තම සැමියාට වෙනත් ප්‍රේමවන්තියක හිඳින වග දැන ගැනීම තරම් වේදනාවක් ගැහැනියකට නොවේ.ඒ පෙම්වතිය මවක වන්නට සැරසෙන වග දැන ගැනීම ඒ වේදනාව මරණීය වේදනාවක් බවට පත් කරන්නකි.එහෙත් හිරුදිට සරසිගේ ඇමතුම ඉඳිකටු තුඩක තරමටවත් නොදැනිණ.චේතන දේවතිලක නම් මිනිසා සමඟ කිසිම මානසික බැඳීමක් නොවන තැන හිරුදිට ඒ කතාවෙන් වේදනාවක් හිමි වන්නේ නැත.
“ඔය කතාව මං අම්මට කියනව.කියල ඔයාව ඩිවෝස් එකට ලෑස්ති කරන්න කියල කියනවා.ඔයා ඔය වගේ වනචර මිනිහෙක් ළඟ තත්පරයක්වත් ඉන්න ඕනෑ නෑ.”
සමාධි ඒ කතාව අසා හිඳ පරල වූවා ය.හිරුදි හිනැහිණ.අක්කා සිතන තරම් පහසුවෙන් දේවතිලකලා සමඟ ගනුදෙනු කරන්නට නොහැකි ය.
“අපි අපේ ඇඟේ වහන මදුරුවො මරන්න එච්චර හිතනවද අක්කා.නෑනෙ.ඒවා ඉබේම අපි අතින් වෙනවා.ඒ වගේ තමයි තමන්ගේ නමට හානියක් කරන,තමන්ට හානියක් කරන මිනිස්සු විනාස කරන්න මේ මිනිස්සු දෙපාරක් හිතන් නෑ.තත්පර ගාණකින් විනාස කරලා දානවා.”
හිරුදි තමන් පැටලී ඇති උගුල අක්කාට විස්තර කරන්නට වූවා ය. සරසි සහ චේතන අතර සම්බන්ධය ද සරසිගේ මාතෘත්වය ද හෙළි කර දික්කසාද වීම සිතනා තරමට පහසු දෙයක් නොවේ.සරසිට තබා කිසිම ගැහැනියකට චේතනගේ ප්‍රේමයක් නොවේ.ඒ ඔහුගේ ලෝකයේ කෙළිබඩු පමණි.ඒ හන්දාම ඔහු සරසි විනාශ කරන්නට දෙවතාවක් සිතන්නේ නැත.හිරුදිගේ ප්‍රබල කේන්දරයට ලොබින් ඇය ජීවිතය තුළ අලවා තබා ගන්නා චේතන ඒ විවාහයට එන සියලුම බාධා ඉවත් කර දමන්නට පැකිලෙන්නේ නැත.
“ඔය ජරා මිනිහා එක්ක ඔයාට ඉන්න බෑ නංගි.”
සමාධිගේ හඬ හීල්ලුමකට බරව තිබිණ.හිරුදි සුසුමක් නිදහස් කර ඉනික්බිතිව හිනැහුණා ය.තමන් මේ මහා උගුලේ සිර කළ දෛවයට හිනැහුණා ය.
“මම මේ වෙලා තියන දේ ආන්ටි ළසඳාට කිව්වා.”
හිරුදි එසේ කියා උස් හඬින් හිනැහුණා ය.ළසඳා සාමාන්‍ය ගැහැනියක වූවානම් එක්කෝ කෝප ගන්නට තිබිණ.නැතිනම් හඬමින් කලබල කරන්නට ඉඩ තිබිණ.නමුත් ඇය ඒ එකක්වත් සිදු නොකළා ය.
“ඒ මනුස්සයා කියනව හෙක්ටර් අංකල් ගැන අදටත් ඔහොම කතා කියන ගෑනු ඉන්නවලු.ඒත් සදහටම මිසිස් දේවතිලක එයාලු.ඒ කතා කියාගෙන එන ගෑනු මොකෙක් හරි බැඳගෙන නිස්සද්ද වෙනවලු.ඔය වගේ කතා නියපොත්තෙන් උඩට ගණන් ගන්න එපා කියනවා.එහෙම ගණන් අරන් පොලිටීෂියන් කෙනෙක්ගේ වයිෆ් කෙනෙක් වෙන්න බෑලු.”
සමාධිට ඒ කතාන්දරය ගෙන ආවේ පිළිකුලකි.නැගණිය වැරෙන් තුරුළු කරගෙන සනසන තරම් ආවේගයකින් ඈ දැවී ගියේ ය.නමුත් ඒ කරන්නට හැකි දෙයක් නොවේ.
“පොලිටීෂියන් කෙනෙක්ගෙ වයිෆ් කෙනෙක් වුණාම ලැජ්ජාව බය නැති වෙනව නංගි.ළසඳාට මෙලෝ ලැජ්ජාවක් නෑ.ඔයාට කිසිම බයක් නෑ.මට මාරම දුකයි මේවා ගැන.”
හිරුදිට වේදනාවක් නොදැනිණ.ඇය සිටියේ ගල් වී ගිය හැඟීමෙනි. සරසිගේ දරුවා ගැන හෝ ඇගේ දරුවා ගැන ඇයට කම්පනයක් නොදැනිණ.චේතන සමඟ විවාහයෙන් තමන් හැඟීම් විරහිත තරුණියක වී ඇති වග පමණක් ඇය තේරුම් ගත්තා ය.නමුත් කිසිවක්ම නොසිතා සැලසුම් නොකර හිඳීම මේ මොහොතේ තමන්ටම කරන විනාශයක් වග ඇය අවබෝධ කරගෙන හුන්නා ය.
“තමන් මහ කඳු වගේ කියල චේතනලා හිතාගෙන හිටියා අක්කා.ඒත් අරගලේ මහ වැස්සක් වගේ එයාලා දිය කරන්න පටන් අරන්.තමන් ශක්තිමත් ගල් කඳු නෙවෙයි නිකම්ම නිකං පස් කඳු කියලා දැන් චේතනලයි එයාලගෙ නායකයොයි තේරුම් අරන් ඉන්නේ.ඇත්තටම එයාලා එයාලගෙ අනාගතේ ගැන බයෙන් ඉන්නෙ. ඉවරයක් නැතුව කේන්දර පස්සෙ දුවන්නේ ඒකයි.එයාලාගෙ ශක්තිය හීන වෙලා දුර්වල වෙලා තියන වෙලාවේ ඔයා ගාවට එන්න උත්සාහයක් ගන්න එක විතරයි මට දැන් කරන්න පුලුවන්.ඩිවෝස් වෙලා චේතනගේ ජරා වැඩට රණ්ඩු කරගෙන දඟලන්න ගියොත් එක්කො මාවත් මරලා දාවි.ඊටපස්සෙ මං ජීවිතේ නැති කරගෙන වගේ බොරුවක් කියාවි.”
හිරුදි කතා කරන්නේ ආවේගයෙනි.ඇයට දැන් සිහිනයක් තිබේ.ඒ වෙනුවෙන් ජීවිතය රැක ගන්නට උවමනා ය.
“මට ඇත්තටම ඕනෑ අක්කේ චේතනලාගෙ ජරාජීර්ණ ජීවිත හිරගෙදරින් ඉවර වෙනවා දකින්න.දුප්පත් අහිංසක මිනිස්සුන්ට නිවැරදි යහපත් මිනිස්සුන්ට කරපු දේවල් ගැන පසු තැවි තැවි එයාලා ජීවිතේ පුරා දුක් විඳිනවා බලන්න.මං ජීවත් වෙන්නෙ ඒ වෙනුවෙන්.තමන්ගේ ජීවිතේ පවා පරදුවට තියලා මේ ජරා මිනිස්සුන්ට එරෙහිව නැගිටලා ඉන්න අය දැක්කම මට හිතෙනවා අක්කෙ ඒ හීනෙ වැඩි ඈතක නෑ කියලා.”
ගාලු මුවදොර පිටියේ ගිගුම් දෙන ජන හඬ හදවතේ ගැඹුරුම තැනකින් ඇසෙන්නාක් මෙනි.දූෂිත මිනිසුන් ඉතා ඉක්මනින් නීතිය ඉදිරියේ අසරණව යන වග විශ්වාස කරන්නට හිරුදිට ඕනෑ වූවා ය.
ඒ විශ්වාසය ම ඇය ජීවත් කරමින් තිබිණ.
“මගේ පුතාට තාත්තෙක් නොහිටියට කමක් නෑ අක්කේ.”
හිරුදි පැවසුවේ දැඩි සිතිනි.චේතන ගමන් කරන්නේ හෙක්ටර්ගේ අඩි සලකුණු මත අඩි තබමිනි.තමන්ගේ කුස ඔත් බිළිඳා දුවක වී උපන්න ද පුතෙකු වී උපන්න ද චේතනගේ අඩි සලකුණු දකින්නටවත් නුවුමනා වග පමණක් හිරුදි තරයේම විස්වාස කරන්නට වූවා ය.