මා හද තුළ ඔබ 15

තඹරු දිය නාගෙන එන විට දිවාකර රෝද පුටුව කරකවාගෙන ආලින්ද කොටසට පැමිණ සිටියේ ය. දියණිය වැඩ නිම වී ගෙදර පැමිණි බව යහනේ වැතිර සිටි ඔහු ට ඇසිණි.

“කොහොමද පුතේ අලුත් ජොබ් එක…”

ඔහු ගේ මුහුණේ වූයේ බලාපොරොත්තු සහගත සිනහවකි. තඹරු හිස කේ වල තෙත පිසිමින් ම තාත්තා ළඟට ආවා ය.

“හොඳයි තාත්තෙ. මං හිතං හිටියට වැඩිය ඇත්තටම හොඳයි”

“එහෙනං කමක් නෑ. මොකද්ද ඔය කම්පනි එක…”

“ගැලැක්සි කියල එකක්. ඒක ලොකු රේන්ජ් එකක කම්පනීස් එකතු වෙච්ච ගෲප් එකක් තාත්තෙ. ටීවී රේඩියෝ චැනල්…බුක් ශොප්…පබ්ලිශිං…ඔය හැමදේම කෙරෙනව. මං හෙඩ් ඔෆිස් එකේ වැඩ කරන්නෙ”

“අපේ කම්පනි එක කඩං වැටුණෙ නැත්තං දුවට ඒව බලා කියාගෙන වැඩ කරන්න තිබුණනෙ…අනුංගෙ තැන් වල පඩියට නොයා”

දිවාකර ගේ ස්වරයේ වූයේ පශ්චත්තාපයක සේයා ය. තඹරු රෝද පුටුව ළඟ මඳක් නැවී තාත්තා ගේ මුහුණ බැලුවා ය.

“අපිට දේවල් ලැබෙන්නෙ නොලැබෙන්නෙ අහිමි වෙලා අතෑරිල යන්නෙ…වෙන්න තියන හැටියට තමයි තාත්තෙ..ඒ ගැන දුක් වෙලා පසුතැවිල තේරුමක් නෑ. අපිටත් ආයෙ කොතනකින් හරි පටන් ගන්න පුළුවන් වෙලා තියනවනෙ. ඒ ඇති තාත්තෙ”

දිවාකර ප්‍රතිචාර දක්වන්නට නො ගියේ ය. වචන වලින් මොනවා කීව ද දරුවන් තුළ තමන් ගැන තරහක් නැතැයි සිතන්නට ඔහු ට නුපුළුවන. තඹරු කෙසේ වී ද සඳැස් නම් ඒ තරහව ඔහු ගේ මූණට ම පේන්නට හරියි.

“අක්කේ” කියමින් සඳැස් පියගැට පෙළ නැග එන හඬ ඇසිණ. දිවාකර රෝද පුටුව කාමරය දෙසට හැරවූයේ ය. සඳැස් පාසල් ගොස් හවස පන්ති වලට ද සහභාගී වී ගෙට ගොඩ වූ ගමන් රන්මුතු ගෙන් ඇසුවේ “අක්ක ආවද” කියා ය. ඔහු අම්මාටත් වඩා අක්කාව සොයන බව රන්මුතු දනී. ඇගේ හිතට වන ලොකු ම හයිය ඔවුන් දෙදෙනා ගේ සහෝදර බැඳීමේ ඝණකමයි.

“මොකද වුණේ ජොබ් එක…”

දිය නා පිරිසිඳු වී සුවඳ සලමින් සිටි ඕ, දාඩිය පෙරාගෙන වෙහෙසින් ගෙට ගොඩ වූ මල්ලී ව බදා ගත්තා ය.

“නියමයි. මං ආ…සයි එතනට”

“මගෙ ඇඟේ දාඩිය ඕයි”

“මල් දීල පිළිගත්තෙ මාව…මල් දීල”

“හපොයි ඔව්”

සඳැස් කට ඇද කළේ ය. තඹරු ඇස් කොනින්, මල් බඳුනක බහාලූ මල් කළඹ පෙන්වූවා ය.

“ඔය මල් ඉතිං තමුසෙට නෙවෙයි. අම්මට. අම්මට බෝයි ෆ්‍රෙන්ඩ්ස්ල වගේ ලව් එකේ ඉන්න යං කස්ටමර්ස්ල ඉන්න නිසා හොඳයි”

“ඒක ඇත්ත”

හිතේ වෙන යමක් වූවත් තඹරු මල්ලී ට එකඟ වූවා ය.

“මාත් ශේප් එකේ තියාගන්න ඕනෙ බුවාව”

“ඇයි…”

“ඇයි කියන්නෙ…ඊසි වේ ටු අ එග්සෙකටිව් චෙයා”

“ඒක මිසක්”

“ඇයි ඒක මිසක් කියන්නෙ තමුසෙ මොනාද හිතුවෙ..”

“නෑ නෑ එහෙම මුකුත් නෑ. හඩු ගඳේ බෑ. යනව ගිහිං නාගෙන එනව”

තඹරු මල්ලි ගේ පිට හරහා පහරක් ගැසුවා ය. ඔහු හිස පහත් කොට හිසේ ඇති දහදිය තඹරු ගේ මූණේ ස්පර්ශ කරන්නට උත්සාහ කළේ ය. ඇය කෑ ගසාගෙන පසෙකට පැන ගත්තා ය. මේ ආදරය නො වන්නට, මේ සතුට නො වන්නට ඔවුන්ට මේ අසීරු ජීවිතය මේ විදිහට අල්වා ගෙන ඉන්නට නො හැකි වනු ඇති බව ඔවුහු ඉඳුරා දනිති.

එදා රන්මුතු වේලාසන කැෆේ එක වැසුවා ය. දවසේ ම මහන්සි වී පැමිණි තඹරු ට රෑ කෑම පිසින බර තනිව පටන්නට ඇයට සිත් දුන්නේ නැත.

“අනේ මට පුළුවන් අනේ. අපරාදෙනෙ වැහුවෙ”

 සින්ක් එක ළඟ හාල් හෝදමින් සිටි තඹරු නෝක්කාඩු කීවා ය.

“හැමදාම එහෙම කරනකොට ඔයාට එපා වෙයි. වැඩ ඇරිල ගිහින් ගෙදර වැඩත් කරන්න ඕනනෙ කියල. අපි දෙන්නම එකතු වෙලා ටක් ගාල උයල ගමු”

රන්මුතු ශීතකරණය හැරගෙන උයන්නට යමක් ගැන සිතුවා ය. ඇය රෑ කෑමට කඩයප්පමක් තෝරා නොගන්නේ ඉස්සර සිට ම දිවාකර ට බත් ඕනෑ නිසා ය. දැන් ළමයින් ද බත් වලට ම පුරුදු වී සිටිති.

“ඒ වුණාට අම්මට පාඩුනෙ”

“ජීවිතේ හැම දේකින්ම ලාබ බලාපොරොත්තු වෙන්න හොඳ නෑ බබූ”

“හරි හරි අම්ම දැන් කොහොමත් ලොකුවට මහන්සි වෙන්න ඕන්නෑ. දැං ඉතිං ජොබක් කරන දුවෙක් ඉන්නවනෙ”

දිය නාගෙන සුවඳ සලමින් පැමිණි සඳැස් දෙස තඹරු මූණ හකුලා ගෙන බැලුවා ය.

“අදත් මගෙ ශැම්පු එක ගාල..මෝඩය”

“අපේ අක්කට දැන් ශැම්පුත් මහ දේවල්ද නේ…දෙන්න නංගි පොල් ටික ගාල දෙන්න”

ගෙදර ඉන්නා වෙලාවක නම් සඳැස් අම්මාට වුව අක්කාට වුව උයන වෙලාවට අත් උදව්වක් දෙයි. නමුත් දැන් දැන් තඹරු ඔහුව කුස්සියෙන් පිටත් කරන්නේ පාඩම් වැඩක් බලාගන්න කියා ය. මෙහෙම එකතු වී යමක් රත් කරගෙන කත්දී වැඩියෙන් රස දැනේ. එක ම අඩුව දිවාකර ඔවුන්ගේ ලෝකයෙන් දුරස් වී යාමයි. සඳැස් වැඩිපුර තාත්තා ට මූණ දෙන්නේ නැත. දිවාකර හැකි තාක් රන්මුතු ට මුහුණ නොදී ඉන්න බලයි. ළෙංගතු සම්බන්ධයක් පවත්නේ තාත්තා හා දියණිය අතරේ පමණි.

පසු දා උදයේ තඹරු බස් නැවතුම බලා යන්නට පිටත් වූයේ සඳැස් සමග ය. සල් ගසේ උස අතු වල මල් ඉතිරි වී තිබිණ. සල්මල් සුවඳින් නැවුම් සුළං පෙඟී ගොස් ය. ඒ සල් මලක් කෙසේ හෝ කඩා ගැනීමේ දොළක් තඹරු තුළ ඇති විය.

“අනේ මල්ලි… හොඳ සුද්දා වගේ මට සල් මලක් කඩල දෙන්නකො. ඔයා උසයිනෙ”

“තමුසෙටනං පිස්සු අක්කෙ. පන්සල් නෙවේනෙ යන්නෙ…ඔෆිස්නෙ”

“අනේ මගෙ මැණික් කැටේනෙ. කඩල දෙනවකො මල්ලි”

ඇගෙන් බේරිල්ලක් නැති තැන සඳැස් අසීරුවෙන් උස අත්තක වූ මල් දෙකක් කඩා දුන්නේ ය. බස් එකට නැගෙත්දී ඇය ඒවා පරිස්සමෙන් බෑග් එකේ තබා ගත්තා ය. කාර්යාලයට ගිය ගමන් සල් මල් දෙක පාලිත ගෙන් ඉල්ලා ගත් සුදු පීරිසියක් මත තබා වතුර බිඳක් ඉස මේසය මතින් තබා ගත්තා ය. සල් සුවඳින් කියුබිකල් එක පිරී තිබිණි. සමනල් පැමිණ තිබුණේ නැත. චකිතයක් වන් හැඟීමක් තඹරු ට නො දැනුණා ම නොවේ. මේ දැවැන්ත කාර්යාල පරිශ්‍රයේ ඇය දන්නා එක ම කෙනා ඔහු පමණි. ඔහු නැති විට, දන්නා හඳුනන කාත් කවුරුවත් නැති දූපතක තනි වුණා වන් හැඟීමක් දැනීම ගැන පුදුම විය යුතු නැත. පොඩි කාලේ මුලින් ම පෙර පාසල් ගිය දින වල අම්මා එහි නොවන බව සිහි වී දැනුණා වූ බිය මිශ්‍ර අසරණකම තඹරු ගේ යටි හිත තුළින් නැගී සිටියේ ය. නමුත් එදා වාගේ ඇස් බොඳ වන්නට පෙර ඇය ආත්ම ශක්තිය වඩා ගෙන පරිගණකයෙහි දත්ත ගබඩාවකට ඇතුළු වූවා ය. එය අධ්‍යයනය කරමින් ගැඹුරට කිමිද යත්දී තනිකමක් ගැන හාංකවිසියක් හෝ දැනුණේ නැත. හෝරාවකට පමණ පසු ඇය අසුනින් නැගී සිටියදී සමනල් සිය අසුනෙහි වූයේ ය. තඹරු ගේ මුව සිනහවකින් විකසිත වූයේ කිසිදු ආයාසයකින් හෝ පෙර සූදානමකින් තොරව යි. ඒ සමගින් ම ඇය දෙතොල් සොලවා “ගුඩ් මෝනිං” යයි උදෑසනට සුබ පැතුවා ය.

සමනල් පැමිණ අඩ හෝරාවකටත් වැඩි ය. ඔහු ගේ ඇස් කොයි තරම් වාර ගණනක් ඔහු ඉදිරියේ වන කියුබිකල් එක තුළ පායා ඇති සඳ වත වෙතට හැරවුණාද කියා ඔහු ම නො දනී. නමුත් ඇගේ දෑස් දිගට ම යොමු වී තිබුණේ පරිගණක තිරය වෙතටයි.

පාලිත සමනල් ගේ තේ එක ගෙන ආ විට ඔහු අසුනෙන් නැගී සිටියේ ය.

“ඕක තඹරු මිස්ගෙ කියුබිකල් එකටම ගේන්න පාලිත. අ..තඹරු මිස්ගෙ ටී එකත් ගේන්න”

සමනල් ඇතුළට යන විට තඹරු සිටියේ පිටුපා රාක්කය ළඟ සිටගෙන ලිපිගොනුවක් තෝරමිනි. ඔහු හෙමිහිට මේසය ඉදිරියට ගියේ ය. පාලිත තේ කෝප්පය තබනා හඬින් තඹරු තිගැස්සී හැරුණා ය.

“කොහොමද තඹරු..වැඩ ටික අල්ලගන්න පුළුවන් නේද..”

ඔහු ඇගේ මේසය ඉදිරියේ වන අසුන් දෙකෙන් එකක හිඳ ගෙන මඳක් පැත්තට හැරී කකුලක් පිට කකුලක් දමා ගත්තේ ය. ඊළඟට පරිස්සමෙන් සුදු පෝසිලේන් කෝප්පය අතින් ගෙන තේ උගුරක උණුසුම් රසය වින්දේ ය.

“පුළුවන් මිස්ට සමනල්”

ඔහු කෝප්පය පීරිසිය මත තබමින් මඳක් මේසයට නැඹුරු වී ඇගේ දෑස් විනිවිද බැලුවේ ය.

“මන්නං කැමතියි මිස්ට සමනල් වෙනවට වැඩිය…පරණ මංකි විදිහටම ඉන්න”

ඇය තොල් කොනක් සපාගෙන  බිම බලා ගත්තා ය. ඉවුරු බිඳිනට අවසර නැති සිනහවක් යන්තම් සරැලි නැගුවේ ය. සුදු ම සුදු පීරිසිය මත විකසිත වී ඇති සල් මල් දෙකේ සුවඳ සෞම්‍ය හැඟීමක් දනවයි. සමනල් යන්තම් අතැඟිල්ලකින් මල් පෙති අතරේ වන කෙඳි ස්වභාවයක් ඇති මකරන්ද ගොනුව පිරිමැද්දේ ය. සල් මලක් කියන්නේ සොබා දහමේ සුවිශේෂ නිර්මාණයකි. ඒ වගේ හැඩය ඇති තවත් මලක් ඇත්දැයි ඔහු දන්නේ නැත. ඒ සුවඳ නම් වෙන කිසිදු මලකට තිබිය නොහැකි යයි විශ්වාස ය. රෝස, කානේශන්, ඕකීඩ්, අරලිය, සූරියකාන්ත, බෝගන්විලා වන් සුලභ මල් වලට ප්‍රිය කරනා ගෑනු ළමයින් ඔහු ඕනෑ තරම් දැක තිබේ. නමුත් සල් මල් වලට ප්‍රිය කරන ගෑනු ළමයෙක්!

“මං කතා කරන්න එන්න හිටියෙ. මං දැක්කෙ නෑ ඔයා ඇවිත් ඉන්නව”

“කියන්න තඹරු”

“කාරණා දෙකකට”

“හ්ම්…”

“අම්ම කිව්ව ඔයාට එයා තෑන්ක් කළා කියන්න කියල”

සමනල් ගේ මූණේ ලස්සන සිනහවක් ඇදිණ.

“තෑන්ක් කරල බෑ. මං යන්නංකො වෙලාවක කැෆේ එකට. අම්ම හදපු කෑමක් ඉල්ලගෙන කන්න”

“අනික…මට අදාල එකක්”

“ඒක තමයි ඉම්පෝටන්ට්”

යුවතිය හසරැල්ලක් පෑවා ය.

“මටත් ඕන වුණේ තෑන්ක් කරන්න. ඇත්තටම…මේ ජොබ් එක මට ලොකු ම ලොකු දෙයක්. තෑන්ක් යූ සෝ මච්”

‘ඇති යන්තං අහංකාරකම පැත්තකින් තියල එහෙම කිව්ව’

සමනල් එසේ කීවා නොව හිතුවා පමණකි.

ඇයිදෝ මන්දා තඹරු ගේ ඇස් මත කඳුළු පටලයක් බැඳී ගියේ ය. ඇය ඉක්මන් ඇස්පිය සැළුවා ය. සමනල් ඇගේ තේ කෝප්පය, මේසය දිග හෙමිහිට ඇය වෙත ලං කළේ ය.

“තේ එක බොන්නකො”

ඔහු ගේ හඬෙහි වූයේ අතිශය කරුණාවකි. තඹරු තේ උගුරක් බී ඇස් ඔසවත්දී, ඒ ඇස් පිහාටු කඳුළු තෙතට ඇලී තිබිණි.

“එක්තැන් වෙච්ච හස්බන් කෙනෙකුත් එක්ක ළමයි දෙන්නෙක් බලා කියාගෙන ජීවිතේ ඉරණමත් එක්ක පොර බදපු ගෑනියෙක් මගෙ අම්ම. මගෙ ලෝකෙ හිරොයින්…ඒන්ජල්…මගෙ අම්ම. එයා වෙනුවෙන් ඔයාට ස්තූතියි මිස්ට සමනල්. දැං මට පුළුවන් අම්මට උදව්වක් වෙන්න. හයියක් වෙන්න. ඒක මගෙ ලෝකෙ තිබිච්ච එකම හීනෙ. ඒක මේ තරං ඉක්මනට…මෙච්චර ලස්සනට ඇත්තක් කරගන්න පුළුවන් වුණේ ඔයා නිසා”

තෙත කඳුළු ඇස් වලින් මේ තරම් ලස්සනට සිනහ වෙන්නට හැකි බව ඔහු මුල් වරට දකින්නේ දැන් ය. මේ කෙල්ල නම් මායාවකි. ඔහු ට ගැලවී ගන්නට නො සිතෙන ඇබ්බැහියකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles