(අ) හිමි සිහින -236

ඉතා හොඳ රැකියාවල නියුතු වූ පවුලේ අභිවෘද්ධිය සඳහා නිරන්තරයෙන් කටයුතුකල දහිරියවන්ත දෙමාපියන්ට දාව උපතලද මා කුඩාකල සිටම ගෙවූයේ ඉතාමත් සහනදායී සුඛෝපභෝගී ජීවිතයක්.ඔවුන් මට කිසිදු අඩුපාඩුවක් වන්නට ඉඩතැබූයේ නැහැ.මගේ ආදර කතන්දරයේ දී මට හරස්වුනා තමයි.ඒ එක් අතකට සුධාරක ගැන තිබුනු වැරදි අවබෝධය නිසා ඒ හැර ඔවුන් සියල්ල කලේ මට සැපවත් ජීවිතයක් ලබාදෙන්නයි.

කොලඹට තදාසන්න පෙදෙසක ප්‍රධාන පාරකට මුහුණලා විශාල ඉඩමක පිහිටි විශාල නිවසක මම ගතකලේ නිදහස් ජීවිතයක්.ගහකොළ පිරුණු පරිසරය එක්ක මම ඒකාත්මික වුනේ ඒ වටපිටාව තූලදීයි.අදටත් ඒ ඉඩමට ඇතුළවූ පසු මේ කොළඹ දැයි සිතෙන තරමට සුන්දර ගෙවත්තක් සහිත වටපිටාවක මේ වනවිට නිවාස තූනක් මගේ පියා විසින් ගොඩනගා තිබෙනවා.මම මෙය කෙදිනක වත් ඔබට කියා නැහැ.නමුත් මා මේ කියන්න යන දෙයට පලමුව මගේ පෞද්ගලික තොරතුරු වලින් බිඳක් පවසන්නට සිතුණා.

මට ජීවිතයේ යන්නට සිදුවූ පාරවල් මොනතරම් දුෂ්කර වුනත් මම මගේ අධ්‍යාපනය හොඳින් කරගත්තා.එසේම ජීවිතයේ වෙනත් අවස්ථාවලදී ගත් දඩබ්බර තීරණ වගේම රැකියාව ගැනත් ගත්තේ හිතුවක්කාර තීරන නමුත් මාව අද වනවිට මේ තැනට ගෙනාවේත් ඒ තීරණ මයි.ඒ නිසා තමාව සහ තම හැකියාව දැනගෙන යන පාරක් කවදාවත් නොවරදින බව මම දන්නවා.

අසංකගේ විවාහයෙන් වෙන්වී ඇඳිවතත් බිඳීගිය හදවතත් පමණක් රැගෙන නුවරින් කොළඹ ආ අනුරාධා ජීවිතය වැරදි වැරදී නැගිට්ට කෙනෙක්.මා ආ මාවත ලෙහෙසි වුනේ නැහැ.ඒත් මම කිසිවෙකුගේ උදව් උපකාරයක් නොමැතිව ස්වෝත්සාහයෙන් දෙපයින් නැගී සිටගත්තා.ජීවිතයේ අන්ත අසරණ අඩියකට වැටී මගෙන් පිළිසරණක් සහ ජීවිතයක් ඉල්ලගෙන ආ සුධාරකට මම පිහිටවන්නට ගත් දැඩි තීරණයේදීත් මට තිබූ එකම හයිය මගේ ආර්ථික හරියයි.නොවූවා නම් සුධාරකට සිදුවූ කිසිවකට ඔහු වෙනුවෙන් නැගී සිටින්නට මට නොහැකිවෙන්නට තිබුණා.

අප දෙදනා මීට දශක ගණනකට පෙර ආදරය කරන අවධියේදී ලියුමක් වත් තැපැල්කරගන්නට නොහැකි තරම් දැඩි රැකවල් මැද සිටි මට සුධාරක මාසයකට දෙකකට සැරයක් ලබාදුන් රුපියල් පන්සියයේ කතාව මම ඔබට කියා ඇති.ඒ කාලයේ එය විශාල මුදලක්.මට එහි තිබුනේ මුදලේ වටිනාකම නොවෙයි.ආදරණීය පෙම්වතෙක් විසින් තම ආදරය වෙනුවෙන් ලිපියක් වත් යවාගන්නට නොහැකිව සිටි තම ආදරිය වෙනුවෙන් කල සෙනෙහෙබර කැපකිරීම යි.පසු කලෙක ඉරුණු ඇඳුම් පැලඳුම් හා බිඳී ගිය ජීවිතයක් ඇතිව මා ඉදිරියේ සිටි මා මගේ ජීවිතයටත් වඩා ආදරය කල ඒ මිනිසා.මගේ පලමු සැමියා වෙනුවෙන් මා කල කැපකිරීම කරන්නට මා දෙවරක් සිතුවේ නෑ.ඒ තීරණය අදටත් මට ගෙනෙන්නේ මහා සහනයක්.

සුධාරක ගේ මේ නිවස හදන්නට මා වියදම්කලේ එය නිවසක් ලෙස සකසාගන්නට අවශ්‍යව තිබූ නිසා.අප දෙදනාට තබා වෙන කෙනෙකුට හෝ ජීවත්වන්නට සුදුසු තත්වයක් මා යනවිට ඒ නිවසේ තිබුණේ නැහැ.එය අහුමුලු විශාල ප්රමාණයක් ඇතිව ඉතා ගුප්ත ලෙස සැකසුන වීදුරු වලින් නිමවූ බිල්ඩිමක්.එය නිවසක් කරගන්නට මට මුදල් වැයකරන්න සිදුවුනා.ඒ සුධාරක සතුව ඒ වනවිට මුදල් නොතිබූ නිසා.ඔහුට ජීවත්වන්නට හෝ මුදල් තිබුනේ නැහැ.ලංකාවෙන් පලා යනතුරු ම සුධාරකගේ ඒ සුලු පඩියත් සතයක් නෑර ගත්තේ දිල්හානියි.

මේ නිවස හදන්නට සියලු වියදම් දරා තිබුණේ සුධාරකයි.දිල්හානි හැමතැනම කියන බොරු ගොඩට එක්වු තවත් බොරුවක් වූයේ මේ නිවස ඇගේ මුදලින් සැදූවක් බවයි.නමුත් සුධාරක එක් නඩුවකදී කියා සිටියා මේ දේපල ගොඩනගන්නට ඇය සතයක් හෝ වියදම් කලා නම් එය කල ආකාරය අය වැයක් මගින් ඔප්පුකර සිටින ලෙස.නමුත් ඇය එයටත් අපොහොසත් වුනා.ඒ නිසා කියන්නා කෙසේ කීවත් ඔප්පු කල හැකි කිසිම දෙයක් ඇය සතුව නැහැ.ඇට නැති දිවට ඕනෑ ඕනෑ ලෙස නැමෙන්නට පුලුවන්.

මම මේ නිවසට වියදම් කල මුදල් ගැන මට යම් දවසක ඔප්පුකලහැකි සාක්ෂි ඕනෑතරම් තිබෙනවා නමුත් ඒවා මම මෙවැනි කරදරයක් වේ යැයි සිතා එකතුකලා නොවෙයි.ගැහැණියක් මිනිසෙකුගෙන් යැපෙන තැන් තමයි අප සමාජයේ වැඩිපුරම දකින්නේ. ගැහැණියක විසින් පිරිමියෙකු නඩත්තුකරන්නේ ඉතාම විරල අවස්ථාවක දී පමණයි. ඒකත් තමන්ට නීත්‍යනුකූල හිමිකමක් ඇත්නම් පමණයි.එසේ නම් මම සුධාරකට වියදම් කල බව හැබෑයි. මට නීත්‍යනුකූල හිමිකමක් කියන්නට නොහැකි දේපොල නඩත්තුවට මා මුදල් වියදම් කලේ ඇයි?

මම ඉවක් බවක් නැතිව මෝඩ තාලෙට ඒ දේවල් කලා යැයි කෙනෙක් කියාවි.නැහැ මට තිබුණේ ඊට වඩා මානුෂික හැඟීමක්. මම ආදරය කල මිනිසා සමග යන්තම්හෝ ජීවත්වෙන්නට සුදුසු පරිසරයක් එතැන හදාගන්නට පමණයි මා මුදල් වැයකලේ.මට ඒ නිවස අයිතිකරගැනීමේ කිසිදු ආශාවක් තිබුණේ නැහැ.ඒ නිවසේ මට අදටත් ඇති භෞතික වටිනාකමක් නැහැ.එහි ඇත්තේ හද කකියවන ආදර කතාවක මහා මතකගොන්නක් පමණයි.

සුධාරක මේ නිවස සැදුවාට මෙහි ජීවත්වන්නට ඔහු වාසනාකලේ වසර දෙකක් පමණයි.ඒ වසර දෙකත් ඔහු සිටියේ මාත් දුවත් සමග.ඒ කාලය පුරාවටම ඔහු දුව සමග මේ නිවස පුරා දුව පැන ඇවිදිමින් ඉතා සතුටින් සිටියා.ඉතා දෛවෝපගත ලෙස මම සුධාරකට විහිලුවට හෝ කියූ කතා තිබුණා.

“මහත්තයෝ ඔයා කවදාහරි මට වඩා තත්පරයක් හෝ කලින් යන්න.එතකොට මම දන්නවා ඔයා පරිස්සමට ගියා කියලා”

“අපොයි මැණිකේ ඔයා නැතුව නං මට ඉන්න බෑ.ඊටපස්සේ මැණිකේ මොකද කරන්නේ”

“මම ඔයා නැතුව වෙන මොනවා කරන්නද මහත්තයෝ.මම ඔයා මට දුන්නු යතුරුකැරැල්ල ඔය කොහේට හරි විසිකරලා දාලා මං යනවා මගේ ගෙදර”

“අනේ එහෙම කරන්න එපා මැණිකේ.එතකොට මේවා විනාසවෙලා යයි නෙ.මං එතකොට කොහොමද තනියම මෙහේ ඉන්නේ”

“ආ..මැරුණාමත් ඉන්නවද.. ඔයාට මාව දාල යන්න අදහසක් නැද්ද”

“ඔයාව දාලා යන්නෙ කොහොමද මැණිකේ මං ඔයාට කොච්චර ආදරේද”

එවේලේ එහෙම කරපු හුරතල් කතාවක් හැබෑවෙන්නට ගියේ අප දෙදෙනාම නොසිතූ තරම් කෙටි කාලයක්.නමුත් සුධාරක තවමත් මේ ගෙදර ඇතැයි මට සිතෙන සිතිවිල්ල ඉබේ ඇතිවූවක් නොවේ.කිසිදු බලවේගයක් හෝ හඳහන හෝ විශ්වාස නොකරන හොල්මන් තබා පණ ඇති මිනිසෙකුටවත් බය නැති මට වුවත් තේරුම්ගන්නට බැරි බොහෝ දේ මේ නිවසේ දැන් සිදුවෙනවා.

ඉඳහිට නිවස පුරා පැතිරෙන පෞරාණික පන්සලක බුදුගෙයකින් නැගෙන්නාක් වැනි සඳුන් සුවඳ පලමුවෙන්ම ආවේ සුධාරකගේ හත්දවසේ බණ පටන්ගන්නට මොහොතකට කලින්.එතැන පටන් ඒ සුවඳ නිතර නිතර ගෙදර තියෙනවා.මම ඒ සුවඳ එන හැම වෙලාවකම ඔහුට පින් දෙනවා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles