තමන් විසින් කාලයකට පෙර අත හැර දැමුව පුද්ගලයා තමන්ගේ සෙකන්ඩ් ඔප්ශන් එක වෙන්නට හිත හදාගත්තේ කොහොමද කියන කාරණාව ජාන්විට ඇත්තටම තේරුම්ගන්න පුළුවන් වුණේ නැත.
“වෙන ඔප්ශන් එකක් තියෙනම් ඔයා ඔය ඔප්ශන් එක නොගෙන ඉන්නවද?”
“මොකද්ද වෙන ඔප්ශන් එක මට තියෙන?” කියා ජාන්වි ඇහුවේ තුරුණු විසින් කියන්නට යෙදුණ ඒ කතාව ඇත්තටම නොතේරිච්ච හන්දාය.
“මං මං….” කියා තුරුණු කතාවක් කියන්නට වචන හොයාගන්නට උත්සහ කරද්දී ජාන්වි මුවින් නිරුත්තර වුවද හිත තිබුණේ දහසක් දේ කොඳුරමිනි.
“මං මේක අද කියන්න නෙවෙයි හිටියෙ ඇත්තටම මං මේක ඔයාට කොහොමටවත් කියන්න නෙවෙයි හිටියෙ. මං දන්නවා මං දැන් මේක කිව්වට පස්සෙ ඔයා කොහොමත් මං දිහා අමුතු විදියට බලාවි කියලා. ඒ උනාට ඔයා ආයෙ මලිත් එක්ක යන්න හදන්නේ ඔයාට වෙන කරන්න දෙයක් නෑ, ඔයා අසරණයි, එහෙම නැත්තම් ඔයාට වෙන ඔප්ශන් එකක් නෑ කියලා හිතලා නම් මං ආයෙ වතාවක් ජීවිතේ ලැජ්ජ වෙන්න හරි මේක කියන්න දෙපාරක් හිතන්නෙ නෑ ජාන්වි” කියා තුරුණු කියද්දී හිත අස්සේ නොතේරෙන කතාවක් පෙළ ගැස්සෙන්න පටන් ගත්තද මේ තුරුණු කියන්නට හදන්නේ එය වන්නට නොහැකි බව ජාන්වි ආයෙ ආයෙ හිතට කිව්ව බව ඇත්තකි.
“මොන…මොනවද ඔයා කියන්නේ?” කියා ජාන්වි වෙව්ල වෙව්ලා අහද්දි තුරුණු උන්නේත් ඒ හා සමානම සිතුවිලි දහරාවක් අස්සේ වෙලී තෙරපීගෙනය.
“ඔයා ආයෙ මලිත් ළඟට යන්නෙ ඔයාට වෙන ඔප්ෂන් එකක් නෑ කියලා හිතලානම් ඔයාට බැරිද මම ඉන්නවා කියලා හිතන්න? අතීතෙ වෙච්ච ලොකු කතාවක් අපි අතරෙ ලොකු හිඩසක් මවන්න ඇති ජාන්වි. ඒත් ඒ හිඩසම, ඒ වෙනසම අපිට අපේ ඉස්සරහා කතාව වෙනස් කරගන්න උදව් වෙන එකක් නෑ කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද?” කියා තුරුණු අහද්දී කඳුලු තිබුණේ අනවසරයෙන් දෙනෙත් පුරා පිරී ඉවුරු කඩාගෙන කම්මුල් දිගේ රූරා හැලෙමින් ය.
“මං දන්නෙ නෑ මං ඔයාගෙ ලෝයර් වෙලා, ඒකත් ඔයාගෙ ඩිවෝස් කේස් එක හැන්ඩ්ල් කරන ලෝයර් වෙලා එහෙම කිව්ව එක හරිද කියලා. ඒක එතිකල් නෑ කියලා මම දන්නවා. ඔයා කාටවත් කිසිම දෙයක් කියන්න ඕන නෑ. මාව එහෙම එලියෙ හම්බුවෙන්න, මාත් එක්ක යාලුවෙන්න මුකුත් ඕන නෑ ජාන්වි. ඔයා මලිත්ගෙන් ඩිවෝස් වෙලා ඉන්පස්සෙ ඔයාට වෙන හොඳ කෙනෙක් හම්බවෙලා ඔයා එයාව මැරි කරත් මම තරහා නෑ. මට දරාගන්න බැරිකමකුත් නෑ. නුපුරුදු දුකක් නෙවෙයි නේද?
මලිත් ඔයාගෙ ෆස්ට් චොයිස් එක වෙච්ච බව ඇත්ත. එයා නැති තැනක ඔයාගෙ ඔප්ශන් ටූ එක හරි ඔප්ශන් ත්‍රී, ෆෝ වෙන්නත් මට අවුලක් නෑ ජාන්වි” කියා තුරුණු බිඳිච්ච හඬකින් උනත් හයියෙන් හයියෙන් කියාගෙන යද්දී මෙහෙම කියන්නට තරම් තැනකට තමන්ගේ ආදරේ තුරුණුව ඇද දැම්මාද කියන ප්‍රශ්නෙ ජාන්විගේ හිතේ නොතිබුනා නොවේ.
තමන් ඇතුළුව ගොඩක් දෙනා බලාපොරොත්තු වෙන්නේ තමන් ආදරය කරන කෙනෙක් මිස තමන්ට ආදරය කරන කෙනෙකු නොවන බව ජාන්වි ඉගෙන ගත්තේද අත්දැකීමෙනි. තුරුණූ තමන්ට අනන්ත අප්‍රමාණ ආදරයක් දෙද්දීත් තමන් ඒ ආදරයෙන් මිදී ගියේ තුරුණු තමන්ට ආදරේ කරද තමන් තුරුණුට ආදරේ නොකල හන්දාය. මලිත්ව තමන් විවාහ කරගත්තේ තමන් මලිත්ට ආදරය කල හන්දාය. එහෙත් මලිත් තමන්ට ආදරය කර නැති බව තමන් තේරුම්ගත්තේ පසුව බව ජාන්විට අමතක නැත.
“අපි තෝරගන්න ඕන අපි ආදරෙ කරන අයද අපිට ආදරේ කරන අයද කියලා මට හිතාගන්න බෑ තුරුණු. මං ඇත්තටම ඉන්නෙ මං මොනවද කරන්න ඕන කියලා හිතාගන්න බැරුව. අනික අනික මට මේ වෙන්නෙ මොනවද කියල මට ඇත්තටම හිතාගන්න බෑ.
ඔයාව අතැරලා මලිත් හම්බුනාම එයාව මැරි කරද්දි කවදාවත් මගේ ජීවිතේ මේ වගේ පැත්තකට ගහගෙන යාවි කියලා මම බලාපොරොත්තු උනේ නෑ තුරුණු. අන්තිමේ මම එපා කියලා බිත්තියට දමල ගැහුව පලා මිටියම මට බෙහෙතකට ඕන වෙලා කියලා තේරුම්ගත්තම මට කියන්න තේරෙන්නෙ නෑ මට හිතෙන දේවල්” කියා ජාන්වි ගැඹුරු සුසුමක් හෙලද්දී ඒ සුසුම දුරකතන මුහුණත ඔස්සේ හමාවිත් තැවරුණේ තුරුණුගේ දැනටමත් බිඳුණු හදවත පත්ලේය. හිත තිබුණේ ආයෙ ආයෙ බිඳෙන්නට මග බලාගෙන බව දන්නවා වුවද මේ ආත්ම භවයම ජාන්වි වෙනුවෙන් කැපකර මියැදෙන්නට තිබේනම් එයද සැපක් බව හිතන්නට තරම් ආදරය තුරුණු නම් ප්‍රේමවන්තයාව අසරණ කර තිබුණි. තුරුණු උන්නේ අසරණ ආදරණීය හැඟීම ආය වතාවක් ජාන්වි ඉදිරියේ ඔප්පු කර පෙන්වන්නට මග බලමිනි.
“අපි තෝරගන්න ඕන අපි ආදරේ කරන කෙනෙක්වත් අපිට ආදරේ කරන කෙනෙක්වත් නෙවෙයි. ආදරේ කියන්නෙ මොකද්ද කියලා ඇත්තටම දන්න කෙනෙක් ජාන්වි. සමහරවිට අපි හැමෝම ආදරේදි එක වතාවක් හරි පැරදෙන්නෙ ඒ ආදරේ කියන්නෙ මොකද්ද කියන එක එක්කො අපි හරියට තේරුම් අරගන්නෙ නැතුව ආදරෙ කල හන්දා හරි එහෙම නැත්තම් අපි ආදරේ කර කෙනා ආදරේ කියන දේ හරියට තේරුම් අරගෙන උන්නෙ නැති හන්දා වෙන්න ඇති.” කියා තුරුණු බොහෝ දේ කියද්දී ජාන්විගේ හිත තිබුණෙ එකම එක ප්‍රශ්නයක් ආයෙ ආයෙ අහන්නට පොරකමිනි.
“එකපාරක් ඔයාගෙ හිත හොඳටම රිද්දලා ගිය මාව ආයෙ මෙහෙම ආදරෙන් භාරගන්න ඔයාට අවිශ්වාස නැද්ද?” කියාය. එහෙත් ඒ ප්‍රශ්නය ජාන්වි ඇසුවේ නැත. නැතිනම් අහන්න හිතට හයියක් තිබුණේ නැත. එහෙමත් නැතිනම් ඒ ප්‍රශ්න ඇසුවායින් පස්සේ තුරුණු තමන්ගේ අදහස වෙනස් කරගනීවි යැයි බියක් හිතේ තිබුනාද කියා ජාන්වි දන්නේද නැත. ඒ නිසාම ඒ ප්‍රශ්නයට උත්තර තිබුණේ තුරුණු ළඟ පමණකි.
“ඔයා ශෙහාරාට මොකද්ද එතකොට කියන්නේ?” කියා ජාන්වි අහද්දී තුරුණු නැගූ සිනහව වඩා සුන්දර විදියට ජාන්විගේ දෙසවන් කරා ඇදී ආවේය. ඒ වනාහී කඳුළු අතරින් නැගී සිනාවකි.
“එයාට ඉතින් මොනවා කියන්නද?” කියා තුරුණු කලේ ආයේ අර මද මුදු හිනාවම දල්වන එකය. එහෙත් ජාන්වි උන්නේ ඒ කතාව කුමක්ද කියා තේරුම්ගන්න අපහසුවෙනි. තුරුණු – ශෙහාරා දෙදෙනා එකිනෙකා හා කතාකරන බවත්, කුමක් හෝ ආකාරයක සම්බන්ධයක් ඒ දෙදෙනා අතර තියෙන්නට පුලුවන් කියාත් තමන් හිතුව සියල්ල වැරදි යැයි එසේ පහසුවෙන් පිලිගන්න ජාන්විගෙ හිත එකඟ උනේ නැත.
“ඇයි ඔයා ඒ ළමයා එක්ක කතාකරේ, ඔයා නිතරම ඔෆිස් එකට ආවෙ එයාව බලන්න නෙවිද? අනික ඔයා බයික් එකෙන් යද්දි වෙනදා වගේ නැතුව ස්ලෝ කරේ එයා එලියෙ ඉන්නවනම්? එතකොට ඒවට උත්තර දෙන්න ඕන නැද්ද?” කියා ජාන්වි ඇසුවේ ඒ නිසාවෙනි.
“කවුද කිව්වේ ඒවා මේ එයාව බලන්න කරපුවා කියලා. මං ආවෙ ඔයාව බලන්න. එදා ඔයා ඇවිත් එයා ගැන කියද්දි ඔයා කොච්චර හංගන්න හැදුවත් ඔයාගෙ ඇස් අස්සෙන් ඔයා ඉන්නෙ ඉරිසියාවෙන් කියලා මට නොතේරුනා නෙවෙයි. ඔයා මම වෙන කෙල්ලෙක් ගැන කතාකරද්දි ඉරිසියා කරන්නෙ වෙන හේතුවකට වෙන්න බෑ නේද කියලා මට හිතුනෙත් එවෙලෙ.
මට ඒක මෙච්චර ඉක්මනට එලියට දාන්න වෙයි කියලා මං හිතුවෙ නෑ ඇත්තටම. කවුද හිතුවෙ මලිත් කාරයා මෙහෙම මගුලක් ඇදලා ගනීවි කියලා ඌ කලින් කතා කරපු විදියට”
“ශෙහාරා ගැන කියලා, එයා එක්ක යාලුයි වගේ අඟවලා ඔයා මොනවද බලාපොරොත්තු උනේ මගෙන්?” කියා ජාන්වි ඇසූ ප්‍රශ්නෙට තුරුණු ළඟ තිබුනේ එකම එක උත්තරයක් පමණකි.
“මුකුත් නෑ ජාන්වි මුකුත් නෑ. මං ඔයාගෙන් මුකුත් බලාපොරොත්තු වෙන්නෙ නෑ. මට ඔයාට ආදරේ කරන්න ඉඩ දෙන්න ඒ හොඳටම ඇති”