(අ)හිමි සිහින -223

සුධාරක ගේ හත්දවසේ දානයට තව තිබුණේ දින කිහිපයක්. මම ඔහු වෙනුවෙන් අතීතයේ වගකීම් කළත් දැන් කරන්නට ඉතිරි වී ඇත්තේ යුතුකම්.ඇත්තටම පිරිසිදු සිතින් සහ සෙනෙහසින් ඔහු වෙනුවෙන් ඒවා කරන්නට ඉතිරි වූයේ ද මා පමණයි. ඔහුට ජීවත්ව සිටි කාලයේ ආදර කරුණාවක් නොදැක්වූ,නොසැලකූ,ජීවිතය බේරාගන්නට වත් කළ යුතු දේ නොකළ මිනිසුන් ලෝක මාන්නයට දාන දී කරන පින්කම් වල පලක් ඇතැයි මා සිතන්නේ නැහැ.ඒත් එයට කමක් නැහැ.ඔහුට ඔහුගේ අනුරාධා ඉන්නවා.මගේ සිරුරේ හුස්ම තියෙනතුරු මා ඔහු වෙනුවෙන් පින්කම් කරනවා.

ඒ කාලවකවානුව තුල කොවිඩ් නීති රීති තදින් බලපෑ හෙයින් පින්කම් සඳහා නිවෙසට ගෙන්වා ගත හැකි වූයේ සීමිත පිරිසක් එහෙත් සුධාරකගේ ලබැඳියන් පාසැල් මිතුරන් ඔහුගේ ආයතනයේ විවිධ නිලයන් අසල්වාසීන් සහ ඔහුගේ මලගමට සහභාගී වන්නට නොහැකි වූවන් අයුරින් ඉතා විශාල පිරිසක් සහභාගී වන්නට තිබූ නිසා මට සෞඛ්‍ය පරීක්ෂක තුමන්ගෙන් විශේෂ අවසරයක් පවා ලබාගන්නට සිදු වුණා.

මම තනිවම ඔහුගේ පින්කම් සියල්ල ලස්සනට කිසිදු අඩුපාඩුවක් නොවන්නට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කළා.මගේ සුරතින් ගෙවල් දොරවල් පිරිසිදු කර වෙහෙස මහන්සි වී ඒ සියල්ල කළේ ඔහු ජීවමානව ඉන්නා කාලයේ ඔහූට සැලකූ ආකාරය මෙනෙහි කරමින්. පිනක් දහමක් හෝ තමන්ගේ ශ්‍රමය ධනය වැය කරමින් කරන කුසලයෙහි මහත්ඵල මහානිසංස ඇති බව මම දන්නවා.එයින් ලැබෙන්නේ අප්‍රමාණ මානසික සතුටක්.

මා මහපාරෙන් හැරී නිවසට එන්නට තිබුණු අතුරුපාර පටන් ගන්නා තැන සිට නිවස දක්වාම විදුලි බුබුලු වලින් වියනක් බැන්දවූවා.සුධාරක ආලෝකයට ඉතා කැමති කෙනෙක්.මේ නිවසේ ඇති විදුලි පහන් ගණන එයට හොඳම සාක්ෂියයි. සාමාන්‍යයෙන් නිවෙසකට අනවශ්‍ය තරම් විදුලි පහන් ගණනක් මේ නිවසේ තිබෙනවා.රාත්‍රී කාලයේ නිවසට එන අමුත්තන්ට මේ විදුලි පහන් සියල්ලම දමා පෙන්වා ඔහු කුඩා දරුවෙකු සේ සන්තෝෂ වුණා.

“මං කැමති නෑ මල්ලී අන්ධකාරෙට. ගෙයක් වුණාම හොඳට එලිය තියෙන්න ඕන”

ඔහු ඒ හැමවිටම පැවසුවේ එහෙම. එහෙත් එසේ තම දහඩිය මහන්සියෙන් තැනූ තමන්ගේ වහල යට ඔහූගේ මලකඳ තබාගන්නට ඔහුට වාසනාවක් ලැබුණේ නැහැ.ජීවිතය ගැන නිශ්චිතව නොතිබූ රණවිරුවෙකුට කොතැන මිහිදන් වෙන්නට ලැබුණත් එහි වෙනසක් නැහැ.අප වෙනුවෙන් වර්ගවාදී යුද්ධයට දිවි දුන් අය කීයක් නම් බෝම්බ වලට හසු වී කැබලි වී යන්නට ඇතිද? ඒත් මේ ඊට වඩා වෙනස් කතාවක්.රටේ නිදහසත් දිනාගෙන ජීවිතයත් බේරාගෙන නිරුපද්‍රිතව ආ සුධාරකට අනාගතය ගැන අහිංසක බලාපොරොත්තු තිබුණා.

මම හදාදෙන කෑමක් රස විඳ රූපවාහිනිය සහ පුවත්පතක් බලාගෙන වගා කටයුත්තක් කරගෙන නිවසට වී ආදරයෙන් ඉන්නට ඔහුට හීන තිබුණා.

“මං රිටයර් උනාම කොහේවත් යන්නෙ නෑ.මැණිකෙ හදන රසම රස කෑම කාලා පත්තරයක් පොතක් බලාගෙන මැණිකෙගේ ආදරය විඳ විඳ ගෙදරට වෙලා සැපේ ඉන්නවා”

අන්තිමේ දී ඒවා නිකම්ම නිකන් හීන පමණක් වුණා.ඒ නිසා ආදරය පෙන්වීමට හෝ කෙනෙකු සතුටින් සහනයෙන් තබන්නට කාලය එනතුරු ඉන්නට එපා.බොහෝවිට ඒ කාලය යළි කිසිදා නොඑන්නට පුලුවන්.මම සුධාරකට ආදරයෙන් පිරුණු ජීවිතයක් දෙන්නට මට හැකිවීම ගැන අද අපමණ සතුටු වන්නේ ඒ නිසායි.

ඔබ හිතන පතන දෑ ඒ ආකාරයටම ඉටුවේ යැයි කිසිදා සිතන්නට එපා.ඔබට ඔබ වෙනුවෙන් පෙනීසිටින්නට තවදුරටත් නොහැකිවූ තැන ඔබ වෙනුවෙන් කළ යුතු දේ එලෙසම අවශේෂ මිනිසුන් ඉටූකරාවි යැයි සියයට සියයක් බලාපොරොත්තු තබාගන්නට එපා.ජීවිතය සේම අනෙකුත් සියලුම දේ ද අනිත්‍යයි.කොටින් තමාගේ මලකඳ තමාගේ වහල යටට ගෙනයාවී කියාවත් සිතන්න එපා.ඔබේ ඇරුණු ඇසට සිදු නොවූ බොහෝ දේ ඔබේ වැසුණු ඇස ලඟදී සිද්ධවන්නට පුලුවන්.ඔබේ අවසාන කැමැත්තට හෝ ඔබට අවශ්‍ය දේ සිදුවන්නේ ඔබෙන් පසු ඉතිරිවූවන් ඔබට ඇත්තටම ආදර ගෞරව කළා නම් පමණයි.

සුධාරකගේ අයිතිය කොළයක තබාගත් සුධාරක ගේ මවටත් දිල්හානිටත් අවශේෂ නෑදෑයන්ටත් සුධාරක කියන මිනිසාගේ භෞතික වටිනාකමක් මිස මානුෂීය වටිනාකමක් ඇතැයි කිසිදා පෙනී තිබුණේ නැහැ

මම ඕනෑම තැනක ඕනෑ කෙනෙක් ඉදිරියේ කොන්ද කෙලින් තබාගෙන කියන දෙයක් තිබෙනවා

“සුධාරක මේ ජීවිතයේදී හරි හම්බකර ඉතිරිකරගත් එකම ධනය තමයි මගේ ආදරේ”

හැමදාටම වලංගු සත්‍යය එයයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles