වෙනස් රසට කටට සැරට කරපිංචා පවුඩර් හදමු 

 

අද අපි ඔබට කියල දෙන්නෙ අපේ රටට ටිකක් නුපුරුදු වුනත් ඉන්දියාවේ ආන්ධ්‍රා ඇතුළු බොහොමයක් ප්‍රදේශවල හරිම ප්‍රසිද්ධ සැර කරපිංචා පවුඩර් හදාගන්නෙ කොහොමද කියලයි. 

බොහොම සුලභව අපිට හොයාගන්න පුළුවන් කරපිංචා ඇතුළු අමුද්‍රව්‍ය කීපයක් භාවිතා කරල හරිම ඉක්මණින් හදාගන්න පුළුවන් මේ පවුඩර් එක සහ ගිතෙල් හැන්ඳක් උණු උණු බත් එක්ක කලවම් කරල හෝ ඉට්ලි, තෝසෙ වගේ කෑමත් එක්කත් පිළිඟන්වන්න පුළුවන් හරිම වෙනස් වගේම ඊටම ආවේණික රසයක් තියෙන පවුඩර් එකක් විදිහට හඳුනාගන්න පුළුවන්. 

ඉතිං ඔබට නූඩ්ලස්, සලාද වගේ දේකට වුනත් මේ පවුඩර් එක මිශ්‍රකර ගන්න පුළුවන්. 

එහෙනම් මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය

පොල්තෙල් මේස හැඳි 02 ක් 

කඩල පරිප්සු මේස හැඳි 02 ක් 

උඳු ඇට මේස හැඳි 03 ක් 

කොත්තමල්ලි ඇට මේස හැඳි 03 ක් 

වියළි මිරිස් කරල් 20 ක් (ඔබේ කැමැත්ත අනුව අඩු වැඩි කරගන්න පුළුවන්) 

සෝදා සම්පූර්ණයෙන් වතුර ඉවත්වන සේ වේලාගත් කරපිංචා කොළ 50 g ක් 

සූදුරු තේ හැඳි 01 ක් 

ඇට ඉවත් කරගත් සියඹලා මඳ දෙහි ගෙඩියක ප්‍රමාණයක් 

කහ කුඩු තේ හැඳි ½ ක් 

රස අනුව ලුණු 

එහෙමනම්, අපි බලමු කොහොමද මේ කරපිංචා පවුඩර් හදාගන්නෙ කියල. 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, භාජනයක් අඩු / මඳ ගින්දරේ ලිපතබා එයට තෙල් එකතු කරගන්න ඕන. 

තෙල් රත්වෙද්දි කඩල පරිප්පු සහ උඳු ඇට එකතු කරල සුවඳ විහිඳීගෙන රන්වන් පැහැයට හැරීගෙන එද්දි එයට කොත්තමල්ලි ඇට ටික එකතු කරගන්න ඕන. 

කොත්තමල්ලි ඇට ටිකත් බැඳීගෙන සුවඳ විහිදීගෙන එද්දි ගින්දර අඩු කරල වියළි මිරිස් කරල් ටික තෙලට දාල හොඳින් කලවම් කරමින් විනාඩි 02 ක් 03 ක් පමණ බැඳගන්න ඕන. 

ඊළඟට, කරපිංචා කොළ ටිකත් මේ භාජනයටම එකතු කරල තද කොළ පාට ලැබෙනකන් විනාඩි 02 ක් 03 ක් විතර බැදගන්න ඕන. 

කරපිංචා කොළ වල පාට වෙනස් වෙන්න දෙන්න එපා. 

ඊට පස්සෙ සූදුරු ටිකත් එකතු කරල හොඳට කලවම් කරල විනාඩියක් විතර තියාගෙන මේ භාජනය ලිපෙන් ඉවත් කරල මේ මිශ්‍රණය සම්පූර්ණයෙන් නිමෙනකන් පසෙකින් තබාගන්න ඕන. 

සම්පූර්ණයෙන් නිමුණු මිශ්‍රණය බ්ලෙන්ඩරයේ කෝප්පයට දමා එයට කහ කුඩු, සියඹලා සහ ලුණු කුඩු එකතු කරල හොඳින් බ්ලෙන්ඩර් කරගන්න ඕන. සම්පූර්ණයෙන් කුඩු නොකර කුඩා කැබලි සිටින සේ කුඩු කරගැනීම ප්‍රමාණවත්. 

ඔන්න දැන් අපි සැර, ඇඹුල කරපිංචා රස පිරුණ රසම රස කරපිංචා පවුඩර් එකක් හදන් ඉවරයි. 

රස්නෙ බත් ටිකක් පිඟානකට බෙදාගෙන ඊට උඩින් ගිතෙල් හරි බටර් හරි හැන්ඳක් එක්ක මේ කරපිංචා පවුඩර් ටිකකුත් දාගෙන හොඳට කලවම් කරල කාල බලමු නේද? 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles