*නාද්යා සොනාලි සල්වතුර*
රස්සාවල් කරනවා කියන්නේ එසේ මෙසේ ලේසි පාඩු වැඩක් නෙවෙයි ඉතින්.
උදේ පාන්දර නැගිටලා බස් එකක්වත් යන්නෙ නැති පාරක, පයින් ඇවිදන් ඇවිත් ඉන්පස්සෙ බස් එකේ නැගලා මං උයන්න උදව් කරන රස්සාව කරන ගෙස්ට් හවුස් එකට යන එක මට වෙලාවකට දැනුනෙ හරියට මන්ද්රි දේවි වෙස්සන්තර එක්ක වංකගිරියට ගියා වගේ.
බෝ ඡණ්ඩ ව්යාග්ර ආදී උන්නත් හිමාල දේසේ එමි ස්වාමි එක්ක නික්මී ඒ ජීවිතේට පේවී කියලා මටත් කියන්න තිබ්බා අඩුම ගානෙ වෙස්සන්තර වගේ නමට හරි මට එහෙම කෙනෙක් මෙහේ උන්නා නම්. ඒ උනාට මං වංකගිරියට ගියේ පිඟන් හෝඳන, එලෝලු කපන කොටන වැඩවලට මිසක්කා මනුස්සයා එක්ක නෙවෙයිනෙ. ඒ හන්දා ඇත්තටම මට ඒ ගමන වෙලාවකට එපා උනා.
“ගෑනු උනාම දුක් විඳින්නෝන. අනික ඔයා අම්මා කෙනෙක්” කියලා මනුස්සයෙක් කියන්න කොච්චර ලොකු ඉඩක් තිබ්බත්, මම තාම අවුරුදු විසි පහක් විතර වෙච්ච කෙල්ලෙක් කියන එක වගේම මගේ ජිවිතේ මෙහෙම තැන්වලට වැටෙන්න හේතු උනේ මං ගත්ත අමූලික ගොං බූරු අදහස්, තීරණ කියන තරහා නිසාම මගෙ හිත තිබ්බෙ පිච්චි පිච්චි. සුජීව අයියගෙ වර්ශා පොතේ උන්න වර්ශා දුක් විඳගෙන, අනුරාධපුරේ ඉඳන් ළමේක් හැදුවට, මට පුලුවන්කමක් තිබ්බෙ නෑ වර්ශා වගේ ඕන දෙයක් වෙද්දෙන් කියලා භාරගන්න. දුක් විඳින ඕන ගෑනියෙක්, විශේෂයෙන්ම ජීවිතේ එක පාරක් හරි සැප වින්ද ගෑනියෙක් ආය ආය ඒ සැප විඳින්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ඇත්ත. පැමිණි දුක් පැණි රසයි කිව්වට, දුකට වඩා ඕන තරම් පැණි රහ දේවල් මේ ලෝකෙ තියෙනවා කියලා දැනගෙන උන්න ගෑනියෙක් වෙච්ච මං උන්නෙ මගෙ ජිවීතේට, එක ටර්න් වෙච්ච විදියට මුලු හිතෙන්ම සාප කර කර.
ගෙස්ට් හවුස් එකේ කුස්සිය මගේ යුද්ධ පිටිය වගේ තමයි. උදේ ඉඳන් රෑ වෙනකල් පිඟන්, උණු වතුර, කෑම සුවඳ එක්ක තමයි මට දවස ගෙවන්න උනා. ගෙදර ඇවිල්ල ඇඟ හෝදද්දි මං දකිනවා මගේ නියපොතු යට හැමදාම එළවළු කෑලි නැත්නම් දැලි රැඳිලා තියෙනවා කියන එක. ඉස්සර නේල් පොලිෂ් ගාපු අත් දෙක දිහා බලන්නත් මට දැන් ලැජ්ජ හන්දම තමයි මම හැමදාම වගේ නියපොතු වැවෙන වැවෙන ගානට කොටටම කපලා දැම්මේ. ඒත් කොච්චර මහන්සි උනත් මේ හැම පිඟානක්ම හෝදලා ඉවර කරද්දී, මට දැනෙන්නේ පුංචිම පුංචි සහනයක්. අඩුම තරමේ අද දවසත් ගෙවලා ඉවරයි කියලා හිතලා තමයි මම ඒ වෙලාවට හයියෙන් හුස්මක් අතාරින්නෙ.
කෑම වේලක් උයලා ඉවර වෙද්දී ඇඟේ තෙල් ගඳයි, මිරිස් ගඳයි පිරිලා. ගෙස්ට් හවුස් එකට එන මිනිස්සු හිනා වෙවී කෑම කද්දී, මම හිටියේ මගේම ගොංකම් හින්දා මට ලැබිච්ච ජීවිතේ ගැන මටම හිනා වෙවී. එකම සිටුවේශන් එක කෙනෙක්ට වැකේශන් විදියට දැනෙද්දි මට ඒක දැනුනෙ පනිශ්මන්ට් වගේ.
දවස පුරාම ඇඟ වෙහෙසලා රෑට කාමරේට එද්දී ඉතිරි වෙලා තියෙන්නේ මහන්සිය විතරයි.
එතකොට මට හිතෙනවා, ඉස්සර මම කොච්චර ලේසියෙන් දේවල් කළාද කියලා. අහස් මගෙ තනෙන් කිරි බොද්දිත් මට ඒ වෙලාවට හිතෙනවා මේ දරුවට දැන් තමන්ගෙ අම්මගෙ සුවඳ පවා දැනෙනවා ඇත්තෙ අර කොච්චර සබන් ගෑවත් ඇඟෙන් යන්නෙ නැති එලෝලු ගඳ එක්ක එක්කහු වෙලා නේද කියන එක.
“ලොකු වෙද්දි අහස් හිතාවිද දන්නෙ නෑ අක්කෙ තමන්ගෙ අම්මා එලෝලුවක් කියලා නේද?”
“ඇයි නංගියෙ එහෙම ඇහුවෙ? මොන අප්රබංස කතාවක්ද ඒ?”
“නෑ අක්කෙ මං කිව්වෙ මං ගාවින් දැන් එන්නෙ මේ එලෝලු ගඳනෙ ඒකයි” කියලා මං එවෙලෙ හිනා උනාට ඒ හිනාව අස්සෙ තිබ්බෙ දරාගන්න අමාරු මහ ගන්දස්සාර බවක් කියන එක හිත මගේ දැනගෙන උන්නා.
මං කරන දේවල්, මං දුක් විඳින විදිය දැක්කම සමහරු නම් “අනේ මෙයා නම් සුපිරි අම්මෙක්” කියලා හිතුවට, කිව්වට ඇත්තටම මට සුපිරි අම්මෙක් වෙන්න ඕන උනේ නෑ. මං දරුවට ආදරේ බව, පණටත් වඩා ආදරේ බව ඇත්ත උනත් දරුවො වෙනුවෙන් උනත් දුක් විඳිද්දි ඕන අම්මෙක්ට හිතෙනවා, අනේ මට ඕන සැනසිල්ලේ නිදාගන්න, වේලක් හොඳට බඩ පිරෙන්න කන්න, හිතට සැහැල්ලුවක් තිබුණා නම් කොච්චර හොඳ ද කියලා. සැපක් විඳින්න තිබ්බ නම් ආසයි කියලා හිතෙන හැම වෙලාවකම, මම මගේ අතේ තියෙන එළවළු කපද්දී වෙච්ච කැපුම් පාරවල් දිහා බලලා හිත හදාගත්තා.
මේ දුකත් එක්ක මට හැමදාම ජීවත් වෙන්න බෑ.
මට මීට වඩා හොඳ ජීවිතයක් ඕන.
ඒක තමයි ඇත්ත.
ඒත් ඒ ඇත්ත තිබ්බෙ හරිම දුරින්.
“අද නං නංගිගෙ ඇඟට නෙවෙයි හිතට තමයි මහන්සි වග පේන්නෙ” කියාගෙන කාන්ති අක්කා ආවෙ කහට කෝප්පයක් අතේ තියාගෙන. මං උන්නෙ ගෙයින් එලියට බහින පඩිපෙල උඩ වාඩිවෙලා ඉන්ස්සරහ කොහොඹ ගහ දිහා බලාගෙන කල්පනා කර කර.
මම කිසිම උත්තරයක් දුන්නේ නෑ ඒ කතාවට. එහෙම නුදුන්නා කියලා කාන්ති අක්කා මා එක්ක අමනාප වෙන්නෙත් නෑ මොකද මේ වෙනකොට එයා මං සද්ද නොකරන ඉන්නෙ ඇයි කියන එක හොඳටම තේරුම් අරන් ඉවරයි හන්දා.
“නංගි එකම දේ හිත හිත ඉන්න හන්දා තමා හිතට ඔක්කොටම වඩා අමාරු, ජීවිතේ කියන්නේ හැමදාම ලස්සන දේවල් විතරක් නෙවෙයිනේ. ජීවිතේම අපේ අත් දෙක උඩින් අපි ඉල්ලුවෙවත් නැතිවෙලාවල් වල තියෙන හොඳම දේවල් පවා එකපාරටම ආයෙත් උදුරලා ගන්නවා, අපිට වචනයක්වත් කියන්නේ නැතුව.ජීවිතේ හැටි එහෙම තමයි නංගි”
“ඒකමයි අක්කෙ මට මෙච්චර රිදෙන්නේ. මේක තමයි ජීවිතේ හැටි කියලා හිතුවට මට මීට වඩා හොඳ ජීවිතයක් තිබ්බා නේද කියලා මට මතක් වෙන එක. මම මේ ජීවිතේ එක්ක තරහ නෑ මට දුකක් දෙනවා කියලා. මම තරහා මාත් එක්ක අක්කේ. මම නෙ මේ දුක් විඳින තැනකට ඇවිදන් ආවෙ.”
“පැමිණි දුක් පැණි රසයි කියලා භාරගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ නංගියෙ. කොච්චර කට්ට රසක් තිබ්බත් පැණි රසයි කියලා හිත හදාගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑනෙ.”
“එහෙම කරන්න තිබ්බා අක්කෙ මම ඒ පැණි රහ රහ බලලා තිබ්බෙ නැත්තම්. ඒත් මම ඒ පැණි රහ ගැන දන්නවා. ඔතන තමයි වැරදුණේ. මම හයිය නැති නිසා නෙවෙයි මෙහෙම තැනකට වැටුණේ. මම විශ්වාස කරපු නිසා.” කියලා ටික වෙලාවක් මුකුත් නොකිය මං කරේ ලා හුලං පාරකට වේලිලා බිමට වැටිච්ච කහ පාට වෙච්ච කොහොඹ කොළයක් දිහා බලාගෙන ඉන්න එක. මමත් ඒ වගේම වේලිච්ච කොහොඹ කොළයක් නේද කියන එකත්, ඒ කොළේ වගේම මගෙත් දැන් කිසිම වටිනකමක් නෑ නේද කියන එකත් මට ඒ එක්කම හිතුනා.
“අක්කා දන්නවද වැඩියෙන්ම රිදෙන්නේ මොකක්ද කියලා? මට මේ හැමදේකින්ම බේරෙන්න තිබුණානෙ කියලා මට හිතෙන එක අක්කේ. එච්චර මිනිස්සුන්ව විස්වාස නොකර ඉන්න තිබුනා කියල හිතෙන එක. විස්වාස කරේ, ආදරේ කරේ නැතුව හිටියන හරිනෙ කියලා හිතෙන එක”
“නෑ නංගි නරකම දේ ඒක නෙවෙයි. නරකම දේ විශ්වාස නොකර එක, ආදරේ නොකරන එක, වෙන කාටවත් නෙවෙයි තමන් තමන්ට. නරකම දේ තමන් තමන්ට ආදරේ නොකර වැරදි වෙලාවට වැරදි කෙනෙකුට ආදරේ කරන එක” කියලා කාන්ති අක්කා කියද්දි තාරානාත්ව දාලා එන්න හේතු උනේ තාරානාත් කියන්නෙ කොච්චර “හරි කෙනා” උනත් ඒ සම්බන්ධෙදි “වැරදි කෙනා” වුණේ මම නිසාද කියන එක කල්පනා නොකර ඉන්න මට බැරි වුණා.
“හිත නිස්කාංසු වෙන්නත් එක්ක කිරි වෙහෙර ඇත්තෙ ගිහින් එමුද නංගියෙ?” කියලා කාන්ති අක්කා අහද්දි බීලා අහවර වෙච්ච කහට කෝප්පෙ අතට අරගෙන නැගිටින ගමන් මං ඒකට උත්තර දුන්නා
“යං අක්කෙ”












