ක්‍රම ක්‍රමයෙන් සුවය ලබමින් මම ජීවිතය උගනිමින් සිටිමි. ජීවිතය බොහෝ සුන්දර බවත්, ධනාත්මක සිතිවිලි කෙනෙකුගේ ජීවිතය පිච්ච මල් මාලාවක් මෙන් හැඩ කරන බවත්, සුවඳවත් කරන බවත් වෛද්‍ය කුෂ්වාන්ත් සිංගෙන් සහ වෛද්‍ය පීහු ෂර්මාගෙන් මම උගනිමින් සිටිමි. මෙවන් සතුටක් සහ සැනසීමක් මගේ මුලු ජීවිත කාලය පුරාම මා අත් විඳ නැතැයි බොහෝ වර මම කල්පනා කළෙමි. පිළිකාව තවත් එක් රෝගී තත්වයක් පමණක් බවත්, ඉන් ජීවිතයක බලාපොරොත්තු කිසිසේත්ම අත් නොහැරිය යුතු බවත් මම පසක් කරගනිමින් සිටිමි.
සැබවින්ම ජීවිතය පිළිබඳව නැවුම් බලාපොරොත්තු ගොන්නකින් මගේ සිත පිරී තිබිණ. පූර්ණ සුවය ලබා නිවසට ගොස් ‘ඩිනාලි කේක්ස්’ ව්‍යාපාරයට සම්බන්ධ වීම මගේ එක් සිහිනයකි. එම සිහිනයන්ට ජීවය ලබා දෙන යෝධ සෙවනැල්ලක් සෑමවිටම මා පසුපසින් සිටින බව මම විශ්වාස කළෙමි. කුෂ්වාන්ත් සිං…. දිනෙන් දින, මොහොතින් මොහොත මගේ කුඩා හදවතෙහි විශාල පදාසයක් ඔහු අත්පත් කරගනිමින් සිටියි. ඔහු දැකීම පවා මගේ සිතට සුවදායක බවක් සහ පහසුවක් ගෙන දුන්නද, ඉඟියකින් හෝ බැල්මකින් හෝ ඒ බව ඔහුට නොදැනෙන්නට මම ප්‍රවේශම් වූයෙමි. හේෂාන් විසින් මෙතෙක් කාලයක් අත්පත් කරගෙන තිබූ මගේ කුඩා ලෝකයේ සියලු සීමාවන් බිඳ දමා පැමිණ ඔහු මගේ හදවත තුළ රැඳී සිටින්නේ මා ජීවත් විය යුතු බවට නව බලාපොරොත්තු ඇති කරමිනි. වෛද්‍ය කුෂ්වාන්ත් සිංගේ දීප්තිමත් දෙනෙත් තුළින් මම ජීවිතය දකිමින් සිටිමි. මට පමණක් නොව ඔහුගේ දයාවන්ත භාවය මියගිය පෙම්වතිය වූ ජාන්සි වෙනුවෙන් සියලු පිළිකා රෝගීන්ටම පොදු වූවක් බව බොහෝ වර මට සිතිණ. එහෙත් ඔහු දැකීමම මගේ ජීවිතය ජීවත් කරවන බව මට සිතෙයි. ඒකපාර්ශ්වික වුව ද, ආදරය මිනිස් සිතක කෙතරම් මිහිරියාවක් ඇති කරන්නේද යත් හේෂාන් සමග ආදරයෙන් බැඳී සිටි අවධියේදී පවා මම අත් නොවින්දෙමි. ගතව ගිය සෑම තත්පරයක්ම අතීතයට අයත් බවත්, උදාවන සෑම මොහොතක්ම ජීවිතයට නැවුම් බවක් ගෙන දෙන බවත් මට පසක් කර දුන්නේ ද වෛද්‍ය කුෂ්වාන්ත් සිං ය.
මම උදෑසන පිබිදුනේ මහත් ප්‍රබෝධමත් බවකිනි. යහනෙන් බැස ගොස් ජනෙල් තිර ඇද දමද්දී දුටු මනස්කාන්ත දසුන සිත තුළ ඇති කලේ මහත් සතුටකි. සුදු, රතු නෙලුම් මල් පිපී හැඩ වූ ජාන්සි වැව මෙතරම් සුන්දර ලෙසත් මනස්කාන්ත ලෙසත් මා කිසිදිනෙක දැක නොතිබිණ. මුවග රැඳි මඳ සිනාවෙන් යුතුව එදෙස බලා සිටිද්දී කාලය ගත වන බවක් මට නොදැනිණ.
“ගුඩ් මෝනින් මැඩම්…”
ජ්‍යෝති මගේ උදෑසන කිරි වීදුරුව රැගෙන පැමිණියාය.
“ගුඩ් මෝනින්…”
මම කිරි වීදුරුව අතට ගතිමි.
“නෙලුම් මල් පිපිලා බලන්න ජ්‍යෝති ජාන්සි වැවේ ලස්සන…”
ජ්‍යෝති ද ජනේලය අසළ සිට ගත්තාය.
“ඇත්තෙන්ම ලස්සනයි. ඊයෙ මගේ හස්බන්ඩ් දුවත් එක්ක ගිහින් නෙලුම් මල් ගොඩක් කඩාගෙන ඇවිත් තිබුනා.”
“ඇයි?”
“ලස්සන නිසා. දුව ඒවා වාස් එකේ දාගෙන කාමරේ තියාගෙන ඉන්නවා.”
“මං ජ්‍යෝතිගේ දුවවත්, හස්බන්ඩ්වත් දැකලා නෑ.”
“මං ඒගොල්ලන්ව මැඩම්ට පෙන්නන්න එක්ක එන්නම්. ඒ දෙන්නා නම් මැඩම් ගැන අකුරක් නෑර දන්නවා මං කියලම.”
“මොනවද මං ගැන කියන්නෙ?”
“මොනවද මං මැඩම් ගැන නොකියන්නෙ? ඒකනෙමෙයි. අද ලස්සන දවසක් නේද මැඩම්?”
“සත්තකින්ම. මට අද ලොකු සනීපයක් දැනෙනවා.”
“හොඳ නින්දක් ලැබුණද?”
“ඔව්… හීන දැක දැක නිදාගත්තා.”
මා එසේ පැවසුවද, ඒ සෑම සිහිනයකම වෛද්‍ය කුෂ්වාන්ත් සිං සිටි බව ජ්‍යෝති කෙරෙන් වසන් කළෙමි.
“තව ටික වෙලාවකින් බ්‍රෙක්ෆස්ට් අරන් එන්නම්. අද නම් මට මැඩම් එක්ක ඉන්න වෙලාවක් නැතිව යාවි.”
මා අතින් හිස් වීදුරුව ගත් ජ්‍යෝති පැවසුවාය.
“ඇයි?”
“අද වැඩ ගොඩක් තියෙන දවසක්. සැරෙන් සැරේ ඇවිත් මැඩම්ව බලලා යන්න එනවා. සතුටින්, ප්‍රවේශමෙන් ඉන්න.”
ජ්‍යෝති පිටව ගියාය. මම නාන කාමරයට ගියෙමි. නා පිරිසිදු වීමෙන් අනතුරුව ඇඳුමක් තෝරා ගැනීමට මට වැඩි කාලයක් ගත විය. අම්මා පසුගිය වාරයේ පැමිණෙද්දී මා වෙනුවෙන් කපු රෙද්දෙන් මැසූ ගවුම් රැසක්ම රැගෙන පැමිණියාය. සුදු පැහැති පසුබිමේ කුඩා නිල් මල් වැටුනු ගවුම හැඳ අවසාන විටම දොරට තට්ටු කරන හඬ ඇසිණ. මගේ සිත තුළ දහසක් මල් පිබිදුන නමුදු දොර විවර කරගෙන කාමරයට පිවිසියේ වෛද්‍ය පීහු ෂර්මාය.
“ගුඩ් මෝනින් ඩිනාලි. අද ලස්සන දවසක් නේද?”
රැගෙන පැමිණි පාර්සලය පසෙක තැබූ වෛද්‍ය පීහු ෂර්මා පැවසුවාය.
“ඇත්තෙන්ම ලස්සන දවසක්.”
මම පැවසුවෙමි. වෛද්‍ය පීහු සුන්දර සිනාවක් නැගුවාය.
“ඩිනාලිගෙ රිපෝට්ස් ටිකෙන් ටික හොඳ වෙනවා. ඒක ආශ්චර්යයක්. ඉක්මනින්ම ගෙදර යන්න පුලුවන් වේවි. හැබැයි ඉතින් ගෙදර ගියා කියලා ටී්‍රට්මන්ට්ස් නවත්තන්න බෑ. තව ටික කලක් ප්‍රතිකාර ගන්න වේවි.”
වෛද්‍ය පීහු ඇය පසෙක තැබූ පාර්සලය මා අතට දුන්නාය. මම කුතුහලයෙන් ඇය දෙස බැලුවෙමි.
“ඔයාට පුංචි තෑග්ගක්. මට කවදාවත්ම ඔයාට තෑග්ගක් දෙන්න බැරි වුනානෙ.”
“තෑන්ක් යූ.”
මා පැවසුවේ දෙනෙත් සතුටු කඳුලින් පුරවා ගනිමිනි.
“අරගෙන බලන්න. හරියට දහය වෙනකොට මේ ඇඳුම ඇඳගෙන ලෑස්ති වෙලා ඉන්න.”
“මාව ගෙදර යවන්නද ඩොක්ට?”
මම ඇසුවෙමි.
“නෑ. ඒකට තව කල් තියෙනවා. අද පරීක්ෂණයක් තියෙනවා. ඒකට දහයට යන්න ඕන.”
මම පාර්සලය තුළ වූ ඇඳුම පිටතට ගතිමි. ලා රෝස පැහැය හා සුදු පැහැය මිශ්‍ර වූ අලංකාර සල්වාර් ඇඳුම සිහිනයක් සේම සුන්දර වූවකි.
“මේ ඇඳුම ඇඳගෙන?”
මා ඇසුවේ කුතුහලය සිත දරාගෙනය.
“ඒකට කමක් නෑ. එතනට ගියාම වෙන ඇඳුමක් ලැබේවි.”
“ඩොක්ට දන්නෙ කොහොමද මං පින්ක් කලර් එකට කැමතියි කියලා?”
වෛද්‍ය පීහු සිනාසුනාය.
“පින්ක් කලර් එකට කැමති කියලා විතරක් නෙමෙයි. ඩිනාලි කැමති දේවල්, ආදරය කරන දේවල් හැම දෙයක්ම මම දන්නවා.”
“ඒ කොහොමද?”
පිළිතුරක් නොදුන් වෛද්‍ය පීහු දෑසින් සිනාසුනාය.
“බ්‍රෙක්ෆස්ට් අරන්, බෙහෙත් බීලා දහය වෙනකොට ලෑස්ති වෙලා ඉන්න. මං එනවා ඔයාව එක්ක යන්න.”
වෛද්‍ය පීහු කාමරයෙන් පිටව ගියාය. වෙනත් දිනවල උදෑසනට වෛද්‍ය පීහු සමග වෛද්‍ය කුෂ්වාන්ත් සිං පැමිණියද, අද ඔහු නොපැමිණියේ මන්දැයි මම කල්පනා කළෙමි.
“සමහර විට පස්සෙ ඒවි.”
සිත හදාගන්නට තැත් කරමින් මම ජ්‍යෝති ගෙනැවිත් තිබූ උදෑසන ආහාර සහිත බඳුන් වසා තිබූ කූඩය ඉවත් කළෙමි. සුපුරුදු ලෙසින් උදෑසනට ලබා දෙන ආහාර වලට අමතරව වූ කිරිබත් දකිද්දී ආහාර රුචිය වැඩි වූවාක් මෙන් මට දැනිණ. නිවසින් පැමිණ මෙතරම් කලක් ගත වුව ද, කිසිදිනෙක කිරිබත් ආහාරයට ගැනීමට අවස්ථාවක් නොලැබිණ. අත්තම්මා, වජිරා සාදන කිරිබත් තරමටම රසවත් නොවුව ද, මේ කිරිබත් වලද වෙනස් රසයක් විය. ඇතැම් විට පොල් කිරි වෙනුවට එළකිරි යොදා පිසීම නිසා මෙම වෙනස් රසය ලැබෙන්නට ඇතැයි මට සිතිණ.
ආහාර ගෙන මඳ වේලාවකින් පූනම් හෙදිය පැමිණියාය. මට සුබ උදෑසනක් පතා, ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර, මගේ බෙහෙත් වේල ලබා දුන් ඇය කාර්ය බහුල බව පවසා ඉක්මනින්ම කාමරයෙන් පිටව ගියාය. මගේ සිතට තනිකමක් දැනිණ. වෙනදා සෑම උදෑසනකම අම්මා සහ සුදු නංගී මා අමතයි. අද මෙතෙක් ඔවුන් මා නොඇමතිීම ද මගේ සිත නොසන්සුන් කළේය. ඔවුන්ගේ ජංගම දුරකතන වලට මෙන්ම නිවසේ දුරකතනයට ද ඇමතුම් ලබා ගත්තද ඒ සියල්ලම ක්‍රියා විරහිතව තිබිණ.
“සමහරවිට මාව බලන්න එනවද දන්නෙ නෑ. එහෙමත් නැත්නම් අත්තම්මා බලන්න ගමේ ගිහින් ද දන්නෙත් නෑ.”
මම කල්පනා කළෙමි. අත්තම්මා සහ සීයා මා අසනීපයෙන් පසුවන බව මේවනතුරුත් නොදන්නවා විය යුතුය. නොඑසේනම් මේවනවිට ඔවුන් දුරකතර ගෙවාගෙන මා දකින්නට පැමිණෙන බව මට සහතිකය.
“අපියි ඉස්සර වෙලා යන්න ඕන පුතේ. අපේ ආයුෂත් අරගෙන තව ගොඩාක් කාලයක් ඔයා ජීවත් වෙන්න ඕන පුතේ.” යි අත්තම්මා පවසන අයුරු මට මැවී පෙනිණ. නිවසට ගිය පසු මට බොහෝ සෙනෙහස දක්වන ඔවුන් දැකීමට යායුතුයයි මට සිතිණ.
උදෑසන දහය වන්නට තවත් බොහෝ වේලාවක් ඉතිරිව ඇති බැවින් මම යහන මත වැතිරුනෙමි. දවස උදා වූ මොහොතේ සිටම දැක ගන්නට පෙරුම් පිරූ රුව මේවනතුරුත් දැකගැනීමට නොලැබීම පිළිබඳව සිත තුළ ඇති වූ සියුම් ශෝකයත් සමගම මා නින්දට වැටෙන්නට ඇත.
මා අවදි වූයේ කිසිවකු දොරට තට්ටු කරන හඬ ඇසීමෙනි. ජ්‍යෝති කලබලයෙන් දිව ආවාය. මගේ දෙනෙත් බිත්ති ඔරලෝසුව දෙසට යොමු වූයේ නිතැතිනි. උදෑසන දහය වන්නට තවත් විනාඩි පහළොවක් පමණ ඉතිරිව තිබේ.
“මැඩම් තව ලෑස්ති නැද්ද? ඇඳගෙන ඉන්න. මම වීල් චෙයාර්් එකත් අරගෙන එන්නම්.”
“මට නින්ද ගියා.”
මම පැවසුවෙමි.
“ඒක හොඳයි. ටෙස්ට් වලට ගියාම සමහර වෙලාවට පැය ගණනක් ඉන්නත් වෙනවනෙ. අඳින්න උදවු ඕනද?”
“නෑ. ජ්‍යෝති යන්න. මං ඇඳගන්නම්.”
ජ්‍යෝති පිටව ගියාය. මම වෛද්‍ය පීහු ෂර්මා තිලිණ කළ ඇඳුම් කට්ටලය යහන මත තබා දිග හැරියෙමි. මෙවන් ඇඳුමකින් සැරසී පරීක්ෂණ සඳහා යාම අපහසු වුව ද මා ඇගේ සිත සතුටු කළ යුතුය. සුදු පබලු වලින් හැඩ කළ ලා රෝස පැහැති ඇඳුම් කට්ටලය හැඳ ගත්තද, ඇඳුම් කට්ටලයට අයත් වූ බොහෝ තුනී සලුව පළඳින්නට මට නොසිතුනේ ඇතැම් විට එය පරීක්ෂණ සඳහා හිරිහැරයක් වීමට ඉඩ ඇති හෙයිනි.
හරියටම බිත්ති ඔරලෝසුවේ වේලාව දහය වශයෙන් සටහන් වන විටම දොරට තට්ටු කරන හඬ ඇසිණ. මහත් බලාපොරොත්තු සහගතව මගේ දෙනෙත් දොර දෙසට යොමු වුව ද දොර හැරගෙන කාමරයට පැමිණියේ වෛද්‍ය පීහු ෂර්මා සහ ජ්‍යෝතිය.
“ලෑස්තිද?”
වෛද්‍ය පීහු ඇසුවාය. මම හිස සැලුවෙමි.
“මේ ෂෝල් එක?”
යහන මත වූ සලුව අතට ගත් වෛද්‍ය පීහු ඇසුවා පමණක් නොව ඇය එය මගේ කරට ද දැමුවාය. මට ඉවසා සිටින්නට සිදු විය.
“අපි යමු.”
ජ්‍යෝති රෝද පුටුව මා සමීපයට රැගෙන ආවාය.
“එපා. මට දැන් ඇවිදගෙන යන්න පුලුවන්.”
මම පැවසුවෙමි. එහෙත් වෛද්‍ය පීහු ෂර්මා එයට සිය විරෝධය පළ කළාය.
“පුලුවන් බව ඇත්ත ඩිනාලි. අපි තව ටිකක් ප්‍රවේශම් වෙමු. දැන් හොඳ ළමයා වගේ වීල්චෙයාර් එකේ යමු.”
අවසානයේදී මට රෝද පුටුවෙහි හිඳ ගන්නට සිදු විය. වෛද්‍ය පීහු ෂර්මාත්, ජෝතිත් විදුලි සෝපානය ඔස්සේ මා පහත මහලට කැඳවාගෙන ගියහ.
“මේ කොහේද යන්නෙ?”
පරීක්ෂණාගාරය දෙසට නොව පිළිගැනීමේ කවුන්ටරයට ඇතුලතින් වූ දෙසට මා කැඳවාගෙන යද්දී මා ඇසුවේ කුතුහලයෙනි.
“මේ ටෙස්ට් එක කරන්නෙ මෙහේ. ඇයි ඩිනාලි.”
වෛද්‍ය පීහු ෂර්මා පැවසුවේ මුවග නැගි සිනාව වසන් කර ගැනීමට උත්සාහ කරමිනි. ඇය වසා තිබූ දොරක් හැරියාය. ඇති වූ පුදුමය නිසාම මට වදනක් හෝ කතා කර ගැනීමට නොහැකි විය.