ඔයත් චියා ඇට කනවාද?
ඕට්ස් වලට ඉහලා, ස්මූති එකකට දාලා, එහෙම නැත්තම් ග්‍රීක් යෝගට් වලට දාලා, නැත්නම් පුඩිං එකක් විදියට ඔයත් චියා සීඩ්ස් රස විඳිනවා ඇති.
මේක මේ ළඟඳි trend වෙච්ච දෙයක්නෙ.
මිනිස්සු මේවා හඳුන්වන්නේ Superfood එකක් කියලයි. ඒකට හේතුව තමයි මේවායේ තියෙන තන්තු (fibre), ඔමේගා-3 (omega-3), ප්‍රෝටීන්, සහ ඛනිජ ලවණ විශාල ප්‍රමාණය.
ඒත් ගොඩක් අය නොදන්න දෙයක් තමයි මේ චියා ඇට හැමෝටම හොඳ නැහැ කියන එක. ගොඩක් දෙනෙක් මේවා ගොඩක් healthy කියලා කිව්වත්, සමහරුන්ට මේවා නිසා ගැටලු ඇති වෙන්න පුළුවන්. වැරදි විදියට කෑවොත් හානිදායක වෙන්නත් පුළුවන්.
ඒ නිසා, ඔයා චියා ඇට දිනපතා කෑමට පුරුදු වෙන්න කලින් මේක කියවලා ඉන්න අමතක කරන්න එපා.
චියා ඇටවල තියෙන තන්තු, ප්‍රෝටීන්, හිතකර මේද, සහ වැදගත් ඛනිජ ලවණ නිසා මේවා ආහාර වේලට එකතු කර ගැනීම ඉතා හොඳයි. තන්තු නිසා ජීර්ණයට උදව් වෙනවා, ඔමේගා-3 හදවතට සහ මොළයට ගුණදායකයි, වගේම ප්‍රෝටීන් නිසා නිර්මාංශ අයට මේක ආසාවෙන් රසවිඳින්න පුළුවන් ආහාරයක්. ඒ විතරක් නෙමෙයි, මේවායින් වැඩි වේලාවක් බඩ පිරුණු බවක් දැනෙන නිසා බර පාලනයටත් උදව් වෙනවා.
ඒත් ඇත්ත මේකයි.
ආහාරයක් සෞඛ්‍ය සම්පන්න වීමෙන් විතරක්, එය හැම කෙනෙකුටම ආරක්ෂිත හෝ ප්‍රයෝජනවත් වෙනවා කියලා කියන්න බැහැ. සමහර පුද්ගලයන්ට චියා ඇට නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, නැත්නම් දැනට තියෙන රෝගී තත්ත්වයක් උග්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා, ඔයා දිනපතාම මේවා කන්න පටන් ගන්න කලින්, ඔයාට මේවා සුදුසුද කියලා දැනගෙන ඉන්න එක වැදගත්.

1. බඩේ හෝ බඩවැල්වල ගැටලු තියෙන අය
චියා ඇට ස්පොන්ජ් එකක් වගේ දියර උරා ගන්නවා. ඒවා පෙඟුනම ඒවා මුලින් තිබ්බ ප්‍රමාණයට වඩා දහ ගුණයක් දක්වා විශාල වෙන්න පුළුවන්. ඔයාගෙ බඩ නිරෝගී නම්, මේක බඩපිරුණු බව දැනෙන්න සහ ජීර්ණයට උදව්වක් වෙනවා.
ඒත් ඔයාට දැනටමත් බඩවැල්වල ගැටලු තියෙනවා නම් බඩ පිපීම, මලබද්ධය, හෝ IBS – Irritable Bowel Syndrome තියෙනවා නම් චියා ඇටවල තියෙන අධික තන්තු නිසා තත්ත්වය නරක අතට හැරෙන්න පුළුවන්. ජීර්ණයට උදව් වෙනවා වෙනුවට, මේවා නිසා ජීර්ණය මන්දගාමී වෙන්න, වේදනාව, කැක්කුම, සහ අධික වාතය ඇති වෙන්න පුළුවන්.
ඔයාගෙ බඩ සංවේදී නම්, එක පාරටම චියා ඇට ලොකු ප්‍රමාණයක් කන්න පටන් ගන්න එපා. පුංචි ප්‍රමාණයකින් පටන් ගන්න, ඔයාගෙ ශරීරය කොහොම ප්‍රතිචාර දක්වනවාද කියලා බලන්න, වගේම හැම වෙලාවෙම ඕනෑ තරම් වතුර බොන්න. එතකොට අපහසුතා අඩුවෙන්න පුලුවන්.
2. රුධිර පීඩනය අඩු කරන බෙහෙත් ගන්න අය
චියා ඇටවල ස්වභාවිකවම ඇල්ෆා-ලිනොලනික් අම්ලය (alpha-linolenic acid) සහ පොටෑසියම් අඩංගු වෙනවා. මේ දෙකම රුධිර පීඩනය අඩු කරන්න උදව් වෙනවා. නිරෝගී කෙනෙකුට නම් මේක හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඒත්, ඔයා දැනටමත් රුධිර පීඩනය අඩු කරන්න බෙහෙත් ගන්නවා නම්, චියා ඇට වැඩිපුර කන එකෙන් pressure එක ගොඩක් අඩු වෙන්න පුළුවන් සහ low blood pressure එන්න පුළුවන්.
Low blood pressure වුණොත්, ක්ලාන්ත ගතිය, දුර්වල බව, හෝ සිහි නැති වීම වගේ දේවල් වෙන්න පුළුවන්. මේක වැඩිහිටි අයට හෝ හෘද රෝග තියෙන අයට විශේෂයෙන්ම අවදානම්. ඔයා රුධිර පීඩනය පාලනය කරන ඖෂධ (antihypertensive medication) ගන්නවා නම්, චියා ඇට දිනපතා ආහාරයට එකතු කරගන්න කලින් ඔයාගෙ වෛද්‍යවරයා සමඟ කතා කරන එක හොඳයි.
3. ලේ කැටි ගැසීම පාලනය කරන බෙහෙත් ගන්න අය (Blood Thinners)
චියා ඇටවල තියෙන ඔමේගා-3 මේද අම්ල හදවත ආරක්ෂා කරනවා කියලා ප්‍රසිද්ධයි. ඒවා inflammation අඩු කරනවා වගේම කොලෙස්ටරෝල් මට්ටම වැඩි දියුණු කරන්න උදව් වෙනවා. ඒත් ඔමේගා-3 මගින් රුධිරය ටිකක් තුනී කරනවා.
දැනටමත් ලේ තුනී කරන බෙහෙත් (warfarin, aspirin, හෝ වෙනත් anticoagulants වගේ) ගන්න කෙනෙකුට, මේ සංයෝගය අවදානම් වෙන්න පුළුවන්. ගොඩක් චියා ඇට කන එකෙන් තැලීම් ඇති වීමේ හෝ ලේ ගැලීමේ අවදානම වැඩි වෙන්න පුළුවන්.
ඔයා ලේ තුනී කරන බෙහෙත් ගන්නවා නම්, චියා ඇට සම්පූර්ණයෙන්ම කන එක අතහරින්න ඕනේ නැහැ. ඒත්, සාමාන්‍ය ප්‍රමාණයෙන් විතරක් කන්න ඒ වගේම වෛද්‍යවරයකුගෙන් අහලා ආරක්ෂිතද කියලා තහවුරු කර ගන්න.
4. ඇට වර්ග වලට අසාත්මිකතා තියෙන අය
චියා ඇටවලට අසාත්මිකතා (allergies) ඇතිවීම දුර්ලභයි, ඒත් ඇති වෙන්න බැරි නැහැ. ඔයාට තල, අබ, හෝ හණ ඇට (flax) වගේ වෙනත් ඇට වර්ගවලට ආසාත්මිකතා තියෙනවා නම්, චියා ඇටවලටත් අසාත්මිකතා ඇතිවෙන්න පුළුවන්. මේකට හේතුව තමයි ඇට වර්ගවල අසාත්මිකතා සමහර වෙලාවට cross over ඇති කරන්න පුළුවන් වීම.
කැසීම, සමේ කුෂ්ඨ, ඉදිමීම, හෝ වඩාත් බරපතළ අවස්ථාවලදී හුස්ම ගැනීමේ අපහසුතා වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. චියා ඇට කෑවාට පස්සේ මේ වගේ ලක්ෂණ දැනෙනවා නම්, වහාම කන එක නතර කරලා වෛද්‍යවරයෙක් හමුවෙන්න. මතක තියාගන්න, යමක් ස්වභාවිකයි කියන එකෙන් හැමෝටම ආරක්ෂිතයි කියන එක අදහස් වෙන්නේ නැහැ.
5. ප්‍රමාණවත් තරම් වතුර නොබොන අය
චියා ඇට ගැන මතක තියාගත යුතු වැදගත්ම දේ තමයි මේවාට වතුර ඕනේ කියන එක.
ඒවා දියර උරාගෙන විශාල වෙන නිසා, ප්‍රමාණවත් තරම් වතුර නොබී වියළි චියා ඇට කෑමෙන් ගැටලු ඇති වෙන්න පුළුවන්. සමහර අය මේ විදියට කෑවම මලබද්ධය, බඩ පිපීම, සහ දරුණු අවස්ථාවලදී උගුරේ සිරවීමක් පවා ඇති වුණා කියලා වාර්තා වෙලා තියෙනවා.
ආරක්ෂිත වෙන්න, හැම වෙලාවෙම චියා ඇට කන්න කලින් පොඟවන්න, නැත්නම් ඒවා එක්ක ඇති තරම් වතුර බොන්න.
චියා ඇට කන්න එපා කියන එක නෙවෙයි අපි මේකෙන් අදහස් කරන්නෙ. නිවැරදි විදියට කෑවොත්, මේවායින් බොහෝ වාසි ලැබෙනවා.
ඒවායේ දියවන තන්තු (soluble fibre) තියෙන නිසා ජීර්ණයට උදව් වෙනවා, වගේම රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්නත් උදව් කරනවා. ඒවා හොඳ ශාකමය ප්‍රෝටීන් ප්‍රභවයක්, ඒක නිර්මාංශ අයට හොඳයි. ඔමේගා-3 මොළය, හදවත, සහ සමට ගුණදායකයි. ඊට අමතරව, ප්‍රතිඔක්සිකාරක (antioxidants) සහ කැල්සියම්, මැග්නීසියම්, යකඩ වගේ වැදගත් ඛනිජ ලවණ මේවායේ තියෙනවා.
ඉතින් ඔන්න ඔයත් ඔයාගේ පරිභෝජනයට චියා ඇට අරගන්නවා නම් මින් පස්සෙ හොඳට හොයලා බලලා ඒවා ආහාරයට ගන්න අමතක කරන්න එපා.











