අකල් වැහි -21

සතුරු රාජ්‍යයන්හි රාජ කුමාරිකාවන් සමඟ ප්‍රේමයෙන් බැඳෙන රජකුමරුන් ගැන ඇති කොරියානු මාලා නාටක හිරුදිට සිහි විණ.ආදරය,මිත්‍රත්වය වැනි කාරණාවන්ට කිසිවක්ම අදාළ නොවේ.හදවතේ බැඳීම් හිමිරිදිය මෙන් පිරිසිදු නම් ඒවාට රැකවල් යෙදිය යුතු නොවන වග ඈ විශ්වාස කළා ය.නමුත් සිතිජ ඈ දෙස කොහොම බලන්නට ඉඩ ඇතිදැයි ඈ නොදන්නී ය.සිතිජගේ ශල්‍යකර්මය අවසන් වන තුරුම හිරුදි රෝහලේ රැඳුණේ මේ හිඳින්නේ පිරිසිදු මිත්‍රත්වයක නාමයෙන් බව සිතට තරවටුවක ස්වරයකින් කියන අතර ය.

“ඔයාට ස්ට්‍රෙස් වෙන්න හොඳ නෑ හිරූ..”

තමන් ගැබිණි මවක බව ඇයට සිහි වූයේ නිපුනි එසේ කොඳුරද්දී ය.
දේශපාලනය ගැන මේ කුස ඔත් බිළිඳා හොඳින්ම දැන ගත යුතු වේ.නමුත් දේශපාලනයේ ඇති විකල් ස්වභාවයේ ගොදුරක්ව රට වෙනුවෙන් පහර කෑ මිනිසා වෙනුවෙන් මඟ බැලීම ගැන ඇයට ඇති වූයේ සතුටකි.

“මගේ පුතා තාත්තා වගේ ජඩ දේශපාලකයෙක් වෙන්නෝනෙ නෑ නිපූ.සිතිජලා වගේ ඇත්ත මනුස්සයෙක් වෙන්න එයා ඉගෙන ගන්නෝනෙ.එයාටවත් මටවත් මහන්සි නෑ.”

හිරුදි එසේ පැවසුවේ කුස මත අතක් තබමිනි.නිපුනි තවමත් තිගැස්මෙනි.ඒ තිගැස්ම නවතාලන්නට හිරුදිට සිතිණ.ඇය සරදමක් කළේ එබැවිනි.

“ළමයෝ අපි මේ ඉන්නේ ඉස්පිරිතාලෙක.ඉස්පිරිතාලෙ ඉන්නකොට ප්‍රෙග්නන්ට් අම්මෙක්ට බය වෙන්න දෙයක් තියද?”

නිපුනි කිසිත් නොපවසා කසුන් වෙත ගියා ය.සිතිජ ගැන තොරතුරු විමසන්නන් නිසාම කසුන් විඩාබරව ය.නිපුනිට ඔහුව අමුතුවෙන් වෙහෙසන්නට සිත් වූවා ය.

“චේතනට ඔය දරුවා ගැන නම් දැන ගන්න ඉඩ තියන්න එපා.”

අක්කාගෙන් වට්ස්ඇප් පණිවිඩයක් පැමිණියේ ඒ මොහොතේ ය.හිරුදි එය විවර කරමින් යවන්නට පිළිතුරක් කල්පනා කළා ය.සමාධි තවත් මොනවාදෝ ලියමින් හිඳින්නී ය.

“සිතිජ ගැන දැන් චේතනලා හොඳට දන්නවා අක්කේ.එයාල හැමෝගෙම පොදු සතුරෙක් සිතිජ.”

සැබෑව ගැන මිනිසුන් දැනුවත් කරන නොබියව ෆේස්බුක් අවකාශයේ සත්‍යය ලියා තබන සටන් පාඨ කියමින් මොර දෙන සටන් නායකයෙකු මේ මොහොතේ පාලකයන් එවූ දඩ බල්ලන් අතින් තුවාල ලබා ශල්‍යාගාරයේ ය.තරුණ ඇමතිවරයෙකුගේ බිරිඳක් ඔහු ගැන බිය සංකා සහිතව ශල්‍යාගාරයේ දොරටුව අබියස ය.ජීවිතය හින්දි චිත්‍රපටියක් හෝ බොළඳ ආදර කතාවක් නොවන බව නැගණියට කියන්නට සමාධිට ඕනෑ විය.හිරුදි මේ හිඳින්නේ කුමන අරමුණක් ඇතිවදැයි සැක සිතන්නට පවා සමාධිට බිය දැනේ.

“මට ඔයාව හොඳට තේරෙනවා.නිසල් වගේ කොල්ලෙකුට ආදරේ කරපු ඔයාට චේතන ගැන දැනෙන අප්පිරියාව මට හොඳටම තේරෙනවා.ඒත් නංගි සිතිජ රටට ඕනෑ කරන කොල්ලෙක්.චේතනලා එකපාරක් කරපු දෙයි ළමයින්ට හොඳ ගුරුවරයෙක් නැති වුණා.මේ වතාවේ රටට බිහි වෙන්න ඕනෑ තරුණ නායකයෙක් නැති කරන්න එයාලට ඉඩ දෙන්න එපා.”

ඔවුන් දැනටමත් උත්සාහ ගත්තේ එයට බව අක්කාට පැවසීම වෙනුවට හිරුදි හදවත් සලකුණක් පමණක් යැවුවා ය.අක්කා කියන්නේ ඈ සියළු රහස් පවසන්නට තෝරා ගත් තැනැත්තිය ය.ඕනෑම දෙයක් නොබියව කියන්නට ඇය තෝරා ගත්තේ අක්කාව ය.ඇඳුමේ මුත්‍රා කරගත් කුඩා දැරිය ඒ බව කීවේ අක්කාට ය.ඈ යොවුන් දැරියක වී ආදරය කරන්නට තරුණයෙකු තෝරා ගත් විට ඒ ගැන කීවේ ද අක්කාට ය.ඇය අක්කාට සඟවන රහසක් නොවේ.

“නිපුනිට නොකියපු දෙයක් මං ඔයාට කියන්නම් අක්කා.මං සිතිජට ආදරෙයි. එයාට ආදරේ කරන්න ගෑනු ළමයෙක් ඉන්නවද එහෙම නැත්නම් එයා කසාද බැඳපු මනුස්සයෙක්ද කියලවත් නොහිතා මං එයාට ආදරෙයි.සිතිජ හිරිකඩක් වගේ මනුස්සයෙක් කියලා මට හිතුණා.නෑ එයා මල් වැස්සක් වගේ මනුස්සයෙක්. මං කාන්තාරයක් වගේ ගෑනියෙක් අක්කා.මට වැහි වලාවක් වෙන්න සිතිජට බෑ තමයි.ඒ වුණාට මට ඈත ඉඳන් එයා දිහා බලන් ඉන්න අයිතියක් තියනවනෙ.”

සිතිජ සියල්ලන්ටම අයත් තරුණයෙකු බව සමාධි ලියා එව්වා ය.ඔහු අහිමි කරවීම නොයුතු ය.අක්කා ලියා නොඑවූ වදන් හිරුදි කියවා ගත්තා ය.

“මට එයාට ආදරේ බව කියන්න උවමනා නෑ අක්කා.තමන්ගේ වයිෆ් වෙන මනුස්සයෙක්ට ආදරේ කරනවා කියලා දැනගත්තම ඕනෑම මනුස්සයෙක් වියරු වැටෙන්න පුලුවන්.චේතනටත් ඒක පොදුයි.හැබැයි එයාට හතරවටේ ගෑනු ඉද්දී මං අතකින්වත් නාල්ලා මනුස්සයෙක් හිතින් අල්ලා ගැනීම පවා මහ වැරැද්දක් වෙයි.මගේ ජීවිතේ ගැන මට ආසාවක් නෑ.ඒත් ඔයා කියන එක ඇත්ත.සිතිජ රටට ඕනෑ මනුස්සයෙක්.චේතන වගේ මහ පොළොවට බර ජඩ දේශපාලකයෙක්ට සිතිජව විනාශ කරන්න විනාඩි පහකට දහයකට වඩා යන්නේ නෑ..”

හිරුදි ඒ දිග පණිවිඩය ලියා යැව්වේ වේදනාවෙනි.මේ කලබලකාරී වාතාවරණය මත අරගල බිමට ඇස අලවා හිඳිනු මිස චේතනට තමන් ගැන වගක් නොවන බව ඇය දනියි.නැතිනම් ඔහු මේ වෙද්දීත් විලක්කුව අතට ගෙන යක්ෂයාට ඇඳගෙන අවසන් ය.හිරුදිට සිත සනසා ගන්නට ඉඩක් නොලැබිණ.ජංගමය නාද වූයේ ළසඳාගේ ඇමතුමක් බව කියමිනි.හිඳින්නේ රෝහලේ බව කියන්නට නොකැමති හිරුදි ඒ ඇමතුම මඟ හැරෙන්නට ඉඩ දුන්නා ය.නමුත් ළසඳා යළි යළිත් හිරුදි අමතන්නට වූවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles