තාදී – 26

0
3246

” අම්මා උනත් මං යන එන තැන් , ආශ්‍රය කරන්නේ කාවද කියලා හොයන්න යන්නේ නැති එකේ එයා කවුද අම්මා ඒ වගේ ප්‍රශ්න අහන්න ” 

ධීර පසු දින උදෑසන උන්නේද කෝපයෙනි.ජයමිණි කෝපි එක ඔහු අතට දෙන විටත් ඔහු සිටියේ ඒ කෝපයෙන් පුපුරමිනි.

” මට හිතෙනවා එක පාරම මිෂෙල්ට මේ හැමදේම කියලා දාන්න. එතකොට හිත නිදහස් නේ. එයා මේ විදිහට මට කරදර කරන්න ගත්තම මාව stress වෙනවා අම්මා ” 

ධීර මේ ආකාරයට කෝපයට පත්ව සිටිනවා ජයමිණි දුටුවේ බොහෝ කාලයකට පසුව ය. ඒ ඇරත් වසන්ත සම්බන්ධ ගැටලුව නිසාද ධීර සිටින්නේ ඉතා පීඩනයකින් බව ජයමිණි දැන උන්නාය.

” අපිට ඒ ළමයාගේ ගති පැවතුම් වෙනස් කරන්න බෑනේ පුතා. ඔහොම ටිකක් ඉන්න දෙන්නකෝ. අපි බලමු මොකක්ද කරන්න පුළුවන් කියලා. ඔයා කලබල නොවී වැඩ කර ගන්න. තාත්තා අද හොටෙල් එකට යන්නෙ නැති එකේ ඔයා ගිහින් ඒ වැඩ ටික බලන්න ” 

ජයමිණි කීවේ ආදරයෙනි. මිෂෙල් යනු තම එකම පුතුට ගැලපෙන සහකාරිය නොවන බව ජයමිණි තේරුම් ගත්තේ ඇයව දුටු පළමු මොහොතේම ය. තාදී ඒ අතින් හාත්පසින්ම වෙනස් යුවතියක බව ජයමිණි සිතුවාය. ධීර ගෙන ඇති තීරණය සියයට සියයකටත් වඩා නිවැරදි බව ජයමිණි පිළිගෙන තිබුනාය.

” තාත්තා කොහොමත් දවස් කීපයක් හොටෙල් එකට නොයන එක හොඳයි. කොහොමත් ඉතින් රෙද්දක් ඇඳගෙන වැඩ කරන මිනිස්සු ඉස්සරහට යන්න බෑනේ. ඒ මිනිස්සු මං දිහාත් කොහොම බලයිද දන්නේ නෑ. මට අර කොස්තා කියන එකාව අහුවුනොත් එහෙම මං ඉතුරු කරන්නේ නෑ. ඌත් මේවට වග කියන්න ඕනේ” 

ධීර අත තිබූ කෝප්පය මේසය මතින් තබා ජයමිණිට වැන්දේය. ජයමිණි ඔහුගේ හිස අත ගෑවේය. මේ වහල යට තමාට සැනසිය හැකි එකම කාරණාව තම පුතු පමණි. ඒ නිසාම ජයමිණිට ධීර කෙරෙහි දැනුනේ අප්‍රමාණ සෙනෙහසකි. 

ධීර වාහනයට නැග්ගේ ලොකු හුස්මක් ගෙනය. හෝටලයට යන්න හිතෙන්නේ ද නැත. තම පියා උදෑසනදී කාමරයෙන් එළියට නොපැමිණියේ තමාට මුහුණ දීමට නොහැකි නිසා බව ධීර සිතුවේ ය.

ධීර කෙලින්ම ආවේ Clothez වෙත ය. ඉරිදා දිනයක් වුවද තාදි එහි සිටිනා බව ධීර දනි. ඇරත් තමා අද දවසේ එහි යන බවත් කාර්‍යබහුල වන බවත් තාදී උදෑසන කෙටි පණිවිඩයක සටහන් කර එවා තිබුණා ය. තාදී ගේ රථය Clothez  ඉදිරිපිට නවතා තිබෙනු ධීර දුටු අතර ඔහු තම රථයද ඒ අසලින්ම නවත්වා මොහොතක් බලා සිටියේ ය. සිත බොහෝ නොසන්සුන් වී ඇත්තේ තාත්තාගේ ප්‍රශ්නය නිසාද නැතහොත් මිෂෙල් නිසාද කියා ධීර ට තෝරා බේරා ගත නොහැකි විය. 

විනාඩි කිහිපයක් සුක්කානම මත හිස තබා සිටි ධීර රථයෙන් බැස්සේ බර වූ සිතිනි. Clothez වෙත ගොඩ වීමට පෙර නිකමට මෙන් දුරකථනය පරීක්ෂා කරන විට එහි මිෂෙල් ගෙන් මගහැරුණු ඇමතුම් කිහිපයක්ම සටහන් වී තිබුණි. එය දුටු පසු ධීර ට තම කෝපය නැවතත් ඇවිලී ගෙන එනු දැනුණි.

” මේ ගෑනි නම් ” 

ධීර තමාටම මුමුණා ගෙන Clothez වෙත ඇතුළු වූයේ ය.ගයාත්‍රී සුපුරුදු සිනාමසු මුහුණින් ඔහුව පිළිගත් අතර දෑත දිගු කර කාර්යාල කාමරය පෙන්නුවාය.

” මිස් ඇතුලේ ” 

ධීර ඒ අනුව කෙලින්ම තාදී සිටින කාර්යාල කාමරය වෙත ගිය අතර එයට ඇතුළු වන විට දුටුවේ තාදී හිස පහත් කරගෙන මොනවද කුරුටු ගාන ආකාරයයි. ඇය සාමාන්‍යයෙන් ඇඳුම් මෝස්තර ඔය ආකාරයෙන් කුරුටු ගාන දර්ශනය සාමාන්‍ය එකක් බැවින් ධීර කෙලින්ම ඉදිරියේ වූ පුටුව ඇද වාඩි වුයේය. තාදී කරමින් හුන් වැඩය නවත්වා හිස ඔසවා බැලුවේ එවිටය.

” ධීර.. ඇයි මේ ? ” 

ධීර ගේ මුහුණේ වූ කලබලකාරී බව සහ නොසන්සුන් බව හඳුනා ගන්නට තාදී ට ගත වූයේ තප්පර කිහිපයක් පමණි. ධීර කිසිවක් නොකියා නළල තදින් මිරිකා ගත්තේ ය.

” ඔයා හොඳින් නෙමෙයි නේද ධීර ? ” 

තාදී ඇසුවේ මේසය මත ඇති ධීර ගේ අත මතින් අත තබමිනි. ඒ ස්පර්ශය පවා ධීර ට ගෙන ආවේ අස්වැසිල්ලකි.

” පොඩ්ඩක්වත් නෑ තාදී.මේ තාත්ත ගෙ ප්‍රශ්නෙ මගේ ඔලුවට හරි බරක්. මට හොටෙල් එකට යන්න හිතෙන්නෙ නෑ. අනික… ” 

ධීර යමක් කියන්නට ගොස් ගිල ගත්තේය. ඒ කුමක්දැයි තේරුම් ගන්නට තාදී ට ඉවෙන් මෙන් පුළුවන් විය.

” ඔව්? අනික ? ” 

තාදී බලා උන්නා ය.ධීර දිගු සුසුමක් මුදා හැරියේ ය. 

” අනික මේ මිෂෙල්. පුදුම වදයක් මට දෙන්නේ. දවස් දෙකට මෙහෙමනම් ඉස්සරහට කොහොම වෙයිද ? ” 

” මිෂෙල් ව පැත්තකින් තියන්න. මුලින්ම තාත්ත ගෙ ප්‍රශ්නෙ විසඳගෙන ඉමු.තාත්තාව එළියට ගන්න පුළුවන් වෙච්ච එකත් ලොකු දෙයක් නේ ධීර. අපි බලමු ඊළඟට මොකක්ද කරන්නේ කියලා. තාත්තා ටික දවසක් ඔහොම ගෙදර හිටියනං හොඳයි. ටික දවසකින් හොටෙල් එකේ මිනිස්සුන්ටත් ඕක අමතක වෙලා යයි. අනික තාත්තටත් එයා කරපු වැරැද්ද තේරුම් ගන්න දවස් කීපයක් යයි නේ” 

” තේරුම් ගන්න දෙයක් තවත් නෑ තාදී. එයා දැන දැනමනේ මේ වැරැද්ද කරලා තියෙන්නේ. ” 

” හරි දැන් එයාට ඒකට දඬුවමක් ලැබුණනේ. දැන් ඔයාලා බලන්න හිරේ ඉන්න අනිත් මනුස්සයව බේර ගන්නෙ කොහොමද කියලා.” 

” ඒකට තේනුවර අංකලුයි තාත්තයි මොනවා හරි  කරයි ” 

” දැන් එතකොට ඔයාට තියෙන ප්‍රශ්නෙ හොටෙල් එකට යන්න බැරි එකද ? ” 

තාදී මේ කතා කරන්නේ තම මව තරමටම කරුණාවෙනි. ඇත්තටම ධීර ට ඒ මොහොතේ සිහි වූයේ ජයමිණි වය. 

” මං කොහොමද තාදී යන්නේ? ඒ මිනිස්සු හිතයි මාත් මේවට සම්බන්ධයි කියලා ” 

” ධීර. ඔයාගේ තාත්තයි ඔයයි ගත්තම දෙන්නට දෙන්නා සෑහෙන වෙනස් කියලා ඕන මනුස්සයෙකුට තේරෙනවා. ඔයාගේ තාත්තා මිනිස්සුන්ට සලකන විදියට නෙමෙයි ඔයා මිනිස්සුන්ට සලකන්නේ. ඉතිං කවුරුත් ඔයා ගැන වැරදියට හිතන්නෙ නෑ. අනික එහෙම හිතුවත් ඔයාට ඒකෙන් වෙන හානියක් නෑනේ. ඔයා මේ වෙලාවේ කරන්න ඕනේ හොටෙල් එකට ගිහිල්ලා එතන වැඩ පිළිවෙළට කරන එක. මං දන්නවා ඔයා ඉන්නේ ලොකු ප්‍රෙශර් එකක කියලා. එහෙමයි කියලා බිස්නස් එකක් අත අරින්න පුළුවන් කමක් නෑ නේද ? තාත්තා නැතුව උනත් ඔයාට මේක කරගෙන යන්න පුළුවන් කියලා තාත්තට පෙන්නන්න පුළුවන් හොඳම වෙලාව තමයි මේක ” 

තාදී මේ ආදරයෙන් අපූරුවට තමා හට තේරුම් කරන්නේ ජීවිතය ය. ධීර කිසිවක් නොකියා මොහොතක් තාදී දෙස බලාගෙන ඇය කී දේ පිළිබඳව කල්පනා කළේ ය. මේ මොහොතේ තමා ව්‍යාපාරය ඉදිරියට ගෙන ගිය හොත් ඉදිරියේදී ඇති විය හැකි ප්‍රශ්න වලදී තමාට වාසියක් අත්විය හැකි බව ධීර සිතුවේ ය.

” ඔයාට තේරෙනවා නේද මම කියන දේ? මිෂෙල් ගේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා. එයා කරන දෙයක් එයාට කරන්න දෙන්න. මේ වෙලාවේ ඔයා වැඩිපුරම හිතන්න ඕනේ තාත්තා රිද්දපු ඔයා ගේ අම්මගේ හිත හදන විදිහක් ගැන ” 

ධීර තාදී ගේ අත තදකර අල්ලා මද සිනාවක් පෑවේ ය. ඒ සිනාවෙහි වූයේ බලාපොරොත්තු සහගත බවකි. ධීර මොහොතකින් මේසය මත වූ දුරකථනය සහ වාහනයේ යතුර ගෙන නැගිට්ටේය.

” ඔයා නැත්නම් මේ විදිහට ඔලුව උස්ස ගෙන ඉන්න හැටි මට හිතා ගන්න බැහැ තාදී ” 

තාදී කිසිවක් නොකියා සිනාසුනා පමණි. ආදරයකට කල හැකි දේවල් බොහොමයක් ඇති බව තාදි ධීර වෙත ඔප්පු කරමින් උන්නා ය.තමාට සැනසීමෙන් ජීවත් වීමට ඒ ඇති බව සිතමින් ධීර යන්නට හැරුනේ ය.

” මගේ පස්සෙන් ඉන්නවට පින් මගේ තාදී ” 

ධීර කීවේ පිටව යන්නට පෙර නැවත දොරෙන් එබී බලාය.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here