නෑකම් ඇති වෙන්නේ ලේ බැඳීම් වලින් විතරක්ම නෙමෙයි.මගේ පුංචි දුවට එදායින් පස්සේ සුදාරක හැමදාමත් අප්පච්චි වුණා.ඇය ජීවිතයේ වැඩිපුරම ආදරය කරන අයගෙන් කෙනෙක් බවට සුදාරක පත්වූ හැටි මම ඉදිරියේදී කියන්නම්.පුංචි දරුවෝ ආදරය අඳුනා ගන්නේ එයාලගෙම මිම්මකින්. දුර්ග මාර්ගයක් ඔස්සේ තමන්ව ලස්සන ගමනක් ගෙනගිය කාරුණික පුද්ගලයා ඇත්තටම එයාට ගොඩක් ආදරේ කරන කෙනෙක් කියලා මගේ පුංචි දුවට හිතෙන්න ඇති.මට දැනුණු සැනසීම වුණේ තාත්තා කෙනෙකුගේ ආදරය මහලොකුවට විඳ නැති මගේ පුංචි දෝනිට හොඳ අප්පච්චි කෙනෙක් ඒ ගමනෙදි හමු වීමයි.
“ඔයාගේ එක එක අසනීප කීයක් නම් මම එදා හොයා ගත්තද? කොළඹ ඇවිල්ලා ඒවට ඉක්මනට ප්‍රතිකාර ගන්න.ඔයා දන්නවද මහත්තයා,පොඩි ලෙඩ තමයි දවසක මහා අසනීප වෙන්නේ.”
එදා සමුගන්න කලින් මම සුදාරක ට නියෝගයක් ලබා දුන්නා.හරියට සුව කර නොගත් තුවාල,හුස්ම ගැනීමේ අපහසුතාවයක් වගේ එක එක දේවල් ඔහුට තියෙන බව මට වැටහුණේ උපන්දින සාදය වෙනුවෙන් අපි හමු වූ මොහොතේ දී.මම කියන ඕනෑම දෙයක් හිසනමා පිළිගන්න මගේ සුදාරක හිනාවෙලා ඒ නියෝගය පිළිගත්තා.ආදරය නියෝග ආදරයෙන් බාර නොගෙන ඉන්න කිසිම පිරිමියෙකුට බැහැ.ආදරය ළඟ ඕනෑම වීරයෙක් පුංචි ළමයෙක් බවට පත්වෙනවා.මම ආදරයෙන් කියන දේවල් ආදරයෙන් බාර ගන්න සුදාරක ට හිතෙන්න ඇති අන්න ඒ නිසා.
අපි ආපහු කොළඹට ආවෙ දුම්රියෙන්.සීතල කඳුකරය මැදින් දුම්රිය ගමන මහා සුන්දර බව ඔබ අත්විඳලා ඇති. නැත්නම් අහලා ඇති.ඒත් මම ඒ සුන්දරත්වය විඳ ගත්තෙ නැති තරම්.මීදුමෙන් බර වෙලා තියෙන කඳු තරමටම මගේ හදවත ශෝකයෙන් බර වෙලා තිබුණා.
“මේ ජීවිතය මොන වගේ එකක්ද?”
ඉකි ගසමින් හඬ අතර මම හිතන්න පටන්ගත්තා.මගේ කඳුලු ගලාගෙන ගියේ පාලනයකින් තොරවයි.සුදාරක සහ මම ඉතාම යොවුන් වයසේදී ආදරේ කරන්න පටන් ගත්තා.අපිට අපිව ආරක්ෂා කර ගත නොහැකි වයසකදී ඒ ආදරේ අපෙන් අහිමි වුණා.ඔහු දිල්හානි සමග විවාහ වෙන්නට ඇත්තේ ම්ගේ අහිමි වීම නිසා රිදුනු හිත සුවපත් කරගන්න.නමුත් එය සාර්ථක වී නැහැ.ආදරණීය පවුලක් වෙනුවෙන් සිහින දුටු ඔහුට ඔහුගේ දරුවන්ගේ පවා ආදරය නොලැබෙන තරම්.දිල්හානි සුන්දර යහපත් ගැහැණියක වූවානම් මම ඔහුගේ ජීවිතය දෙස යළි ඇසක් හැර නොබලන්නට තිබුණා.මම මොන තරම් වාලුකා කතරක ජීවත් වුණත් ඔහුගේ ලස්සන ජීවිතය මැදින් ඇවිද යා යුතු නැති බව මම එහෙමනම් විශ්වාස කරාවි.නමුත් ඔහු සිටින්නේ වේදනාවෙන්.
එතකොට මම?
මම අසංක සමග විවාහ වී අඩු ජීවිතයක් වෙත ගියේ සුදාරක අමතක කර මගේ දෙමව්පියන්ගේ සතුට ඔවුන්ට ලබා දෙන්නට සිතමින්.ළාබාල බිරිඳකට දරන්නට පහසු තරම් වේදනා මට ඒ විවාහය නිසා උරුම වුණා.කිසිම සතුටක් නැති සැනසීමක් නැති ජීවිතයක් අවුරුදු හතක් තිස්සේ ගෙවා දැමූ මම ඒ විවාහය නිසා උරුම ජීවිතය ගැන කළකිරීමක් පමණයි.අසංක මගේ ජීවිතයට එකතු කළේ මොනතරම් පසුතැවිල්ලක් ද?චමල් නිසා එය දෙගුණ තෙගුණ වුණා.ඔහු සිටින්නේ ඔහුගේ ලෝකයක.බීමත්කම සහ මිත්‍රත්වය පමණක්ම පමණක්ම වර්ණනා කරන ඔහු දියණියක සහ බිරිඳක ගැන නොසිතන තරම්.ඔහු මට ආදරේ කලා නම් සැනසීමෙන් ජීවත් වන්නට මට ඉඩ හැරියා නම් මම නැවත සුදාරක වෙත නොයන්නට ඉඩ තිබුණා.
හැමදේම පැටලවීමක්! මහා පැටලැවිල්ලක්!
මමත් සුධාරකත් නිවැරදි වෙන්නට පුළුවන්.නමුත් අපේ සම්බන්ධය ගැන දිල්හානි සහ තමයි දැනගත් දවසක මොනවා වෙයිද මම සිතුවා.ජීවිතය කෝ යන්නට තෝරාගත් අය නිවැරදි තේරීම නොවීම නිසා ඔවුන් දෙදෙනාත් අප තරමටම විඳවන බව මට ඒ මොහොතේ සිතුණා.සමහරවිට ඔවුන් ආදරය කරන්නට නොදන්නවා වෙන්නට පුළුවන්.නැත්නම් ඔවුන් බලාපොරොත්තු වන ආදරය හා ජීවිතය අපෙන් නොලැබුණා වෙන්නට පුළුවන්.තමන්ගේ ආත්මීය ප්‍රේමය නොලැබීම ගැන වේදනාවෙන් පසුවන මා සහ සුදාරක විවාහ කර ගැනීම චමල්ටත් දිල්හානිටත් වූ ලොකුම වැරදීම වෙන්නටත් පුළුවන්. ප්‍රථම ප්‍රේමය සුන්දර මතකයක්.ප්‍රථම ප්‍රේමය දිනා ගන්නට බොහෝ අයට හැකියාවක් නැහැ.නමුත් ඒ මතකය අතෑර හොඳ ජීවිත පවත්වාගෙන යන්නට බහුතරයකට හැකියාව ලැබෙන්නේ ඔවුන්ට ඉන්පසු ලැබෙන ප්‍රේමය එතරම්ම ප්‍රබල වෙන නිසා.
මට සහ සුදාරක ට නොලැබුණේ අන්න ඒ දේ!
නිවැරදි ආදරය අහිමිවීම මිනිස්සුන්ව මොනතරම් ප්‍රශ්න වලට ඇද දමනවා ද?අපි හැමෝම ඉන්නේ අසරණ වෙලා.මම,චමල්,මගේ දුව වගේම දිල්හානි සහ ඇගේ දරු තිදෙනාත් සුදාරක ගැනත් මට මහා වේදනාවක් දැනෙන්නට වුණා.දෛවය අපිව රැගෙන යන්නට උත්සාහ කරන්නේ කොහෙට ද? මේ ගමනේ අවසානය කොහොම වේවිද ?
මිහිදුමින් බර වුණු කඳු දෙස බලාගෙන මම නිහඩවම වැළපෙන්නට පටන් ගත්තා.