නිබ්බුත ගීත -35

මදුරාපුර මැතිණිය ලෝචන හා මා අතරේ සම්බන්ධයට ආශීර්වාද කිරීමෙන් පස්සේ මැදුර තුළ හා ඒ වාසීන් තුළ මට ඇති වූ ඉඩ කඩ ගැන ඔබට කියන එක පමා විය. මා ඒ ගෙදර සාමාජිකයෙකු ලෙස පිළිගත්තා කියා වෙනත් කිසිවක ලොකු වෙනසක් වූවා නොවේ. අම්මා පුරුදු පරිදි එහි සේවයට ගියා ය. අම්මා ගේ ශරීරය දුර්වල වෙමින් ද ශක්තිය ක්ෂය වෙමින් ද තිබි හින්දා දැන් ඇයට ගෙදර නතර වන්නැයි මල්ලී කිහිප විට කීවේ ය. උසස් පෙළ කිරීමෙන් පසු සිය ව්‍යාපාරයට මූලිකත්වය දී කටයුතු කිරීම නිසා මල්ලී සැලකිය යුතු ආදායමක් උපයන්නට ඇත. ගෙදර විය හියදම් ගැන ලොකු මිනිසෙකු සේ ඔහු බලා ගන්නට වූයේ ය. මගේ අධ්‍යාපන කටයුතු වලට ද නිතර ම ඔහු මා අත මුදලක් තබන්නට පුරුදු වූයේ ය. එතකොට මගේ උගුර හිර වෙයි. මා ගෙතූ සිහින පෙරණය වාගේ ඒවා සාදා විකිණිය හැකි යයි කී පොඩි කොල්ලා ගේ ඇස් වල තිබූ ලොකු එළිය මට මැවි මැවී පෙනෙයි. 

“දැං මං එහෙ වැඩට යන එක නතර කළොත් අපි ඔළුව ලොකු කර ගත්තයි කියල කාට වුණත් හිතෙන්න පුළුවන්.ඒ මිනිස්සු වුණත් රහත් වෙලා නැති නිසා එහෙම හිතෙන්න බැරි නෑ. ඒක නිසා මං ඔන්න ඔහෙ තව ටික දවසක් වැඩට යනව”

තව දුරටත් මදුරාපුර මැදුරේ සේවයට යාම ගැන අම්මාට කියන්නට තිබූ නිදහසට කාරණය ඒ ය. ඉස්කෝලේ හතේ පන්තියට විතරක් ගිය, ලොකු උපාධි සහතික නැති, පත පොත කියවා නැති ඇයට තිබූ ඒ සමාජ අවබෝධය මා පුදුම කළ තරම් විය. ඒ වූ කලී සර්ව සාධාරණ ආත්ම අධිකරණයක් විසින් ලබා දුන් විශ්ව සාධාරණ තීන්දුවක් වන් දෙයකි. මම මගේ අම්මා ගැන ඉස්සරදීටත් වඩා ආඩම්බර වීමි.

අම්මා එක්ක ඉස්සර වාගේ නිතර මදුරාපුර මැදුරට දිව යන්නට දැන් මට නුපුළුවන. මධාරා අක්කා විවාහ වී නික්ම ගිය පසු මා එහි යන එක කොහොමටත් අඩු වූයේ අප අතර ඇති වූ සම්බන්ධය කොයි වෙලේ මදුරාපුර මැතිණිය ට ආරංචි වේවි ද යන මා කුළ වූ බිය හා මා එහි යනවාට අම්මා ගේ තිබූ අකමැත්ත ය. විශ්ව විද්‍යාලයීය අධ්‍යයන කටයුතු ඇරඹීමෙන් පස්සේ කොහොමටත් මට වැඩිපුර එහි යන්නට නිදහසක් වූයේ නැත. නමුත් මදුරාපුර මැතිණිය එදා අපේ ගෙදර පැමිණීමෙන් පසු උදා වූ සති අන්තයේ දී ඉරිදා උදයෙන් මම එහි ගියෙමි. ඒ කාලයකින් මැදුර හොඳ හැටි අතු පතු ගා නැතැයි අම්මා කී නිසා ය.

 මා යන විටත් ලෝචන නින්දේ උන් බවට සාක්ෂි ලෙස කාමරයේ දොර වසා තිබිණ. වෙනදාට නොවූ නිදහස් හැඟීමකින් මම අතු පතු ගෑමේ කටයුතු කර ගෙන ගියෙමි. ඒ අතරේ කිසිවෙකු පේන්නට නැති වෙලාවක ඔහු ගේ දොරට හෙමිහිට තට්ටුවක් දැම්මෙමි. එය විවර වේවිද නොවේවිද යන අවිනිශ්චිත බවෙන් යුතුව මා ඒ අවට ම අමදිමින් සිටියේ ලෝචන පුදුම කරන්නට ය. මා අද මෙහි පැමිණෙන බවක් ඔහු නො දනී. ටික වෙලාවක් යන තුරු ම ඇතුළත නිශ්ශබ්ද ව පැවතිණ. මම ටිකක් හඬ වැඩි කොට දොරට ගැසුවෙමි. එතකොට ම දොර හැරුණේ ය. සුදු ටවල් එකකින් තෙත පිසිමින් සිටි ඔහු මා දටු වන හිටි ඉරියව්වේ එසේ ම ගල් වූවා සේ ය. මම සිනහ වෙවී බලා සිටියෙමි. මා බලාපොරොත්තු නොවූ වෙලාවක ඔහු මගේ අතකින් ඇද කාමරය තුළට ගෙන දොර වසා දැමුවේ ය.

“ඒ..යි..දොර අරින්න හරිද..”

ලෝචන හිතුවක්කාර ලෙස අගුල ද ලූවේ ය.

“මේ..පිස්සුද…කවුරුත් දැක්කොත් එහෙම මං ඉවරයි”

“දැං කවුද කොල්ලංගෙ කාමර වල දොරවල් වලට ගහල බලෙංම ඇතුළට ආවෙ…”

“බලෙං…”

“ඔව් ඉතින්…ඒකනෙ දොරට ගැහුවෙ. වැදගත් ගෑනු ළමයිනං එහෙම කරන්නෑනෙ”

“අනේ මේ…මං යනව”

මා දොර අගුලට අත තැබුවා විතර ය. ලෝචන මාව ඔහු වෙතට ඇද ගත්තේ ය. ඒ ඇදීමේ බලය මත මා නතර වූයේ ඔහු ගේ නග්න පපුතුර ය. තවමත් එහි සම්පූර්ණයෙන් පිස නොදැමූ තෙතමනය විය. හද ගැස්ම තරමක් උස් ව නැගී තිබිණි ද මා ඒ උණුසුමට ද සුවඳට ද සුවයට ද රිසි වීමි. මගේ දෑත් ඒ බඳ වටා යමින් ඔහු ට තව තව තුරුළු විය.

“මට කිව්වෙවත් නෑනෙ එනව කියල”

ඒ ස්වරයේ වූයේ ආදරය විතර ය.

“හ්ම්”

“හදිස්සියෙ ආවෙ…”

“ගේ ටිකක් අස් කරල අතුගාල යන්න..මේ කාමරේ හැටි”

“කාමර ලස්සනට පිරිසිඳුවට කියා ගන්න ඉතිං ගෑනියෙක් ගේන්න වෙනව”

“ඉතිං අම්මට කිව්වනං ගෙනත් දෙයිනෙ”

“හ්ම්..කියන්න ඉන්නෙ”

“දොර අරින්න…මට කාමරේ අතුගාන්න”

“තව ටිකක් ඔහොම ඉන්න”

අප අපේ තුරුලේ නිහඬ ව නිසල ව උන් ඒ විනාඩියක හෝ දෙකක කාලය තුළ හදවත අත්වින්දා වූ සියල්ල ඒ ගැස්ම ද සමගින් ම මට දැනුත් සිහි කර ගත හැක. ලෝචන ගේ රැවුල් කොට ඇනුණ කොපුලකට දැනුණා වූ කිතියෙන් මේ දැනුත් මම කොපුලක් උරහිසේ තියා තද කර ගමි.

“පුතා…ලෝචන”

දොරට එපිටින් මදුරාපුර මැතිණිය ගේ හඬ ඇසුණේ අප එසේ සිටියදී ය.මා ඇසිල්ලකින් ලෝචන වෙතින් මිදුණේ විදුලි සැර වැදුණ විටෙක මෙනි. මා කොයි තරම් කම්පිතව සිටිය ද ඔහු ගේ දෙතොල් මත වූයේ සන්සුන් මඳහසකි. ඔහු කතා නොකර ම දොර ට අත තැබුවේ එය අරින්නට නොව මා බියපත් කරන්නට ය කියා මට වැටහුණේ ඒ සිදුවීම වී ටික වෙලාවක් ගිය ඉක්බිති ය. මම වෙව්ලමින් ද දෑත් එක් කොට වඳිනා ඉරියව්වක් පාමින් ද දොර හරින්නට එපායි අභිනයෙන් ඔහු ට කන්නලව් කළෙමි. මදුරාපුර මැතිණිය නැවත ද කතා කළ ද ලෝචන සිනහවෙන් තව තවත් මා බිය පත් කරමින් නිහඬ ව සිටියේ ය.

“දැන් නිදා ගත්ත ඇති පුතා නැගිටින්න. මට ඔයා එක්ක කතා කරන්නත් ඕන”

තවත් මඳ වෙලාවකින් ඇය කාමරයේ දොරකඩින් ඉවත්ව ගියා කියා සිතමි. ලෝචන දොර හරින්නට හදත්දී මම ඒ පිටුපස මුවහ වීමි. ඔහු පිටතට එබී කිසිවෙකු පෙනෙන්නට නොමැති බව දැන මට පිට වන්නැයි ඉඟි කළේ ය. දෙපා පණ නැතිව ගොස් තිබිණි ද හිතේ වූ බියට ම මම කොස්සත් ගෙන පිට ව ගියෙමි. හරියට හුස්ම වැටුණේ ආලින්දය මැද සිට ගත් පසුව ය. මම පපුව අල්ලා ගෙන ලොකු හුස්මක් ගත්තෙමි. ලෝචන කාමරයේ දොරකඩ සිට මට හූ කීවේ ය.

“සුදූ… මැඩම්ට තේ එකක් හදල ගිහින් දෙන්න”

කියමින් අම්මා ආලින්දයට කර පෙව්වේ ඒ වෙලාවේ ය. මම ඉක්මන් කොට මුළුතැන්ගෙට ගියෙමි. වතුර කේතලය උතුරමින් තිබිණ. මම තේ පිළියෙල කොට මදුරාපුර මැතිණියගේ තේ එක අම්මා වෙත පෑවෙමි.

“සුදූ ගෙනියන්න”

“අනේ අම්මෙ…අම්ම ගෙනියන්නකො”

මගේ දෙතොල් පවා බියෙන් වෙව්ලමින් තිබිණ.

“මං නෙවෙයි. සුදූ ගෙනියන්න. ගිහිං මැඩම්ට කතා කරල එන්න”

අම්මා සිතන්නට ඇත්තේ මා ගැහුණේ මදුරාපුර මැතිණිය වෙත යන්නට ඇති බියෙන් කියා ය. ඒ වෙලාවේත් ලෝචන ගේ කාමරයේ දී ඇයට හසු වන්නට ගිය සිදුවීම මා තැතිගන්වමින් හිතේ විය.

මා තේ සහිත මග් එක තැබූ බන්දේසිය ගෙන පිය ගැට පෙළ නැංගේ පහ නොවූ ගැස්මෙනි. ඕ තොමෝ පුස්තකාල කොටසේ පොත් රාක්කයක් අසල සිට ගෙන පොත් තෝරමින් සිටියා ය. මම මොහොතකට නතර වී ඒ කදිම පෞරුෂය දෙස නෙතු නො සලා බලා සිටියෙමි. ඇය මා දුටුවේ හදිසියේ හිස හැරවූ වෙලාවක ය. ‘එක්ස්කියුස් මී මැඩම්” කියා ගෙන මා ඇය වෙතට ගියේ බාලිකාවේ විදුහල්පති තුමිය කරා ගිය ගෞරවනීය හැඟීමෙන් බිඳකුදු අඩු නැතිව ය.

“නිබ්බුතා අද මෙහෙ ආවද…”

ඇය මගේ අතින් තේ එක ගත්දී මම පුංචි සිනහවක් ඒ මුහුණ මත දුටුවෙමි. ඒ මා ඇගේ මුහුණේ මා වෙනුවෙන් උපන් සිනහවක් දුටු ප්‍රථම වතාව ය.

“ඔව් මැඩම්…අම්ම කිව්ව ගේ හොඳටම හැඩි වෙලා කියල. ඉතිං ටිකක් අස් කරල අතු ගාල දාල යන්න කියල ආව”

“කෝ නිබ්බුතාගෙ තේ එක ගෙනාවෙ නැද්ද…”

“නෑ මැඩම්. මං පස්සෙ බොන්නං”

“අපරාදෙ. අපිට කතා කර කර තේ බොන්න තිබුණනෙ”

කියමින් ඕ තොමෝ කුඩා බැල්කනියේ වූ සුදු කුෂන් එකක් දැමූ සුව පහසු වේවැල් පුටුවේ අසුන් ගත වූයේ අතින් මට අනිත් අසුන පෙන්වමිනි. ඇයත් එක්ක සමසුන් ගන්නට තරම් ඒ වෙලාවේ මා හිත හදාගෙන සිටියේ නැත. එහෙයින් මම මුණිවතින් එතැන සිට ගෙන සිටියෙමි.

“ඉඳගන්න නිබ්බුතා”

දෙවන වරටත් කළ ඒ ආරාධනය ඉදිරියේ මට හීන මානයක් පෙන්විය නොහැකි ය. එහෙයින් මම අසුනේ දාරයේ යන්තම් හිඳ ගතිමි. 

“නිබ්බුතා හදන තේ එක බොන්න මං හරි කැමතියි”

එය බලාපොරොත්තු නොවූ ඇගයීමකි. මගේ උගුර හිර විය. ඇස් කෙවෙනි දැවිල්ල ගත්තේ ය. ඒත් මම දෙතොල් තද කොට මඳ සිනහවක් පෑවෙමි.

“මං දැනං හිටිය මැඩම්”

“ඒ කොහොමද නිබ්බුතා…ම්..”

“අම්ම හදන තේ එකක් බිව්වට පස්සෙ මැඩම්ගෙ මග් එකේ තේ කාලක් විතර ඉතුරු වෙලා තියනව. මං හදන තේ එකක අඩියෙ මණ්ඩි ටික විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ”

මා විශ්මිත කරමින් ඇය තරමක් හඬ නගා සිනහ වූවා ය.

“ඒක අපූරුයි. නිබ්බුතා ට යස අගේට මිනිස්සු කියවන්න පුළුවන්. ඒක හොඳ දොස්තර කෙනෙක් වෙන්නත් බලපාන ලක්ෂණයක්. අපි හැම වෙලේම අනිත් මිනිස්සුන්ට සෙන්සිටිව් වෙන්න ඕන. මිනිස්සුන්ගෙ ෆීලිංස් වලට විතරක් නෙවෙයි. බිහේවියර් එකට පවා. එතකොට අපිට අනිත් අය එක්ක ගනුදෙනු කරන්න ලේසියි. මිනිස්සු දෙන්නෙක් කිසිම වෙලාවක එක වගේ වෙන්නෙ නෑ නිබ්බුතා. එකිනෙකාට වෙනස්. ඔයා ඉස්සරහට මැරි කරන්න ඉන්න ගෑනු ළමයෙක් නිසයි මං කියන්නෙ. හුඟක් අය කසාද බඳින කෙනා තමන් වගේම වෙන්න ඕන කියල හිතනව. එහෙම හිතන්න ගිය තැනම අර්බුදයක් තමයි. එක ගමනක් යන්න එකතු වෙන්නෙ මනුස්සයො දෙන්නෙක්. ඒ දෙන්නා කවදාවත් කවුරු කොහොම කිව්වත් එක්කෙනෙක් වෙන්නෑ. එක්කෙනෙක් වෙන්න හරි අනිත් කෙනා තමන්ට ඕන විදිහට ඉන්න ඕන හරි කියල හිතන්න ගත්තට පස්සෙ තමයි අපි මහ නරක විදිහට අනිත් කෙනාව පාලනය කරගෙන එයාගෙන් දේවල් බලාපොරොත්තු වෙන්න පටන් ගන්නෙ. ඒත් වෙන්න ඕන අපි අනිත් කෙනාව තේරුං ගන්න එක. ඒක එක්කෙනෙක් වෙන්න ගිහිං ගහ මරා ගන්නවට වැඩිය හරි ලේසියි”

මා ඇගේ කතාවට වසඟ වී ගෙන සිටියදී ලෝචන මදුරාපුර සඳැල්ලට විත් ගරාදි වැටට පිට දී ගත්තේ ය. මදුරාපුර මැතිණිය ඔහු දෙස විමසුම් බැල්මක් හෙළුවා ය.

“මං රූම් එක ළඟට ගිහිං කතා කළා”

ඔහු සිය දෑස් මා වෙත හරවනවා වාගේ ය මට දැනුණේ. මම හැකි තාක් බිම බලා ගතිමි. දෙපා වලින් ඇරඹුණ හිරියක් මගේ සිරුර දිගට ම පැතිර ගියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles