ප්‍රේමයක බිඳ වැටීම හෝ විවාහයක බිඳ වැටීමට වඩා ආදරයෙන් ඇතිදැඩි කළ දරුවෙකුගෙන් ඈත් වීම මහා වේදනාවක් වග තේජ දනියි. නීතිමය පදනම ඔස්සේ බලද්දී ලියෝන් ඔහුගෙන් වෙන් කිරීමේ ඉඩ අල්ප වුවත් මේ මොහොතේ තේජ ඒවා නොසිතා අතිශය සංවේදීව හිඳින බව අනුත්තරාට වැටහේ.මේ මොහොතේ ඔහුට ශක්තියක් වන්නට ඇයට සිතුණේ එනිසා ය. පසන් හෝ ඇය සමඟ හැරෙන්නට තේජ යමක් කතා කරන අය ද අල්ප ය. හැම කෙනෙකු සමඟම සුහද ඔහු පෞද්ගලිකත්වය විවර කරන්නේ එහෙමත් කෙනෙකුට ය.
“ඔයාට ඕනනම් ලෝයර් කෙනෙකුට කතා කරමු.මැරි කරලා නැති එක වෙනම කතාවක්..ඒත් ලියෝන් දැන් ඔයා ගාව අවුරුදු පහක් විතර හැදුණනෙ.එහෙම හිතූ හිතූ විදියට ආපහු බබාව අරගෙන යන්න එයා මේසයක් පුටුවක් නෙවෙයි, දරුවෙක්. ඒක කෞෂිට අමතක ඇති. ඒත් අපි ඒක අමතක කරලා අවුල් වෙන්න ඕනෑම නෑ.”
අනුත්තරා එසේ කියද්දී තේජ සුසුමක් හෙළුවේ ය. දරුවන් සම්බන්ධ නීති සහ අණපනත් ඔහු රැකියාවෙන්ම දනියි. නමුත් හැම දැනුමක්ම අභිබවා සිත චංචල වී ඇති බව ඔහුට වැටහේ.
“මම නම් කියන්නේ ඕක ඔයා හිතන්නවත් ඕන නැති කාරණාවක්. කෞෂිට ඕනෑකම ඇත්තේ ඔයාට හර්ට් කරන්න මිසක් වෙන මොකුත් නෙවේ තේජ.ඔය වගේ කතා කිව්වට එයා බබාව ගනී කියලා හිතන්න එපා. අනික එයාගේ පාට්නර් ඒකට කැමති වෙයිද?”
අනුත්තරා අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන හඬකින් පැවසුවා ය. තේජ ඇය දෙස බැලුවේ වේදනාබර දෑසකිනි. හඬන්නට ඕනෑ මොහොතක පිරිමි කඳුළු සිරකර ගත යුතු නැතැයි වාගීෂ පවසන අන්දම අනුත්තරාට සිහි වේ. ඇය ඔහුට ආදරය කරන්නේ ඒ හන්දා ය. ඔහු හැඟීම් සිර කර ගන්නා මනුස්සයෙක් නොවේ.
“මට තේරෙන්නෙම නැති දේ තමයි ඇයි එයා මට මෙහෙම කරන්නේ කියලා අනූ. මම එයාට කිසිම වරදක් නොකරම පැත්තකට වුණා. මට ඕන වුණේ එයා කැමති ලෝකේ එයාට දීලා මගේ දරුවා එක්ක සැනසීමෙන් ජීවත් වෙන්න.ඒත් මේ මනුස්සයා මට රිද්දන්නමනෙ බලන්නෙ.එයාට සතුටින් ඉන්න පුලුවන් වෙලත්.”
අනුත්තරා ඒ වචන අසා මුදු සිනාවක් පමණක් හෙළී ය.අනතුරුව ඇය කතා කළේ ප්‍රවේසමෙනි. සමහර මිනිස් හැසිරීම් තෝරා ගන්නට අපහසු ඒවා බව ඇය උගත්තේ ඇයට තිබූ සමහර ප්‍රේම සම්බන්ධතා නිසා ය.
“එහෙම තමයි මිනිස්සු.අපිට රිද්දන ගොඩක් අය හැසිරෙන්නේ අපි එයාලට රිද්දුවා වගේ.ඊට පස්සේ කරන්නේ ආයේ ආයේ අපිට රිද්දන්න ක්‍රම හොයන එක.ඒක සමහර මිනිස්සුන්ගෙ විදිය.ඒවාට හිත රිද්ද ගන්න එපා. ඒවට හිත රිද්දා ගත්තොත් අපිට සදාකාලෙටම හිතින් අඬා වැටි වැටි ඉන්න වෙන්නේ තේජ.”
නොරිදවා ජීවත් වීමේ පාඩම බොහෝ අය නොදන්නාකමින් බොහෝ ගැටළු ඇති වන බව අනුත්තරා හොඳින් දන්නා කාරණාවකි. ඇයට ඒ බව සනාථ කරන්නට තේජ සමඟ කියන්නට තවත් කතාවක් තිබිණ.
“ඔයා දන්නවද? අයින් උනාට අයින් වෙලා ඉන්න විදිය නොදන්නේ සහන් විතරක් නෙවෙයි.ඒක අපේ ලාවිගේ එක්ස් හස්බන්ඩ් භවන්ත කියන බූරුවා දන්නෙත් නෑ. මහා වේදනාවක් දීලා යන්න ගියේ ඒ යකාමයි.දැන් වයිෆ් එක්ක රණ්ඩුවක් දාගත්තු හැටියේ ලාවිට කෝල් කරනවා. මේ ළඟදි ලාව්ගේ ලයිව් එකකට කෝල් කරලා. වෙලාවට අනිත් ඩීජේට වැඩේ තේරිලා. ඌ ලයින් එක කට් කරලා. රස්සාවට පවා බලපෑම් කරන්න තරම් කොච්චර තිරිසන් වෙන්නෝනද?”
එකිනෙකාට විවිධාකාර ප්‍රශ්න පවතී.නමුත් කෞෂි සහ භවන්ත තමන්ටත් ලාවන්යාටත් ගෙන එන්නේ එකම අන්දමේ ප්‍රශ්න බව තේජට සිතිණ.ඔහු සුසුමක් හෙළුවේ ය.සබඳතා පවත්වා ගැනීම අතින් මිනිසුන් මොනතරම් අසාර්ථකදැයි තේජට සිතේ. මේ මොහොතේ ඔහුට අවශ්‍ය ලියෝන් පමණක් ජීවිතය තුළ රඳවාගෙන අනෙක් සියළු බැඳීම්වලින් විනිර්මුක්ත වන්නට ය.
“අපි කවුරුත් අසරණ වෙන තැන තමයි තේජ බැඳීම් කියන්නේ. බැඳීමක් හිතේ තිබ්බ මිනිස්සු විකාර කරද්දී අපි කවුරු වුණත් අසරණ වෙනවා. ඒ මිනිස්සුත් ඒක දැනගෙනම තමයි ඕවා කරන්නෙත්”
අනුත්තරා පැවසුවේ ළතැවිල්ලේ ය.ඒ ළතැවිල්ල දහස් ගුණයකින් වැඩි කරන සිදුවීමක් ඉන් තත්පර කිහිපයකට පසු සිදු වන බව ඇයට ඒ මොහොතේ නොවැටහිණ.නමුත් එයට පිඹුරුපත් සැකසෙමින් තිබිණ. එවැන්නක් සිදු වෙන්නට යන වග දන්නවානම් ඇය කෙසේ හෝ එය නවත්වන්නට කළ හැකි සියල්ලම කරන්නට ඉඩ තිබිණ.දොරටුවට සන් කිරීමකට පසු ලාවන්‍යා තේජගේ කාමරය වෙත ආවේ ඒ මොහොතේ ය. අනුත්තරා ඔහු ඉදිරිපිට වාඩි වී කතා කරමින් හිඳීම ඇයට ඊර්ෂ්‍යා සහගත සිතිවිලි උපදවන්නේ නැත.
“මං ඉතිං කොහොම හරි උඹේ ආදරේ ගැන එයාට කියන්න තමයි ට්‍රයි එක දෙන්නෙ”
අනුත්තරා තිස්සේම එසේ පවසන්නී ය. ඒ නිසා මෙතැන සිදුවන්නේ එහෙම දෙයක් බවට ලාවන්‍යා වැරදි වැටහීමක් ඇති කර ගත්තා ය.
“ඔයාට අද රෙකෝඩින්ග් නෑ කියලා පණිවිඩය ආවේ නැද්ද?”
තේජ එසේ ඇසී ය. ලාවන්‍යා නැතැයි කියන්නට හිස වැනුවා ය. එය එසේ වන්නට ඉඩ තිබේ. මෙතැන එහෙම කටයුතු ඕනෑ තරමට සිදු වේ.
“මටත් අද වැඩ ගොඩ ගැහිලා. මේ ප්‍රශ්නයක් ගැන තේජ එක්ක කතා කර කර හිටපු නිසා හදන්න තිබ්බ එකවුන්ට්ස් ගොඩක් ගොඩ ගැහිලා. නැත්නම් මට ලීව් එකක් දාලා ඔයා එක්ක ෂොපින් පාරක්වත් යන්න තිබ්බා අප්පා”
අනුත්තරා ලාවන්‍යාට කියන්නේ පසුතැවුණු හඬකිනි. ඇය දැන් හවස් වරුව ඔහේ ගෙවා දමන්නට ඉඩ තිබේ. තනි වූ යුවතියකට එය එතරමට පහසු නැත.
“ලාවන්‍යා, ගෙදරද යන්නේ? යං. මටත් ගෙදර යන්න ඕන. බබාගේ ඩේ කෙයා එකටත් ගිහින් යැවෙන්නේ. කමක් නෑනෙ?”
තේජ එසේ අසද්දී ලාවන්‍යා නෙත් කොණකින් මිතුරිය දෙස බැලුවා ය. අනතුරුව කැමැත්ත පළ කරන්නට හිස වැනුවා ය.