දැවිල්ලක් හෝ පිච්චීමක් වැනි සංවේදනයක් සූර්යා ට දැනුණේ ය. නමුත් ඒ සිරුරේ කොතැනකින් එන දැවීමක් ද කියා නිශ්චිත වූයේ නැත. ඈ සිටියේ දෙකට නැවී ගෙන මුහුණ දෙකලවා වල ඔබා ගෙන ය. ඒ බයිසිකල්කරුවා විසින් විසි කරන ලද යම් කිසි දෙය දුටු ගමන් ම ඇගේ මනස ක්රීයා කළේ ඉන් ඉවතට පැන ගැනීම වෙනුවෙනි. සූර්යා පිටතට පනිමින් ම සිය මුහුණ පහත් කරමින් සිටියා ය.
ඇස්!
සූර්යා ට වහා ම මතක් වූයේ ඇස් ය. ආලෝක පණ වගේ ආදරය කරන සඳ කත් මිණි ඇස්!
ඒ ඉරියව්වේ සිටිමින් ම ඕ දෑස් හරින්නට බැලුවා ය. පිච්චීම දැනෙන්නේ ඇස් වලින් ද? පිච්චෙනවා සේ දැනෙන්නේ ඒ වැදුණේ ඇසිඩ් පහරක් වන නිසාවෙන් ද? සූර්යා ට දැනුණේ හිස ගිනි ගත්තා සේ ය. ඇස් ඇර ගන්නට බැරි කමක් ඇයට දැනෙන්නට විය. ඇස් පිළිස්සී තිබේ!
“අනේහ්…”
සූර්යා කෑ ගසා හඬන්නට හැදුවා ය. නමුත් මුවින් පිට වූයේ හීන් කෙඳිරිල්ලක් පමණකි. ඇස් වලින් හෝ ගා කඳුළු ගලා ගියේ ය. ඒ කඳුළු අතරින් බොඳ සිතුවමක් සේ ඇයට හාත්පස පෙනෙන්නට ගති. සූර්යා කඳුළු මිරිකා හැර බැලුවා ය. ඇය ට සියල්ල පෙනේ. ඕ දෑස් අත ගා බැලුවා ය. ඇස් වලට කිසිත් සිදු වී නැත. ඇය මහා හයියෙන් කෑ ගසා හඬන්නට පටන් ගත්තා ය.
අහල පහල සිටි කිහිප දෙනෙක් ඇය වෙත ළඟා වූහ.
මොකද වුණේ?
ඇයි අඬන්නෙ?
මාලෙ කඩා ගත්තද?
පික් පොකට් කාරයොද?
ප්‍රශ්න වැලකි. දැවෙනා වේදනාව එන්නේ සිය අතකින් බව සූර්යාට දැනිණ. වම් අත!
ඇය සිය වමත ඉදිරියට කොට බැලුවා ය. සම පිළිස්සී රතු වී තියේ. එතැන වේදනා ගුලියකි.
“මොනාද ගැහුවා. දකිනකොටම මං පැත්තකට පැන ගත්තා. අනේ මගෙ අත…”
“මොකක් හරි කෝන්තරයක් තියෙනවද…ඇසිඩ් ගහල නේද…ඉක්මනට හොස්පිට්ල් එකට ගෙනියමු…”
එක එක මුවින් එක එක කතා පැවසිණි. කෙනෙකුට කරදරයක් වූ විට උදව් කරන්නට ඉදිරිපත් වෙන අය දැන් දැන් අඩු වී ද, අහක බලා ගෙන නො යන අය තවමත් සිටිති. එහෙම අය කිහිප දෙනෙකු ම ඉදිරිපත් ව සූර්යා ව රෝහලට ගෙන යන්නට කටයුතු කළහ. ඇය අත වූ බෑග් කිහිපය අපාට්මන්ට් එකේ ආරක්ෂක අංශයට බාර දුන්නා ය.
“මැඩම් බය වෙන්න එපා. අපිට සීසීටීවී රෙකෝඩිංස් චෙක් කරන්න පුළුවන්”
ආරක්ෂක නිලධාරියා වෙලාවේ හැටියට සූර්යා ගේ හිත හදා ඇය ව රෝහල වෙත පිටත් කොට හැරියේ ය.
සූර්යා ට ඇසිඩ් ගසා ඇති බව දැන ගත් ආලෝක කළුබෝවිල රෝහල වෙත ආවේ උමතුවෙන් සේ ය. ඔහු ට නො හිතුණ දෙයක් නැත. වෙන කිසිවෙකු නොව මේ පසු පස ඉන්නේ ප්‍රවීන් බව ආලෝක දනී. නමුත් ඒ ඔප්පු කර ගන්නේ කෙසේ ද?
ඒ අවේලාවේ රෝහල තුළට ඇතුලු වෙන එක පහසු වැඩක් නොවේ. නීතිය ක්‍රියාත්මක කරනා ආරක්ෂක නිලධාරියා සමග ආලෝක වචන හරඹයකටත් මැදි වූවේ ය. සාමාන්‍යයෙන් ඒ ඔහු ගේ ස්වභාවය නොවේ. නමුත් මේ වෙලාවේ සූර්යා ව ඇස් දෙකට දැක ගන්නා තුරු ඔහු ගේ හිතට නිවනක් වූයේ නැත.
“මේක ඉතිං අපේ රාජකාරියනෙ සර්. අවේලාවෙ හිතුන හිතුන විදිහට ඉස්පිරිතාලෙ ඇතුළට ගාල කඩාගෙන යන්න දෙන්න බෑනෙ. ඇසිඩ් ගහල ගෙනාපු ලෙඩා ගෙ කෙනෙක්ය කියල කිව්වනං අපි සර්ව යවනවනෙ”
අන්තිමට නිලධාරියා එහෙම කියන විටත් ආලෝක හදිසි අනතුරු අංශය වෙත ඉක්මන් දිගු පියවර තබමින් ඇවි යමින් සිටියේ ය.
පාළු කොරිඩෝරයේ සිමෙන්ති බිම ගැටෙනා ඔහු ගේ සපත්තු හඬ පවා ආලෝක තුළ ඇති කරවූයේ නොසන්සුන් භීතියකට ආසන්න හැඟීම් ජාලයකි. ඒ හැඟීම් ජාලයෙහි ඔහු පැටලී ගෙන ද සිටියේ ය. ඉන් මිදෙන්නට උත්සාහ කරන්න ට කරන්නට සිදු වූයේ තව දුරටත් පැටලෙනා එකයි.
සූර්යා මොන තත්වයක ඇත් ද? ඇය නම් කීවේ ලොකු අනතුරක් නොවන බවයි. නමුත් එසේ කීවේ ඔහු කලබල වෙන එක නවත්වන්නට විය නො හැකි ද? ඇගේ ඇස් වලට අනතුරක් වී ඇත්ද? සියොළඟ අමු අමුවේ ගිනි ගන්නා සේ අලෝක ට දැනුණේ ය. එහෙම වී තිබුණොත් මොනවා කරන්නද? ප්‍රවීන් ව මරන්නට පුළුවන. නමුත් ඉන් සූර්යා ට ඇස් ලැබෙනු ඇත් ද? සඳ කත් මිණි ඇස්!
ආලෝක ගේ අත දැඩි ව මිට මෙලවිණ. ඔහු පිස්සෙකු සේ ඇය ව හෙව්වේ ය.
සූර්යා ගේ අතට බෙහෙත් දමා තිබිණ. ඇය ඒ තරමින් නිරුපද්‍රිත වූ බව දෑසින් දැක ගත් ආලෝක ට සැනසුම් සුසුමක් හෙළිණ.
“අපි වරදක් කරල නෑනෙ ආලෝක..ඒකයි මේ තරමින් බේරුණේ..සසරෙ කරපු පවක් වෙන්නැති මේ විදිහට ගෙවන්න වුණේ. ඒත් මේ ආත්මෙ මං දැනුවත්ව කාටවත් වරදක් කරල නෑ”
සූර්යා ගේ ඇස් වල අමුතු දීප්තියක් ආලෝක දුටුවේ ය.
“ඒක වෙන්න ඇති ඒ මනුස්සය ඒක විසි කරද්දි මං දැක්කෙ. මාව පැත්තකට පැන්නුවෙ දෙවියො වෙන්නැති ආලෝක. අනේ දෙය්යනේ මගෙ මූණට වැදුණනං…මගෙ ඇස් වලට මොනා හරි වුණානං…”
“ෂ්…”
ආලෝක සිය සුරත සූර්යා ගේ මුව මත තබා ඇය කියන්නට ගිය දේට බාධා කළේ ය. සූර්යා මුදු ලෙස ඔහු ගේ අත අල්ලා ඉවත් කරමින් ම ඔහු දෙස බැලුවා ය.
“ඔයා මාව බලා ගනී. මන් දන්නව. ඇස් දෙකක් නෑ කියල නොදැනෙන් තරමට ඔයා මාව බලා ගනී…”
ඒ ගැන තව දුරටත් කියා ගෙන යන්නට බැරි කමක් සූර්යා ට දැනිණ ඇගේ උගුර හිර වූවා සේ ය. ආලෝක ගේ ඇස් තෙමී ගෙන ආවේ ය. මේ රෝහල නොවිණි නම් ඔහු ඇය ව ඉතා තදින් සිය ළමැදට හිර කර ගනු ඇත.
“ඒත් එහෙම වුණානං මං කොහොමද ආලෝක ඔයාව දැක ගන්නෙ…ඔයා දන්නවද…මේ ලෝකෙ මං වැඩියෙන්ම දකින්න ආස කළ කෙනා ඔයා. ඒත් අවුරුදු විසි දෙකක් තිස්සෙ මට ඔයාව නිකමටවත් දකින්න ලැබුණෙ නෑ. පව් ගෙවිල ඉවරයි කියල මං හිතුව. ඔයාව ආයෙ දකින්න ලැබුණහම…මගෙ දඬුවම් ඉවරයි කියල මං හිතුව. එහෙම වුණානං…මේ ඇසිඩ් පාර මූණට වැදිල ඇස් නොපෙනී ගියානං…මං මැරෙනව ආලෝක දෙයියම්ප මැරෙනව. ඔයාව දකින්න නැතුව මොකටද මං ජීවත් වෙලා…”
“අනේ මැණික…මොනාද මේ කියන්නෙ…”
සූර්යා ඉකි ගගහා ඇඬුවා ය. ඇයට මේ දුක තවත් ඉවසා ගත නො හැකි ය. දරා ගත නො හැකි ය.
“දැං එහෙම මුකුත් උනේ නෑනෙ…ඔයා අඬන්නැතුව ඉන්න”
“ඇයි ආලෝක මේ මිනිස්සු අපිට පාඩුවෙ ඉන්න දෙන්නෙ නැත්තෙ..අපි මොන වරදක් කළාටද…ඒගොල්ලන්ගෙ මොනාද අපි නිසා නැති වුණේ…ඇයි ආලෝක මේ…”
“හරි හරි…සූර්යා දැන් කාම් ඩවුන් වෙන්නකො…ඔයාගෙ අත රිදෙනවද..ම්…මං ඩොක්ටර් එක්ක කතා කරන්නංකො”
“ප්‍රවීන් ට ඕනෙ මොනාද අහමු ආලෝක. ඕන්නං අපි ගත්ත කුරුඳු ඉඩම හරි දෙමු. අපිට පාඩුවෙ ඉන්න දෙන්න කියමු”
ආලෝක අත් විඳිමින් සිටියා වූ වේදනාවේ දිග පළල ගැන ඔහු වත් දන්නේ නොවේ. නමුත් ඔහු ඒ සූර්යා ට පෙන්වන්නට ද නොගොස් ශක්තිමත් මිනිසෙකු සේ රඟපෑවේ ය.
“ඔයා ඉක්මනට සනීප වෙලා ඉන්නකො. ම්…අපි මොකක් හරි කරමු”
සමහර වෙලාවට ඉතාම හයියයි වාගේ පෙන්වන්න හිත් වල ඒ වෙලාවට වන්නේ අන්ත අසරණ දුර්වල කමකි. මේ ආලෝක ට ද එවන් මොහොතකි. ඔහු සිටියේ කුඩා දරුවෙකු තරම් දුර්වල මානසික තත්වයක ය.
කාර්යාලයෙන් කෙටි නිවාඩුවක් ගත් සන්දීපනී චාන්දනී ව සොයා ගෙන ආවේ කේලම කියන්නට ය. දුර්වල ගැහැනුන්ට ඇති එක ම ආයුධය වන කඳුළු ඉස්සර කර ගෙන ඇය අනුකම්පාව දිනා ගන්නට වූවා ය..
“එක්කො මං මේ ප්‍රශ්නෙං අයිංම වෙන්නං ආන්ටි. ඇයි මං මේ තරං බාල්දු වෙන්නෙ…මට මැරි කරන්න කෙනෙක් හොයා ගන්න බැරි කමට නෙවෙයිනෙ. ආලෝක අයිය සූර්යා ඉස්සරහදි මට කතා කළේ නිකං…මාව අන්තිම පහලට දාල…මොකටද ආන්ටි මං ඕව බලන්නෙ…”
ඇයට ඕන වුණේ චාන්දනී ට කේළම කියා ආලෝක ව හිමි කර ගැනීමේ නීතිමය කටයුතු ඉක්මන් කර ගන්නට ය.
“එහෙම නැත්තං ඉක්මනට වෙඩින් එක ගන්න ඕනෙ. ඊට පස්සෙ එයාට ඕන හැටියට නටන්න බෑනෙ”
“මාත් කැමතියි දරැවො ඉක්මනට මේ කටයුතු පිළිවෙලක් කරන්න පුළුවන්නං…ඒත් ඉතිං කලබලේට ඕව කරන්නත් බෑනෙ. ඒක නිසා අපි පොඩ්ඩක් ඉවසමු”
“ඉවසනව කියල ආන්ටි…”
සන්දීපනී ට කියා නිම කරන්නට ලැබුණේ නැත. ආලෝක ගේ මෝටර් රථය විත් නතර විය. ඉන් බැස ගත් ඔහු චාන්දනී වෙත ආවේ කේන්තියෙනි. සන්දීපනී දුටු ඔහු ගේ කේන්තිය උත්සන්න වූයේ ය.
“සූර්යාට මොකක් හරි වුණොත්නං එක්කෙනෙක්වක් ඉතුරු කරන්නෑ අම්මෙ මම…මං මේ කාට කාටත් කියන්නෙ…පොලීසියෙ ඇහුවොත් කාවද සැක කියල…කාගෙ කාගෙත් නම් කියනව මම. මේක මාර කරුමයක් වුණානෙ. අපිට අපේ පාඩුවෙ ඉන්න නෑනෙ”
ආලෝක කියන්නේ චාන්දනී දන්නා පරිදි මේ විදිහට හැසිරෙනා තරුණයෙකු නොවේ. ඔහු කලබල වෙනවා කියා දෙයක් අම්මා වශයෙන් ඇය දැක ඇත්තේ ම නැත. මේ විදිහට හැසිරෙන්නට බරපතල යමක් සිදු ව ඇති බව ඇයට ඉවෙන් වාගේ දැනිණ.
“ඇයි පුතා…මොකද වෙලා තියෙන්නෙ…”
“වෙලා තියෙන්නෙද…සූර්යාට ඇසිඩ් ගහල”
සන්දීපනී ට හිඳ උන් අසුනෙන් නැගිටවිණ.
“ඔන්න මන්නං එහෙම දෙයක් කරල නෑ හොඳේ”
ඇය බිරාන්ත වූ දෑසින් යුතු ව කීවා ය. ආලෝක කෙලින් ම ඇගේ මූණ ඉදිරියට විත් අනතුරු ඇඟවීමක් කළේ ය.
“ඒ වුණාට අපිට හතුරො කියල මහ ලොකු තොගයක් නෑ. කියන්න තියෙන්නෙ එක නමයි දෙකයි. ඒක නිසා කරදර ඇති කර ගන්නෙ නැතුව පාඩුවෙ පැත්තකට වෙලා හිටියනං හොඳයි හරිද..”
සන්දීපනී සැබවින් ම බිය වූවා ය.
ඒ තර්ජනයෙන් පසු ආලෝක කෙලින් ම ගියේ කාමරයට ය. කෑ කෝ ගැසුවා කියා ඔහු ගේ අභ්‍යන්තර බිය තුනී වී තිබුණේ නැත. එය තව තවත් ඉස්මතු වූවා පමණකි. කපා හෙලූ කෙසෙල් කඳක් සේ ඔහු යහන මතට වැටුණේ ය. සියල්ල අවුල් ජාලයකි. මහා පීඩනයක් ඔහු ගේ පිරිමි පපුව ඇතුළේ හිර වී තියේ. ඒ පීඩනයෙන් ම ඇඳෙන් නැගිට ගත් ඔහු ප්‍රවීන් ට දුරකතන ඇමතුමක් ගත්තේ ය.
“ජරා වැඩ කරන්න එපා මිනිහො”
යක්ෂාවේෂයෙන් ආලෝක කෑ ගැසුවේ ය. ප්‍රවීන් සන්සුන් ව කට කොනකට සිනහවක් නගා ගත්තේ ය.
“හැබැයි සූර්යාට පාඩුවෙ ඉන්න දීපං ප්‍රවීන්. මට උඹට කියන්න තියෙන්නෙ එච්චරයි…”
“සුමනරත්න…නිකං බොරුවට දඟලන්න එපා මචං. උඹ සූර්යාට ඔච්චර ආදරේනං මේ සීන් එකෙං අයින් වෙලා හිටපං. උඹ එහෙම නොකළොත් තමයි සූර්යාට රිස්ක් එකක් තියෙන්නෙ. ගොට් ඉට්…”
ඇඟ පණ නැති ව ගියා සේ ආලෝක යහන මත හිඳ ගත්තේ ය..දුරකතනය පසෙකට විසි කොට දැමූ හෙතෙම ඇඳ ඇතිරිල්ල ඇද දැමුවේ ය.
සූර්යා ගෙන් ඈත් වෙන්නේ කෙසේ ද?