“ඇයි ඔයා ආවේ?”
සියල්ල සුන්දරව සිදුවන්නට නියමිතව තිබුන බවත්, කොහෙන්දෝ එකපාර කඩා පාත් වූ අඳුරු වලාකුලක් නිසාවෙන් ඒ සුන්දර වස්සානමය අපූර්වත්වය බොඳ වී ගිය බවත් අනුපට දැනුනි.
රෝස පැහැ බාබි කේක් එක මේසය මත තැබුවේ අවසානයටය. එයට පෙර රෝසත් සුදුත් මුසු වූ බැලුම් එල්ලා, අනුප නිවස කලඑලි කරගත්තේ තාත්තාගේ උදව්වෙනි. අම්මා උන්නෙ කුස්සියට වී සැන්ඩ්විචස් සහ කට්ලට් සකසන්නට වෙහෙසෙමිනි. එහෙත් ඒ කලබලය වෙහෙස ආදරයත් කිරි සුවඳත් මුසු වූවක් බවට දෙස් දෙන්නක් විය.
දුලන්‍යා උන්නෙ කලින්ම තම බාබි ගවුම ඇඳගෙන එහෙට මෙහෙර කැරකෙමින්. සතුටෙන් ය. ඇයට අනුව මේ තවත් එක් සුන්දර දවසකි. තමන්ගේ ගෝ ප්‍රෝ කැමරාව ඇති නිසාවෙන් මේ උත්සවයේ සුන්දර මතක සටහන් කිහිපයක් කැමරාවේ සටහන් කරගන්නට බලාපොරොත්තුවක්ද අනුපට විය. එයට සබැඳි තවත් ප්‍රේමණිය රහසක් සිත අස්සේ කිති කැවුනි. ඒ උශාලිගේ සුන්දර ජායාරූපයක් අරගන්නටය.
මෙතෙක් දිනක් තමාවත් දුලන්‍යාවත් අවට ලෝකයත් අමතක කර මෙන් ජීවත් වුණු ෂෝබිතා හදිසියේම මෙසේ මෙහි ආවේ කිනම් හේතුවක් නිසාවෙන්ද කියා අදහසක් අනුපට වූයේ නැත. අනෙක් අතට කුලරත්න යුවල වුවද උන්නේ මද තිගැස්මකිනි. ෂෝබිතාගේ මේ අනපේක්ෂිත ආගමනය දුලන්‍යාට පවා මද තිගැස්මක් එක්කර දෙයක් වූ නිසාවෙන්දෝ මෙතෙක් වේලා දඟලමින් උන් ගමන නවතා ඇය අත්තම්මාගේ ගවුම් සාය පිටිපස්සේ සැඟවී ඉන්නට විය.
“කම් බේබි” ෂෝබිතා එසේ ඇමතුවද දුලන්‍යා තම රවුම් දෙනෙත වඩාත් රවුම් කරගෙන බලා උන්නා මිසක ආවේ නැත.
“කම් බේබි කම් හියර්. මේ බලන්න අම්මි මොනවද ඔයාට ගෙනාවෙ කියල”
ෂෝබිතා විසින් ගෙන එන ලද යම් කිසි තෑග්ගක් දුලන්‍යා වෙත දිගු කරමින් කතාබස් කරද දුලන්‍යා උන්නේ ඒ හඬ නොඇසෙන්නාක් මෙන් හැඟිම් විරහිත දෑසකින් එ දෙස බලාගෙනය.
තමා දුලන්‍යා පිළිබඳ එතරම්ම නොසිතුව කලක වුව තමා අසලටම වී ඉන්නට උත්සහ කල ඇය අද වන විට මෙවන් වෙනස් දුරස් හැසිරීමක් පලකිරීම ගැන ෂෝබිතාගේ හිතේ වූයේ කොපයකි. “මුං ඔක්කොම එක පැත්තක” යන කෝපාන්විත හැඟීම සිතට ආවෙ ඇයිද කියන්නටවත් පැහැදිලි අදහසක් ඇයට දැනුනේ නැත. අනෙක් අතර අනුප පසුකර දුලන්‍යා වෙත යන්නට සිත එකලස් කරගන්නට පවා හැකියාවක් තිබුනේ නැත.
මේ වසර කිහිපයක් තමා ජීවත් වූ නිවසය. නොකියාව මින් නික්මී ගිය මාස කිහිපය තුල පවා තමන්ට මෙතරම්ම වෙනසක් දැනෙන්නේත් ආගන්තුක බවක් දැනෙන්නේත් ඇයිදැයි නොතේරේ. ඒ හැඟීම දරාගන්නට අපහසු එකක් වුවද උඩඟුකම නිසාවෙන් එක එල්ලේම සියල්ලන්ගේම දෑස දෙස බලන්නට හැකියාවක් තිබීම වාසනාවකි.
“ෂෝබිතා මම ඇහුවෙ ඇයි ඔයා ආවේ?”
අනුප වඩාත් තදින් ඒ ප්‍රශ්න ඇසුවේ දෙවන වතාවටය. පිලිතුරක් දෙන්නට පෙර ෂෝබිතා නැගුවේ සමච්චල් සහගත් උස් සිනහවකි. සිනහවකට වඩා එය “හුහ්” යනාකාර සද්දයකි.
“මගෙ දරුවගෙ බර්ත් ඩේ එකට එන්න මට ඔයා ඉන්වයිට් කරන කම් ඉන්න ඕනද?”
“මගෙ දරුවා? හ්ම්”
ඉතිරි වදන් කියනට පෙරාතුව අනුප අම්මා දෙස බැලුවේ “දුලාව මෙතනින් එක්කන් යන්න” කියන පණිවිඩය දෑසින් හුවමාරු කරගනිමිනි. මේ දුලන්‍යා අසා හිඳිය යුතු වදන් නොවේ. තමන් සහ ෂෝබිතා දුලන්‍යාගේ මව් දෙමව්පියන් වුවද මේ කතා බහ ඇය අසා හිඥ්ඩිය යුතු දෙයක් නොවේ.
“බර්ත් ඩේ එක ගන්නෙ නැද්ද ආත්ති” කියා අඬන්නට ඔන්න මෙන්න හඬකින් ඇසූ දුලන්‍යාව වඩාගෙන අම්මාත් තාත්තාත් උඩු මහලට ගියේ ඇයව නලවන්නට බොහෝ දේ කියමිනි.
“මගෙ දරුව කියල ඔයාට මතක් උනේ අද ද? මෙහෙන් මෙ එකපාර යද්දි ඔයාට ඒව මතක් වෙන්නෙ නැතුව ඇති නේද?”
ඒ වදන් අසලදී වුව උඩඟුකමෙන් සහ උද්දච්චකමෙන් තමා දෙසම සමච්චල්සහගතව බලා හිඳිනා ෂෝබිතා වෙතම නෙත් යොමුකරගෙන අනුප පැවසුවේ වචන වඩාත් තද කරය.
“ඒක මට අදාල නෑ. ඒක වෙලා ඉවරනේ. මම අද ආවේ දුලා එක්ක බර්ත් ඩේ එක සෙලිබ්රේට් කරන්න. එයාට මේ ගිෆ්ට්ස් දීලා යන්න”
“ඔයාගෙ ගිෆ්ට්ස් දුලාට වැඩක් නෑ ෂෝබිතා, අම්ම කෙනෙක් ඕනම වෙලාවක දරුවෙක් දාලා ගිය ගෑණියෙක් තෑගි නෙවෙයි මොනව උස්සගෙන ආවත් වැඩක් නෑ කියල නොතේරෙන තොත්ත බබෙක් නෙවෙයිනෙ ඔයා. ඒ නිසා ප්ලීස් යන්න. අපි අද මේ ගොඩක් කාලෙකට පස්සෙ සන්තෝසෙන් මෙහෙම දෙයක් ඇරෙන්න්ජ් කරගත්තෙ. ඒකත් මේ අසරණ දරුව වෙනුවෙන්. ඔයා අපිට ලැජ්ජ කරපු තරමයි, හිත් රිද්දපු තරමයි හොඳටම ඇති. ඒ නිසා ආපු අතක් බලාගෙන යන්න”
“මේ අනුප ඔයාගෙ ගෙදර නිසා ඔයා මෙතන මේ ලොකු සීන් දැම්මට හිතන්න එපා මම මේ බයවෙයි කියල. අමතක කරන්න එපා මට තාම මෙතනට එන්න අයිතියක් තියන බව”
“අයිතියි? හහ් හහ් හා. අයිතිය. කොහෙ තියන අයිතියක් ගැනද ඔයා කතා කරන්නේ? මැඩම්ට අමතක උනාද දන්නෙ නෑ නේද ඔක්කොම දේවල අතෑරල දාල යද්දි තමන්ට හිතිච්ච හිතිච්ච වෙලාවට යන්න එන්න මේව මේ අම්බලම් නොවන බව”
“මං මේ මේව අස්සෙ රිංගන්න ආවෙ නෑ ඕයි. මට මේ ඉන්න හිටින්න තැනක් නෑ කියලද හිතාගෙන ඉන්නෙ මේව අස්සෙ රිංගන්න”
“ඔයාට ඉන්න හිටින්න වගේම කන්න බොන්න දෙන්න ලෑස්ති අය ඕන තරම් ඉන්න බව මම දන්නවද. ප්ලීස් යන්න. ඔයා ගෙනාපු තෑගි තියල යන්න. කමක් නෑ අරන් ආව ඒවනෙ”
“මට දුලන්‍යාට කතා කරන්න ඕන”
“ඔයා දෙපාරක් කතා කරත් එයා ආවෙ නෑනෙ. කමක් නෑ ආයෙ ට්‍රයි කරල බලන්නකො. ඔයා මේ හිතේ කිසි තෙතමනයක් නැති ගෑණියෙක් වුණාට මට මගෙ දරුවගෙ අම්ම කියල සලකල ඔයාට ඒ ලැබෙන්න ඕන දේවල් නැතිකරන්න උවමනාවක් නෑ
අම්මා දුලාව පොඩ්ඩක් එක්කරගෙන එනවද?”
අනුපගේ උස් හඬ නිවස පුරා සිසාරා ගියේ උඩු මහලේ විවෘත ටෙරසයට වී එකිනෙකා හා කතා බස් කරමිනි.
“අනෙ මන්ද මහත්තය මොනව වෙන්න යනවද කියල” ආරියලතා එසේ පැවසුවද කුලරත්න මහතා උන්නේ විසල් කල්පනාවක ගිලී නිහඬවය.
“යන්න ගිය මනුස්සය ආය මේ තකහනියෙ ආවෙ මොකද කියලයි මට තියෙන ප්‍රශ්නෙ”
කුලරත්න මහතා නිහඬව උන්නද ආරියලතාට නිහඬ වන්නට හැකියාවක් තිබුනේ නැත. ප්‍රශ්නවලට මුහුණ දී තිබෙන්නේ තමන්ගේ දරුවාත් දුලන්‍යාත් පමණක් නොවේ. දරුවන්ගේ ප්‍රශ්න දෙමව්පියන්ටද ප්රශ්නයකි. පුතුත් ෂෝබිතාත් කතා බහ කරන දේවල් මෙතනට එහෙමකට කියා නොඇසුනද මෙතුවක් කාලයක් අහන්න දකින්න වුණු දෑ සමග එක කතාබහ තේරුම් ගැනීමේ අපහසුවක් නොමැත.
“අපිට බලන් ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ නෝනෙ. මොකද අපෙ දරුව උනාට ඒ ළමයින්ගෙ පවුල් ජීවිතනෙ. ඒ වෙලාවට අවවාදයක් දෙනව ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැ. අපිට කියල තීන්දි තීරණ ගන්න පුලුවන් ප්‍රශ්න නෙවිනෙ ඕව”
කුලරත්න මහතාගේ වදන් ඉදිරියේ නිහඬ වුවද ආරියලතාගේ හිත තිබුනේ දොඩමලු වෙමිනි. එහෙත් පුතුගේ අඬගැසීම අනුව දුලන්‍යාද රැගෙන පහලට යනවා හැරෙන්නට ඒ මොහොතේ කල හැකි වෙන කිසිවක් ගැන ආරියලතා දැන උන්නේ නැත.
“කේක් කපන්නද ආත්ති අපි යන්නේ?” කියමින් දුලන්‍යා අසයි. ඔව් කියා වචනයෙන් කියන්නට නොහැකි තැන දෑස් විසල් කරගෙන තමා දෙසම බලා හිඳින දුලන්‍යාගේ මුහුණ දෙස බලා ඇයගේ හිස සිම්බාය. ඕඩිකොලෝස් සුවඳ එක්වුන ඉමිහිරි සුවඳක් ඒ හිසෙන් වහනය වෙද්දී සිත වෙඬරු ඉඬක් මෙන් හුණුව වැගිරෙන්නට වූවාය.
ෂෝබිතා කෙතරම් කතා කරද දුලන්‍යා උන්නේ ඇය වෙත යන අදහසකින් නොවේ. අම්මා තමාට ආදරය නොකරන බවක් තේරුම් ගත්තාක් මෙන් ආච්චි පිටුපස සැඟවී හුන් දුලන්‍යාගේ දෙනෙත නතර වී තිබුනේ එහායින් පෙනෙන බාබි කේක් ගෙඩිය මතය. ඒ කේක් ගෙඩිය කපා ඉන් කෑල්ලක් රස විඳින්නට නොහැකි වීම මතය.
අනෙක් අතට අනුප උන්නේ පුදුමාකාර කලකිරීමකිනි. ෂෝබිතා නික්ම ගියයින් පසුව මේ නිවසේ මෙසේ කුඩාවට හෝ සමරන්නට කියා දෙයකට ආවේ දුලන්‍යාගේ උපන්දිනය පමණි. ඒ සතුටත් විනාස කර දමනු පිණිස ෂෝබිතාට අදම එන්නට සිතුණේ ඇයිදැයි අනුපට සිතා ගන්නට නොහැකි විය.
“තමුසෙල නම් මහ පුදුම මිනිස්සු. මගෙ ළමයවත් මගෙන් ඇත් කරන්නද හදන්නෙ? මතක තියාගන්නව මට ඕන නම් ළමයව ඉල්ලන්න පුලුව්න බව උසාවියෙදි”
තමා කීප වරක් කතා කරද දුලන්‍යා තමා වෙත නොඒම ගැන ෂෝබිතා උන්නේ පුදුමාකාර කේන්තියකිනි. මේ තමාගේ කුසින් වැදූ, තම කිරෙන් පෝෂණය කල දරුවායැයි යන සිතුවිල්ලට වඩා ඒ කෝපයට තුඩු දුන්නේ තම දෑසට පේන්නට බැරි කුලරත්න පවුලේ මහ දෙන්නාත් අනුපත් ඉදිරියේ දුලන්‍යා තමාව මෙසේ ප්‍රතික්ෂේප කිරීමය.
ගෙනා තෑගිද එහෙමම තබා, තම කෑ ගැහිල්ල ඉදිරියේ අඬන්නට පටන් ගත් දුලන්‍යා වෙත එකී කෝපය බැල්මකින් යා කර ෂෝබිතා කුණාටුවක් මෙන් නික්ම ගියේ කුලරත්න නිවසේ සියලු සන්තුශ්ටින් බිඳ දමමිනි.
අනුපට උශාලි මතක් වුනේ ඒ මොහොතේය.
ඒ මොහොත, එවෙලේ දැනුන හැඟීම මොනතරම් වේදනාකාරීද යන්න පැහැදිලි කරන්නට අපහසුය. කුසේ සිට නැගී ආ යම් ගින්දරක් උගුර දවාලන්නක් මෙන් දැනෙද්දී අඬන් දුලන්‍යා වඩාගෙන නලවද්දීත් සිත තුල සම්පූර්ණයෙන්ම ඇඳී තිබුනේ උශාලිගේ රුවයි.
“ශික් එයා ආපහු ගෙදර ගියාද දන්නෙ නෑ”
කොහේදැයි කියා අසා මැසේජයක් දැම්මද පිලිතුරක් නැත.
දුලන්‍යාව අම්මා අතට දී අනුප ගෙයින් පිටවුණේ “මම ඉක්මනට එන්නම්” යැයි කියාය. මහ වැස්සක වාහනය අරගෙන යද්දීත් එක් අතකින් උශාලි දුරකතන අංකය ඇමතුවද ඇය පිලිතුරක් දේ ද යන සැකය සිත අස්සක විය.
තමා විසින් ඇයට නිසියාකාර පැහැදිලි කිරීමක් නොකර එසේ කීම ගැන දැන් බොහෝ වර තැවුණද එවෙලේ එය හැරෙන්නට කර කියාගන්නට දෙයක් නොමැතිව තමා අසරණ වූ වග දන්නේ තමා පමණකි.
“හෙලෝ”
ඒ හඬ ඇඬුම්බර බව දුරකතන ඔස්සේ වුව හඳුනාගන්නට අපහසු වූයේ නැත.