කළු පරිප්පු ගැන ඔබ දැන සිටියාද?

පරිප්පු වලට අපේ ශ්‍රී ලාංකීය ආහාර රටාව තුළ හිමිවෙන්නෙ කොයිතරම් වැදගත් ස්ථානයක්ද කියල අපි කවුරුත් දන්නවනේ. අන්න ඒ නිසා පරිප්පු කියන්නෙ ශ්‍රී ලංකාවෙ නිළ නොවන ජාතික ආහාරය විදිහට හඳුන්වන එකෙත් වරදක් නැහැ, 

පරිප්පු වල රස වගේම පරිප්පු කියන්නෙ පෝෂණය අතිනිත් සුළුකොට සලකන්න බැරි ආහාරයක්. 

වෙළඳපොලේ ඉතාම ජනප්‍රිය සහ බහුලවම දකින්න ලැබෙන පරිප්පු වර්ග කීපයක් තියෙනව. කඩල පරිප්පු, මයිසූර්/මසූර්/රතු/කප් පරිප්පු, වටානා පරිප්පු, කහ පරිප්පු, තෝර පරිප්පු සහ මුං පරිප්පු ඔබ දැනටමත් හඳුනනව ඇති. 

හැබැයි smart lady අපි අද ඔබත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නෙ අපේ රටේ එතරම් ජනප්‍රිය නොවන සමහර විට ඔබ දැකල නැති, ඔබ දැක්කත් වැඩි අවධානයක් යොමු නොකරන කළු පරිප්පු ගැනයි. 

කළු පරිප්පු / black lentils / beluga වගේ නම් වලින් හඳුන්වන මේ පරිප්පු වර්ගයත් රස වගේම පෝෂණ ගුණය අතිනුත් ඉතා ඉහළ අසල්වැසි ඉන්දියාව, පකිස්ථානය වගේ රටවල් වල ඉතාම ජනප්‍රිය පරිප්පු වර්ගයක්. 

එහෙනම් අපි අද කතා කරමු, ආකර්ෂණීය පැහැයට අමතරව කළු පරිප්පු වල අඩංගු පෝෂක සහ දැනට විද්‍යාත්මකව තහවුරු කරගෙන තිබෙන ප්‍රතිලාභ මොනවද කියල?

ප්‍රතිඔක්සිකාරක බහුල වේ

සාමාන්‍ය පරිප්පු වර්ග වලට වඩා කැපී පෙනෙන මට්ටමකින් ඉහළ ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් කළු පරිප්පු වල අන්තර්ගත වෙලා තියෙනව කියල සොයාගෙන තිබෙනවා. 

මේ පරිප්පු වල තද කළු පැහැය එහි අඩංගු ඉහළ ඇන්තොසයනින් මට්ටම පෙන්නුම් කරන අතරම බ්ලූබෙරි හා බැල්ක්බෙරි වල අඩංගු ප්‍රමාණයටම සමාන ප්‍රතිඔක්සිකාරක ප්‍රතිශතයක් කළු පරිප්පු වලත් අන්තර්ගත බව සොයාගෙන තිබෙනවා. 

රුධිර සෛල වලට හානිකරන රැඩිකල් සං‍යෝග සමඟ සටන් කර රුධිර සෛල ආරක්ෂා කරමින් ශරීරයේ ඔක්සිකාරක ආතතිය අඩු කරන්න ප්‍රතිඔක්සිකාරක වලින් ඉතා ඉහළ සේවයක් ඉටුකරනවා. 

සුවිශේෂි පෝෂක වලින් සමන්විත වේ

යකඩ, මැග්නීසියම්, ෆෝලේට් සහ පොටෑසියම් වැනි විශේෂ පෝෂක කළු පරිප්පු වල අන්තර්ගත බව සොයාගෙන තිබෙනවා. 

මෙම අත්‍යාවශ්‍ය පෝෂක වල අද්විතීය සං‍යෝජනය ශරීරය පුරා ක්‍රමවත්ව සිදුවෙන නීරෝගි රුධිර ගමනාගමනයක් පවත්වා ගන්නත්, මාංශපේෂි හා හෘදයේ ක්‍රියාකාරීත්වය ක්‍රමවත්ව පවත්වා ගන්නත් ලබාදෙන්නෙ ඉතා හොඳ සහයෝගයක්.

ශරීරයේ යකඩ ඌනතාවය වැලැක්වීමට සහ ඔක්සිජන් ප්‍රවාහනයට යකඩ වලින් ඉතා හොඳ සහයෝගයක් ලැබෙන අතර මාංශපේශී සහ ස්නායු වල ක්‍රියාකාරීත්වය ක්‍රමවත්ව පවත්වාගෙන යන්න මැග්නීසියම්, ගර්භණි සමයේදි කුස තුළ වැඩෙන කළලයේ නීරෝගීතාව පවත්වා ගන්න උදව් වෙන ෆෝලේට්, රුධිර පීඩනය ක්‍රමවත්ව පවත්වාගෙන හෘදය නීරෝගී ක්‍රියාකාරීත්වයට උදව් කරන පොටෑසියම් වගේ සං‍යෝග වලින් ඉටුවෙන්නෙ ඉතා හොඳ මෙහෙයක්. 

ප්‍රෝටීන් සහ තන්තු බහුලයි

මීට අමතරව කැපීපෙනෙන ලෙස ඉහළ ප්‍රෝටීන සහ තන්තු ප්‍රමාණයකුත් මේ කළු පරිප්පු වල අන්තර්ගත බව සොයාගෙන තිබෙනවා. 

ඔන්න ඔබ නිර්මාංශ කෙනෙක් නම් ඔබේ ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරාගන්න උදව් වෙන ඉතාම හොඳ විසඳුමක් විදිහටත් කළු පරිප්පු හඳුන්වාදෙන්න පුළුවන්. 

මාංශපේෂි වල ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වා ගෙන යන්නත් ප්‍රතිශක්තිය ඇති කරන්නත් ප්‍රෝටීන් උදව් වෙනව වගේම තන්තු වලින් ආහාර ජීර්ණය ක්‍රමවත් කරන්න, රුධිරයේ සීනි මට්ටම නිසි පරිදි පවත්වාගෙන යන්න සහ නිතර බඩගිනි ඇතිවීම වළක්වා ආහාර පාලනය කරන්නත් හොඳ සහයක් ලබාදෙනවා. 

ඉතිං මේ වගේ පෝෂක වලින් ලැබෙන ප්‍රතිලාභා රාශියක් තියෙන කළු පරිප්පු අපේ ආහාර වේලට එකතු කරගැනීම කොයිතරම් වැදගත්ද කියල දැන් ඔබට තේරෙනව ඇති අපි විශ්වාස කරනවා. 

එහෙනම්, මීට පස්සෙ වෙළඳපොලේ කළු පරිප්පු තියෙනව දැක්කොත් මිලදී අරන් පිළියෙල කරල රස බලන්න දැන් ඔබට පුළුවන්. 

මේ වගේම තවත් වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු. 

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles