“ඔයා හිතන්නේ අපි කෙනෙකුට ළං වුණාට පස්සෙ එයා අපිට ගැලපුණත් නැතත් එයා එක්ක ඉන්න ඕන කියලද?”
මේඝ එසේ අසද්දී ආරණ්‍යා පිළිතුරක් නොදී මඳ වෙලාවක් නිහඬව සිටියා ය.එකිනෙකට නොගැළපෙන යුවලක් ලෙස ඇය හොඳින්ම දැක ඇත්තේ ඇගේ අම්මා සහ අප්පච්චි ය.කිසිම දවසක එකිනෙකා සමඟ වාදයක හෝ නොපැටලුණ ද ඔවුන් දෙදෙනා එකිනෙකාට නොගැළපෙන බව ඇයට සහතික ය.අම්මා කුමක් හෝ හිස්තැනක සිටින බවත් අප්පච්චි සියල්ල දරා ගන්නා බවත් වැටහෙද්දී ඇය එතරම් උස්මහත් වූ දැරියක නොවේ.නමුත් ගැටලුවක් ඇතැයි ඇයට වැටහුණා ය.ඒ නොගැළපීම් ගළපා ගන්නට ඔවුන් දෙදෙනාම උත්සාහ කළ බවක් ඇයට මතකයේ නැත.නමුත් කිසිම ගැටුමකින් තොරව ජීවිත ගලා ගිය බව ඇය දනියි.
“ඒ තීරණ හරිම පෞද්ගලික ඒවා.එකකට එකක් සාපේක්ෂයි.”
ආරණ්‍යා සමඟ කතා කර දිනන්නට පහසු නැති බව මේඝ ඉනික්බිතිව සිතුවේ ය.එහි ලොකු අරුමයක් ද නැත.ඇය නීති ශිෂ්‍යාවකි.ඔහු ඒ බව කියා යැවී ය.කතාබහ සාමාන්‍ය අතට හැරුණු හෙයින් ආරණ්‍යා වහා සරදමක් එවී ය.
“ඔයාගේ තාත්තාගෙ දුවෙක් වෙන්න තිබ්බෙ මම නේද? එයත් කවදාවත් නඩුවක් පැරදිලා නෑලුනෙ.”
මේඝට එයට දෙන්නට පිළිතුරු දෙකක් සිහි විණ.පළමුවැන්න “ඔයා අපේ තාත්තගේ දුවෙක් වෙන එක මගේ තාත්තගෙයි ඔයාගෙ අම්මගෙයි දෙන්නගෙම හීනයක් වෙලා තිබුණා.” යැයි හෘදසංවේදීව පිළිතුරු දීම ය.ඉන්පසු ආරණ්‍යාට දිගුදුර කතාවක් කියන්නට සිදුවන බව සහතික ය.දෙවැන්න එතරම් සැර නැත.
“ඔයාට ඕනනම් අපේ තාත්තගේ දුවෙක් වෙන්න පුලුවන්..”එසේ පවසා එයට පිළිතුර ලෙස මේ කෙටිකාලීන මිත්‍රත්වයට සදහටම තිත තැබෙන්නට ද ඉඩ තිබේ.
“ලෝයර් කෙනෙක් වුණාම එහෙම වෙන්න එපැයි.”
මේඝ එසේ පැවසුවේ හිතට ආ කිසිත් නොපවසන තීරණයකිනි.
ආරණ්‍යා සිටියේ දෙගිඩියාවකිනි.ඈ මුලින්ම මේඝ දුටු දිනය නැවත නැවතත් සිහි කළා ය.පිරිමියෙකුට ලෙහෙසියෙන් සිත නොයන ඇයට දුටුමතින් ඔහුට සිත ගිය බව අමතක කරන්නට නොහැකි ය.ඔහු එතරම් ආකර්ෂණයක් දී එදා නොපෙනී ගොස් යළි මුණ ගැසීම දෛවයේ තීරණයක් බව ආරණ්‍යාට සිතෙයි.
“නොගැලපෙනවනම් වෙන් වෙන එක එයාගේ තීරණයක්නෙ.ඒක නේහාටත් ප්‍රශ්නයක් නෙවේනම් මම ඇයි රිද්දාගන්නේ..”
ඇය අනතුරුව ඇයටම මුමුණා ගත්තා ය.මේඝ සම්බන්ධ හැඟීම් නිසා ඇය සිටියේ වෙනත් ලෝකයක ය.නමුත් ඇය මේ කිසිවක්ම කිසිවෙකුටත් හෙළි නොකරමින් තනිව සිටින්නට තීරණය කළා ය.
“තමුසෙ ඉන්නේ මේ ලෝකෙ නෙවෙයි හරිද?”
මෝක්ෂ ඇයට එසේ කිහිපවතාවකම බැන වැදුණ මුත් ඇගේ සිහිය ඇති තැන සිතා ගන්නට ද ඔහුට අපහසු නොවී ය.ඈ සිටින්නේ මේඝ ගැන ප්‍රේමයෙනි.එය පවසන්නට නොහැකි තරමේ අහංකාරයකිනි.මෝක්ෂට ඒ හැඟීම තේරුම් ගැනීමට අපහසු නොවී ය.ආරණ්‍යාම ඒ ගැටළුව විසඳා ගත යුතු බව මෝක්ෂගේ අදහස වූ හෙයින් ඔහු ආරණ්‍යා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් දැක්වූයේම නැත.නමුත් ආරණ්‍යා ගැන ඕනෑවටත් වඩා ඇස ගසාගෙන හිඳිමින් ඈ සහස්ට ජෝඩු කරවන සිහිනයක සිටි නිසලිට ආරණ්‍යා තනිවම දුරකථනය හා හිනැහීම එතරම් සුන්දර දසුනක් නොවී ය.ඇගේම ක්‍රමයක රහස් පරීක්ෂණයක් දියත් කළ නිසලිට ආරණ්‍යාගේ සෑම ඡායාරූපයකම හැම ෆේස්බුක් සටහනකම ගැවසෙන මේඝ සේනාධීර ගැන රතු එළියක් දැල්විණ.
“කවුද මේඝ?”
නිසලිගේ ප්‍රශ්නයට ආරණ්‍යා ඇය දෙස බැලුවේ නොපහන් දෑසකිනි.මිත්‍රත්වය කියන්නේ ඕනෑවට වඩා ජීවිතයකට අත පෙවීම වග නොදන්නා නිසලි ගැන කළකිරෙන තැන් ඕනෑවටත් වැඩි ය.
“අර මගේ පර්ස් එක ඇහින්ද අයියා.”
නිසලි හිනැහෙන්නට පටන් ගත්තා ය.ඒ සිනාව ආරණ්‍යා වඩා කෝපත් කරන්නකි.අම්මාට බිනරි නැන්දා මෙන් ප්‍රාණසම මිතුරියක තමන්ට ද නොවීම ගැන ඇයට දුකක් දැනෙන්නට විණ.
“ඒ මනුස්සය ඇයි ඔයාව ෆේස්බුක් ඇඩ් කරේ? ඔයාටත් පිස්සුනෙ.”
නිසලිට එවැනි තීරණ ගන්නට ඇති ඉඩ කුමක්දැයි සිතමින් ආරණ්‍යා නැගී සිටියේ නිසලිට තවත් කතා කරන්නට ඉඩ නොතබා ය.ඇය මේඝ ගැන දැන ගැනීම නිසලිට ගෙන ආවේ අපහසුවකි.කෝපයකි.
“ඒක මගේ පෞද්ගලික තීරණයක්නෙ නිසලි.මට තව යාලුවෙක් හම්බ වුණා.එච්චරයි.”
ආරණ්‍යා වෙනත් මිතුරු පිරිසක් වෙත ගියේ නොපහන් සිතකිනි.නිසලි මේඝ ගැන වහා සහස් ව දැනුවත් කරන්නට තීරණයක් ගත්තා ය.සහස් සිටින්නේ ආරණ්‍යා ගැන ප්‍රේමණීය හැඟීමෙනි.කොහෙන්දෝ පැමිණි වීරයෙකුට ආරණ්‍යා උදුරා ගන්නට මිත්‍රත්වයේ නාමයෙන් ඉඩ නොතබන්නට නිසලි තීරණය කළාය