“එකට වැඩ කරන නිසා අයියේ අක්කේ නංගි මල්ලි කියා ගත්තෙ නැතුවට මම අක්කා තමයි.”
හිමාෂා කියන්නේ හිනැහෙමිනි.කාර්යාලයේ හිඳින වයසින් තරමක් වැඩි අයට හැරෙන්නට ඒ නෑකම් වෙන අයට භාවිතා නොවන තරම් ය.එනිසාම හිමාෂා තමන්ට වඩා වැඩිමහලු බව රවිඳු සිහිනයකින්වත් සිතා නොතිබිණ.
“පාරමී මට වැඩිමල් නෑනෙ?”
රවිඳු ඇසුවේ තත්ත්වය සමනය කරන්නට සරදමක් සොයමිනි.හිමාෂා උස් හඬින් හිනැහුණා ය.හිතේ ඇති ගැටළු ද දොම්නස් ද මැකී යන තරමට හිනැහෙන්නට සමීප මිතුරෙකු සිටීම මිහිරි හැඟීමක් බව ඇයට සිතුණේ ඒ මොහොතේ ය.
ඔවුන් සිටියේ ආපන ශාලාවට වී තේ කෝප්පයක් තොල ගාමිනි.තේ කෝප්පයක් අතැතිව පාරමී ඔවුන් වෙත එන අන්දම දුටු හිමාෂාට සිනාවක් නැඟිණ.ඒ පාරමීගේ සාමාන්‍ය ස්වභාවය ය.ඈ රවිඳු සමඟ මිතුරියන් තනිව කතා කිරීම එතරම් ප්‍රිය නොකරන බව හිමාෂා දනියි.රවිඳු වහා කාර්යාලයේ පොදු මාතෘකාවක් ඇද ගත්තේ ය.පාරමී සිටින තැනක පෞද්ගලික කතාන්දර වලට ඔහුගේ මනාපයක් නොවේ.ඇය සිටින සෑම මොහොතකම රටේ ප්‍රශ්න,ක්‍රිකට් තරග,රියැලිටි තරග හෝ කාර්යාලීය ප්‍රශ්න ගැනම කතා කරන්නට හේතුව දිනක් හිමාෂා රවිඳුගෙන් විමසුවා ය.රවිඳුට වූයේ පැහැදිලි පිළිතුරකි.
“අපි අපේ දේවල් කතා කරන්න ඕන ඇත්තටම අපිට ඇත්තටම කිට්ටු මිනිස්සු එක්ක.නැත්නම් ඒක අපි අපිටම කරගන්න විනාසයක්.”
ඔහු එසේ පැවසූ දවසේ හිමාෂා එක් දෙයක් වටහා ගත්තා ය.පාරමී කියන්නේ ඔහුට සමීප චරිතයක් නම් නොවේ.එය ඉදිරියේදී වන්නට පවා ඉඩක් නැත.
“රවිඳු,අපි මේ සැටඩේ හිමාලාගෙ ගෙදර යනවා.ඔයත් එනවද?”
පාරමී හිමාෂාගෙන් නොවිමසාම රවිඳුට ආරාධනාවක් කළා ය.රවිඳු විමසිලිමත් බැල්මක් හෙළුවේ පාරමීට නොවේ.හිමාෂාට ය.
“දෝණිගේ බර්ත්ඩේ එක රවිඳු.පුංචියට පාටියක් දාන්න හිතුණා.නර්සරි යාලුවෝ බර්ත්ඩේ පාටීස් අරන් ඇවිල්ලා කියවන නිසා එයත් ආසයි.”
හිමාෂා කියන්නේ තේ කෝප්පය මත වැටුණු සීතල ජල වාෂ්ප මත ඉරි අදිමිනි.තමන් වේදනාබර ජීවිතයක් ගෙවූව ද දියණියට එවැනි ජීවිතයක් හිමි නොවිය යුතු බව ඇය දැන් අදහන්නී ය.එනිසාම ඇය දියණිය වෙනුවෙන් දේවල් කරන්නට කල්පනා කරන්නී ය.
“දූගේ තාත්තාත් එනවද?”
රවිඳුට හදිසියේ පැනයක් නැඟිණ.හිමාෂා නිහඬ සිනාවක් නැගුවා ය.ඇයට තීරණයක් විය.එය ඇය තවමත් අමායා සමඟ හෝ බෙදා ගත්තේ නැත.
“සහන්ට දූගෙ බර්ත්ඩේ එක අමතක නම් නෑ.ඒ නිසා එයා ගිෆ්ට් එකක් එවනවා.ඒත් මම හිතුවා සහන්ට එන්න කියන්න.”
තත්පර කිහිපයක නිහැඬියාවක සිටි හිමාෂා වාක්‍යයේ ඉතිරි අඩ පැවසුවා ය
“එයා මල්මිත් එක්කම එනවනම් මම කැමති.දූ මල්මිව දැන ගන්න ඕන.එයා මල්මිගෙ දරුවට ආදරේ කරන්න ඕන.”
රවිඳු හිමාෂා දෙස බලා සිටියේ විසල් කරගත් දෑසකිනි.ඔහු පසුගිය දිනවල ජීවත් වූයේ වෙනුරි විවාහ කරගත් තරුණයා මරා දමන තරම් කෝපයකිනි.නමුත් හිමාෂා නිවසට ආරාධනා කරන්නට සැරසෙන්නේ තම දියණියගේ සුළු මවට ය.ඇගේ හදවතේ විශාල බව ඔහුට වටහා ගත නොහැකි තරම් ය.
“මං මගේ දරුවට තරමටම තව කාටහරි ආදරෙයි නම් ඒ මගෙ නංගිට.ඕනෑම කෙනෙකුට සහෝදරයෙක් සෑහෙන්න වටිනවා.මල්මිට ලැබෙන්න ඉන්න දරුවගෙයි මගේ දරුවගෙයි තාත්තා එකම කෙනා.ඒ දරුවෝ දෙන්නා සමගියෙන් හිටියාවේ.”
පාරමී උරහිස් අකුලා මිතුරිය දෙස බැලුවා ය.නවකතාවල ඇති දෑ සැබෑ ලෝකයට ගෙන නොඑන්නැයි ඇය මිතුරියට පැවසුවේ තද ස්වරයකිනි.එහෙත් රවිඳු මුදු දෙනෙතකින් හිමාෂා දෙස බලා හුන්නේ ය.අනතුරුව ඔහු පාරමි වෙත හැරිණ.
“මං හිතන්නේ හිමා හරි.මිනිස්සු ජීවත් වෙන්නෝනෙ ආදරේ කරන්නෝනෙ එහෙම”
ඔහුගේ වචන තද නමුත් මුදු ස්වරයකින් පිරී තිබිණ.පාරමී රවිඳු දෙස බැලුවේ පුදුමයෙනි.