ඉඩෝරයක මල් වැස්සක් – 22

කාර්යාලයේ කටයුතු සිදු වෙමින් පැවතුණේ වෙනදා ලෙසමය.  වෙනසකට වූයේ බිනර වෙනදාට වඩා තමා ගැන සොයා බලන බව සිතට දැනීමයි. ඒ සොයා බැලීම ඉසුරිගේ සිතට මහත් ශක්තියක් වී තිබිණ. සමහර යාළුකම්වලට ජීවිත වෙනස් කිරීමේ හැකියාව වේ. ඒ වෙනස වර්තමානයේ ඕ අත්විඳිමින් උන්නාය.

තවමත් සතර දෙනාම කෑමට යන්නේ එකටමය. ඒ සතර දෙනා එකට හමුවන වේලාවයි. අශිකාගේ ඇනුම් පද නොසලකා හැරීම්, වෙනදාට වඩා දැනුනද ඒ කිසිවක් ඉසුරිගේ සිතට දුකක් වූයේ නැත. ඒ බොහෝවර දෑස් කුඩා කරමින් බිනර ඇයට ඉඟි කලේ සිනහවකින් සියල්ල විසඳා ගන්නයැයි පවසන්නාක් මෙන්ය. මිනිසුන්ට ඕනෑම දෙයක් සිතීමට නිදහස වේ. ඒ බව යුවතිය වටහාගෙන සිටියේ අද ඊයේක නොවේ. ඕ සුපුරුදු සිනහවෙන්ම සියල්ලන්ටම මුහුණ දුන්නාය.

“මට ඔයාව ටිකක් තනියම හම්බවෙන්න ඕනේ.”

සහන් පැවසූයේ එක් දහවලකය. 

“ඇයි සහන් මොකක් හරි ප්‍රශ්නයක්ද?”

යුවතිය ඇසුවේ කිසිවකට කලබල නොවීමේ පුරුද්ද ඉස්සර කරගෙනය.

“ප්‍රශ්නයක් නෙමෙයි. මට නිදහසේ ඔයත් එක්ක කතා කරන්න ඕනේ.”

“පුළුවන් ගැටළුවක් නෑ.”

“අද හවසට මං එනකල් චුට්ටක් ඉන්නවද?”

ඉසුරි හිස වැනුවේ ‘හා’ යැයි පවසමින්ය. 

බොහෝවිට ඈ කාර්යාලයේ සිට බස් නැවතුමට ඇති කෙටි දුර යන්නේ පා ගමනින්ය. ඒ යන ගමනට කාර්යාලයේ හිතවතෙකු, හිතවතියක සමහර දිනවලට එක් වේ. ඉඳ හිට දවසක බිනර ඇය හා එක්වන්නේ සිය කැමැත්තෙන්මය. අදටත් බිනරගේ ජීවිතයේ තමාට සඟවන යමක් ඇතැයි ඉසුරිට සිතේ. ඒ කුමක් වුවත් ඔහු සැහැල්ලුවෙන්ය. ඒ සැහැල්ලු මිතුදමට ප්‍රිය කරනා යුවතිය ඔහුගේ ජීවිත කතාව කිසිවිටකත් හාරා අවුස්සන්නට නොගියාය. එහෙත් තමාට සිදුවන ඕනෑම දෙයක් විවෘතව බිනර හා කතා කරන්නට තරම් සමීප මිත්‍රත්වයක් දෙදෙනා අතර ගොඩනැගෙමින් තිබිණ. 

“සමහර දවස්වලට මං දැකලා තියෙනවා අර බිනරයත් ඔයත් එක්ක යනවා. මං ඔයාට කලිනුත් කිව්වා ඌ එච්චර හොඳ එකෙක් නෙමෙයි. නිකං ඔෆිස් එක ඇතුලේ කතන්දර හදාගන්න එපා. ඌ අපේ ඩිවිෂන් එකෙත් දන්න දන්න හැම කෙල්ලෙක්ටම ලයින් දානවා.” 

සහන් එසේ පැවසූයේ යුවතිය සමඟ එක පෙළට වැටී ඉදිරියට යද්දීය. බිනර මේ වන විටත් මුළු කාර්යාලයේම ආදරයත්, ආකර්ෂණයත් දිනාගෙන ඇති බව යුවතිය දනී. සියල්ලෝම ඔහුට එක හා සමාන මිතුරන්ය. සහන් මේ පවසන්නේ ඔහු තරාතිරමක් ස්ත්‍රී පුරුෂ භේදයක් නොබලාම මිනිසුන් ලෙන්ගතුව ඇසුරු කිරීම පිළිබඳව විය යුතුය.

“මොකක්ද සහන් ඔයාට මමත් එක්ක කියන්න තියෙනවා කියපු වැදගත් දේ..”

ඇය ඇසුවේ සිතෙහි වූ අපැහැදීම දරාගෙනය.

“ඔයාට ඒක තේරුනේම නැද්ද..”

“මොකක් ගැනද ඔයා මේ අහන්නේ.”

“මම අශිකාට වඩා ඔයාට විශේෂත්වයක් දක්වනවා කියලා ඔයාට තේරුනේ නැද්ද?”

“තේරුණා….”

“එහෙනම් නොතේරුණා වගේ ඉන්නේ.”

“ඇයි ඔයා එහෙම කියන්නේ කියලා මං දන්නෙ නෑ. මං දන්නවා මොනවදෝ වැරදි වැටහීමක් හිතේ තියාගෙන අශිකා මාව රිද්දන්න උත්සාහ කරනවා කියලා. ඒත් මට ඒ ගැන එයා එක්ක තරහක් නෑ. කාලයත් එක්ක හැමදේම විසඳෙනවා කියලා මම දන්නවා. මමත් එයාට එකට එක කරන්න ගියොත් එයාගේ මගේ වෙනසක් නැතුව යනවා සහන්. ඒ හැම වතාවකම ඔයා මාව ආරක්ෂා කරන්න උත්සාහ කරනවා කියලා මට තේරෙනවා. සමහර තැන්වලදී ඔයා මං වෙනුවෙන් පෙනී හිටිනවා කියලත් මට තේරෙනවා. ඒ සමහරවිට මම වැරදි නෑ කියන විශ්වාසය ඔයාගේ හිතේ තියෙන හින්ද වෙන්න ඇති.”

“එහෙම විශ්වාසෙකුත් තියෙනවා තමයි ඒත් ඊට වඩා වැඩි දෙයක් තියෙනවා.”

“ඊට වඩා වැඩි දෙයක් කිව්වේ…”

“ඉසුරි  මං ඔයාට කැමතියි. යාළුවෙක් විදිහට නෙමෙයි. මං ඔයාව මැරි කරන්න කැමතියි.”

ඉසුරි එක තැන නතර වූයේ ඔහු එසේ පැවසුවාට පසුවය. සහන්ගේ විශේෂත්වයක් ඇගේ සිතට දැනෙමින් තිබිණ. එහෙත් ඕ නිරතුරුවම උත්සාහ උත්සහ කලේ ඒ බව නොදැනුනා සේ හැසිරෙන්නටය. ඔහු මේ සා ඉක්මනින් තමාගෙන් යමක් විමසාවියැයි ඇයට සිතුනේ නැත. 

“අනේ සහන් ඔයා මේ මොනවද කියන්නේ? මං එහෙම දෙයක් හීනෙකින්වත් බලාපොරොත්තු වුණේ නෑ.”

“ඔයා බලාපොරොත්තු නොවෙන්න ඇති. ඒවුණාට අපිට එෆෙයාර් එකක් පටන් ගන්න කාගෙන්වත් බාධාවක් නැහැනේ. මං අම්මා එක්ක වගේම අක්කලා එක්කත් ඔයා ගැන කතා කළා. ඔයාගේ ෆොටෝස් එයාලට පෙන්නුවා.” 

“ඇයි සහන් එහෙම කළේ..”

“ඉතින් ඔයාට අකමැති වෙන්න හේතුවක් නැහැනේ. අපි දෙන්නට මැරි කරාට පස්සේ මේ කම්පැනි එකේම වැඩ කරන්න දෙන්නේ නැත්නම් ඔයා මෙතන වැඩ කරන්න. මට වෙන තැනකට යන්න පුළුවන්. වර්කින් එක්ස්පීරියන්ස් හොඳට තියෙන මට මේ ලංකාව ඇතුලේ ඕන තැනක ජොබ් එකක් හොයාගන්න පුළුවන්.”

ඔහු සිතා තිබුණේ බොහෝ දුරකි.

“අනිත් එක ඔයාට මට අකමැති වෙන්න තරම් හේතුවක් නෑ කියලා මං හොඳටම දන්නවා. මං බිනරයා වගේ සෙල්ලක්කාරයෙක් නෙමෙයි. ජීවිතයේ  වගකීම් දරන්න දන්නන පිරිමියෙක්”

“මේ හැමදේම ඇත්ත වෙන්න පුළුවන් සහන්. ඒත් මට ඔයා එක්ක එෆෙයා  එකක් පටන් ගන්න බැහැ කොහොමටවත්. මං කෙනෙකුට පොරොන්දුවක් දීලා ඉවරයි. අපේ ගෙවල් දෙකෙන්ම ඒ ගැන මේ වෙනකොට තීරණයක් අරගෙන ඉන්නේ.”

“අනේ නිකං බොරු කියන්නන එපා ඉසුරි. එහෙම කෙනෙක් ඉන්නවනං ඔයාව උදේට ඇරලවන්න, එක්කරගෙන යන්න මෙතනට නෑවිල්ලා ඉන්නේ නෑ. අනිත් එක මං දැන් මාස තුනකට කිට්ටු කාලයක් ඔයා දිහා හොඳටම බලාගෙන ඉන්නේ. ඔයාට ඔයාගේ මූණ වෙනස් වෙන ටෙලිෆෝන් කෝල් එකක්වත් එන්නේ නෑ. ඉතින් කොහොමද ඔයා කියන්නේ ඔයාට බෝයි කෙනෙක් ඉන්නවා කියලා. කමක් නෑ ඔයා එකපාරටම හදිස්සි වෙලා මට උත්තර දෙන්න ඕනේ නෑ. ටිකක් කල් ගන්න. හැබැයි ඔය බිනරත් එක්ක තියෙන ආශ්‍රය නම් නතර කරගන්න වෙයි. මොකද මං කැමති නෑ කොතැනකවත් ඔයාට වැරදි විදිහට කතන්දරයක් හැදෙනවට.”

තවදුරටත් පාරින්ද ගැන ඔහුට සඟවා ඵලක් නොවේ. ඊයේ පෙරේදා පාරින්ද  පැමිණ හඳහන ඉල්ලාගෙන ගියේ විවාහය ලියාපදිංචි කිරීම සඳහා නැකතක් සාදන්නටය. බිනර කුමක් පැවසුවත් ආපසු හැරී යා හැකිකමක් ඇයට වූයේ නැත. අන් සියල්ලටම වඩා යුවතිය මිනිසුන්ගේ කතන්දරවලට බියය. මල්ලි ගැන නංගී  ගැන බයය. සියල්ලටම වඩා නාහෙට නාහන පිරිමියෙකු වූ පාරින්ද ගැන බයය. එනිසාම ආපසු හැරෙන්නට තැනක් නොමැති බව යුවතිය වටහාගෙන උන්නාය. තම ජීවිතයේ ඉරණම කෙසේ වුවත් ඊට මුහුණ දෙන්නට ඈ සිත හදාගෙන සිටියේ එනිසාය. 

“එයා ඥාතිකමෙන් මගේ මස්සිනා. අපේ එෆෙයා එක පටන් ගත්තු දවසක් මගේ මතකෙ නෑ සහන්. ගෙවල් දෙකෙන්ම අකමැත්තක් නෑ. එයා නිතරම මෙතනට එන්නේ නැත්තේ උදේ වරුවේ ජොබ් එකට ගිහිල්ලා ඇවිල්ලා හවස එයාලගේ ක්‍රීඩා සමාජයෙන් වොලි බෝල් පැට්‍රිස් කරන නිසා. අනිත් එක,  එක ගමේ ඉන්න නිතරම අපේ ගෙදරට යන එන එයාව මෙහෙම පිට තැන්වලදී හම්බවෙන්න උවමනාවක් නෑ. සමාවෙන්න සහන්.. මං විශ්වාස කරනවා ඔයාට බලාපොරොත්තුවක් දෙන්න තරම් වැරදි හැසිරීමක් මගෙන් උනේ නෑ කියලා. ගෙවල් දෙකෙන් ළඟදිම අපේ එන්ගේජ්මන්ට්  එක ගන්න කතා කරලයි තියෙන්නේ…”

සහන්ගේ මුහුණ කෝපයෙන් වෙනස්ව යන අයුරු යුවතිය බලාගෙනය. ඒ කොපුල්වල මස් පිඬු පවා නලියමින් තිබිණ. දෑස් රතු වී තිබිණ. 

“ඔයා මාර රඟපෑමක්නේ  කරන්නේ…”

“සහන්….”

ඇය හිස එසවූයේ  ඔහු අවඥා සහගතව එසේ පැවසුවාට පසුවය. 

“ඇයි එහෙම කියන්නේ..”

“ඔයා ඔෆිස් එකේ ඉන්නේ මාර අහිංසක පාට් එකක් දාගෙන නේ..”

“ඒ මගේ සැබෑ ස්වරූපය සහන්. ගෙදරදිත්, එළියෙදිත්, ඔෆිස් එකේදිත් කියලා මට ජීවිත දෙක තුනක් නෑ. ඔයා මං ගැන මමත් නොදැනම බලාපොරොත්තුවක් තියාගත්තට මට කරන්න දෙයක් නෑ.”

“නෑ…නෑ ඒක ප්‍රශ්නයක් නෑ ඒක මගේ වරද..මං කිව්වේ ඔයා පොඩි කාලේ ඉඳලම කොල්ලෙක් එක්ක එහෙම නටල තමයි මේ විදිහට ඉන්නේ එහෙනම්”

“නටල කියන එකෙන් ඔයා මොකක් අදහස් කරාද කියන්න මම දන්නේ නෑ සහන්. අපි දෙන්නා ගෙදරට කියලා දෙමව්පියො දැනුවත්ව තමයි මේ සම්බන්ධය ඉස්සරහට අරගෙන ආවේ. හැබැයි අපි දෙන්නම අපේ සීමාව හොඳටම අවබෝධ කරගෙන තමයි ආශ්‍රය කරන්නේ. අපිට අපේ ජීවිතවල හංගන්න දේවල් නෑ. මොකද ලොකු අයියා අපිට ඇතිවෙච්ච ගොඩක් ප්‍රශ්නවලදී අපිත් එක්ක හිටියා..”

“ඒක අවුලක් නෑ. මේ මං මෙතනින් ත්‍රීවිල් එකකට නගිනවා. ඔයා බස් හෝල්ට් එකට යන්නකෝ.”

සහන් පාරේ ගිය ත්‍රීරෝද රථයකට අත දිගු කළේ ඇය යමක් පවසන්නට ප්‍රථමවය. යුවතිය බලා උන්නේ දෑස් වල කඳුළු පුරවාගෙනය. මිනිසුන්ට මේසා අකාරුණික විය හැකිදැයි ඇය සිතුවේ පුදුමයෙන්ය. කොහොමටත් සහන් යනු ආත්මාර්ථකාමී පිරිමියෙකු බව ඈ වටහාගෙන උන්නාය. යුවතිය නිවසට පැමිණියේ සිතෙහි මෝදු වූ කලකිරීමක්ද සමගින්ය. 

“උඹලායි අම්මා වැඩට යන්නෙ නෑ කිව්වද…..”

ගේට්ටුව අසලම වතු සුදු මල් පඳුරේ මල් කඩමින් සිටි කිරි අම්මා ඇසුවේ නිවස දෙස බලමින්ය. එසේ නොකීවාට පසුගිය දින කිහිපයේම අම්මා නිවසේ රැඳී සිටියාය.

“දන්නෙ නෑ කිරි අම්මේ . අර ගමන නිසා සමහර විට වැඩපලෙන් අස්වෙන්න ඇති.”

“පොඩි උන් දෙන්න දන්නවද…”

“මං හිතන්නේ නෑ..”

“ලොකු පුතාට කිව්වද?”

“නෑ කිරි අම්මේ..”

“අනේ මන්දා. මෙව්වට හා කියලත් බෑ. බෑ කියලත් බෑ. එකක් ඉවර වෙනකොට එකක් පටන් ගනියි කියලයි මට බය.” 

ඉසුරි කිසිත් නොකියා නිවස දෙසට ඇවිද ගියේ ඇයව මල් පඳුර අසල තනිකරමින්ය. කිරි අම්මා පවසන්නේ සැබෑවකි. ඇය මෙවේලෙහි විදේශගත වුවහොත් මිනිසුන් නවකතාවක් ලියනු ඇත. එහෙත් ඇගේ හිතුවක්කාරී දැඩි තීරණ වලට විරුද්ධ වීමේ හැකියාවක් එදාවත් අද අද වත් කිසිවෙකුට 

නොවේ.

(යළිත් හමුවෙමු ආදරයෙන්)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles