පළිඟු මන්දිර -37

0
774

හාත්පස අඳුරේ ගිලී පැවතිණි. කුඩා ඉස්තෝප්පු කොටසේ දැල්වෙන විදුලි ආලෝකය මිදුල ට මඳ ආලෝක කදම්බයක් පතිත කළ ද, පිවිසුම් දොරටුව ආසන්නයේ වූයේ අඳුරු ගතියකි. එනිසාවෙන් ම ගේට්ටුව අරින තැනැත්තා කවුද යන්න එක්වර ම දැකිය හැකි වූයේ නැත. ‘මොරීන් මැඩම් ද? කිසල් ව හොයං ඇවිත් ද? පුංචාටත් එක්කම දොස් කියල යයිද?’ යනාදී වශයෙන් වූ ප්‍රශ්න වැලක් පළිඟු ගේ හිතේ පෙළ ගැසිණි. නමුත් ඒ දිගු තත්පර කිහිපයේ දී ඕ හාත්පස වූ සීතල අඳුර තරමට ම මිදී සිටියෙන්, වාචික ව ඒ එක පැනයකුදු නැගිය හැකි වූයේ නැත.

“චූටි මාමා”

ප්‍රශ්නාර්ථය ද කැටිව කිසල් එසේ පවසත්දී පළිඟු ට දැනුණේ වචන වලින් කිසි සේත් පැහැදිලි කළ නො හැකි අත්‍යන්ත වූ සුවයකි. ඇයත් නො දැනී ඇගේ සුසුමක් කළුවර අඳුරෙහි තුරුලු විය. නමුත් වත්සලා ගේ ඇස් වල ක්ෂණික ව දැකිය හැකි වූයේ තිගැස්මකි. පෙර දැනුම් දීමකින් තොර ව මේ විදිහේ රාත්‍රියක චමල් ව සිය නිවෙස වෙත පිළිගන්නා සූදානමක් කොහෙත් ම ඇයට වූයේ නැත.

“මං මේ ළඟට ආව. ඒ ගමං මතක් වුණ නිසා පළිඟු වත් බලාගෙන යන්න ආවා”

ජුගුබ්සාජනක සිතිවිල්ලක් කිසි හිතක පහළ නොවනු වස් චමල් ඉක්මන් කොට කීවේ ය. වැරදීමකින් හෝ වත්සලා ගේ ඇස් වල නො පැටලෙන්නට ද ඔහු වග බලා ගත්තේ ය.

“අනේ කොච්චර එකද්ද…යං චූටි මාමා ඇතුළට”

පළිඟු ඇරයුම් කළා ය.

“උඹත් මෙහෙ නේ…අරහෙ අම්ම යුද්ද ප්‍රකාශ කරනව. උඹ රෑ ජාමෙත් මෙහෙ කරක් ගහනව”

“මේ රෑ ජාමෙ වෙන්නෙ කොහොමද.මං හවස ආවෙ”

“යං ඇතුළට…ඉඳගන්න”

චමල් පළිඟු ගේ ඇරයුම පිළිගන්නට නො ඉක්මන් ව සිටියදී වත්සලා යළි ඇරයුමක් කළා ය. සිව් නෙත් මුණගැහුනේ ඒ වෙලාවේ ය. වත්සලා ඉක්මනින් ඒ බැල්මෙන් මිදෙමින් ම ඉස්සර වූවා ය.

“අපේ අක්ක මොන මොනා කියෙව්වද දන්නෑනෙ. එයා ගෙ හැටි තමයි ඒ. පළිඟු ට හිත රිද්ද ගන්නෙ නැතුව මේකට ෆේස් කරන්න වෙයි කියල කියන්නයි මට ඕන වුණේ”

යුවතිය බිම බලා ගත්තා ය. මේ මොහොතේත් ඇගේ හිත රිදෙමින් තිබිණි. මේ ඉරියව්වට ඈ වඩාත් අහිංසකයි කියා කිසල් ට සිතිණි. ඇය ව සිප ගැනීමේ හදිසි උමතු සිතිවිල්ලක් ඔහු තුළ උපන්නේ ය. තමන් ගේ සිත චමල් හෝ වත්සලා දකීවිය යන සිතිවිල්ලෙන් ඊළඟ නිමේෂයේ ඔහු තිගැස්සී ගියේ ය.

“කෙල්ල දැනටත් හිත රිදෝගත්ත වැඩියි. ඒත් ඉතිං…ආදරේ කියන්නෙ රිදුමක් තමයි කියල  ඉගෙන ගන්නත් වෙයිනෙ”

වත්සලා සුසුමකිනි කතා කළේ. ඒ වෙලාවේ චමල් ඔහු ගේ ම සිතට පැරදිණ. වත්සලා වෙතින් නෙතු මුදවා ගන්නට ඔහු අපොහොසත් වූයේ ය.

කිසල් හෙමිහිට සිය පෙම්වතිය ගේ අතැඟිලි තුඩු අල්ලා ගත්තේ ය. ඒ අත අප්‍රාණික ව යන්නා සේ පළිඟු ට දැනිණි.

“මට කිසිම ඕනකමක් නොතිබ්බ වෙලාවක බලෙං මාව කසාදෙකට පටලෝල මගෙ ජීවිතේම අවුල් කළෙත් අක්කනෙ. එයා දේවල් මනින්නෙ එයාගෙම මිනුම් වලින්. එහෙම නොවුණනං ප්‍රමාද වෙලා හරි මං කැමති කෙනෙක් තෝර ගන්නව මිස මං දික්කසාද පිරිමියෙක් වෙන්නෙ නෑනෙ”

“ඔයා ඩිවෝස් වුණා…”

කවුරුන් ළඟ හිටියත් වත්සලා ට ඒ පුදුමය පාලනය කර ගත නො හැකි විය. ඈ තත්පර කිහිපයක් හුස්ම අල්ලා ගෙන සිටියා විය යුතු ය. වත්සලා මේ විදිහට කැළඹී යාම ගැන කිසිත් සිතා ගන්නට පළිඟු ට හෝ කිසල් ට නො හැකි වන්නට ඇත. ඇතැම් විට ඔවුන් ඒ ඇගේ සංවේදී ස්වභාවය මත පත් තත්වයකැයි සාමාන්‍යකරණය කොට හිතන්නට ඇත. නමුත් සැබවින් ම වත්සලා ගැහෙමින් සිටින බවක් ඇයට දැනිණ.

“ඔවු වත්සලා”

චමල් සුසුමක් අත්හළේ ය. ඔහු ඒ විදිහේ සමීප බවකින් වත්සලා ආමන්ත්‍රණය කරන්නේ එදා නුවර ගිය ගමනෙන් පස්සේ ඇති වූ හිතවත් කමකින් කියා පෙම්වතුන් සිතන්නට ඇත.

“ඒක සිද්ද වෙලත් දැං අවුරුදු කීයක්ද…”

චමල් ගේ ඒ ප්‍රකාශන තුළ නො කියූ බොහෝ කතා සැඟවී තිබිණි. වත්සලා ඔහු වෙතින් ඈතට ම වී සිටි ඒ කාලය තුළ සිය ජීවිතය හරහා චණ්ඩ මාරුත හමා ගිය බවත්, ඒ ගැන කියන්නට හෝ ඈ නො සිටි බවත් හඟවන්නට ඔහු ට ඕනෑ වී තිබිණි. එදා නුවරදී හෝ ඈ එක්ක කිසිත් කතා කළ හැකි අවස්ථාවක් උදා වූයේ නැත. ලද අවස්ථාව පවා වත්සලා හිතා මතා මගහැර දැම්මා ය. ජීවිතය වසර ගණනාවකින් අතීතයට එක් වී ඇති බව ඇත්ත ය. නමුත් එදා ඇය පැමිණ කෙටි කලක් හදවතේ නතර ව උන් තැන දැනුණා වූ උණුහුම තවමත් නො වෙනස් ව පවතින බව චමල් දැන උන්නේ ය. ඇය යළි කිසි දාක හමු වනු ඇතැයි ඔහු සිතුවේ නැත. එහෙම පැතුමක් හෝ ඔහු පැතුවේ නැත. නමුත් දෛවය යළි අතර මගකදී ඔවුන් මුණගස්වා තිබේ.

කියවන්න :  පළිඟු මන්දිර - 49

පිරිමින්ටත් තනිකම දැනෙන්නේ ය. නමුත් ස්ත්‍රීන් සේ නොව ඔවුන් සිය හැඟීම් පිටත ලෝකයට නිරාවරණය වන්නට හරින්නේ නැති තරමි. ජීවිතයෙහි ගැහැනියක නොමැති වීමේ අඩුව හා පාළුව නො මඳව අත් විඳින්නට දික්කසාදය චමල් ට ඕනෑ තරම් අවස්ථාව උදා කර දුන්නේ ය. කෙතරම් තිත්ත රසයක් ඔහු වළඳමින් සිටියා ද යත්, නරක ම ගැහැනියක ජීවිතයේ ඇතිවාටත් වඩා ඒ හුදෙකලාව මරණීය වේදනා ඇති කරවන බව ඔහු අත් වින්දේ ය. කවුරුන්වත් ඒ බවක් දන්නේ නැත. දික්කසාදය කියන දේ ගැහැනියක මත ඇති කරන්නා වූ කිසිදු බලපෑමක් පිරිමියෙකු මත ඇති නොකරන බව පමණක් ලෝකය දනී. නමුත් ගැහැනුන්ටත් වඩා මානසික තුවාල, දික්කසාදය පිරිමි හදවත් වල ඇති කරන්නට සමත් ය. බොහෝ පිරිමි දික්කසාදිත තත්වයෙහි වැඩි කල් නො පවත්නේ ද එනිසා විය හැක. එහෙව් තනිකමක් තනිව විඳ දරා ගන්නට පහසු නැත. එනිසා ඔවුහු ඉක්මනින් යළි යුග දිවියකට එළඹෙති.

“මං කෑම මේසෙ ලෑස්ති කරන්නං”

හෙමිහිට හිත සන්සුන් කර ගැනීමෙන් පස්සේ වත්සලා කෙඳිරුවා ය. ඇගේ පසුපස පළිඟු ද මුළුතැන් ගේ වෙත පිය නැගුවා ය. වත්සලා කෑම බෙදුවේත් කල්පනා ලෝකයේ සැරිසරමිනි. තවමත් ඇයට කිසිත් අදහා ගත නො හැකි තරමි. ජීවිතය ගියන්නේ අභිරහසකි.  ඒ රහස් කවුළුව ළඟ නතර වී ඇය තිගැස්මෙන් එබී බලා සිටින්නී ය.

චමල් සැහැල්ලුවකට පත් ව සිටියේ ය. දික්කසාදයෙන් අනතුරුව ඔහු සැරිසරා ආ කාලය කටුක ය. ගැහැනු දෑතකින් හැඩ වැඩ නොවන පිරිමි ලෝකයක් අතිශය අජීවී බව ඔහු පසක් කරමින් සිටියේ ය. හැම රාත්‍රියක ම වාගේ වත්සලා ගේ මතකයත් එක්ක ඔහු නිදි වැරුවේ ය. නින්ද යා ගෙන එත්දී ඈ සිහිනයෙන් දැක යළි අවදි වූයේ ය. ජීවිතයෙන් පළා යාමේ අවශ්‍යතාවය විටෙක භයානක ලෙස ඔහු වෙලා ගනිමින් පැවතිණ. දිවි නසා ගැනීම දුර්වලකමක් බව චමල් නො දැන සිටියා නොවේ. කෙතරම් දන්නා පරම සත්‍යයන් හි වුව පිහිටා කටයුතු කළ නො හැකි අවස්ථා උදා වන්නට පුළුවන. තනිකම් දොසින් හදවත වියළී ඉරිතලා ගිය අවස්ථාවක මරණය තරම් සහනයක් ජීවිතයෙහි වෙන දැකිය නො හැකි විය හැක. නමුත් චමල් මරණය පරාජය කරමින් දුෂ්කර හා දුක්ඛිත වූ ජීවිතයෙහි ම සැරිසැරුවේ ය.

“චූටි මාමෙ”

කිසල් ගේ හඬින් චමල් පියවි ලොවට ආවේ ය.

“ම්…”

“මොකද…කනවද කල්පනා කරනවද…”

චමල් අඩ සිනහවක් පෑවේ ය. වත්සලා සසැලුණා ය. වියැකී නො ගිය යෞවනයේ දී ඒ සිනහව ඈ සිත වසඟ කළ යුරු ඇයට තවම අමතක නැත. සිය සැමියා ගේ වියොවින් පසු කිසිදු පිරිමියෙකු ට ඉඩ නැතැයි සිතා උන් සිය හදවතෙහි, චමල් අනවසරයෙන් ම ඉඩ වෙන් කොට ගත් ආකාරය ගැන අද අදටත් ඇයට පුදුම ය.

“ජීවිතේදි අපි කරන්නෙ ඒක තමයි බං”

චමල් තේරවිල්ලක් අත්හැරියේ ය. හැම නෙතක් ම   ඒ තෝරා බේරා ගැනීමට ඔහු දෙසට දැල්විණි.

“එක දෙයක් කර කර වෙන දෙයක් ගැන හිතනව. එක ලෝකෙක හුස්ම ගන්න ගමං වෙන ලෝකෙක ජීවත් වෙනව”

වත්සලාටත් නො දැනී ම ඇය ලොකු හුස්මක් ගත්තා ය. නමුත් කිසිවෙකු ට හඬ ඇසේවියි බියෙන් ඈ ඒ හුස්ම හෙළුවේ ඉතාමත් හෙමිහිට ය. ජීවත් වීම තුළ ඒ ආකාරයෙන් සිය අවංක හැඟීම් හිර කර ගෙන ව්‍යාජයක පවතින්නට වීම මොන තරම් සාමාන්‍ය තත්වයකට පත් ව තිබේ ද? 

චමල් ඒ රාත්‍රියෙහි සමු ගෙන ගියේ මහමෙර තරම් බරක් දෙපා අභියස තබා ය කියා වත්සලා සිතුවා ය. නමුත් ඈ අභ්‍යන්තරික සැහැල්ලුවකට පත් ව සිටියා ය. ඒ ප්‍රතිවිරුද්ධ සිතිවිලි පරම්පරා දෙකකි. ඒ අතරේ දෝලනය වීම වෙනස් ම අත්දැකීමක් වූයේ ය. විටෙක වත්සලා තනිව මඳහස පෑවා ය. විටෙක හුදෙකලා සුසුම් හෙළුවා ය. 

කියවන්න :  පළිඟු මන්දිර - 32

චමල් නම් අත්‍යන්ත සන්තෘප්තියකට පත් ව සිටියේ ය. වත්සලා ඉදිරියේ හිත නිදහස් කරගැනීම ඔහු ට මානසික විරේකයක් සරි විය. ඈ නික්ම ගිය දා සිට සිත පෙළු වරදකාර හැඟීමත් අතුරන් ව තිබිණි. හමු වීමක් අරුත් ගන්වන්නට හිමි වීමක් අවශ්‍ය ම නැත!

රාත්‍රියේ පශ්චිම යාමයෙහි පළිඟු තිගැස්සී අවදි වූවා ය. අවදි වූවා ය කීවාට ඈ හිටියේ තද නිද්‍රාවක නොවේ. එය නින්දත් නො නින්දත් අතර තත්වයක් සේ ය. ඒ නිද්‍රාශීලී සිතිවිලි සැරිසැරියේ දී උඩු හිත යමක් අල්ලා ගත්තේ ය. පතිගැස්සී නෙත හැරියේ එතකොටයි. ඈ වහා නැගිට ජනේලය වෙත ගියා ය. තිර රෙද්ද මෑත් කොට පරිසරයට නෙතු පෙව්වා ය. අලුත උපදින සූර්යයාගේ එක කිරණකුදු තව ම පොළොව වෙත පතිත වී නැත. නමුත් එකිරණ දැන් දැන් පෙරදිග අහසට එබිකම් කරන්නට පටන් ගෙන ඇතැයි ඇය අනුමාන කළා ය. ඒ අහසේ තද නිල් පාටට යටින්, පෙරදිග පහළ තීරය ශ්වේත වර්ණයක් දරා තිබි නිසාවෙනි. තවත් ඒ නිද්‍රාසන්න සිහිපත් වීම අමතක වූවා සේ ඉවසා ඉන්නට යුවතිය සමත් වූයේ නැත. ඇය වහා ම වත්සලා ගේ කාමරය දෙසට ගියා ය. දොරගුළු දමා තිබුණෙන් ඕ ඊට තට්ටු කළා ය. මේ දැන් ඇහැ පිය වී ගෙන එන නිමේෂයක උන් වත්සලා වහා නැගිට යහනෙහි හිඳ ගත්තා ය. ඒ සැබෑවක් ද නැතහොත් සිහිනයක් ද කියා නිශ්චය කර ගන්නට ඇයට අවැසි විය.

“පුංචා”

සැබෑවකි. ඒ පළිඟු ගේ හඬයි. වත්සලා වහා යහනෙන් බැස දොර හැරියා ය. උනා ලූ වරල එක්තැන් කරමින් ඕ තොමෝ පළිඟු දෙස බැලූයේ තරමක තැතිගැන්මකිනි.

“පළිඟු…ඇයි මේ…නරක හීනයක්වත් දැකල බය වුණාද…”

“නරක නෙමෙයි…ඒත් හීනෙකිං වගේ මට මොකක්හරි දැනුණා. යටිහිත මට මොකක්හරි කියන්න උත්සාහ කළා. මං ඔයා ළඟට එන්නද පුංචා…”

“වතුර ටිකක් දෙන්නද…”

පළිඟු ව සුරතින් ඈ වෙත තුරුලු කර ගනිමින් චත්සලා කාමරයේ දොර වැසූයේ එසේ අසමිනි.

“ඕන්නෑ. පුංචා…”

“ම්…”

“ඔයා කලිං ඉඳල චූටි මාමාව දන්නවද…”

ඒ බෝම්බයක් සේ වත්සලා ට දැනිණ. බෝම්බය පුපුරා ගියේ ඇගේ හදවත මැද්දේ ය. ඈ සුණු විසුණු ව ගියා ද කියා වත්සලා සිතුවා ය. ආත්මයේ කැබලිති එකතු කර ගනු වස් ඕ ටික වෙලාවක් ඉක්මන් කෙටි හුස්ම ගත්තා ය.

“මේ දැං විනාඩි ගාණකට කලිං…එහෙම දෙයක් දැනිල එක පාරටම මගෙ ඇස් ඇරුණා. බාප්පා නැති වුණාට පස්සෙ පුංචාට දැනිච්ච ආදරේ චූටි මාමාද…”

වත්සලා ගේ උගුර කට වියළී ගිහින් තිබිණ. පළිඟු කියන්නේ සංවේදී දැරියක බව වත්සලා දනී. ඇයට තියෙන්නේ අනිත් අය කියවා ගන්නා හදවතකි. අනිත් අය අවබෝධ කර ගන්නා හදවතකි. එහෙවු ඇය ට මේ කිසිත් සැඟවිය යුතු නැත.

“හ්ම්”

වචන වලට කතා කළ නො හැකි බව වත්සලා දැන උන්නා ය. උගුර හිර වී තිබිණ. ගිනියම් ලෝහ ගුළියක් වැනි යමක් උගුරේ හිර වී ඈ දවමින් තිබිණ. සහේතුක උණු කඳුළු අහුරක් වසර ගණනාවක් තිස්සේ නිදහස් වන්නට අවසර නො ලැබ මිදී සිට, මේ ඉස්පාසුවේ ගලා යන්නට වූයේ ය.

පළිඟු වත්සලා වෙත නැඹුරු ව ඇයව වැළඳ ගත්තා ය. ඉකිබිඳ හඬන්නට උර මඬලක් ලද වත්සලා හිතේ හැටියට ඉකිළුවා ය. ඈ සනසනු වස් කිව යුත්තේ මොනවා දැයි පළිඟු දැන සිටියේ නැත. සන්තාප සිතිවිලි සමුදායක් ඈ වට කරගෙන සිටින බව පමණක් ඇය ට දැනිණ. දැන් මේ ඇස් ඉදිරිපිට මැවී තියෙන්නේ ඇගේ ම අනාගතය ය යන  බියකරු සිතිවිල්ලකින් යුවතිය වෙළී ගියා ය. මේ කඩා වැටෙන්නේ ඇගේ ම කඳුළු සේ ඇය ට දැනිණ. 

ආදරය කොයි හිතක උපන්නත් ආදරය ම ය. වියෝගයේ වේදනාව කොයි හිතක ඇති වුණත් වියෝගය ම ය. කවර කාලයක උපන්නත් ඒවා ට අයිති රිදුම් හා තැවුල් වල වෙනසක් නැත්තේ ය. වත්සලා ගේ කඳුළු වලට පළිඟු ගේ කඳුළු මුහු වී තිබුණේ උනුන් නො දැන ම ය.

4.4 8 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments