෙ. එහෙම කෙනාට ඉතිං සූර්යා කියන්නෙ මේ ලෝකෙ ඉන්න හොඳම ගෑනි වෙන්නැති”
“හප්පෝ…ඔය කට ගැන කලින් ම දැන ගත්ත එක හොඳයි”
කියමින් ආලෝක මුළුතැන්ගෙය දෙසට ගියේ චාන්දනී සොයා ගෙන ය. ඇය තේ සූදානම් කරමින් සිටියා ය. පුත්‍රයා සූදානම් වී සිටිනු දැකීම නිසා ඇගේ මුහුණට සිනහවක් ආවේ ය.
“මොකද්ද අම්මෙ අර මොළේ වර්ධනය වුණේ නැති ගෑනු ළමයෙක්ව අල්ලගෙන නටන නාඩගම..හැබැයි දිගින් දිගටම මේ විකාර සිද්ද වෙනවනං මට මේ ගෙදරට එන්නෙ නැතුව ඉන්න සිද්ද වෙයි අම්මෙ. සූර්යා වගේ ගෑනු එක්ක බලද්දි මේ ගෑනුද…”
චාන්දනී සිටියේ සිදු වූ කිසිවක් නො දැන ය. නමුත් සූර්යා ගැන ආලෝක කී කතාව ට ඇය නො රිස්සුම් වූවා ය.
“අනේ මේ ඔයාගෙ සූර්යා. නවත්තගන්න. මට හිතෙන්නෙ එයා ඔයාට ඉනාවක්වත් දීල වගෙයි”
ආලෝක ගේ මුහුණට සිනහවක් ආවේ ය. චාන්දනී ට දැනුණේ ඔහු ඒ සිනහවෙන් ඇය ට සමච්චල් කළා කියා ය.
“ගෑනුකම කියන්නෙ පිරිමියෙක්ට ඉනාවක් තමයි”
කියා ගෙන ආලෝක ආපසු හැරිණ.
“මේ තේ එක බොන්න”
“මට ඕන්නෑ”
කියමින් හෙතෙම පිටතට ආවේ ය. බරාඳ පුටුවක වැටී උන් සන්දීපනී හිටියේ පුපුරමිනි. ඇයට මහත් හීන මානයක් දැනිණ. ආලෝක මේ තරම් ඇය ව පහළට දමා කතා කරත්දී ලෝකය ම දවා හළු කළ හැකි විදිහේ වෛරයකින් ඕ ගිනි ගන්නට වූවා ය. ආලෝක රියට නැගෙනු දුටු සන්දීපනී, “කරන්නංකො හොඳ වැඩක්” යනුවෙන් තනිව මිමිණුවා ය.
“මොකද්ද පුතේ වුණේ…”
කියා අසා ගෙන චාන්දනී තරුණිය ළඟට වූවා ය.
“බලන්න ආන්ටි. මං එයා නිදං ඉන්නකොට ෆොටෝ එකක් ගත්තා කියල ඔය…මට එයා ගැන එහෙමවත් අයිතියක් නැද්ද ආන්ටි..”
ඒ හැඬුම දුකකට නැගුණක් නොව ආත්ම අසරණ කමකට හෝ අධික කේන්තියකට නැගුණකි.
“කළබල වෙන්න එපා දුව. ඔයා දන්නවනෙ ඉතිං එයාට වෙන සම්බන්ධයක් තියෙනව කියල. ඒකනෙ අපි ඔයාට කිව්වෙ හෙමිහිට එයාව ඒකෙං නිදහස් කරන්න කියල. හැම දේටම පොඩි කාලයක් ඕන දරුවො. ඒ වගේම ඉවසීමකුත් ඕන. ඔයා එන්නකො තේ බොන්න”
කියමින් චාන්දනී යළි කෑම ශාලාව දෙසට නික්ම ගියා ය.
ඉවසීම කියන දේ පුහුණු නොකරන ලද සිතකින් මහත් විනාශයන් කළ හැකි අවස්ථා උදා වේ. මේ මොහොතේ සන්දීපනී හිටියේත් කේන්තියේ ගින්දරින් දැවෙමින්, එයින් තමන් ව පමණක් නොව අනිත් අය ද දවා හළු කළ හැකි මානසිකත්වයක ය. ඒ වගේ වෙලාවට හිතෙන්නේ තමන් පමණක් නිවැරදි බවයි. අනිත් සියලු දෙනා වැරදිකරුවන් හෝ අඥාණයින් බවයි. පළි ගැනීමේ චේතනාව මුළු මහත් රුධිර ධාතුව තුළ කැළතී සිරුර පුරා සංසරණය වෙමින් පැවතියෙන්, සන්දීපනී ඒ වෛරයට නතු වූවා ය. යට වූවා ය. එහි අයහපත් ප්‍රතිඵල කෙබඳු වේවි දැයි සිතන්නට ඇයට උවමනා වූයේ නැත.
“කරන්නංකො හොඳ වැඩක්”
කියමින් මීට ටික වෙලාවකට පෙර ඇය විසින් ගන්නට යෙදුනු ආලෝක ව තුරුලු කර ගත් ඇගේ ඡායාරූප පෙරලා ගත් ඇය, වහ වහා ඒවා සූර්යා වෙත යැව්වා ය. එසේ කොට හමාර කළ ඇය ඉක්මන් හුස්ම ගන්නට ද හති දමන්නට ද වූවා ය.
සන්දීපනී කිසි සේත් ඒවා සූර්යා ට යවන්නට සිතා සිටියේ නැත. ඒවා ළඟ තබා ගෙන, සූර්යා ට යවනවායි බියපත් කරමින් ආලෝක ව සිය මතයට නතු කර ගැනීම ඇගේ අභිප්‍රාය විය. නමුත් දැන් සියල්ල සිදු වී තිබෙන්නේ පෙර සැලසුම් කළ පරිදි නොවේ.
සන්දීපනී ගේ රුව සහිත රවුම දුරකතන තිරය මත සනිටුහන් වන විට සූර්යා සිටියේ යහනත වැතිරී ගෙන දුරකතනය ඔස්සේ බටහිර රටවල කුරුඳු වලට ඇති ඉල්ලුම ගැන ගූගල් තොරතුරු අතරේ සරමිනි. වහා යහන මත හිඳගත් ඕ සන්දීපනී එවූ ඡායාරූප ටික විවෘත කොට බැලුවා ය. මුලින් ම දැනුණේ හිස ට පොලු පහරක් එල්ල වූවා බඳු අවිනිශ්චිත බවකි. ඇය තත්පර තුන හතරක් හිසෙහි බර ගතියක් සහිත ව එදෙස බලා සිටියා ය. ඊළඟට ඇඟිලි දෙකකින් ඒ ඡායාරූප සූම් කරමින් වඩා හොඳින් ඒවා නිරීක්ෂණය කරන්නට වූවා ය.
ප්‍රේමය විෂයේ විවිධ අර්ථ කථන අප තුළ තිබෙන්නට පුළුවන. සූර්යා වූ කලී බොහෝ තරුණියන් ට නොවන දැක්මක් සහිත ව ප්‍රේමය විෂයේ පරිනත වී උන් ස්ත්‍රියකි. එවන් ගැහැනු හිතක් වුණත්, තමන් පෙම් කරනා පුරුෂයා වෙනත් ගැහැනු පපුවකට තුරුලු වී හිඳිනා ඡායාරූපයක් දුටු විට තිගැස්සී නො යන්නේ නැත. කම්පනයක් ඇති නො වන්නේ නැත. සූර්යා ද පුහුදුන් ගැහැනියකි!
ආලෝක කෙලින් ම ගියේ කාර්යාලයට ය. ඉරිදා නිසාවෙන් කාර්යාල සේවක මණ්ඩලය ට නිවාඩු ය. ඔහු ආරක්ෂක අංශයෙන් සිය කුටියේ යතුර ඉල්ලා ගෙන එහි ගියේ ය. සැබවින් ආලෝක තුළ වූයේ දෙගිඩියාවකි. සන්දීපනී වැනි ජීවිතය ගැන කිසිදු දර්ශනයක් ඇතැයි සිතිය නොහැකි තරුණියක ට කළ නොහැකි අමනෝඥ ක්‍රියාවක් නැතැයි ඔහු ට සිතේ.
පැටළුණ නූල් බෝලයක වන අවුල් සහගත බව ඔහු ට සිය හිස තුළ දැනිණ. කවුරුත් නැතිව පාළුවට ගිය කාර්යාල පරිශ්‍රය ඒ මූසල නිස්සාර බවට තව දුරටත් අලගු තබයි. ආලෝක අසුනෙන් නැගිට කාර්යාල කාමරයේ ඔබ මොබ සක්මන් කරන්නට වූයේ ය.
අපිළිවෙල චිත්‍ර සමූහයක් ඔහු ගේ මනස ඉදිරියේ වේගයෙන් ඇඳෙමින් ද මැකෙමින් ද යළි ඇඳෙමින් ද අතුරුදන් වෙමින් ද තිබිණි. මීටියාගොඩ ගෙවී ගිය සිය ළමා වියෙහි දර්ශන එහි වැඩියෙන් වූයේ ය. ළමා ආලෝක ගේ දෑස් මත්තේ වූ බියපත් අවිනිශ්චිත බව දැනුත් ඔහු ට සිහි කර ගත හැක. මන් සන්ධි ගානේ පියවරු දැවුණු යුගයක, ගෝනි බිල්ලෙකු සේ රෑ මැද ගෙට ගොඩ වන දේශප්‍රේමී පියා ගැන අසීමිත බියක් ඔහු ගේ හද නිධානයෙහ් වූයේ ය. ඉස්කෝලේත් අහල පහළත් තාත්තලා අකාලයේ අහිමි වී ගිය සොවින් හැඬූ සොයුරු සොයුරියන් ඔහු කොතෙකුත් දුටුවේ ය. එවන් කඳුළු ඉදිරියේ ඔහු ට සිහි වූයේ ම තාත්තා ය. හිත පහුරු ගැහුවේ ම තාත්තා ගැන බිය ය.
ඊට පස්සේ වුව ගැටවර ආලෝක ගේ සිතෙන් ඒ තිගැස්ම පහව ගියේ නැත. ඔහු අම්මා ගේ ගවුම් සාය තදින් අල්ලා ගෙන රැය පහන් කළේ ය. අහිමි වීමක් ගැන තද බල පහරක් වැදී පුපුරු ගසනා හදවතකින් තදින් හුස්ම ගනිමින් සිටියේ ය. හුස්ම රැක ගනිමින් සිටියේ ය.
“ඒ කඨෝර ගිම්හානයෙහි පුරන් වී ගිය කුඹුරක් වන් වු ඔහු ගේ ජීවිතය මත්තේ අනෝරා වැස්සක් ව වැටුණේ සූර්යා ගේ කෙළිලොල් ආදරය ය. අක් වැස්සකට පසු පොළෝ ගැඹුරේ කාල තරණය කරමින් උන් බොහෝ බීජ වහ වහා පෙති දෙපෙති හැර පැළ වෙන්නට උත්සුක වෙයි. ආලෝක තුළ මිහිදන් ව තිබී අපේක්ෂාවේ බීජයන් ද සූර්යාලෝකය වැද නව දලු ලන්නට පටන් ගත්තේ ය. නමුත් ඔහු නැවතත් අහිමි කරනු ලැබීමේ දරුණු පොලු පහර කෑවේ ය.
යලිත් වරක් ඒ පොලු පහර ම හිස මත පතිත වූවා සේ ආලෝක දෑතින් ම හිස අල්ලා ගෙන සිය කාර්යාල මේසය මතට නැඹුරු වූයේ ය.
මේසය මත වූ ජංගම දුරකතනය ට පණිවිඩයක් එන හඬ නැගුණේ එතකොට ම ය. ආලෝක දුරකතනය අතට ගෙන ඒ විවර කොට බැලුවේ ය.
සූර්යා!
උදේ සන්දීපනී විසින් ගනු ලැබූ අර නින්දනීය ඡායාරූප!
“හරි ලස්සනයි ආලෝක!”
අන්තිමට ඒ වචන තුන!
ආලෝක නැවතත් හිස මේසයෙහි ඔබා ගත්තේ ය.
විශ්වාසය බිඳී යාම තරම් දරුණු පහරක් හදවතකට තවත් වදින්නේ නැත. සූර්යා ඔහු මත තැබූ විශ්වාසය හිතා මතා නො බිඳියේ වී ද සිදු ව ඇත්තේ එය ම නොවේ දැයි ආලෝක සිතුවේ ය. පිරියම් කළත් බිඳුණු බඳුන් වල කැළැල් ඉතිරි වන්නේ ය. ආලෝ් අත මිට මොළොවා මේසය මත අතුරා තිබි වීදුරු තලාවට පහරක් ගැසුවේ ය. එය බිඳුණේ නැත!
ජංගම දුරකතනය නාද වන්නට විය. සූර්යා ගේ සඳ කත් මිණි ඇස් තිරය මත විය. ආලෝක දුරකතනය දෑතින් ම අල්ලා ගෙන එදෙස බලා සිටියේ ය.
“හරි ලස්සනයි ආලෝක”
ඒ වචන තුන ඔහු ගේ හදවත් බිත්ති අතරේ හැපෙමින් ප්‍රතිරාව නැංවෙන්නට වූයේ ය. ඒ ස්වරයෙහි තිබිය හැක්කේ අවඥාවක් විය නො හැකි ද?
දුරකතනය හැඬවී නිසල විය. තවත් විනාඩි පහක් ගත වෙන්නට පෙර එය යළි හැඬවුණේ ය. නමුත් පිළිතුරු දෙන්නට තරම් ශක්තියක් ආලෝක ට වූයේ නැත. සන්දීපනී සිය කාමරයට ම විත් එවන් ඡායාරූප පෙළක් ඔහු නො දැන ගත්තා යි කෙසේ නම් කියන්න ද? කිව්වා ට ඇය පිළි ගනු ඇත් ද?
ජංගම දුරකතනය ට පිළිතුරු නොදුන්නත් දුරකතනය ආලෝක ගේ අතේ වන බව සූර්යා දනී. ඡායාරූප හා පණිවිඩය ඔහු දුටු බව සටහන් වූයේ ය. ඉන්ක්බිති ඇය කාර්යාල දුරකතනය ට ගත්තේ ඔහු එහි විය යුතු ම බව ඇගේ හිත කී නිසා ය. ඉරිදා ට දුරකතනය ආරක්ෂක අංශය වෙත ඩයිවර්ට් කර තිබේ. ඒ අනුව පිළිතුරු දුන්නේ ආරක්ෂක නිලධාරියා ය.
“මිස්ට ආලෝක ප්ලීස්”
“අ..අදනං..ඉරිදනෙ මැඩම්. හෙට ගන්න”
කියමින් ඔහු රිසීවරය තබන්නට ගියේ ය.
“හෝව් හෝව් හෝව්. මට ආලොක අද මීට් වෙන්න ඔෆිස් එකට එන්න කියලයි තියෙන්නෙ. මට දැන ගන්න ඕන එයා ඔෆිස් එකේ ඉන්නවද කියල විතරයි. මම සූර්යා”
“අ…මැඩම්නෙ..ඔව් මැඩම්..සර් ඔෆිස් එකට ඇවිත් ඉන්නෙ”
ඔහු මිත්‍රශීලී ගෞරවයකින් ඉඟිය දුන්නේ ය. සූර්යා වහා ම කැබ් රියක් දමා ගෙන ද සිනමන් වෙත ආවා ය. කිහිප වතාවක් ආලෝක සමගින් ඇය කාර්යාල පරිශ්‍රයට එනු දැක ඇති ආරක්ෂක නිලධාරියා ඇය පැමිණ ඇති බවක් හෝ ආලෝක ට නො දන්වා සූර්යා ව ඇතුළට යැව්වේ ය.
වීදුරු දොරට එපිටින් සිටියදී ම ඇය ට දැක ගත හැකි විය. ඔහු හිටියේ සිය පෙම්වතිය අහිමි වේ යයි බියට පත් පාසල් පෙම්වතෙකු සේ හිස මේසයෙහි ඔබා ගෙන ය. සූර්යා වීදුරු දොර ඇරියා ය.
“ඔයා මෙහෙමයි කියලනං හිතුවෙ නෑ ආලෝක”
එහඬින් ඔහු තිගැස්සී හිස එසවූයේ ය. වරදක් කොට ගුරුවරියගේ අතට ම හසු වූ කොලු ගැටයෙකු ගේ පෙනුම ආලෝක වෙතින් දකිත හැකි විය.