සීත මාරුතේ -46

දේදුනු පායන්නේ වැහි බර අහසක ය. කඳුළු අතරිනුත් සිනහ ඉපදිය හැක. පසු ගිය දින ගණනාවක කාලය කොයි තරම් දුක්ඛිත හා විඩා බර වූයේ ද, මුණිවර සිහි ලැබුවා ය යන පුවත ඒ සියල් විඩා ඇසිල්ලකින් දුරලන ලදී. ඒ හරියට ප්‍රසව වේදනා සියල්ල බිළිඳෙකු ගේ හැඬුම ඇසෙනා තෙක් පමණක් වන්නා සේ ය. 

මම ලොකු තාත්තා ව දැඩි ව වැළඳ ගතිමි. ඔහු ගේ ඇසින් ගිලිහුණ කඳුළක් මගේ හිස් මුදුන සීතල කළේ ය. 

අප බදුල්ල රෝහලට යන විට මුණිවර ව දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවට මාරු කොට තිබුණේ ය.  මුණිවර ගේ පවුලේ සියලු දෙනා පිවිසුම් දොරටුව ළඟ බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන සිටියහ. ඒ රෝගීන් බලනා හෝරාව වූයෙන් අප සියලු දෙනා වාට්ටුව වෙත ගියේ එකට ය. මගේ හද ගැස්ම වේගවත් වී තිබිණ. මුණිවර ගේ අනතුරින් පසු රෝහල් කොරිඩෝර දිග ඇවිද යන වාරයක් පාසා ඒ ගැස්ම විශේෂයෙන් දැනෙන්නේ ය. දහස් ගණනක් පිය ගැටෙනා හඬවල් අතරේ මගේ පිය හඬ මගේ ම පපුවේ වැදුණේ හිත කීරි ගැහෙනා ගුප්ත හැඟීමක් දනවමිනි.

අප සියලු දෙනා ගේ හිත් වල කියන්නට කතා බොහොමයක් වන්නට ඇත. නමුත් අප කිසිවෙකු ට ඒවා පිටතට දමන්නට වචන තිබුණේ නැත. හැඟීම් වලින් හිත් පිරුණ විට එහෙම ය. කතා කරන්නේ ඇතුළු හිත් වලින් විතර ය.

මුණිවර ගිලන් යහනෙහි වැතිර සිටියේ ය. ඔහු ගේ නෙතු පියවී තිබුණේ ය. අම්මා විගස ඔහු වෙත සමීප ව ඒ හිස හා මුහුණ පිරිමැද්දා ය. ඒ ස්පර්ශයෙන් ඔහු නෙතු හැර බැලුවේ ය.

“අම්..ම..”

දෙවියනි මගේ හිතට දැනුණ සැනසිල්ලක්! අම්මා සිය පුතනුවන් ගේ හිස වැළඳ සිප ගත්තා ය. ඇගේ කඳුළින් ඔහු ගේ මුහුණ තෙත් බර විය.

“මගෙ පුතා…දෙයියනේ මගෙ හිතේ ඇවිලිච්ච ගින්දරක්…ඒ ගින්දර නිව්වට දෙයියන්ට පින් සිද්ද වෙන්න ඕන. තාත්ත කෙනෙක් වගේ අපි හැමෝවම බලා ගත්ත දරුව…මගෙ පුතාව දෙයියො බලා ගන්නව”

“ලොකු තාත්තෙ”

ඔහු ගේ ඇස් වල ආදරය දිලිසිණි. මම ස්නේහයේ මාහැඟි හැඟීම් වලින් යුතුව පසෙකට වී බලා සිටියෙමි. ලොකු තාත්තා මුණිවර ගේ හිස පිරිමැද්දේ ය. ඔහු වේදනා සාගරය තරණය කරමින් සන්තුෂ්ඨියේ වරායෙහි නැංගුරම් ලමින් සිටියේ ය.

“හැම දේම සිද්ද වෙලා ඉවරයි රජ්ජුරුවො. දෙයියො අපේ දිහා බලං හිටිය. අපේ පවුලෙ මොකක් හරි පාප කර්මයක් තිබුණනං අන්තිමට ඒකට උත්තර දෙන්න වුණේ උඹට. ඒත් දෙවියො උඹත් එක්ක හිටිය. දැං ඉතිං ඒ ඔක්කොම ඉවරයි”

“ලොකු තාත්තෙ…මොකද්ද වුණේ..ඇයි මං මේ හොස්පිට්ල් එකක..”

“රජ්ජුරුවො ඇක්සිඩන්ට් වුණා. සති දෙකක් විතර සිහිය නැතුව හිටියෙ. අර කා ල කන් නි බල්ලො හැදුවෙ රජ්ජුරුවන්ටත් ඒ දේම කරන්න. ඒත් දෙවියො රජ්ජුරුවන්ගෙ පැත්තෙ හිටිය. ඌ යන්න ගියා”

“මට මතක නෑ”

“ඒව මතක් කරන්න මහන්සි වෙන්න ඕන නෑ. අපි ඒව අමතකම කරල දාමු. දැං ඉතිං උඹ ජීවිතේ පටං ගනිං කොල්ලො. මං ඉන්නව උඹට. අපි ඉන්නව උඹට…”

ඔහු නංගිලා සමග ද කතා කළේ ය. මිස්ට් ෆීල්ඩ් ගැන විමසා සිටියේ ය. නමුත් මා පුදුමයට පත් කරමින් මා කෙරේ ඔහු හැසිරුණේ නාඳුනන කෙනෙකු ගාණට ය. මට අමුත්තක් දැනිණ. මා ඔහු ගේ මුහුණ දෙස බැලී ද ඔහු ඉතා සරල ලෙස මා මගහැරියේ ය. හරියට එදා මුල් ම වතාවට බොරලන්දෙ අවන්හලකදී දුටු අවස්ථාවේ සේ ම මා මගහැර ඉවත බලා ගත්තේ ය.

“මන්දාකිණී…එන්න පුතේ කතා කරන්න”

මුණිවර ගේ මව් මා සිය අතකින් අල්ලා ගිලන් යහන ඉහත්තාවට ගනිත්දීත් මා සිටියේ ගල් ව යන්නට පටන් ගෙන ය. ඒ තැතිගැන්ම වෙනත් එකකි. වෙනස් එකකි. හද දවනා එකකි. කඳුළු වාෂ්ප කරවනා එකකි.

“කවුද මෙයා..”

මට දැනෙමින් තිබි සියල්ල විසින් ඒ වචන දෙකත් සමග මා තුළ ම මා නො දන්නා අගාධයක මා ගිල්වා දමන ලදී. කඳුළු උල්පත් දිය වී ගලන්නට පටන් ගති. මම අත් දෙකෙන් මුව වසා ගතිමි. විදුනි මා වත්තන් කර ගත්තා ය. වාට්ටුව දෙදරා යන තරම් හයියෙන් කෑ ගසා හඬන්නට මට උවමනා විය. නමුත් ඉකිය උගුරේ හිර වීපතිබුණා මිස පිටතට ආවේ නැත. 

“මන්දි…මන්දි..මන්දි…”

විදුනි මගේ කම්මුල් වලට යන්තම් ගැසුවා ය. පොඩි නංගී වතුර ටිකක් මගේ මුහුණට ඉස්සා ය. නමුත් මා සිහිසන් ව සිටියා නොවේ. එනමුත් මම සිහිය තුළ ම හිරිවැටී සිටියෙමි. 

“ඩොක්ටර්…”

ලොකු තාත්තා වාට්ටුව දෙවනත් වන්නට කෑ ගැසුවා ඇසිණි. වෛද්‍යවරයෙකු යහන වෙත එනවා ද පෙනුණේ ය.

“මේ පුතා බඳින්න හිටිය ගෑනු ළමය ඩොක්ටර්..ඒත්..ඒත් දැන් මෙයා අහනව මේ කවුද කියල..අනේ මොකද්ද ඩොක්ටර් මේ වෙලා තියෙන්නෙ…”

විදුනි ගේ දෑත් අතරින් රූටා මා බිම හිඳවිණ. දෙදණහිස් අතරේ මුහුණ හොවා ගෙන මම ඉකි ලමින් හඬන්නට පටන් ගතිමි.

“මෙයාට අනිත් අයව මතකද..”

වෛද්‍යවරයා විමසනු ඇසිණ.

“ඔව් ඩොක්ටර්..අපි පවුලෙ අය. හැමෝවම අයිය අඳුරගෙන කතා කළා. ඒත් එයාව බඳින්න හිටිය මන්දාකිණීව…”

“ලොකු නංගි මොනාද ඔය කියන්නෙ…මං කොහොමද ඒ ගෑනු ළමයව බඳින්න හිටියෙ…මං එයාව දැක්කෙත් දැන්නෙ”

මුණිවර ඔහු ට පුරුදු දැඩි ස්වරයෙන් විදුනි ට තරවටු කළේ ය. එවර ඇය වෛද්‍යවරයා සමග මුණිවර ගේ යහන ළඟින් තරමක් ඉවතට ගියා ය. මම නැගිට ඔවුන් වෙත ගියෙමි.

“කොච්චර කාලයක් වෙනවද එයාලගෙ ආස්සරේට…”

“තාම…ටික කාලයයි ඩොක්ටර් අඳුරගෙන..අෆෙයා එකක් ඇති වෙලා නං බොහොම පොඩි දවසයි”

“ම්…සමහර විට ඇක්සිඩන්ට් එකෙන් වෙච්ච කම්පනේ නිසා මෙයාගෙ බ්‍රේන් එකේ මෑත මතකයට අදාල කොටසකට ඩැමේජ් වෙලා ඇති. මතකය කෙටි කාලීනයි දීර්ඝ කාලීනයි කියල කොටස් දෙකකට බෙදෙනව. කෙටි කාලීන මතකයෙන් දීර්ඝ කාලීන මතක ගබඩාවෙ තැන්පත් වෙන කොටස් වලට අදාල මතකයට තමයි මට හිතෙන විදිහට එහෙනං ඩැමේජ් වෙලා තියෙන්නෙ”

“අනේ ඩොක්ටර්…මුණිවරට ඒ දේවල් ආයෙ මතක් වෙන්නෙ නැද්ද…”

මා ඇසුවේ බිඳුණු හඬිණි. ඒ ස්වරය තුළ වේදනාව අධි සාන්ද්‍ර ගත ව තිබුණේ ය. මගේ කොපුල් තලා දිග කඳුළු ගලා ගියේ ය. තරුණ වෛද්‍යවරයා මදෙස බැලුවේ කරුණාවෙනි.

“එහෙම හරියටම කියන්න බෑ. මේ විදිහට ඇක්සිඩන්ට් නිසා බ්‍රේන් ඩැමේජස් වෙච්ච ගොඩක් අයට මේ දේට මූණ දෙන්න වෙලා තියෙනව. සමහරුන්ට ඉක්මනට ඒක හරියනව. සමහරුන්ට හරියන්න කල් යනව. ඒ වගේම කම්පනයක් වගේ දේකින් එක පාරටම මතකය ආයෙ එන්නත් පුළුවන්. සමහරුන්ට ඒ නැති වුණ මතකය ආයෙ ඇති වෙන්නෙම නෑ. පේශන්ට් ට ළඟින් ඉන්න අය ටිකක් මහන්සි වුණොත් එයාගෙ මෙමරි එක රිකවර් කර ගන්න බැරි වෙන එකක් නෑ. අපි බලමු හෙමිහිට..මෙයාට කොච්චර දුරට දේවල් මතකයෙන් ගිලිහිලාද කියල…ම්…”

වෛද්‍යවරයෙකු වශයෙන් ඔහු ට ඒ තවත් එක් රෝගියෙකු පමණ ය. නමුත් මුණිවර වූ කලී මට මගේ ඉදිරි අනාගතය ම ය. මා ඒ තරම් අවාසනාවත් වූයේ කෙසේ ද? ඔහු ට මා ගැන මතකය ම ගිලිහී ගියේ ඇයි? 

අඩු තරමින් මට ඔහු දෙස බලන්නට තරම් අනුබලයක් ඔහු ගෙන් නො ලැබිණ. ඔහු ගේ අය අතරේ දී මා ඔහු ගේ කවුරුත් ම වූයේ නැත. ඒ වගේ දෙයක් දරා ගැනීම පහසු නැත. මා ඔහු ගේ මතකය යළි ගෙන දෙන්නේ කෙසේ ද? ඔහු ගේ ජීවිතයේ මා උන් තැන යළි ඔහු ට සොයා දෙන්නේ කෙසේ ද? මා ඔහු ගේ කවුරුන් දැයි ආයේ ඔහු ට සිහිපත් කරවන්නේ කෙසේ ද? ඔහු ට නැති ව ගොස් තිබුණේ මෑත කාලීන මතකය පමණකි. මට මගේ ජීවිතය ම අහිමි වී යන්නට යයි.

“දුක් වෙන්න එපා පුතේ..අපි එච්චර අවාසනාවන්තයො වෙන්න බෑ. අපි කොහොමහරි කොල්ලගෙ මතකෙ ආපහු අරගමු. ඒ මතකෙ නැතුවම ගියත්…අපිට කිසි දෙයක් අමතක නෑනෙ…ම්…දුව එක්ක අපි ඉන්නව. මං ඉන්නව”

ලොකු තාත්තා තදින් මා වැළඳ ගත්තේ ය. මුණිවර ගේ අම්මා ද නංගිලා ද මගේ පසෙකින් මගේ හිත හදමින් සිටියහ. කඳුළු ටිකක් වැටුණ බව ඇත්ත ය. නමුත් මම ඒ මොහොත තුළ ම හිත සවිමත් කර ගතිමි. මට බොහෝ දේ ඉතා පහසුවෙන් ලැබුණේ ය. මගේ ප්‍රථම ප්‍රේමය ම මම දිනා ගතිමි. ඉරණම ඇතැම් අවස්ථා වල අප පරීක්ෂා කිරීමට සිතයි. පහසුවෙන් ලබා ගත් දේ සන්තකයේ තබා ගන්නට මට කෙතරම් ශක්තියක් ඇත්දැයි පිරික්සා බලන්නට දෛවයට ඕනෑ වන්නට ඇත. මම ඊට අභියෝග කරන්නට සිතා ගතිමි. මුණිවර ගේ මතකයත් සමග මම සටන් වැදෙමි. ඔහු ගේ ජීවිතයේ මට තිබූ තැන මම කෙසේ හෝ යළි ලබා ගමි.

මුණිවර ගේ පවුලේ හැම කෙනෙක් ම මා ඔහු ගේ පෙම්වතිය බව ඔහු ට ඒත්තු ගන්වන්නට උත්සාහ කළෝ ය. නමුත් කිසි සේත් ඔහු ඒ පිළිගත්තේ නැත. අම්මා ඔහු ට ධාරා ව යෝජනා කොට ඇති බවත් කැමැත්තක් කර ගන්නට අම්මා ට ඉඩ දුන් බවත්, ඒ මිස ඔහු ට පෙම්වතියක නොමැති බවත් ඔහු පුන පුනා කීවේ ය. ධාරා ඇගේ මවත් සමග මුණිවර බලන්නට රෝහලට ආවේ මා ද එහි ගොස් සිටි වෙලාවක ය.

“ධාරා ලංකාවට ආවෙ පුතා නිසාමනෙ. කොහෙද ඉතිං..පුතා ඇක්සිඩන්ට් වුණානෙ”

ධාරා ගේ මව් එසේ කීවේ හිතා මතා ම එක් පරිච්ඡේදයක් මුණිවර ගෙන් වසන් කරමිනි. ඔහු ඈ දෙස බලා ආචාරශීලී සිනහවක් පා නිහඬ වූයේ ය. 

“ඉක්මනට සනීප වෙන්න මුණිවර. අපි ඔයත් එක්ක ඉන්නවනෙ..”

ඒ ධාරා ය. දුක නො හිතුණා කියන්නේ කෙසේ ද? මම දුක තුළ කරවටක් ගිලී සිටියෙමි. නමුත් දුක පයින් පාගා ගෙන මඳහසකින් ඔවුන් දෙස බලා සිටියෙමි.

“එතකොට මේ මන්දාකිණී කියන ගෑනු ළමය ගැන කියන කතාව..”

“මේකයි අභිශේක්. ඔයා අසනීප දවස් වල මිස්ට් ෆීල්ඩ් එකේ වැඩ ටික කරන්න ඕන නිසා අපි මන්දාකිණීව වැඩට ගත්තා. එයා හොඳට ඒ ටික කරගෙන යනව. ඒ නිසා ඔයාට වොරි වෙන්න දෙයක් නෑ. අපි සනීප වෙලා ඉතුරු දේවල් කතා කරමුකො”

ධාරා අප දෙසට ඇසක් වසා ඉඟිමැරුවා ය.

“දැන් ඕක කොච්චර හාර හාර කිව්වත් වැඩක් වෙන්නෙ නෑ. ඒකෙන් එයා තව තවත් කන්ෆියුස් වෙන්න පුළුවන්. ඒක නිසා දැන්ම අභිශේක් ට ඕක කිය කිය වද දෙන්නෙ නැතුව…අපි හෙමිහිට එයාට ඕක තේරුං කරවමු”

ධාරා ගේ ඒ අදහසට ඔහු ගේ මව් ද එකඟ වූ බවක් පෙනිණ. ඒ අනුව එයින් පසු මුණිවර ගේ වැඩි අයිතියක් ධාරා වෙත ලැබුණා කියා සිතමි. ඇය වූ කලී ඔහු ට මතක අතීතයේ විවාහ වනු වස් ඔහු ට යෝජනා වී තිබි ගෑනු ළමයා ය. මුණිවර ඒ බව පිලිගත්තේ ය. ඔහු ඇය ව ප්‍රතික්ෂේප කළ මෑත අතීතය ඔහු ට මතක තිබුණේ නැත. මා ද සිටියේ ඒ අතීතයේ ය. දසුන් ද විටින් විට විත් මතකය යළි ළඟා කර දෙනු වස් මුණිවර ට යම් යම් දේ කීවේ ය. නමුත් ඔහු ට මතක නැති කතාවක් කියත්දී මුණිවර එය ප්‍රතික්ශේප කළේ දැඩි නො රිස්සුමකිනි. සැබවින් ම ඔහු ට ඒ කතා වදයක් ම වූයේ ය.

“මට හරි අවුල් නංගි. හැම දේම හොඳට සිද්ද වෙලා තියෙද්දි මේ වෙච්ච දේ…”

දසුන් මා ගැන කණගාටු වූයේ ය. 

“මං ලේසියෙන් පැරදෙන්නෙ නෑ අයියෙ. කොහොම හරි මං එයාගෙ මතකය ආයෙ ගන්නං”

මා සිනහ වූයේ මහා වැළපීමක් ආත්මය යට ඔබා ගෙන ය. නමුත් එය මා මට ම දුන් පොරොන්දුවකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles