අඩුපාඩුව

සුභාෂ් කුස්සියට දුවගෙන ආවේ බයේ ගැහෙමින්.ඔහු හෙව්වෙ මල්ෂාව.උදෙන්ම ඇහැරුණු මල්ෂා ඒ වෙද්දි උයන්න පටන් අරගෙන තිබුණා.

” මල්.. මං බයවුනා “

සුභාෂ්, මල්ෂාගේ ඔඩොක්කුවේ තිබුන එළවළු කපන ලෑල්ලත් පිහියත් අතට ගත්තා.

” ඔයාට තිබුනනෙ මට කතා කරන්න .ඔයා මේවා තනියම කරන්න ඕනේ නැහැ “

” මට මේවා තනියම කරන්න පුළුවන් සුභාෂ් “

එහෙම කියපු මල්ෂා රෝද පුටුවේ රෝද දෙක කරකවමින් ශීතකරණය ළඟට ගියා.එක පාදයක් අහිමි වෙලත් කඩිසරව වැඩ කරන මල්ෂා දිහා සුභාෂ් බැලුවෙ ගෞරවය මුසු වුණ ආදරයකින්

සුභාෂ්ට මල්ෂාව මුණගැහෙන්නේ විශ්ව විද්‍යාලයේදී. අවසන් වසරේ දී පටන් ගත්ත ප්‍රේම සම්බන්ධය ඔවුන් දෙදෙනා වෙනත් ක්ෂේත්‍ර වල රැකියාවන් වල නිරත වුණත් වෙනස් වුණේ නැහැ. කුඩා කාලයේදීම පියා අහිමි වුණ මල්ෂා , තමන්ගේ අම්මව රැක බලාගෙන රැකියාව කරන ගමන් මල් වැවීමේ ව්‍යාපාරයකුත් පුංචියට කරගෙන ගියා.

” ඔයා හරි උත්සාහවන්ත කෙල්ලෙක් මල් .මම ගොඩක්ම කැමති ඒකට “

හැමදාම හවසට රැකියාවට ගිහින් එන ගමන් මල්ෂා ව බලන්න යන්න සුභාෂ් අමතක කළේ නැහැ.පෝසත් පවුලක තරුණයෙක් උන සුභාෂ්ගේ පවුල වලව් පරම්පරාවකට හිමිකම් කිව්වා.

” ඔයාලගේ ගෙදරින් මට කැමති වෙයිද කියලායි මට බය “

ශක්තිමත් හිතකින් ජීවිතයට මුහුණ දෙන මල්ෂා බයවුනේ සුභාෂ්ගේ දෙමව්පියන්ගේ කැමැත්ත හිමිවෙයිද කියලා විතරමයි.

” අපේ අම්ම නං මට කියලා තියෙන්නේ දුප්පත් වුණත් කමක් නැහැ කෙල්ල හොඳ නම් ඒ හොඳටම ඇති කියලයි “

සුභාෂ් එහෙම කිව්වත් මුළු ගමේම නම් දරාගෙන හිටපු සුභාෂ්ගේ පවුල ගැන දන්න නිසාම මල්ෂා හිටියේ තරමක දෙගිඩියාවෙන්

” අපේ අම්මා පාදුක්කේ තියෙන ඉඩමක් මගේ නමට ලියන්න හදන්නේ මල්ෂා.ඉතුරු කරගත්ත සල්ලි වලින් මං එකේ ගෙයක් හදනවා පොඩියට “

” මගේ ජොබ් එකේ පඩියෙන් නම් ඒ හැටි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ සුභාෂ්.හැබැයි බිස්නස් එකෙන් හම්බ වෙන සල්ලි වලින් නං ඉතුරු කරගත්ත ගානක් තියෙනවා.ඒ ටිකයි මගේ රත්තරන් බඩුයි දෙන්නං ගේ හදන වැඩේට “

” ඉස්සර හදිසියක් නැහැ ළමයෝ ගේ හදන්න. අපි එන විදිහක් බලමු “

සුභාෂ් වගේම මල්ෂාත් ඔවුන් දෙන්නගේ අනාගතේ ගැන හීන ගොඩක් දැක්කා.මල්ෂා ගේ අම්මව මුණ ගැහුණු සුභාෂ් ජීවිත කාලයටම මල්ෂාව බලාගන්න බවට පොරොන්දු දුන්නා.

ජීවිතයේ හැම හැම දෙයක්ම සිතන පතන ආකාරයට සිදු නොවෙන බව පසක් කරමින් හැම දෙයක්ම කනපිට පෙරලෙන්නේ ඒ අතරේ.එක දවසක උදේ රැකියාවට යන අතරතුරදී අනපේක්ෂිත විදිහට මල්ෂා දරුණු රිය අනතුරකට මුහුණ දෙනවා.ගණනාවක් පුරාවට ම ජීවිතයක් ජීවිතයත් මරණයත් අතර සටන් කරපු මල්ෂා ජීවත් වෙන්න වාසනාව ලැබුවත් , ඉස්සර වගේ පොලවේ පයගහල ඇවිදින්න වාසනාව ලැබුණේ නැහැ.පාදයකට සිද්ධ වෙච්ච දරුණු හානි නිසා දණහිස ළඟින් පාදය කපා ඉවත් කරන්න වෛද්‍යවරුන්ට සිද්ධ වෙලා තිබුණා

” මල් “

රෝහලේ ඇඳක් මත වැතිරිලා සිවිලිම දිහා ඔහේ බලාගෙන ඉන්න මල්ෂාව බලන්න සුභාෂ් ආවෙ පුරුදු හිනාවත් අරගෙන

” ඔයා ආයේ මාව බලන්න එන්න එපා “

මල්ෂා කිව්වේ මුරණ්ඩු හඬකින්

” දැන් තමයි ඉස්සරටත් වඩා මම ඔයාව බලාගන්න ඕනේ “

සුභාෂ් වෙනදාටත් වඩා ආදරෙන් මල්ෂා ගේ හිස අතගාද්දි මුළු ආත්මයම සුවපත් වෙනවා වගේ මල්ෂාට දැනුනා.ටිකෙන් ටික සනීප වෙන මල්ෂාව ඉක්මනින්ම විවාහ කර ගන්නයි සුභාෂ්ට ඕන උනේ

” අබ්බගාත කෙල්ලෙක් බඳින්න උඹගෙ මොළේ හොඳ නැද්ද ලොකු පුතේ ? “

වලව් පැලැන්තියකින් පැවතගෙන එන මාන්නයෙන් හිස උදුම්මවා ගත් සුභාෂ්ගේ අම්මා ,සුභාෂ්ගේයි මල්ෂාගේයි සම්බන්ධයට එකහෙලාම විරුද්ධ වුණා

” මල්ෂා උපතින්ම අබ්බගාත ළමයෙක් නෙමෙයි නේ අම්මේ.එහෙම වුණේ මාත් එක්ක යාළු වෙලා ඉන්නකොටම ඇක්සිඩන්ට් එකකින්.කකුල කපන්න වුනා කියලා මම ඒ ළමයව අතාරින්න ඕනෙද ? “

” උඹ මොනව කිව්වත් මම ඔය කසාදෙට කැමති වෙන්නේ නැහැ “

” අම්මා කිව්වනේ දුප්පත් ළමයෙක් වුණත් කමක් නැහැ කියලා ? “

” දුප්පත් ළමයෙක් වුණත් කමක් නෑ කිව්වට අබ්බගාත ළමයෙක් කමක් නැහැ කිව්වේ නැහැනේ මම “

සුභාෂ්ගේ අම්මා කතා කළේ කෝපය මුසු වුණ උස් හඬින්

” අම්මගේ කැමැත්තෙන් අකමැත්තෙන් වැඩක් නැහැ.මම මල්ෂා ව කසාද බඳිනවා.එයා අසරණ වුන වෙලාවේ මට එයාව අතාරින්න බෑ “

” උඹ එහෙනං අසරනයන්ට පිහිට වෙවී හිටපන්.හැබැයි මේ අම්මා මැරුණා කියලා හිතා ගනින්. ආවදෙන්කෝ තාත්තා ,මම කියන්නම් පුතාගේ කෙරුවාව “

දෙමව්පියන්ගේ අකමැත්ත නොසලකා හැරපු සුභාෂ් , මල්ෂා කියන්නේ තමන්ගේ වගකීමක් කියලා හිතාගෙන වැඩ කළා.මාසයක් වගේ කෙටි කාලයක් ඇතුළත ඉදි කරමින් තිබුණ නිවසේ අත්‍යවශ්‍යම කොටස් ඉදිකරලා ඉවර කරපු සුභාෂ් මල්ෂා ව විවාහ කර ගන්න සූදානම් වුනා

” අපට සල්ලි ඕනම කාලේ මගේ ජොබ් එක නැති උනානේ සුභාෂ් “

අධ්‍යාපන සුදුසුකම් තියෙද්දිත් ,හදිසි අනතුර නිසා අහිමි උන රැකියාව ගැන මල්ෂා කතා කළේ කම්පාවෙන්

” ජොබ් එක නැති උනාට ඔයාගේ බිස්නස් එක නැති උනේ නැහැනේ මල් “

සුභාෂ් හැම වෙලාවකම මල්ෂාට ධෛර්යය දුන්නා.ඒ ධෛර්යයෙන් මල්ෂා ගතින් නැතත් හිතින් නැගී සිටියා.හය හත් දෙනෙකුගෙන් යුතු පිරිසක් මැද්දේ සුභාෂ් සහ මල්ෂා විවාහ වුණා. ජීවිතයේ හොඳම තීරණය අරගෙන ආදරණීය ස්වාමි පුරුෂයෙකු ගේ බිරිඳ වුන තමන්ගේ දියණිය දිහා මල්ෂා ගේ අම්මා බැලුවේ කඳුළු පිරුණු දෑස්වලින්.

පාදයක් අහිමි තරුණියක් විවාහ කරගත්ත නිසා සුභාෂ්ගේ පවුලේ අයට බොහෝමයක් අවනම්බු විඳින්න සිද්ධ වුණා.පවුලේ නම්බුව ගැන ඕනාවටත් වඩා හිතපු සුභාෂ්ගේ අම්මා සුභාෂ් ගැන වගේම මල්ෂා ගැනත් හිටියෙ පුදුමාකාර වෛරයකින්

” දැන් ඉතින් ඒ ළමයි එක වහලක් යටට වුන එකේ අපි තවත් තරහෙන් ඉඳලා තේරුමක් නැහැනේ “

සුභාෂ්ගේ තාත්තා එහෙම කියද්දි පුතාගේ කැමැත්තට ඉඩ දෙනවද නැද්ද කියලා සුභාෂ්ගේ අම්මා දහස් වාරයක් කල්පනා කළා.

විවාහයෙන් දින කිහිපයකට පස්සේ සුභාෂ්ගේ අම්මා සුභාෂ් සහ මල්ෂා ජීවත් වෙමින් හිටපු භාගෙට ඉදිකරපු නිවස වෙත ආවා.විවිධාකාර මල් පෝච්චි වලින් පිරුණු සුන්දර ගෙවත්ත දැකලා සුභාෂ්ගේ අම්මට දැනුනේ පුදුමයක්.ඇරලා තිබුණ නිවසේ දොරෙන් ඇතුලු වුන සුභාෂ්ගේ අම්මා මොහොතක් නිහඬව බලාගෙන හිටියා.

” සුභාෂ් “

කුස්සියේ හිටපු සුභාෂ් තමන්ගේ අම්මාගේ හඬ ඇහිලා සාලයට එනකොට තනිවම රෝද පුටුව හසුරුවාගෙන මල්ෂා ඔහු පසු පසින් සාලයට ආවා

” අම්මේ “

” ඔයා අන්තිමට එහෙනම් ඔයාට ඕන දේ කර ගත්ත නේද “

සුභාෂ්ගේ අම්මා තරමක් සැරෙන් අහනකොට මල්ෂා බිම බලා ගත්තා.

” මම අම්මට කිව්වනේ කලින්ම “

” ගමේ මිනිස්සු අපිට අපහාස කරනවා.කාගෙන්වත් කතාවක් අහගන්නේ නැතුව නම්බුකාර විදිහට ජීවත් උනේ අපි.අඩුපාඩුවක් තියෙන කෙල්ලෙක්ව පුතා බැඳගෙන කියලා දවසට කීදෙනෙක් නම් අපිට නොකියා කියනවද “

” අඩුපාඩුව තියෙන්නෙ මල්ෂාගේ නෙමෙයි අම්මේ.මිනිස්සුන්ගෙ හිත් වල”

සුභාෂ් කිව්වේ බොහොම සන්සුන් හඬකින්.

More Stories

Don't Miss


Latest Articles