සුධාරකත් මාත් අතර දෙවෙනි වතාවට සම්බන්ධය පටන්ගත් පසු සුධාරකගේ පවුලේ සියලුම දෙනා දිල්හානිත් දරුවනුත් තරයේ ප්‍රතික්ෂේප කර මා ලංකරගත් සැටි ඔබට රහසක් නොවෙයි.නමුත් එසේ සිද්ධවූයේ ඔවුන්ගේ පටු සාපරාධී අදහස්වලට මිස මට ඇති ආදරයකට නොවන බවත් දැන් මටත් ඔබටත් රහසක් නොවෙයි.නමූත් අවාසනාවකට ඔවුන්ගේ ඒ කපටි ගති දැනගන්නට සිදුවුනේ සුධාරක අසනීප වී මාසයකටත් පසුවයි.
ප්‍රතිපත්ති ගරුක මිනිසුන් වූවානම් සුධාරකට දිල්හානි මොනතරම් නින්දිත ලෙස සැලකුවත් ඔවුන්ට කරන්නට තිබුණේ ඇයගේ සහ දරුවන්ගේ පැත්තට කතාකර කාගේ වරදකින් හෝ විසිරී ගොස් තිබූ පවුලක් එකලස්කිරීමට උත්සාහ දරන්නටයි.එසේ උත්සාහයක් දරා ඒත් සුධාරක ඔහුගේම මතයේ සිටියා නම් එයට ඔවුන්ට කරන්නට දෙයක් නැහැ.නමුත් ඒ වෙනුවට ඔවුන් කලේ සියල්ලන්ටම වඩා දිල්හානිත් දරුවනුත් පන්නාගන්නට වැඩකටයුතු කිරීමයි.
ඒ නිසා මම හොඳාකාරවම දන්නා දෙයක් තිබෙනවා.ඒ මටත් මගේ දරුවාටත් මෙන්ම සුධාරකගේ පවුලේ කිසිවෙකුගේ හදවතේ දිල්හානි හා දරුවන් ගැනත් ආදරයක් කැමැත්තක් තබා අනුකම්පාවක් හෝ නොතිබූ බවයි.ඒ කාලයේ ඔවුන් මට පැවසූ දේවල් මට එකිනෙක මතක්වෙනවා. ඒ කතා ඔවුන්ට පසුකාලීනව අමතක වූවත් මට ඒ සියල්ල හොඳින් මතකයි.
සුධාරක අසනීප වී අනුරාධපුරයේ මාත් සමග එකට එකගෙදරක වාසය කරමින් කා බී එකට නිදාගත් මේ පවූලේ මිනිස්සුන්ට මා ජීවිතයට දැක නැති කෙනෙක් වූයේ මාසයක් පමණ ගිය පසුයි.ඒ වෙන කිසිවක් නිසා නොවෙයි.ඔවුන් බලාපොරොත්තු වුණේ සුධාරක කොයි මොහොතේ හෝ මියයනු ඇති බවටයි.ඔහුගේ අම්මා රුවන්වැලිසෑය ලඟදී සුධාරකගේ බාල නැගනියට පැවසූ දේ මට යලිත් සිහියට එනවා.
“ඔය මොනව කලත් ඕකා නැගිටින්නේ නෑ. මං ඕකට වස්කවි කියෙව්වා”
ඒ සුදාරක අසනීපව අනුරාධපුරයට ගෙනා දෙවෙනි දවසේ.එයින් ම කියවෙන්නේ අම්මාගේ හදවතේ වුවත් පුතා නැගිට්ටවාගන්නට බැරිබවට තිබූ සහතිකයයි.ඇය කුමකට මව් පදවිය ලැබුවා දැයි මම නොදනිමි.එහෙව් මිනිස්සුන්ට හිටිහැටියේ දිල්හානි හා දරුවන් ගැන ඇතිවූ මහා අනුකම්පාව ඔබ සිතන්නේ ඔවුන්ගේ හදවතින් ඇතිවූවා කියා ද නැහැ.එය මුලු පවුලම එකතුවී කුමන්ත්‍රණය කර රඟපාන්නට පටන්ගත් විශාල මුලාවක්.
සුධාරක කෙසේ හෝ මොන තත්වයකින් හෝ ජීවත්කරගන්නට අවශ්‍යව තිබුණත් ඒ සඳහා කළ යුතු සියල්ල කරමින් සිටියේත් මා පමණයි.ඔවුන් ඔහු අනුරාධපුරයේ ඉද්දීම සුදු ඇඳුම් සකසන්නට ලොන්ඩරියට දී තිබුනේ මරණය බලාපොරොත්තුවෙන්.එවිට ඔවුන්ට කල්පනාවෙන්නට ඇති සුධාරකගේ දේපල කාට අයිතිවේවිද කියා.
දිල්හානිට යලි කිසිදාක ලංකාවට එන්නට බැරි බවට මම ම ඔවුන්ට කියා තිබෙනවා.එසේ නම් මටද නීත්‍යනුකූල පසුබිමක් නැති හෙයින් බාරකාරයන් හැටියට මේ දේපල ඔවුන් සතුකරගැනීමේ එකම අරමුණ වෙනුවෙන් එතැන සිට ඔවුන් ඒ සාපරාධී සැලසුම් ඇන්දා.එවන් අවස්ථාවකදී ඔවුන්ට මගේ කිසිදු වටිනාකමක් හෝ ප්‍රයෝජනයක් නැතිබව ඔවුන් දන්නවා. මා සුධාරක වෙනුවෙන් මොන කැපකිරීම කර තිබුණත් ඒ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් ලිපියක් වත් අත්සන්කරන්නට මට හැකියාවක් නැහැ.ඒ නිසා මෙරටේ ඔවුන්ට කරගන්නට අවශ්‍ය දෙයක් වේනම් ඒ සඳහා ඔවුන්ට වැදගත් වූයේ මා නොවෙයි ඔවුන්ම වෙනස්කම් කර පන්නාගත් දිල්හානියි.
ඒ නිසා කැඩුණු පවුලක් නැවත එක්කරන්නට යන සානුකම්පිත සිත් ඇත්තන් ගේ රංගනය ඔවුන් හොඳින් කලා.වසර පහකටත් ආසන්න කාලයක් මා සමග හොඳින් සිට සුධාරකගේ කැඩුනු පවුල් හදන්නට ඔවුන්ට සමත්වූයේ ඇයි කියා ඔවුන් දිල්හානිට පවසන්න ඇති මම මේ දේපල බලෙන් අයිතිකරගන්නට යනවා ඒ නිසා මේවා ඇයටත් දරුවන්ටත් ලබාගන්නට ඔවුන් කටයුතු කරන බවට.එසේ කියූ පමණින් තමන් හා දරුවන් පන්නාගත් සැමියාගේ පවුලේ අය විශ්වාස කල මෝඩ තීරණය ඇයට නැවතත් සියල්ල වැරැද්දවූ බවට අද වෙනවිට ඇය දන්නවා ඇති. ඒත් දැන් සුධාරක ගේ ජීවිතය මෙන්ම සියල්ල සිදුවී අවසානයි.
තමා පන්නාගෙන අනුරාධා මුදුනේ තියාගෙන හුන් සැමියාගේ මවත් සහෝදරියනුත් නැවත තමාගේ පැත්තට හැරීම ගැන දිල්හානි උදම් වෙන්නට ඇති.සුධාරකත් අහිමිව තමා කල අමනෝඥ ක්‍රියා නිසා සදාකාලිකව කරලියට එන්නට නොහැකිව සිටින බව කවුරු නැතත් ඇය දන්නවා.එවැනි අවස්ථාවක සුධාරකගේ පවුලේ අය ඇයට සිටින බව පෙන්වීමේ අදහසක් ඇයට එන්නට ඇති.නමුත් ඇගේ සරණාගත ලිපියේ ඇය සහ දරුවන් මරන්නට හොයන ලැයිස්තුවේ උඩින්ම සුධාරකගේ පවුලේ අයත් ඉන්නා බව සඳහන්කල වග ඇයට අමතක වන්නට ඇති.නැත්නම් තමාත් දරුවනුත් පන්නාගත් මිනිස්සුන්ට ඇය උදව්කරන්නට එකඟ වෙන්නට කලින් දෙවරක් සිතන්නට තිබුණා.
සුධාරකගේ මවටත් නැගනියන්ටත් දිල්හානි හා දරුවන් ගැන හෝ මමත් මගේ දියණිය ගැන හෝ කිසිදු ආදර කරුණාවක් තිබුනේ නැහැ.ඔවුන් ට උවමනා වූයේ බාරකාරත්වය පෙන්නා දේපල මංකොල්ල කෑමට පමණයි.සුධාරකගේ නිවස සාදා නිමකර නොතිබූවක් උවත් එහි තිබූ සියලු ගෘහභාන්ඩ විදුලි උපකරණ සියල්ල මා මගේ පෞද්ගලික මුදලින් මිලට ගත් ඒවා.තමා කරන ඕනෑම දෙයක් කාලාන්තරයක් පවතින ලෙස කල මගේ පියා තම පාවිච්චියට ගන්න දෙයක් වේ නම් ලාභ බාල දේ නොගෙන මිල අධික වුවත් ඉස්තරම් හොඳම දේ ගන්නැයි සැමවිටම පවසා තිබූ නිසා මා මිලට ගෙන තිබුණේ හොඳම ගෘහභාණ්ඩයි.
විශාල තේක්ක අල්මාරි,වියන් ඇඳවල්,විශාල ශීතකරණ, අඟල් 55 රූපවාහිණී වැනි බොහෝ දෑ ඒ නිවසේ තිබෙනු සුධාරක ගේ පවුලේ අය දන්නා දෙයක්.මා කවදාවත් දැක හඳුනන්නේ නැතැයි කීවාට සිංහල අවුරුද්දට හා වෙනත් අවස්ථාවන් වලදී අප නිවසේ පැවැත්වූ භෝජන සංග්‍රහ සියල්ලටම ඒ මිනිසුන් සහභාගීවී ගී ගයා නටා විනෝදවී තිබෙනවා. ඒ නිසා ඒ සියලු බඩු භාන්ඩ සමගම ගේ අයිති කරගෙන මා පාරට ඇද දමන්නට ඔවුන් සැලසුම් කරන්නට ඇති ඒ බව ඔප්පු වෙනවා සුධාරක ගේ පොඩි නංගී පසුව පැවසූ දෙයකින්.
“අපි ගෙදර ගත්තම අනුරාධාට ඒ බඩු එයාගෙ කියල ඔප්පුකරන්න බෑ.උසාවියකට ගියත් ඒවා ඔප්පුකරන්න දේවල් එයාට නෑ නේ.මොකද අයියා නැගිටලා ඇවිත් කියන්නයෑ මේව අනුරාධා ගෙ කියල.අයිය ආයෙ නැගිටින්නෙ නෑ.ඒ නිසා අපිට ඔක්කොම අයිතිකරගන්න පුලුවන්”යැයි අම්මාත් සහෝදරියනුත් පැවසූ බව ඈ කීවා.ඔවුන් එසේ කාමරයට වී කුමන්ත්‍රණය කර ඇත්තේ අනෙක් කාමරයේ මා සිටිද්දී මයි.
මම සෑමවිටම විශ්වාස කරන දෙයක් තිබෙනවා.එනම් මේ ලෝකයේ කවුරු මොනවා කීවත් කලත් නිහඬව ඒ සියල්ල බලාසිටින උසාවියක් තිබෙන බව.ඒ සොබාදහමේ උසාවියයි.ඒ නිසා නිර්දෝශී මිනිසෙකු හෝ ගැහැණියක කවුරු විසින් හෝ නින්දාවට අපහාසයට කරදරයට දමන්නට කෙතරම් උත්සාහකලත් ඒ කිසිවකට ඒ උසාවියෙන් ඉඩ ලැබෙන්නේ නැහැ.ඒ නිසාම තමන් කවුද තමා කරන්නේ මොකක්ද ඒ දේවල් කරන්නේ ඇයිද කියා අන් අයට තේරුම්කර දෙන්නට ඔබ කෙදිනක වත් මහන්සිවන්නට එපා. නිහඬව ඔබ කරන දේ කරන්න.ඔබ කවදාහරි වගකියන්නේ සමාජයේ අවශේෂ පුද්ගලයන්ට නොවෙයි ඒ ස්වභාදහම් උසාවියටයි.එතැනදී ඔබට නිවැරදි විනිශ්චය ලැබෙනවා මයි.ඔබ සූදානම් විය යුත්තේ එයටයි.