හැමදාම උදේට එකම කෑම කාලා එපා වෙලාද?
එහෙනම් ඔන්න අද කියලා දෙන්න යන්නේ එළවළු ටිකකුත් එකතු කරලා රසට, සොෆ්ට් එකට ඉඩ්ලි හදාගන්න විදිහ.
මේකට ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. පිටි මිශ්‍රණය පැහෙනකම් බලාගෙන ඉන්න ඕනෙත් නැහැ. ගෙදර තියෙන එළවළු ටිකක් පාවිච්චි කරලා ලේසියෙන්ම හදාගන්නත් පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
ඉඩ්ලි මිශ්‍රණයට
- රුලං (Semolina/Rava) කෝප්ප 1ක්
- මුදවපු කිරි කෝප්ප 1ක්
- ලුණු තේ හැඳි 1ක්
- වතුර කෝප්ප 1/2ක්
- අමතර වතුර මේස හැඳි 4ක්
- රතු බෙල් පෙපර් ගෙඩි 1/2ක් (සිහින්ව කපාගත්)
- කොළ බෙල් පෙපර් ගෙඩි 1/2ක් (සිහින්ව කපාගත්)
- කහ බෙල් පෙපර් ගෙඩි 1/2ක් (සිහින්ව කපාගත්)
- බෝංචි කරල් 6ක් (සිහින්ව කපාගත්)
- කැරට් අල 1/2ක් (සිහින්ව කපාගත්)
- අමු මිරිස් කරලක් (සිහින්ව කපාගත්)
- කොත්තමල්ලි කොළ මේස හැඳි 2ක්
- ෆෘට් සෝල්ට් (Fruit Salt) තේ හැඳි 1ක්
- වතුර මේස හැඳි 1ක්
- තෙල් ස්වල්පයක්
පොල් චට්නි එකට
- අලුත් පොල් කැබලි කෝප්ප 1ක්
- අමු මිරිස් කරලක්
- ඉඟුරු අඟල් 1ක කැබැල්ලක්
- ලුණු මේස හැඳි 1ක් හෝ රස අනුව
- මුදවපු කිරි මේස හැඳි 2ක්
- වතුර මේස හැඳි 2–3ක්
චට්නි එකට තෙම්පරාදුව සඳහා
- තෙල් තේ හැඳි 1ක්
- අබ තේ හැඳි 1/2ක්
- කරපිංචා කොළ 2–3ක්
- වියළි මිරිස් කරලක්
සාදාගන්නා ආකාරය
ඉඩ්ලි සාදාගැනීම
මුලින්ම භාජනයකට රුලං, මුදවපු කිරි සහ ලුණු එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න. ඊට පස්සේ වතුර කෝප්ප භාගය ටිකෙන් ටික එකතු කරමින් උකු බැටර් එකක් හදාගන්න.
මේ මිශ්‍රණය විනාඩි 10ක් විතර වහලා තියන්න. රුලංවලට වතුර උරාගන්න නිසා මිශ්‍රණය තරමක් උකු වෙනවා. ඒ නිසා නැවත වතුර මේස හැඳි 4ක් විතර එකතු කරලා මිශ්‍ර කරගන්න. මිශ්‍රණය ගොඩක් උකුත් නැති, ගොඩක් දියාරුත් නැති පදමකට තියෙන්න ඕන.
දැන් සිහින්ව කපාගත් බෙල් පෙපර්, බෝංචි, කැරට්, අමු මිරිස් සහ කොත්තමල්ලි කොළ එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න. කැමති නම් ඔයා ආස වෙනත් එළවළු වර්ගත් මේකට එකතු කරන්න පුළුවන්.
අන්තිමට ෆෘට් සෝල්ට් තේ හැන්දක් සහ වතුර මේස හැන්දක් එකතු කරලා සැහැල්ලුවෙන් මිශ්‍ර කරගන්න. ෆෘට් සෝල්ට් නැත්නම් ඒ වෙනුවට බේකින් සෝඩා තේ හැඳි 1/2ක් පාවිච්චි කරන්නත් පුළුවන්.
ඊට පස්සේ ඉඩ්ලි තැටියේ තෙල් ස්වල්පයක් ගාලා, හදාගත් මිශ්‍රණය ඒවාට පුරවන්න.
දැන් ඉඩ්ලි තැටිය ස්ටීමර් එකට දාලා මධ්‍යම ගින්දරේ විනාඩි 15ක් විතර තම්බාගන්න.
හොඳින් තැම්බුණාට පස්සේ විනාඩියක් විතර නිවෙන්න තියලා ඉඩ්ලි ටික තැටියෙන් ඉවත් කරගන්න.
පොල් චට්නි සාදාගැනීම
පොල් කැබලි, අමු මිරිස්, ඉඟුරු, ලුණු, මුදවපු කිරි සහ වතුර බ්ලෙන්ඩර් එකකට දාලා තුනී මිශ්‍රණයක් වෙනකම් අඹරාගන්න.
ඊට පස්සේ පොඩි තාච්චියකට තෙල් දාලා රත් කරගන්න. තෙල් රත් වුණාම අබ, කරපිංචා සහ කඩාගත් වියළි මිරිස් කරල එකතු කරලා තෙම්පරාදු කරගන්න.
මේ තෙම්පරාදුව හදාගත් පොල් චට්නි එකට එකතු කරලා මිශ්‍ර කරගන්න.
දැන් රසවත් පොල් චට්නි එකත් එක්ක උණු උණුවේම සොෆ්ට් ඉඩ්ලි පිළිගන්වන්න පුළුවන්. කැමති නම් සාම්බාර් කරියක් එක්කත් මේ ඉඩ්ලි රසවිඳින්න පුළුවන්.
උදේ කෑමට වගේම හවස පොඩි බඩගින්නකටත් මේ රෙසිපි එක හොඳට ගැළපෙනවා.











