ස්ටේටස් එක
උමායාට අවුරුදු තිස් පහක්. ඇඩ්වටයිසින් ඒජන්සි එකක ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක්. නිසි වයසෙදි උසස් පෙල කරලා, කැම්පස් ගිහින්, ඒ අතරවාරෙම ආකටින් ඩිග්රි එකක් කරලා කොපි රයිටර් කෙනෙක් විදියට ඇඩ්වටයිසින් ෆීල්ඩ් එකට ආව උමායා කසාද බැන්දෙත් ඇඩ්වටයිසින් ෆීල්ඩ් එකේ ළමේක්මයි.
ගයන්තට කොළඹ ගෙයක් තිබුන හන්දා අලුතෙන් ගෙයක් ගන්න, වාහනයක් එහෙම ගන්න හේතුවක් දෙන්නටම තිබ්බෙ නෑ. ඒ වෙනුවට ගයන්තයෙ තනි තට්ටුවෙ පුංචි ගෙදර පොඩ්ඩක් මොඩිෆයි කරලා තමන් ආස වින්ටේජ් තීම් එකට තියාගන්න තමයි උමායා ලොකුවටම මහන්සි උනේ.
අවුරුදු විසි අටේදි කසාද බැන්ද උමායයි ගයන්තයි මුල ඉඳලම කතා කරගෙන හිටියෙ “එක බබෙක් විතරක් හදමු” කියලා. ඒ විදියට තමයි උමායාගෙ ක්‍රියේටිව් අදහසුයි ගයන්තගෙ පෙනුමයි එක්කහු වෙලා පුංචි උමයංගන මේ ලෝකෙට ආවෙ.
උමායාගෙ ඉන්ස්ටග්‍රෑම් පිටුව පිරවිලා තිබ්බෙ ගයන්තයි, උමයංගනයි එක්ක ගියපු ට්‍රිප් වල ගත්ත හරිම ලස්සන ෆොටෝස් වලිනුයි ඉඩ ලැබෙන හැම දවසකම උමායා අප්ලෝඩ් කරන කෑම හදන, බීම වර්ග හදන ලස්සන ලස්සන රීල්ස් වලිනුයි. එයාගෙ ඉන්ස්ටග්‍රෑම් එකෙන් හැමෝම එක්ක බෙදාගත්තෙ හරිම ලස්සන “හැපි හෝම් වයිබ්” එකක් කියලම තමයි කට්ටිය කීව්වෙ.
විවේක වෙලාවක පොත් පත් කියවන, නෙට්ෆ්ලික්ස් බලන, ඕල්ඩ් මනි ස්ටයිල් එකට අඳින පලඳින උමායාට ඔෆිස් එකේ ජූනියර් ස්ටාෆ් එක හරිම කැමතියි. ලස්සනට ෆේශල් කරලා, ලයිට් මේකප් දාලා ඔෆිස් එන, තිස් පහක් කියල කියන්න බැරි විදියෙ ලස්සන පෙනුමක් තිබ්බ උමායාගෙ ලස්සන තිබ්බෙ එලියෙ පෙනුමෙ විතරක් නෙවෙයි.
ජූනියර්ස්ලට උමායා හැමතිස්සෙම කිව්ව දෙයක් තමයි “කිසිම දවසක ඔයාලගෙ අවුරුදු විස්ස තව කෙනෙක්ගෙ අවුරුදු තිහ එක්ක කම්පෙයාර් කරල මම ඉන්නෙ පස්සෙන් කියල දුක්වෙන්න එපා” කියන එක.
ස්ටේටස් දෙක
“මටත් කවදකහරි ඕන උමායා වගේ ලස්සන ලයිෆ් එකක්” කියලා උමායගෙ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක බලන ගමන් තාරණ්යා කිව්වේ එයා එක්ක එක බෝඩිමේ ඉන්න හොඳම යාලුවා රුවීට. රුවී යි තාරණ්යයි දෙන්නම එකම යුනිවසිටි එකේ. එකම ඩිග්රි එක කලේ. ෆස්ට් ඉයර් එකෙන් පස්සෙ කැම්පස් හොස්ටල් ලැබෙන්නෙ නැති හන්ද දෙන්නම එකම බෝඩිමක තමයි උයන් පිහන්, ඉන්ටර්න්ශිප් කරන ගමන් ජීවත් වුනේ.
මේ ගෙවෙන්නෙ ඩිග්රි එකේ තුන්වෙනි අවුරුද්ද. තාරණ්යා කරන්නෙ මාකටින් ඩිග්රි එකක් නිසා තමයි ඇඩ්වටයිසින් ෆීල්ඩ් එකට ඇවිත් ඉන්ටර්න්ශිප් එකට උමායා වැඩ කර ඒජන්සි එකේම උමායගෙම ඩිපාට්මන්ට් එකට වැටුනෙ.
උමායා මුලින් දැක්ක දවසෙ ඉඳලා එයා එක්ක වැඩ කරන තැන වෙනකම් තාරණ්යා උන්නෙ උමායා එක්ක “ෆෝල් ඉන් ලව්” සිටුවේශන් එකකට. ඒතරම් එයා ආස උනා උමායා කොච්චර ලස්සනට ජීවිතේ මැනේජ් කරගෙන යනවද කියන එක ගැන.
තාරණ්යාගෙ අෆෙයාර් එකට දැන් අවුරුදු පහක් වගේ. කැම්පස් එන්නත් කලින් තමයි බිමල්ව හම්බුනේ. මොකක් හරි වාසනාවකට දෙන්නටම එකම යුනිවසිටි එකට සිලෙක්ට් වෙන්නත් පුලුවන් වුණා.
බිමල් කියන්නෙ මාරම හොඳ බෝයි කෙනෙක්. තාරණ්‍යයට තාත්තා නැතිඋනයින් පස්සෙ ගෙදර ප්‍රශ්න ගොඩකට හිත හයිය කරගෙන මූණ දෙන්න පුලුවන් වුනේ ඇත්තටම ඔය බිමල්ගෙ ආදරෙයි තේරුම්ගැනීමයි හන්දා. බිමල් බෝයිෆ්‍රෙන්ඩ් කියන ටයිටල් එක දාගෙන උන්නට ඇත්තටම සමහර තැන්වලදි එයා තාරණ්‍යයට අයියා කෙනෙක්, තව වෙලාවකට හොඳම යාලුවෙක්, තව වෙලාවකට තාත්තා කෙනෙක් වගේ. තාරණ්‍යය නිවෙන්න ඕන වෙලාවට නිවෙන්න, අඬන්න ඕන වෙලාවට අඬන්න හැමදේකටම උදව් කරේ බිමල් තමයි ඉතින්.
ස්ටේටස් තුන
“තාරණ්යා අක්කා මාර ලකී, බිමල් අයියා වගේ හොඳ කොල්ලෙක් එයාට හම්බුනා” කියල තාරණ්යයා බිමල් එක්ක දාන ෆොටෝ එහෙම බලන ගමන් කල්පනා කරපු ඉනුලි ඉන්නෙ ඉස්කෝලේ ඒලෙවල් පංතියෙ.
ඉනුලිගෙ ෆස්ට් ලව් එක එයාට මුණ ගැහුනෙ ඕලෙවල් කරද්දි. ඉනුලි බෝනික්කි වගේ ලස්සන කෙල්ල.. කොන්ඩෙ දිය ඇල්ලක් වගේ කඩා හැලෙනවා ඉණ ගාවට. තෙල් ගාලා සාත්තු කරන හන්දා හොඳ මහතකුත් තිබ්බා. කොල්ලො කීප දෙනෙක් පස්සෙන් ආවත් ඉතින් ඉනුලිගෙ හිත ගිහින් නතර වුනේ බෝයිස් ස්කූල් එකෙ ක්‍රිකට් කැප්ටන් වෙච්ච තාරක අයියා ලඟ.
අඩි හයක් විතර උසකමයි, නලු පෙනුමයි, වෙහෙස මහන්සිවෙලා වැඩ කරලා හදාගත්ත ඇඟයි එක්ක, ඉබේ පහලවෙච්ච තරුණ මනමාල කම එක්ක තාරකට ලයින් නොදාපු කෙල්ලෙක් ඉඳියෙ නෑ ඉනුලිලගෙ ඉස්කෝලෙ. ඒත් ඉතින් චාන්ස් එක හම්බුනේ ඉනුලිට. යාලුවෙච්ච මුල් කාලෙ ඉනුලි ඉතින් උන්නෙ මොණරි වගේ.
කුරුලු කූඩුවට ගලක් වැදුනෙ තාරක කැම්පස් ගිහින් ඉනුලිව අතෑරලා දැම්මයින් පස්සෙ. කවද හරි තාරකව කසාද බැඳලා, දරුවො හදන ප්ලෑන් එහෙමත් හිතල තිබ්බ, දරුවන්ට දාන නම් පවා සජෙස්ට් කරලා තිබුන ඉනුලි ඉතින් ඔය බ්රේක් අප් එක වෙච්ච දවසෙ ඉඳල කාමරේට වෙලා ගෙදර හැමෝටම හොරෙන් අඬ අඬ උන්නෙ. ඒ අතරෙ කසින් අක්කා කෙනෙක් වෙච්ච තමන් තරම් ලස්සන නැති තාරණ්යා අක්කා බිමල් අයිය එක්ක ඉස්කෝලෙ යන කලෙ ඉඳල යාලුවෙලා තාම හොඳට ඉන්න එක ගැන හිතලා ඉනුලි කල්පනා කලේ “අනේ ඇයි තාරක අයියටයි මටයි එහෙම ඉන්න බැරිඋනේ” කියලා.
ඉතින් එක එකා අයගෙ ජීවිත කතා එක එක විදියයි. අපි කිසිම වෙලාවක අපේ ජීවිත තව කෙනෙක් එක්ක කම්පෙයා කරන්න නරකත් අන්න ඒකමයි!