ආදිත්‍ය කාර්යාලයට පැමිණියේ උදෑසන දහයට පමණය.පැමිණීමට ප්‍රමාද වන බව මෞර්යාට කෙටි පණිවිඩයකින් දන්වා යැව්වද එයට නිශ්චිත හේතුවක් ආදිත්‍ය ඇයට නොපැවසූයේ ඇයව කලබල කිරීමට අවශ්‍ය නොවූ නිසාය. නමුත් වෙනදා සියල්ලටම පෙර කාර්යාලයට පැමිණෙන අභිමන්ද කාර්යාලයට නොපැමිණ තිබූ නිසා සමහර විට අශිකා අසනීප වී ඇතැයි මෞර්යා අනුමාන කළාය.එහෙත් හේතු කාරණා විමසමින් ආදිත්‍ය හට කරදරයක් නොවීමට මෞර්යා වග බලා ගත්තාය.
කාර්යාලයට පැමිණි පසුව අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් නෙහාරා සමග පිළිවෙලක් කර ගැනීමෙන් අනතුරුව කාර්යාල කාමරයට පැමිණෙන ලෙස ආදිත්‍ය මෞර්යාට කෙටි පණිවිඩයක් සටහන් කර යැව්වේය. ආදිත්‍ය ගේ හැසිරීම ද වෙනදා මෙන් නොවූ නිසා කුමක් හෝ සිදු වී ඇති බව සිතමින් මෞර්යා ආදිත්‍යය ගේ කාර්යාල කාමරයට පිවිසුනාය.
” මොකක් හරි අවුලක් ද ආදිත්‍යය ? ”
පසුගිය දින කිහිපයේ ආදිත්‍ය තුළින් දකින්නට තිබූ නැවත පිබිදීමේ ප්‍රබෝධමත් ගතිය පෙනෙන්නට නොවූ නිසා මෞර්යා ආදිත්‍ය ඉදිරියෙන් අසුන් ගන්නා අතරතුරේ ඇසුවාය.
” ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ මෞර්යා ”
” මිස්ටර් අභිමන් ඔෆිස් ආවේ නැත්තේ මැඩම්ට සනීප නැද්ද ? ”
ආදිත්‍ය සුසුමක් පිට කළේය. මේවා කාර්යාලය තුළ කතා කළ හැකි කාරණා නොවූවත් තව දුරටත් සිතේ තබා ගෙන සිටීමද කළ නොහැක. ඒ නිසා කෙටියෙන් හෝ සියල්ලම මෞර්යාට පැවසීමට ආදිත්‍ය සිතා ගත්තේය.
” සනීප නැති අම්මට නෙමෙයි මෞර්යා.අභිමන්ට ”
මෞර්යා පුදුම වූවාය.කාර්යාලයට සම්බන්ධ වූ කාලය තුළ අභිමන් අසනීප වූ වගක් ඇසුවේ ප්‍රථම වතාවටය. අනෙක් අතට කිසිදු කාරණාවක් මත හෝ අභිමන් නිවාඩු ලබා ගැනීමද සිදු නොකරන නිසා මෙය අතිශයින් පුදුම විය යුතු සිදුවීමකි.
” මොකක් වෙලාද ? ”
” මොකක් වෙලාද කියලා මට හිතා ගන්නත් බෑ මෞර්යා. ඒත් මම දන්නවා ඒකට හේතුව ඔයයි මමයි කියලා “
ආදිත්‍යය උන්නේ නොසන්සුන් වීය. ඒ අභිමන් නිසාවෙනි. සාමාන්‍යයෙන් ඔහු කුමන තත්ත්වයක් යටතේ වුවද ඉතා සන්සුන්ව තත්ත්වය පාලනය කර ගෙන එයට මුහුණ දෙන ආකාරයේ කෙනෙකු වුවද මෞර්යා සම්බන්ධ ගැටළුවේ දී ඔහු හැසිරෙන ආකාරය ආදිත්‍ය ගේ සිතට එකතු කර තිබුණේ තරමක බියකි.
” මං අපි දෙන්නා ගැන අභිමන්ට කිව්වා “
මෞර්යා තැති ගත්තාය. තමා හා ආදිත්‍යය පිළිබඳව අභිමන් දැන ගැනීමෙන් පසුව කුමක් සිදු වේදැයි සිතමින් සිටියද අභිමන් අසනීප වී කාර්යාලයෙන් නිවාඩු දමන තත්ත්වයක් දක්වා එය දුර දිග යාවි යැයි මෞර්යා සිතා තිබුණේ නැත. ආදිත්‍ය පෙර දින රාත්‍රියේ දී අභිමන් සමග වූ සංවාදයද, ඔහු එයට ප්‍රතිචාර දැක් වූ ආකාරයද , අනතුරුව උදෑසන නිවසේ තිබූ තත්ත්වයද මෞර්යාට පැහැදිලි කළේය.මෞර්යා සාවධානව ඒ සියල්ල අසා සිටියත් ඇය හදවතින් බොහෝ නොසන්සුන් වී සිටියාය.
” මල්ලිට අපි දෙන්නා ගැන කිසිම තරහක් නෑ මෞර්යා. හැබැයි ඔයා දන්නවනේ ඒ වගේ දෙයක් දැන ගත්තට පස්සේ මනුස්සයෙක්ට හිතෙන්නේ මොන වගේ දේවල්ද කියලා. මං එයා ගේ අයිය නිසා එයා ඉවසගෙන හිටියට එයා ඉන්නේ ලොකු හිතේ අමාරුවකින් කියලා මට තේරෙනවා. මට ඒකට කරන්න දෙයක් නැති එකයි මට තියෙන ලොකුම දුක ”
ආදිත්‍ය කීවේ කම්පාවෙනි. මෞර්යා පවා උන්නේ ද කිසිවක් කියා ගත නොහැකි තත්ත්වයකය. අභිමන් තමාගේ සිතැඟි පැවසීම ගැටලුවක් නොවේ. ගැටළුව තමා එම ආදර යෝජනාව භාර ගත නොහැකි තත්ත්වයක සිටීමය.
කාමරයටම වී උදෑසන ආහාරය ගැනීමෙන් පසුව වත් අභිමන් කාමරයෙන් පිටතට පැමිණියේ නැත. ඔහු ප්‍රිය කරන ආකාරයට අශිකා පාන් පෙති කිහිපයක් බිත්තර සමග ටෝස්ට් කර දුන්නද අභිමන් එයින් ආහාරයට ගත්තේ එක් පාන් පෙත්තක් පමණි. අශිකා දුන් බෙහෙත් පෙති දෙකද ලබා ගත් අභිමන් ඇඳ මතට වී දෑස් පියා ගෙන කාලය ගත කළේය. උදෑසන එකොළහයි තිහට පමණ අශිකා අභිමන් ගේ කාමරයට පැමිණෙන විටත් ඔහු උන්නේ ඒ ආකාරයටමය.
” අභිමන් ”
අශිකා ඇඳේ කොණින් වාඩි වී අභිමන් ගේ හිස අත ගෑ අතර අභිමන් දෑස් පියා ගෙනම අශිකා ගේ උකුලෙන් හිස තබාගෙන ගුලි වූයේය.
” ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද පුතේ ඉන්නේ? “
අශිකා ඇහෙන නෑහෙන ගානට විමසුවේ උදෑසන සිටම අභිමන් ගේ මේ හැසිරීම සිතට විශාල කුතුහලයක් එකතු කර තිබුණු නිසාය. තමා ගේ හා දේවක ගේ ගැටලු වලදී පවා අභිමන් මේ ආකාරයට හැසිරුණේ නොමැති නිසාත් දවස පුරාම ඇඳ මතට වී සිටීමට අභිමන්ට පුරුද්දක් නොමැති නිසාත් අශිකා උන්නේ ඒ පිළිබඳව සැලකිල්ලෙනි.
” එහෙම දෙයක් නෑ අම්මා. මගේ ඇඟට හරි නෑ ”
අභිමන් දෑස් පියා ගෙනම පිළිතුරු දුන්නද අශිකා ඒ පිළිතුර භාර ගැනීමට කිසිසේත්ම සූදානම් වූයේ නැත.
” මං ඔයා ගේ අම්මා පුතේ. ඔයාලා හැරෙනකොට මට කියන්න පුළුවන්. අයිය ගේ ගොඩක් ප්‍රශ්න පවා මන් දැන ගත්තේ එයා මට කියලා නෙමෙයිනේ ”
අශිකා එසේ කී විට අභිමන් දෑස් හැර අශිකා දෙස බලා වාඩි වූයේය. සිතේ ඇති බොහෝ දෑ තම මව සමග කියන්නට සිත් වේ. එහෙත් එය කොතරම් දුරට සාර්ථක වේ දැයි කිව නොහැක. සමහර විට මේ කාරණාව නිසා ඇගේ සිත පවා කම්පා වීමට බොහෝ දුරට ඉඩ ඇත. එහෙත් අඩුම තරමේ තම සහෝදරයා ගේ ජීවිතය හෝ එකලාසයක් වන බවට සිතමින් සිත හදා ගත හැක.
” මොනාද පුතේ හිතේ තියෙන්නේ ? ”
අශිකා නැවතත් ඇසුවාය. ඔහු කුමක් හෝ සිතේ තබා ගෙන විඳවන බව මේ ඉරියව් වලින් පැහැදිලිය. එහෙත් තෝරා බේරා ගත නොහැක්කේ ඒ ගැටළුව කුමක් දැයි කියා පමණි.
” මං ගෑණු ළමයෙක්ට ප්‍රපෝස් කරා අම්මා ”
අභිමන් අහක බලා ගෙන කීවේය.අශිකා ගේ මුවට සිනාවක් නැඟුණේ පාසල් යන සමයේ දී හෝ අභිමන් හට ප්‍රේම සම්බන්ධයක් තිබුණු බවට තොරතුරක් හෝ නොලද නිසාවෙනි. එසේ වූයේ පවුලේ පැවති පීඩනකාරී තත්ත්වය නිසා බව නොරහසක් වුවද දැන් ඒ තත්ත්වය වෙනස් වී තිබීම පිළිබඳව අශිකාට දැනුනේ තරමක සතුටකි.
” අනේ ඉතින් කොච්චර දෙයක්ද ? ”
තම මව මේ සතුටු වන ආකාරයට මේ මොහොතේ දී තමාට සතුටු විය නොහැක. තමා ගේ ආදරය තමාට දැනුනු තැනම අහිමිව යාමේ ශෝකය තවමත් බිඳකින් හෝ පහව ගොස් නැති නිසා අභිමන් උන්නේ දැවෙන හදවතිනි.
” ඒක අම්මා හිතන තරම් සතුටු වෙන්න කාරණාවක් නෙමෙයි අම්මා ”
අභිමන්ට දැනුනේ උගුරේ වචන සිර වී ඇති ආකාරයකි. ඇත්තටම බලාපොරොත්තුවෙන් උන්නේ තමාගේ පෙම්වතිය ලෙස කෙදිනක හෝ මෞර්යාව තම මවට හඳුන්වා දීමටය. එහෙත් දැන් ඒ බලාපොරොත්තුව සුන් වී ගොස් අවසානය.
” එයාට වෙන කෙනෙක් ඉන්නවා අම්මා ”
අභිමන් කීවේ බොඳ වී ගිය හඬිනි. ඒ පිළිබඳව අශිකාට ශෝකයක් දැනුනත් අභිමන් ඉදිරියේ තමා ශෝකයට පත් වී ඔහු සිටිනා තත්ත්වය තවත් නරක අතට හරවන්නට අශිකාට වුවමනා වූයේ නැත. තරුණ වියේ දී ආදරයක් දැනීම ඉතාම සාමාන්‍ය දෙයක් වූ නමුත් එය අහිමි වී යාම හෝ බිඳී යාම තරුණ හිතකට දරා ගැනීමට අපහසු වග අශිකාට අමුතුවෙන් තේරුම් ගැනීමට වුවමනා නොවූයේය.
” ඔයා ඒක කලින් දැන ගෙන හිටියේ නැද්ද පුතේ ? ”
අශිකා ඇසුවේ කාරුණිකවය. මෙය මවක හා පුතෙකු අතර සිදුවන අතිශය සංවේදී සංවාදයකි. පුතෙකු මෙවැනි කාරණාවක් තම මව හා පවසන්නේ සැනසිලිදායක හැඟීමක් බලාපොරොත්තුවෙන් නිසා ඉතා ඉවසීමෙන් අභිමන් සමග මේ මොහොතේ ගනුදෙනු කරන්නට අශිකා උත්සාහ දරමින් උන්නාය.
” දන්නවනම් මං කීයටවත් එයා ගැන හිතන්නේ නෑ අම්මා. මං එයාට ප්‍රපෝස් කරපු දවසෙම එයා කැමති නෑ කිව්වට මම හිතා ගෙන හිටියේ පස්සේ හරි කැමති වෙයි කියලා. එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා මම දැන ගත්තේ ඊයේ රෑ ”
” කවුද පුතේ ඒ ගෑණු ළමයා ? ”