සමහර හැඟීම් බවට වචන බවට පත්වූ විට ඒවා නැවත ආපසු ගැනීම කළ නොහැක්කක් බව හිමාෂාට සිතෙද්දී ඇගේ හැඟීම් වචන වී අවසන් ය.ඇය ගල් ගැසී ගියේ එනිසා ය.ඇයට රවිඳුගේ මුහුණ බලන්නට අපහසු විය.ඔහු තමන්ගේ වචන ඕනෑවටත් වඩා තේරුම් ගන්නට ඇති බව ඇයට සහතික ය.ඉඳුරාම සහතික ය.
“සමහර වෙලාවට අපට කරන්න වෙන දේවල් අමාරුයි තමයි.ඒත් ඒ දේවල් තමයි ඒ මොහොතේ කරන්න තියෙන හොඳම දේ.”
රවිඳු ඈ පැවසූ දේ ගැඹුරට තේරුම් නොගත්තාක් මෙන් එසේ පවසන්නට ප්‍රවේසම් වූයේ ය.නමුත් හිමාෂාට තද හිත් පීඩාවක් විණ.බොහෝ දේ සිදුවන්නට පෙර ජීවිතයේ අප්‍රමාණ කම්කටොළු බෙදාගන්නටත් අතිශය සංකීර්ණ මොහොතක පවා උස් සිනාවකින් සියල්ල අමතක කර දමන්නටත් ඇය අසල පාරමී සිටියා ය.මහර මිත්‍රත්වයන් අරඹන තරමේ සුන්දරත්වයකින් අවසන් නොවීමේ පාඩම උගන්වමින් ඇය හිමාෂාගේ ජීවිතයෙන් නික්ම ගොස් තිබුණේ විශාල ගැටළු ගොන්නක් ද ඇති කරමින් ය.
“සහන්ගෙන් පස්සෙ මං ආයෙමත් බැඳීම් කියන දේවල් මොනතරම් බොරුවක්ද කියලා හිතන්න පටන් ගත්තා.මං ළඟ වෙනසක් නැතුව ඉදියි කියලා මට හිතෙන්නේ මගේ දූයි අම්මයි විතරයි.නංගිට වුණත් එයාගෙම කියලා ලෝකයක් හදා ගන්න දවසක් එයි.”
රැවටීම් සහ පාවිච්චි කිරීම් ප්‍රේමයට පමණක් පොදු නොවේ. මිත්‍රත්වයක් තුළ පාවිච්චි කිරීමට ලක් වූ විට එය දරා ගැනීම ඉතා අපහසු කාරණාවකි.ඇතැම්විට ආදර සම්බන්ධයක් තුළ හිඳිනවාටත් වඩා පුද්ගලයන් නිදහසේ හැසිරෙන්නේ මිතුරන් සමඟ ය.රිසි පරිදි කාරණා බෙදාගනිමින් මිත්‍රත්වය සදහට ම පවතිනු ඇති බවට විශ්වාස කරන්නට තමන් පෙලඹී සිටි අන්දම හිමාෂා සිහි කළා ය. නමුත් ඒ බැඳීම ද අතීතයට එක් වී අවසන් ය.
“ඔයාගේ නංගි හරි හොඳ කෙනෙක්.ලෝකෙම ඔයාගේ නැති වෙලාවටත් එයා ඉතුරු වෙයි කියලා මං හිතන්නේ.”
අක්කා වෙනුවෙන් තමන් මුණගැසෙන්නට නැගණිය ගැන සිහිකර රවිඳු එසේ පැවසුවා ය.තමන්ගේ වැඩිමහල් සහෝදරයා වෙනුවෙන් තමන් ගන්නට පැකිළුණු පියවර අමායා ඇගේ අක්කා වෙනුවෙන් ගනු ඇතැයි ඔහුට සිතුණේ එදා ඇගේ ආගමනය නිසා ය.බැඳීම් නිත්‍යානුකූල වීම හෝ රුධිරය මත බැඳී තිබීම ප්‍රමාණවත් නොවේ. හදවතින් අල්ලා ගන්නා තරමට බැඳීම් සුරක්ෂිත වේ.
“ඔව් මට එයාව එහෙම විශ්වාස කරන්න පුළුවන් තමයි.පාරමී එක්ක ජීවිතේ ගොඩක් දේවල් බෙදාගත්තට මගේ ජීවිතේ තියෙන ලොකුම රහස එයාට නොකිය නංගිට කියපු නිසා මං සතුටු වෙනවා.”
හිමාෂා එසේ කියද්දී රවිඳුගේ මුහුණේ සිනහවක් මතුව ආවේ ය.ඇය මේ පවසන්නේ තමන්ට ආදරය කිරීම ගැන ය.ඒ ආරංචිය රැගෙන අමායා තමන් වෙත පැමිණි වග හිමාෂා දන්නවාදැයි විමසන්නට රවිඳුට උවමනා නොවිණ.නමුත් තමන් අද දවස පුරා විවිධ අභූත චෝදනා දරා ගනිද්දී ඇගේ දෑසේ තැවරුණු වේදනාව ඒ ආදරය වෙනුවෙන් බව ඔහු හොඳින්ම දැන සිටියේ ය.
“පාරමීව අමතකම කරන්නකෝ, එයාව දැන් අපිට වැඩක් නෑනෙ.එතකොට අමායාවත් පොඩ්ඩකට පැත්තකින් තියන්න.මං අසනීප වෙලා ඉන්නකොට ඔයා මට පොරොන්දුවක් දුන්න මතකද?”
පොරොන්දුවක් ලෙහෙසියෙන් අමතක කර දැමිය යුතු නොවේ.මතක් කරන්නට ඉතා අසීරු බව හඟවමින් විනාඩි කිහිපයක් නාස්තිකර දැමුවාට හිමාෂාට ඒ පොරොන්දුව ඉතාමත් හොඳින් සිහියේ තිබිණ. ඈ ඔහුගේ හොඳම මිතුරිය වන්නට පිළිණ දුන්නා ය.
“හරි මං ඔයාගේ හොදම යාලුවනම්,ඔය ලොකු රහස මට කියන්න බැරිද?”
ආදරය ප්‍රකාශ කරන්නට සෑම මොහොතකම පිරිමියා පෙරට ආ යුතු නැති බව හිමාෂා සිතුවා ය.ඔහු ද හිඳින්නේ ප්‍රේමයෙන් නම් මේ ආදරය ගැන ඔහුට කියන්නට මැලි විය යුතු නොවේ.ඇය ධෛර්යය ඇත්දැයි පිරික්සා බැලුවා ය.ජීවිතයට අවශ්‍ය හොඳම දේ ලබා ගැනීමේදී පසුබැසිය යුතු නැති බව උගත්තේ පාසල් කාලයේදී ය.ඇය මේ මොහොතේ එය ක්‍රියාත්මක කරන්නට සිතුවා ය.
“ඕනනම් මට කියන්නත් පුලුවන්.”
එහෙත් රවිඳු ඇය වළක්වමින් වහා අත දිගු කළේ ය.ඔහු එය වළකා ගත් වේගය ඇගේ සිත කැබලි දහසකට කඩා දමන්නට සමත් විය.ඔහු ප්‍රතික්ෂේප කරන්නේ නම් එය පවසන්නට ඇයට උවමනා නොවේ.
“එපා.ඒ වගේ රහසක් මේ වගේ කේලංකාරයොයි ඉරිසියාකාරයොයි පිරුණු කිසිම ලස්සනක් නැති තැනක කිව්වා කියල ඔයාටම පස්සෙ දුක හිතේවි.”
ඒ සිනහව හිමාෂාගේ හදවත නැවත පණ පිහිට වන්නට සමත් වූයේ ය.ඇය නිදහස්ව ඔහුගේ සිනාවට එක් වූවා ය.