අක්මාව කියන්නේ අපේ ශරීරයේ තියෙන, ගොඩක්ම මහන්සි වෙලා වැඩ කරන අවයවයක්. හැමදාම අක්මාව වැදගත් වැඩ සිය ගණනක් කරනවා. ලේවල තියෙන විෂ ද්‍රව්‍ය අයින් කරනවා, මේදය දිරවන්න උදව් වෙන්න පිත්තාශය හදනවා, සහ ග්ලයිකොජන් විදිහට ශක්තිය ගබඩා කරනවා. නිරෝගී අක්මාවක් නැත්නම් අපේ ජීවිතය දිගටම පවත්වාගෙන යන්න අමාරු වෙනවා.
ඒ වගේම තමයි මේ අක්මාව තවත් විශේෂ වෙන්න හේතුවක් තමයි ඒක තනිවම නැවත damage වුන හෝ නැතිවුන liver tissue හැදෙන්නත්, අලුත් වෙන්නත් පුළුවන්කම තියෙන එක. මේ විශේෂ හැකියාවට කියන්නේ අක්මාවේ පුනර්ජනනය (liver regeneration) කියලා..
අක්මාවට හානියක් වුණාම, ඉතිරි වෙන නිරෝගී සෛල නිකම්ම ඉන්නේ නැහැ. ඒවා තව මහන්සියෙන් වැඩ කරන්න පටන් ගන්නවා. මුලින්ම, ඉතිරි වෙලා තියෙන හේපටෝසයිට් (hepatocytes) කියලා කියන සෛල විශාල වෙලා වැඩිපුර වැඩ භාර ගන්නවා. ඊට පස්සේ, අලුත් සෛල හැදෙන්න පටන් අරගෙන, නැති වුණු කොටස් පුරවනවා.
ඒක හරියට ගහකින් අත්තක් කැපුවා වගේ. මුලින්ම ගහ අසම්පූර්ණයි වගේ පෙනුණත්, ටිකෙන් ටික අලුත් අතු හැදිලා නැවතත් ලොකු වෙනවා. අක්මාවත් වැඩ කරන්නේ ඒ වගේ. නිරෝගී කොටසක් ඉතුරු වුණා නම්, අක්මාවට තමන්වම නැවත ගොඩනගා ගන්න පුළුවන්.
අක්මාව කොයිතරම් වේගෙන් හැදෙනවද?
මේ පුනර්ජනන ක්‍රියාවලිය ක්ෂණිකව වෙන්නේ නැහැ, ඒත් ගොඩක් අය හිතනවට වඩා වේගවත්. පර්යේෂණවලින් පෙන්නුම් කරලා තියෙනවා අක්මාවෙන් 70%ක් වගේ විශාල කොටසක් ඉවත් කළත්, සති කීපයක් ඇතුළත එයට නැවත සම්පූර්ණ ප්‍රමාණයටම හැදෙන්න පුළුවන් කියලා.
මේක නිසයි වෛද්‍යවරුන්ට ජීවමාන කෙනෙකුගෙන් අක්මා බද්ධ කිරීම් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. අක්මාව පරිත්‍යාග කරන කෙනෙකුට ඔහුගේ අක්මාවෙන් කොටසක් රෝගියෙකුට දෙන්න පුළුවන්, සති කීපයක් ඇතුළත පරිත්‍යාගශීලියාගේ අක්මාවත්, රෝගියාට බද්ධ කරපු අක්මා කොටසත් නිරෝගී අක්මාවක් විදිහට හැදෙනවා.
අක්මාවේ මේ ස්වභාවික හැකියාව අපේ ශරීරයේ තියෙන දුර්ලභ දෙයක්. හදවත හෝ වකුගඩු වගේ අනිත් අවයව මේ වගේ නැවත හැදෙන්නේ නැහැ. ඒ නිසාම අක්මාව ඇත්තටම one of a kind දෙයක්බවට පත් වෙනවා.
අක්මාවට සුව වෙන්න බැරි වෙන්නේ මොනවා නිසාද?
අක්මාව ශක්තිමත් වුණත්, එය විනාශ කරන්න බැරි දෙයක් නෙවෙයි. සමහර රෝග තත්ත්ව නිසා මේ පුනර්ජනනය වළක්වන්න හෝ වේගය අඩු කරන්න පුළුවන්.
- සිරෝසිස් (Cirrhosis): අක්මාවට නැවත නැවතත් හානි වුණාම damaged පටක හැදෙනවා. කාලයත් එක්ක මේ damaged පටක නිරෝගී අක්මා පටක වෙනුවට ආදේශ වෙනවා. ඒ නිසා පුනර්ජනනය කරන්න බැරි වෙනවා.
- දීර්ඝකාලීන අක්මා රෝග: හෙපටයිටිස් B, හෙපටයිටිස් C, සහ මේද අක්මා රෝග වගේ ලෙඩ නිසා දිගටම අක්මාවට හානි වෙලා, ඒක සුව වීම වළක්වනවා.
- මත්පැන් අධික ලෙස භාවිතය: අවුරුදු ගාණක් වැඩිපුර මත්පැන් පානය කළොත්, අක්මා සෛල අලුත් වෙන වේගයට වඩා වැඩි වේගයකින් හානි වෙනවා.
- තරබාරුකම සහ දුර්වල ආහාර රටා: අක්මාවේ වැඩිපුර මේදය තැන්පත් වුණාම ඒකත් ගැටළු ඇති කරන්න පුළුවන්.
මේක හරියට පස වගේ. පස නිරෝගී නම්, පැළ ඉක්මනට හැදෙනවා. ඒත් පස ගල්වලින් පිරිලා, වියලි නම්, අලුත් පැළ හැදෙන්නේ නැහැ. ඒ වගේම අක්මාව damaged පටකවලින් පිරිලා නම්, අලුත් සෛල හැදෙන්න බැහැ.
අක්මා රෝගයක මුල් සංඥා
අක්මා රෝගවල තියෙන එක ප්‍රශ්නයක් තමයි මුල් කාලයේදී කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැති එක. හානිය බරපතල වෙනකම්ම ගොඩක් දෙනෙක්ට තමන්ගේ අක්මාවට ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරෙන්නේ නැහැ. මුල් අවස්ථාවේදී පෙන්වන සමහර සංඥා මෙන්න:
- උදරයේ උඩු දකුණු පැත්තේ වේදනාව හෝ ඉදිමීම.
- කෑම අරුචිය.
- හේතුවක් නැතිව බර අඩුවීම.
- දිගටම මහන්සිය හෝ දුර්වල බවක් දැනීම.
- ඔක්කාරය හෝ වමනය. මේ සංඥා කලින්ම අඳුරගෙන වෛද්‍යවරයෙක් හමුවුණොත් දිගු කාලීන හානි වළක්වගන්න පුළුවන්.
අක්මාවට උදව් කරමු
අක්මාව සටන්කාමියෙක්, ඒත් එයට ශක්තිමත්ව ඉන්න ඔයාගේ උදව් ඕනේ. අක්මා පුනර්ජනනයට සහ සමස්තයක් විදිහට අක්මාවේ සෞඛ්‍යයට උදව් වෙන්න පුළුවන් සරල ක්‍රම කිහිපයක් මෙන්න:
- මත්පැන් සීමා කරන්න වැඩිපුර මත්පැන් බොන එක අක්මා හානියට ප්‍රධානම හේතුවක්. බීම නැවැත්තුවොත්, ඔබේ අක්මාවට සුව වෙන්න අවස්ථාවක් ලැබෙනවා. මත්පැන් නිසා ඇති වෙන fatty liver රෝගයේ මුල් අවධියේදී, හානිය සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්.
- බෙහෙත් සහ සප්ලිමන්ට් ගැන සැලකිලිමත් වෙන්න සමහර බෙහෙත් සහ ඖෂධ වර්ග අක්මාවට වැඩිපුර පීඩනයක් ඇති කරනවා. හැමවිටම ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් පිළිපදින්න, සහ මත්පැන් සමඟ බෙහෙත් මිශ්‍ර කරන එකෙන් වළකින්න.
- නිරෝගී බරක් පවත්වාගන්න වැඩිපුර බර තියෙන එක අක්මාවේ මේදය තැන්පත් වෙන්න හේතු වෙලා, fatty liver රෝගය ඇති කරන්න පුළුවන්. සමබර ආහාර වේලක් ගැනීම, ආහාර ප්‍රමාණය පාලනය කිරීම, සහ ක්‍රියාශීලීව ඉන්න එක මේක වළක්වන්න උදව් වෙනවා.
- අක්මාවට හොඳ ආහාර ගන්න නැවුම් පළතුරු, එළවළු, තන්තු සහිත ධාන්‍ය, බෝංචි, මේදය රහිත මස් සහ බහුලව වතුර පානය කිරීම ඒකට ශක්තිමත්ව ඉන්න උදව් වෙනවා.
- ආසාදනවලින් ඔබව ආරක්ෂා කරගන්න හෙපටයිටිස් A, B, සහ C වගේ රෝග අක්මාවට හානි කරන්න පුළුවන්. A සහ B සඳහා එන්නත් ලබාගන්න පුළුවන්. ඒ වගේම injections share කර නොගැනීම, ආරක්ෂිතව ලිංගික සම්බන්ධකම් පැවැත්වීම සහ පච්ච කොටනවා නම් පිරිසිදු උපකරණ භාවිතා කිරීම වැනි ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න.
- නිතිපතා වෛද්‍ය පරීක්ෂණ වෛද්‍යවරුන්ට සරල ලේ පරීක්ෂණවලින් අක්මාවේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කරන්න පුළුවන්. මුල් අවධියේදීම ප්‍රශ්න අඳුරගත්තොත් අක්මාවට සුව වෙන්න හොඳට ඉඩකඩ ලැබෙනවා.
අක්මා පුනර්ජනනය වැදගත් ඇයි?
අක්මාවේ නැවත හැදෙන්න තියෙන හැකියාව නිසා අක්මා රෝගවලින් පීඩා විඳින මිලියන ගණන් මිනිසුන්ට බලාපොරොත්තුවක් ලැබිලා තියෙනවා. ඒක නිසයි කොටස් වශයෙන් අක්මා බද්ධ කිරීම් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. විද්‍යාඥයෝ මේ පුනර්ජනනය තවත් වැඩි කරන්න පුළුවන් විදිහ ගැන අධ්‍යයනය කරනවා.
අක්මාවට හානි වුණු රෝගීන්ට නැවත පුනර්ජනනය කරන්න පුළුවන් විදිහක් හොයාගත්තොත්, ඒක බෙහෙත් ක්ෂේත්‍රයේ අනාගතය වෙනස් කරන්න පුළුවන්. අලුත් ප්‍රතිකාරවලින් රෝගීන්ට සම්පූර්ණ බද්ධ කිරීමක් නැතිවම සුව වෙන්න පුළුවන් වෙයි.
අක්මාව කියන්නේ නිකන්ම අවයවයක් නෙවෙයි. ඒක ස්වභාවික සුව කරන්නෙක්. ඒක අපේ ලේ පිරිසිදු කරනවා, ශක්තිය ගබඩා කරනවා, සහ හානි වුණාම තමන්වම අලුත් කරගන්නවා. ඒත් ඕනෑම මහන්සි වෙන යන්ත්‍රයක් වගේ, අපි ඒක බලාගත්තොත් විතරයි ඒකට දිගටම වැඩ කරන්න පුළුවන්.
අධික මත්පැන් භාවිතය නැවැත්වීමෙන්, නිරෝගීව ආහාර ගැනීමෙන්, බර පාලනය කරගැනීමෙන්, සහ ආසාදනවලින් ආරක්ෂා වීමෙන් අපේ අක්මාව රැකගන්න. ඒකෙන් අපේ අක්මාවට හොඳම දේ කරන්න අවස්ථාව ලැබෙනවා නැවත හැදිලා අපිව ජීවත් කරවන්න.
අක්මා රෝගයක මුල් සංඥා දැනුණොත්, බලාගෙන ඉන්න එපා. වෛද්‍යවරයෙක් හමුවෙලා පරීක්ෂා කරගන්න. අපි ඉක්මනට වැඩ කරන තරමට, අපේ අක්මාවට සුව වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
අන්තිමට, අක්මාව අපිට සරල, ඒත් බලවත් පාඩමක් උගන්වනවා. ඒ තමයි හානි වුණාට පස්සෙත්, අපි නිසි සැලකිල්ල සහ කාලය දුන්නොත්, සුව වීම කියන දේ ඇත්තටම කරන්න පුළුවන් කියන එක.
Reference: https://www.healthline.com/health/liver-rest
https://www.oxymedhospital.in/blog/world-liver-day-damage-regeneration-care