තද කුස ගින්නක් දැනෙමින් තිබි නිසා අපරාජිතා ඉක්මනට ඒ නූඩ්ලස් එකෙන් අඩකට වඩා හිස් කළා ය. අත සෝදා ගෙන සසංක ට ‘තැන්කූ’ යනුවෙන් වට්සැප් පණිවිඩයක් තැබුවා ය. එය බලාපොරොත්තුවෙන් ම නිදි වර්ජිත ව චිත්‍රපටයක් බලමින් උන් සසංක ට ක්ෂණික සිනහවක් නැගුණේ ය. නමුත් ඔහු ප්‍රශ්නාර්ථ ලකුණක් යැව්වේ නැත. ඒ ස්තූතියට හේතුව ඔහු දැන සිටියේ ය. කෙසේ වී ද ඊළඟ මොහොතේ, අඩක් නිම කළ නූඩ්ල්ස් පාර්සලයේ සේයා රුවක් ආවේ ය. නැවතත් අර සිනහව ම ය.
“ඔක්කොම කන්න තිබුණා”
ඔහු කියා යැව්වේ ය. අපරාජිතා මඳ සිනහ මුහුණක ඉමෝජියක් එව්වා ය. එපමණි.
සසංක ලැප් ටොප් එක ක්‍රියා විරහිත කොට ඇඳට වැටුණේ ය. රාත්‍රියේ ඇය කෑමක් සදා ගන්නේ නැති බව සිහි වී, ඔහු ට ගන්නා ගමන් සසංක අපරාජිතා ට නූඩ්ල්ස් එකක් ගත්තේ ය. ඔහු මතු මහලට එන විටත් දොර ජනෙල් හැර දමා තිබිණ. ආලින්දයෙන් කුඩා කොරිඩෝරයක් ඔස්සේ පැන්ට්‍රියට යා යුතු ය. එක ම නිදන කාමරය වන්නේ ඒ කොරිඩෝවෙන් දකුණු පැත්තේ ය. සසංක දොරට තට්ටු කළ ද හාවක් හ්ම්වක් තිබුණේ නැත. ආලින්දයේ ඇය නොවුණෙන් ද එහි මේසයක් හෝ කෑම එකක් තැබිය හැකි තැනක් සෝෆාව හැරුනු කොට නො තිබුණෙන් ද සසංක දෙගිඩියාවකින් කුස්සියට ම ගියේ ය. දොර වසා හෝ තිර රෙද්දක් දමා නො තිබි කාමරය පසු කරත්දී සසංක ගේ ඇස් යන්තම් එදෙසට හැරිණ. අපරාජිතා යහනෙහි වැතිර ඇස් විවර කොට ගෙන සිවිලිම දෙස බලා උන්නා ය. සසංක වහා ඉදිරියට ඇස් හරවා ගෙන කුස්සියට ගියේ ය.
“නූඩ්ල්ස් එකක් ගෙනාව. කාල නිදියන්න”
කියා ඔහු කීවේ එය තබා යළි ආලින්දයට විත් ය. ඒ එන අතර මගදී ඔහු කාමරය දෙස බැලුවේ නැත. එහෙම කරන්නට ඔහු ට ඕන වුණේ ම නැත.
සසංක නිදි නැතිව චිත්‍රපට බලමින් සිටියේ අපරාජිතා මතු මහලේ දොර ජනෙල් වසා නො තිබි නිසා ය. ඇය සාමාන්‍ය තත්වයට පත් වූ පසු වට්සැප් පණිවිඩයක් පැමිණෙන බව ඔහු ට ඉවෙන් වාගේ දැනිණ.
කෙසේ වතුදු අපරාජිතා සාමාන්‍ය තත්වය ට පත් ව සිටියේ නැත. මේ රළ පහර ඇය ට පුරුදු ය. ඒ දුක ද බය ද පීඩනය ද යන සියල්ල ඇය ට පුරුදු ය. ඒ තුළ ට වැටී හිඳ, එයින් හෙම්බත් ව ඉවුරට වී බලා හිඳීම ඇගේ දෙවන පියවරයි.
වෙනසක් නැත. අතීතය යළි යළිත් සිදු වේ!
මෙහෙම දවස් වලට නින්ද යන්නේ නැත. නින්ද යනු මේ වාගේ මාරක ප්‍රහාර වලදී දිව ඔසුවක් වී ද නින්ද යන්නේ නැත. එතකොට යහන් ගත ව සිටීම ද වදයකි. ඒ වදය හිතට ද ගතට ද අප්පිරියාවක් වූ කල ඇය නැගිට ගත්තා ය. දොර හැර ගෙන බැල්කනියට ගියා ය. ඝණ අඳුරකින් ඈ ඉදිරියේ වන සියල්ල වැසී ගිහින් තිබිණ. නමුත් තත්පර කිහිපයකදී ඇය ඒ අඳුරට හුරු වූවා ය.
තව ම ප්‍රභාතය උදා වී නැත!
අහස් කුස ඝණඳුරු සීතල සළුවක් පොරවා ගෙන සිටී. රාත්‍රිය තියෙන්නේ තුරුලු වී නිදන්නට ය කියා සිතන්නා සේ ගහ කොළ නිසල ය. රඹුටන් ගහේ කොළයකුදු නො සලන්නට වග බලා ගත් සුළඟ අසීරුවෙන් එක තැනක නතර වී හිඳී. තව ටික වෙලාවකින් අහස ලා අඳුරු පැහැයකට හැරෙන්නට ගති. අපරාජිතා ඇස් පිය නො සලා බලා සිටියා ය. මඳක් විවේක ගත් විශ්වයේ නෑඹුල් සුවඳ මේ මොහොතේ මිහි මඬලින් ද ආකහෙන් ද ගහ කොළින් ද හමයි. ඒ වෙලාවට තද නින්දේ නිසා මිනිස්සු වැඩිපුර ඒ සුවඳ හඳුනන්නේ නැත. අහස ඒ අතරේ සුදු පැහැයකට හැරෙන්නට විය. ක්‍රමයෙන් ලා සුදු පැහැය තද සුදක් බවට පත් විය. ප්‍රභාතය උදා වූ සතුට අපරාජිතා රහසින් අත් වින්දා ය.
ඉන් පසු පෙරඹර ලා නිලකට ද එය තද නිලකට ද වශයෙන් වර්ණ පෙරළියක් සිදු කළේ ය. ඈතින් කුකුළෙකු ගේ ගාම්භීර හඬලෑමක් ඇහිණ. අරුණෝදය උදා වූ බව හෙතෙම නිල වශයෙන් ලෝකයට දැනුම් දුන්නේ ය. අපරාජිතා ට සැනසුම් සුසුමක් හෙළිණ.
නින්ද යන්නේ නැති මිනිසෙකුට රාත්‍රිය තරම් භයානක කාලයක් වෙන නැත්තේ ය!
අනන්‍යා ඇගේ ජීවිතය මත සිදු කර ගත් දේ ගැන නො සිතා ඉන්නට අපරාජිතා ට අවැසි විය. වේදනාවන් හදවත ගැඹුරට ම වැද තුවාල හා කැක්කුම් ඇති කරන හැම වෙලාවක ම අපරාජිතා ඒවාට එහෙම ම තිබෙන්නට හැර කුමක් හෝ වෙන අරමුණක සිත යෙදවීම පුරුද්දක් කර ගෙන සිටියා ය. අරවින්ද හිතට වද දෙත්දී අනන්‍යා වෙනුවෙන් ජීවත් වීම එබඳු ව්‍යායාමයකි. එතකොට කාලයත් සමග තුවාල මත්තේ කබොලක් බැඳේ. එය ද සැලකිය යුතු ආරක්ෂක කවචයකි. තුවාල තිබුණාට පෑරෙන්නේ නැත්නම් ඒත් ලොකු දෙයකි!
උදේ ම දේශිකා ජය පාරේ අපරාජිතා ගේ ගෙදරට දිව ගෙන ආවා ය. සෙනසුරාදා නිසා ඇය ට නිවාඩු තිබුණේ ය. අපරාජිතා ඔය තරමට සන්සුන් ව සිටින්නේ ඉතා ම තද කුණාටුවකට හසු වීමෙන් පසු ව බව දේශිකා දනී.
“මං කිව්ව ඔය ළමයව ඕනවට වඩා හුරතල් කරන්න එපා කියල. ඔයා තමයි අනන්‍යාව නරක් කළේ. එයාට හිතන්න තිබුණා අම්ම ගැන. එයා කොහොමත් හැදුනෙ සෙල්ෆිශ් ගෑනු ළමයෙක් වගේ. තනියම හැදෙන ළමයි එහෙමයි කියල අපි දන්නවනෙ. අම්මල තාත්තල ඒ ළමයිව හදන්නෙ ලෝකෙ ඉන්න එකම ළමය වගේනෙ. එතකොට ඒ ළමය හිතන්න ගන්නව මට වඩා වැදගත් කෙනෙක් මේ ලෝකෙ නෑ කියල. මං කරන දේ හරිම දේ කියල. සැර කරල පාරක් ගහල හැදුවෙ නෑනෙ. ඇඟේ කෑල්ලක් වගේ තුරුල් කරං හිටිය. තාත්ත කරපු දේ අම්මට කොහොම නරකට බලපෑවද කියල එයා දන්නව. එයා පොඩි ළමේක් නෙවේනෙ. හිතන්න තිබුණ. අම්මට ජීවිතේම එයා කියල නොදන්නව නෙවේනෙ. මිනිහෙක් එක්ක ඇඳකට නගින්න ඔය තරං හදිස්සයියක්ද…”
“එයා නරක ළමේක් නෙවෙයි”
අපරාජිතා වහා මැදින් පැන දේශිකා ට බාධා කළා ය.
“එක්කො කරන මගුලක් කර ගන්න එපෑ එහෙට වෙලා සද්ද නැතුව. මේ ගෑනිගෙ කනේ තියන්නෙ නැතුව ඕක”
සැබවින් අපරාජිතා තරමට ම දේශිකා ට ද රිදී තිබුණේ ය. අනන්‍යා දේශිකා ඇමතුවේ පුංචි කියා ය. දරුවෙකු කුසින් නො වැදූ ඇය ට අනන්‍යා දැනුණේ ඇගේ ම දියණිය සේ ය. රෝහලේ සිට ගෙදරට ගෙනෙත්දී දෝතින් ඇය ගෙන ආවේ දේශිකා ය. නිවාඩු වෙලාවට දුව ගෙන ගිහින් ඇයත් එක්ක සෙල්ලම් කළේ දේශිකා ය. ඇයට බෙහෙත් විදින්නට අපරාජිතා එක්ක නයින්වෙල්ස් වෙත ගියේ දේශිකා ය. පුංචි අනන්‍යා රිදී හඬත්දී ඊට වඩා රිදීත් නො හඬා දරා ගත්තේ දේශිකා ය.
ඒ වුණත් ඇය කර ගත් යමක් වී නම් ඒ ඇගේ කැමැත්තට නිසා කේන්තියෙන් හෝ නිහඬ වෙන්නට ඇය ට පුළුවන. ඉවසන්නට බැරි අපරාජිතා එක පිට එක කුණාටු හා ටර්නාඩෝ වලට හසු වීමයි.
“එයා ඕන දෙයක් මට කියනව. ඉස්කෝලෙ ඇරිල ආපු වෙලේ ඉඳං ඉස්කෝලෙ දේවල් කියෝනව”
අපරාජිතා ඉසිහින් ආදරණීය ස්වරයකින් මිමිණුවා ය. ඇය ව ජීවත් කරවූයේ ඒ පුංචි හුරතල් කෙල්ල බව ඇය දනී. ඇයත් නො සිටියේ වී නම් ජීවත් වෙන්නට හේතුවක් නෑ කියා අපරාජිතා ට දැනෙන්නට තිබිණ.
උසස් පෙළ පන්තියේ දී ප්රේමාරාධයක් කරමින් පසුපස හඹා ආ කොල්ලෙකු ගැන ද අනන්‍යා අපරාජිතා හා කීවා ය.
“හිත රිදෙන මොනාත් ඒ ළමයට කියන්න එපා”
අපරාජිතා එසේ කීවේ ඇයගෙන් මුලින් ම ප්‍රේමය විමසූ, කැමැත්තක් වාගේ හැඟීමක් තිබියදීත් ඇයගෙන් ප්‍රතික්ෂේප වූ, පසුව ලියුකේමියාවෙන් මිය ගියායි ආරංචි වී සිය හද මත සදාතනික පසුතැවීමක් ඉතිරි කළ කෙට්ටු උස පිරිමි ළමයා සිහි වී ය.
“ඔයා එයාට කැමැත්තක් තියනවනං…විභාගෙ ඉවර වෙනකල් ඉන්න කියන්න”
අම්මා කෙනෙකුට පහසුවෙන් කිව නො හැකි දෙයක් වී ද, දුව ගේ ප්‍රේමය ඉදිරියේ විවෘත මනසකින් කටයුතු කරනු විනා සම්ප්‍රදායික මවක වන්නට නො රිසි වූ නිසා ම අපරාජිතා කීවා ය.
“මොන කොල්ලොද අම්මි…මට ඕනැති කොල්ලෙක් නෑ”
ඇය එසේ කීවේ ඉතා ම සරල ලෙස ය.
අපරාජිතා ලොකු හුස්මකින් පපුව පුරවා ගත්තා ය.
ඇගේ ජීවිතය වූ කලී සැඩ කුණාටුවකට හසු ව රුවල් බිඳුණ ඔරුවක් ය. යාත්‍රා කරන්නට හෝ නැංගුරම් ලන්නට නිශ්චිත දිශාවක් ඈ දැන සිටියේ නැත. එක ම අරමුණ වූයේ ඒ ඔරුව තුළ ගුලි වී හිඳිනා අනන්‍යා නමැති කුහුඹු කෙල්ල ව සුරක්ෂිත ගොඩබිමකට ඇරලවන එක පමණ ය. ඒ වෙනුවෙන් ම ඇය ජීවිතය සමග අනුරාගයේ බැඳුණා ය. එය කෙතරම් ලොකු වේදනා පැමිණවී ද ප්‍රේමය ම ඇගේ පිළිතුර විය. අරමුණ ද විය. ප්‍රාර්ථනාව ද විය.
අපරාජිතා ගේ මුවග මිමිනුණ ප්‍රේමයේ නිබ්බුත ගාථාව අනන්‍යා වූවා ය!
එදා දවල් ඇය සිය මාතෘ භූමි දූපතෙන් එපිටදී සොයා ගත් සහකරු සමගින් ගත් සේයා රුවක් අම්මා ට එව්වා ය. දේශිකා කට කොනකට සිනහවක් නගා ගත්තා ය.
“ඕන්නං අරවින්දට වඩා අවුරුදු තුන හතරක් බාල ඇති”
අපරාජිතා හ්ම් කීවේ නැත. මන්දස්මිතයක් දෙතොල් අතරේ පිපෙන්නට හැරියා විතර ය. නමුත් ඒ මඳහස ඉකි බිඳ බිඳ හැඬුවේ ය.
“අරවින්ද එයාගෙන් දුරස් වුණ එක එයා පියවගත්ත හැටි තමයි ඒ”
අවසන ඉතා මන්ද්‍ර ස්වරයකින් මව් තොමෝ සිය සුසුම විශ්වය හා මුහු කළා ය. දරුවන් වෙනුවෙන් දරා ගැනීම වූ කලී සියල් ආකාර වල දරා ගැනීම් වලින් සමන්විත විය හැකි බව අපරාජිතා අලුතෙන් ම උගනිමින් සිටියා ය.
“මගෙ යාළුවෙක් ගෙ ගෙයක් තියනව පාදුක්ක පැත්තෙ…ටිකක් ඇතුළට වෙන්න…ඒ පිටිපස්සෙං ඇලක් ගලං යනව. අර කානුව ළඟ තිබුණට වඩා ලස්සන අමුතු ෆර්න්ස් ජාතියි මොස් ජාතියි ඒ හරියෙ දිගටම තියනව. ඕන්නං ටිකක් අරං එන්න…එක්කං යන්න පුළුවන්”
දේශිකා ඉන්නා තැන ම සසංක ඒ වාගේ යෝජනාවක් කළේ අපරාජිතා ගේ මනස මේ සිටිනා තැනින් වෙන පැත්තකට යොමු කරන්නට හැකි නම් කියා සිතුණ බැවිණි. නමුත් ඇය ඒ වාගේ දේකට එකඟ වේවියි ලොකු බලාපොරොත්තුවක් නොතිබූ ඔහු මඳක් තැති ගන්වමින් අපරාජිතා ඊට එකඟ වූවා ය.
“මොස් ටිකක් හොයා ගත්තනං අලුත් ටෙරාරියම් එකක් කරන්න පුළුවන්. එකම ජාතිය හැම එකටම දැම්මමත් වැඩක් නෑනෙ”
දේශිකා ඇදෙස බැලුවේ සඟවා ගත් විශ්මයකිනි. පාසි හා මීවන උවමනා වී ද ඇය සසංක ගේ යෝජනාවක් පිළිගනීවියි දේශිකා කිසි සේත් බලාපොරොත්තු නොවූවා ය.
අපරාජිතා ට උවමනා වී තිබුණේ පිදුරු ගසකි. මේ වෙලාවේ ඇය එල්ලී ගන්නට සිතූ පිදුරු ගස වනාහි සසංක නොවේ. ටෙරාරියම් ය.
ජීවිතය කියන්නේ ගිනිහලක් බව ඇයට යළි යළිත් පසක් වෙමින් තිබේ. නිර්වාණ මාර්ගයක් අපරාජිතා ට දැඩි ව උවමනා වී තිබිණ. නමුත් පඬු පැහැ සිවුරු දරා ගිහි ගෙය අතැර භාවනානුයෝගී වෙනවාට වඩා, ගෙතුල සිට සිත සමාධිගත කිරීමේ භාවනාවක් ලෙස ඇය ට එය පෙනිණ.