ඔහුත් එක්ක ඇවිදින්න යන්න ඕනේ කියා මා ඇවිටිලි කරත්දී විදුර ඊට එකඟ වූයේ මන්දහාසයකිනි. බෝ කලක් වෙන් වෙන් ව සිටිනවාට වඩා ටික කලක් හෝ එක් ව හිඳින එක සැපතකැයි මම මුරණ්ඩු ලෙස කීවෙමි. කොහොමටත් අම්මා ගේ කාර්ය බහුලත්වය නිසා මට ඒ තරම් බියක් වූයේ නැත. ඇයට මා ගැන හොයන්නට නම් වෙලාවක් ඇත්තේ ම නැත. අනිත් අතට මා ප්‍රේමයක පටලැවී ඇති බවට සැකයක්වත් මේ වෙත්දී අම්මාට තිබුණා නොවේ. මා විනෝද වන්නේ මිතුරු ඇසුරෙන් බව ඇය දැන සිටියා ය. ඒ නිසා මිතුරන් සමගින් මා පිටතට ගියායි කීව ද ඇය ඒ ගැන අහිතක් හිතන්නේ නැත. විදුර දේශපාලනික වශයෙන් යම් නිදහසක් ලබා සිටින මේ කෙටි කාලය තුළ මගේ සැමරුම් පැසට ඔහු හා බැඳුණු මතක කැබලිති එකතු කර කරන්නට මට වූ ආශාව ගැන විදුර සම සිතින් සිතුවේ ය.
උදේ ගෙදරින් පිටත් වී ඇඳිරි වැටෙන විට යළි ගෙදර පැමිණිය හැකි සීමාවකට අප යා යුතු ව තිබිණ.
“සීගිරි යංද..”
ඒ යෝජනාව මගෙනි. කොහොමටත් සීගිරිය බෙහෙවින් මා මන බඳනා සංචාරක ස්ථානයකි. එක් දින ගමන් සඳහා නිතර ම මා සීගිරිය යෝජනා කිරීම ගැන මගේ මිතුරු කැළ විහිළු තහළු කරනා තරමට මා සීගිරියට කැමති ය. එක වතාවක් නොව සිය දහස් වතාවක් එහි ගිය ද මට එය දැක නිම කළ නො හැකි ආශ්චර්යයකි.
“එහෙනං අව්ව වැටෙන්න කලින් ගල උඩට නගින්න බලාගෙන පාන්දරම මෙහෙං පිටත් වෙමුද…පහටවත් මෙහෙං ගියොත් අපිට අට වෙනකොට උඩට නගින්න පටන් ගන්න පුළුවන්”
විදුර සියල්ල ලස්සනට සැලසුම් කොට තිබිණ. කැබ් එකක් දමා ගෙන ඔහු ඉන්න කියූ තැනින් බැස ගන්නා විටත් එතැන නාඳුනන රියක් නතර වී තිබිණ. එය නලා හැඬවී ද මම එදෙස නො බලා පසෙකට වීමි. පසුව රිය නැවත ද මා අසලට විත් නතර වී ඉදිරි වීදුරුව පහත් වූයේ ය. මා මඳක් රවා ගෙන වාගේ ඉදිරි අසුන දෙස බලත්දී එහි සිනහ වෙවී සිටියේ විදුර වරදත්ත ය. පොඩි කෙල්ලක වාගේ උඩ පැනගෙන ගිහින් මම එහි ගොඩ වීමි.
“මං හිතුව වෙන කවුරුහරි මනුස්සයෙක් කියල. මේ ඔයාගෙ කා එක නෙවේනෙ”
“යාළුවෙක්ගෙ එකක් ඉල්ලගත්ත. ඒක කෝකටත් පරිස්සං”
“වෙන කොල්ලෙක් කියල රවල බලල බණින්න කට ගත්ත විතරයි”
ඒ මොහොතින් ඇරඹුණේ සතුටු දවසක සතුටු තත්පර ය. ඔහු ළඟ දී ජීවිතය ඒ තරම් ප්‍රීතියෙන් පිරී යන්නේ කොහොමද කියා මා දන්නේ නැත. පෙම්වතුන් හා දැවටෙත්දී හැම පෙම්වතියකට ම එහෙම දැනෙනවාද කියාත් මා දන්නේ නැත. අපට එක්ව ඉන්නට බැරි ලෙස සමාජයෙන් එල්ල වී ඇති බාධක නිසා ම එහෙම මොහොතක වටිනාකම වැඩි වැඩියෙන් දැනෙන්නට ඇත කියාත් දැන් මම සිතමි.
අප උදේට කෑවේ කොස් කැලේ හරියේ දී පෙට්ටි කඩයකින් මිල දී ගත් පාන්, පරිප්පු හා පොල් සම්බෝල ය. ඒ පාන් කාලවල් ලෙස කපා තිබිණ. පාර අයිනේ වන ගල් කුට්ටියක් මත වාඩි වී එක ම පිඟානකින් පරිප්පු ගා ගෙන පාන් කෑ ඒ මතකය සදානුස්මරණීය ය. අපේ ගෙදර චෙෆ්ලා මොන තරම් ශිල්ප දමා පිසුවත් පරිප්පු වල ඒ තරම් රසයක් දැනී තිබූ බවට මතකයක් මට නැත. මා කන්නේ පාන් මදය පමණක් නිසා ඒ පාන් කාල දෙකේ ම වාටි කෑවේ විදුර ය. ඊළඟට ඔහු තවත් පාන් කාලක් ගෙන මට මදය ගලවා දුන්නේ ය. පාන් කෑමෙන් පස්සේ අපි ඉඟුරු තේ බිව්වෙමු. විදුර වතුර බෝතලයක් ද බඩ ඉරිඟු කරලක් ද රියට නැගෙන්නට පෙර මිල දී ගෙන මගේ අතේ තැබුවේ ය.
පුදුමාකාර මගේ කමක් මට ඔහු ගැන දැනෙමින් තිබිණ. වචන කෝටි ගණනකින්වත් කියන්නට බැරි දේවල් ඔහු පුංචි දේකින් හැඟෙව්වේ ය. එක ඇස් කොන් බැල්මකින් දැනවූයේ ය. වචන වලට වඩා ගැහැනු හිත් සංවේදී වන්නේත් වටහා ගන්නේත් එබඳු ඉඟි යයි ඔහු දැන සිටියාද කියන්නට නො දනිමි. කෙසේ වතුදු පොඩි ළමයෙකු වගේ සතුටෙන් ද පෙම්වතියකගේ සැබෑ ප්‍රේමයෙන් ද මගේ හදවත වාං දැමු බව දැනුත් සිහි කර ගත හැක. කොළඹින් ඈත් වන්නට වන්නට ඒ හරිත පරිසරයට වසඟ වූ මාව ද එක වචනයකින් හෝ තොර ව ඔහු වටහා ගනිමින් සිටියේ ය. එවන් ඇතැම් දර්ශනීය ස්ථානයක රිය නතර කොට අපි ඒ දර්ශනය සමග මඳ වෙලාවක් ඒකාත්මික වූයෙමු. විදුර සිය කුඩා ඩිජිටල් කැමරාවෙන් ඡායාරූප ගත්තේ ය. නගරයෙන් ඈත් වන විට පෙනහලු වලට වෙනසක් දනවන පිරිසිඳු වාතයෙන් මම පපුව පුරවා ගතිමි. රිය තුළ කැටිව යන්නේ කුඩා දැරියක ලෙස සිතා දෝ මගදී දකින දකින කෑම ඔහු මට අරගෙන දුන්නේ ය. අන්නාසි අච්චාරු ද ඉදුණු අඹ ද කජු ද තවත් කෑම වර්ග ද රිය තුළ සුලභ විය.
අපි මැතිවරණය ගැන කතා කළෙමු. දේශපාලනය ගැන ඔහු ගේ දර්ශනයට කවදත් මා රිසි වූයෙන් ඒවා අසා සිටීම මට සතුටක් විය. තාත්තා ගේ අතුරුදන් වීමත් එක්ක අම්මා දැනට ම ඡන්ද සටනින් ජය ගෙන ඇතැයි විදුර සැක නැතිව කීවේ ය.
වෙනදා සේ ම අලුතෙන් දකින්නට දේවල් සීගිරි රාජධානිය තුළ මට තිබිණි. නටඹුන් අතරේ සැරිසරත්දී විදේශික යුවලක් සමග සිටි බෝනික්කියක් වන් කුඩා දැරියක අප සමග මිතුරු වූවා ය. මමත් විදුරත් ඇගේ අත් දෙකෙන් අල්ලා ගෙන නටඹුන් අතරේ සැරිසැරුවෙමු. ඇයත් එක්ක ඡායාරූප ගත්තෙමු.
“මටත් මේ වගේ බෝල ඇස් තියන බෝනිකි දුවෙක් ඕනෙ”
හදිසියේ ම විදුර කීවේ ය. මා ඔහු දෙස බැලුවේ තිගැස්සීගෙන වාගේ ය. ඒ ඇස් වල ටීක් බෝල වල වාගේ චමත්කාරයක් දිළිසිණි.
“පුතෙක් වුණොත්…”
ඔහු අඩ සිනහවක් පෑවේ ය.
“තව පාරක් ට්‍රයි කරමු”
ඔහු මගේ මූණට එබී ගෙන සිටියේ ය. මගේ දෙතොල් මත්තේ පිට වන්නට අවසර නැති සිනහවක් පොපියෑවේ ය. කම්මුල් වලට ලේ පුරා පුපුරු ගසමින් තිබිණ.
“යූ විල් ඕල්සෝ ගෙට් අ බේබි ඒන්ජල් ලයික් ඇන්ජලා”
විදේශික කාන්තාව අප දෙස බලා සිනහ වී කීවා ය. විදුර හඬ නගා සිනහ වූයේ ය. ඒ සිනහවට විදේශික පුරුෂයා ද එකතු විය. මම දැරිය වඩා ගෙන සිප ගතිමි. ඇය මගේ මුහුණ පිරිමැද්දා ය.
“යුආ සච් අ ප්‍රිටි ගර්ල්”
ඇය මට රහසින් කීවා ය. අප ආපසු එන්නට සැරසෙන විටත් ඔවුන් ඒ සඳහා සූදානමක් වූයේ නැත. ජීවිතයේ පළමු වතාවට ඒ විදේශික දැරිය දමා එත්දී නාඳුනන වේදනාවක් මට දැනිණ. හරියට මගේ ම දියණියක මට අත් හැරී ගියා වාගේ ය. විදුර මගේ අතින් අල්වා ගෙන ම සිටියේ ය. සීගිරිය පාමුලට එන තුරු ම සාංකා හැඟීමක් වරින් වර මගේ ඇස් තෙත් කරනා ලදී.
අපි කුඩා විවේකී අවන්හලකින් සරල ගැමි දිවා ආහාර වේලක් ලබා ගතිමු. බැලූ බැලූ අත අඹ ගස් ගෙඩි පුරවා ගෙන සිටියේ ය. රන්ගිරි විහාරයට එනු පිණිස අප දඹුල්ල බලා පිටක් වූයේ දිවා අහාරයෙන් අනතුරුව ය. සැලසුම් සියල්ල අවුල් වී ගියේ දඹුල්ලෙන් පිටත් වෙන්නට හදත්දී ය. මෝටර් රථය පණ ගන්වා ගැනීමට විදුර දැරූ වෙහෙස මුළුමනින් නිරර්ථක විය. ඒ අසල සිටි පිරිමි ළමයින් දෙදෙනෙකු ගේ උදව් ඇතිව තරමක් දුරින් ඇති ගරාජයකින් බාස් කෙනෙකු ගෙන්වා ගත්දී සැලකිය යුතු කාලයක් ගත වී තිබිණ.
“ඔයාව රෑ වෙන්න කලින් ගෙදර යවා ගන්න බැරි වෙන එකයි අවුල තිසූ”
විදුර කලබල වී සිටියේ ය. මම හැකි තාක් සන්සුන් සිනහවක් පෑවෙමි. ඔහු කලබල නොකොට තැබීම මගේ අරමුණ විය.
“ඒකට කමක් නෑ. කීයටහරි යන්න මේක හදාගෙන ඉන්න ඕනනෙ”
නමුත් ගරාජ් බාස් ගේ අදහස වූයේ රථය යථා තත්වයට ගැනීම සඳහා අමතර කොටසක් ගෙන ආ යුතු බවයි. එය ගෙන්වා ගෙන සවි කිරීම සඳහා හෝරා කිහිපයක් ගත විය හැකි බව ඔහු ගේ විශ්වාසය විය.
“මේ ළඟ පාතින් කෑල්ල ගන්න තියෙයිද කියල ශුවරුත් නෑ සර්. හෙට උදේ වෙනකොටනං අපි මේක හදල දෙන්නං. හෙට උදේට පිටත් වෙන්න සර්ල අද රෑ කොහෙ හරි නැවතුනානං තමයි හොඳ. මොකද මේ මිස් කෙනෙකුත් එක්ක ගොඩක් රෑ වෙලා මෙහෙං පිටත් වෙන එකත් සුදුසු නෑනෙ නේද…අනික ආයෙත් ගරාජ් ප්‍රශ්නයක් ආවොත් එහෙම මහ රෑ මුකුත් කර ගන්න බැරි වෙනව”
විදුර මගේ මූණ දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයෙනි. මම අක්කාට දුරකතන ඇමතුමක් ගෙන ඇත්ත තත්වය කීවෙමි.
“බලනව තමුසෙලත් කරගන්න වැඩ. ඒ කියන්නෙ අද හනිමූන් එක නේ..”
ඇය සරදමක් කළා ය.
“පිස්සු අනේ ඔයාට”
මීට පෙර ද එහෙව් සුන්දර රැයක් උදා වූ බව මම මගේ හද තුළ ම සඟවා තබා ගතිමි.
“අම්ම බිසී නිසා ඔයාව ස්පෙශලි හොයන එකක් නෑ රෑට. ගෙදර ඉන්නව කියල හිතයිනෙ. ඒත් උදෙංම එනව හරිද…බැරි වෙලාවත් අම්ම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න මට බැරි වුණොත් තව යුද්දයක් පටං ගනී”
“හරි හරි. රෑම එන්න බය ආයෙ බ්රේක් ඩවුන් එකක් වුණොත් කියලයි”
“නෑ නංගි රෑ එන්න එපා. පරිස්සමට ඉඳල උදේ එන්න එහෙනං”
ඒ ප්‍රදේශයේ අප දකින්නට හෝ ඇඳිණ ගන්නට කිසිවෙකු නොවීමේ සැහැල්ලුව අපට තිබිණ. ත්‍රීරෝද රියක් නවත්වා ගෙන සාප්පුවකට ගොස් අපි අපට මාරු කරන්නට ඇඳුම් මිල දී ගතිමු. අපේ ගමනාන්නතය වූයේ කණ්ඩලම හෙරිටන්ස් හෝටලය යි. ඒ වූ කලී සොබා දහම මිනිස් පරිකල්පනය සමග කදිමට මුහු වූ බිමකි. කණ්ඩලම වැව්තාවුල්ලේ පිහිටියා වූ හෙරිටන්ස් හෝටලයට මීට පෙර ද පැමිණ තිබිණි ද මේ තරම් ලස්සනට එය මගේ මතකයේ රැඳුණේ මේ වතාවේ ය. හරිත පරිසරයක් මතින් සොබා දහම සමග පදමට මුහු කොට සැකසූ සංචාරක හෝටලයේ අපේ කාමරයට සීගිරිය ඈතින් දර්ශනය විය. කණ්ඩලම වැව පිස හමනා තෙත්බර සුළඟින් හාත්පස සිහිලැල් ව තිබිණ.
දිය නා ගෙන අහවර මා කාමරයේ වීදුරු තලාවෙන් පිටත පෙනෙනා දර්ශනය දෙස බලා සිටියදී විදුර විත් පිටුපසින් මා බදා කොපුලක් සිප ගත්තේ ය. ඔහු ගේ තෙත්බර හිස කේ මගේ කොපුලේ තැවරී ගෙන තිබිණ.
“යංද එළියෙ ඇවිදින්න…රෑ වෙනකල් ම අර වැවට උඩින් අහසෙ පාට වෙනස් වෙන හැටි බලං ඉන්න ආසයි මට”
මම මගේ අතක් ඔසවා රැවුල් කොට ඇනෙනා ඒ කොපුලක් පිරිමැද්දෙමි.
“හ්ම්. ඔයා ආසම විදිහට හෙට එළි වෙනකල් මුළු රෑම ගෙවෙයි”
“වැව ළඟම…”
“හ්ම්. ඔයා කැමති විදිහක්..”
“බඩගිනි වෙනකොට එමු”
“හ්ම්”
මා දොර ඇරියේ පොඩි දැරියක ගේ නිම් හිම් නැති ප්‍රීතියෙනි. දොර විවර වෙත්දී ම උස් අඩි පාවහන් හඬ ඇසිණ. මගේ හදවත නැවතුණා සේ ය. ආරක්ෂක නිලධාරීන් ද හෝටල් සේවකයෙකු ද සමගින් අම්මා කොරිඩෝරය දිග කඩිනමින් ඇවිද යමින් සිටියා ය. ඊට මොහොතකට පෙර අප සිටි කාමරය පසු කොට තිබි නිසා, මා දොර හරින මොහොත වන විට අම්මා පිටුපා යමින් සිටියා ය. මම වහා ම මගේ හිස කාමරය තුළට ගෙන දොර වසා අගුළු දැමීමි. දොරට පිට දී සිට ගත්දී මා හයියෙන් හුස්ම ගනිමින් සිටින්නට ඇත.