පළිඟු මන්දිර – 49

2
792

සියලු දෙනා ඉදිරියේ කිසල් කී කතාව නිසා වත්සලා මඳ අපහසු තාවකට පත් වූවා ය. ඇගේ වත ට ලේ පුරා රතු වෙන හැටි පළිඟු මැනවින් දුටුවා ය. තරුණ ගැහැනියක ලෙස පුංචා ලෝකයට මුහුණ දුන් ආකාරය ගැන පළිඟු  තරම් හොඳින් දන්නා වෙන කෙනෙකු නැත. මිනිසුන් කවරාකාර දැයි නිවැරදි ව වටහා ගන්නට නම් ගැහැනියක තනි විය යුතු ය. උදව් කරන ආකාරයෙන් පැමිණෙන වැඩි දෙනෙකු ගේ ත් යටි හිත් වල වන්නේ වෙනත් නොමනා අදහසකි. පිරිමියෙකු ගේ රැකවරණයක් අහිමි ස්ත්‍රීන් සිටින්නේ ඕනෑ ම පිරිමියෙකු ගේ මන දොල පුරන්නට යයි බොහෝ අය සිතති. ඔවුන් වෙතින් රිංගා ගොස් ගෞරවනීය ගැහැනියක ලෙස ජීවත් වන්නට උත්සාහ කරන කෙනෙකුට වුව නින්දා පරිභව කරන්නට ලෝකයා දෙවරක් සිතන්නේ නැත.

එවන් සිදුවීම් වල දී වත්සලා ඕනෑ තරම් හඬා දොඩා තිබේ. නමුත් දිය කරන්නට පහසු ගැහැනියක විනාශ කර දැමීම වඩාත් පහසු යයි සිතන මිනිසුන් ට එරෙහි ව යමින් ශක්තිමත් වන්නට ඉන් පසු ඇය දැඩි ව අදිටන් කර ගත්තා ය. අහිංසක කම් පසෙකින් තබා අසාධාරණයට එරෙහි ව නැගී සිටිමින් හඬ නගන්නට ක්‍රමයෙන් ඕ පුරුදු වූවා ය.

වත්සලා දැන් ඒ ජීවිතය ට හුරු වී සිටින්නී ය. පිරිමියෙකු පසෙකින් සිටියත් නැතත් මේ ගමන යන්නට තරම් දැන් ඈ සවිමත් ය. නමුත් ඈ තුළ ජීවත් වන සැබෑ වත්සලා වූ කලී ආදරණීය පිරිමියෙකු ගේ රැකවරණය තුළ කඳුකර මලක් තරම් සෞම්‍යවන්තියක බව පළිඟු ඉඳුරා දැන උන්නා ය. කෙසේ නමුත් වත්සලා ගේ සිත වෙනස් කරන්නට සමත් යමෙකු සිටිත හැකි දැයි ඕ නො දත්තා ය.

යෞවනයන් පියානෝව වටා රොක් වී ගෙන ද, සනත් හා චමල් මී විතකට ලං වී ද සිටිනාතර වත්සලා හුදෙකලාව මිදුලට බැස්සා ය. ස්ත්‍රී දෑතක පහස නො ලබන මිදුලේ මල් පැළ කේඩෑරි වී ද බොහෝ ඒවා මිය ගොස් ද තිබිණි. වැරැන්ඩාවේ මුල්ලක දිගු මකුළු දැලක් එල්ලුණේ ය. සුලං සීනුවක් සිහින් මධුර හඬකින් නාද වූ තැනෙක වත්සලා නතර වූවා ය. ඈ පෙනහළු පිරෙන සේ හුස්මක් ගත්තේ ඇයට ම නො දැනී ය. 

ජීවිතය හැමදාමත් විශ්මිත ය. දෛවය සිය ප්‍රාතිහාර්යයන් පෙන්වමින් නිරන්තර ජීවිතය විශ්මිත කරවමින් පවතී. අපි ඒ මත්තේ නැටැවෙන කුරා කුහුඹු මිනිසුන් වෙමු.

“මොනාද කල්පනා කරන්නෙ…”

චමල් ගේ හඬ වත්සලා ගේ උරහිසට පිටුපසින් ඇසිණි. ඇය මන්දහාසයකින් හැරුණා ය.

“මුකුත් නෑ. නිකං එළියට ආව. ළමයි පියානෝ ගහනවනෙ”

“ළමයින්ට උන්ගෙ ලෝකයක් තියෙනව. උන් ඒ ලෝකෙට ගියහම අපි තනි වෙනව”

චමල් කියන්නට යන්නේ කුමක් දැයි වත්සලා ට හරි හැටි වැටහුණේ නැත. ඕ තොමෝ නෙතු ඔසවා කෙලින් චමල් ගේ මූණ බැලුවා ය. ඔහු ගේ නිකටේත් කොපුල් වලත් රැවුල තැන් හි තැන් හි අළුවන් ව තිබේ. ආරය නිසා තවමත් වත්සලා හිස කේ ඒ තරම් නො පැසුණ ද සම වයස් ඇගේ ඇතැම් මිතුරියන් ගේ කෙස් වැටිය බෙහෙවින් පැසී ඇති බව ඇයට සිහි කළ හැක. බොහෝ දෙනෙක් යෞවනය වියැකී යන්නට පටන් ගෙන ඇති බව සඟවා ගෙන ඉන්නේ කේෂාලේපන වර්ණ වලට පින් සිදු වන්නට ය. මග හැරී ගිය තුරුණු විය පිළිබඳව හදිසි සන්තාපයක් වත්සලා ගේ සිත්හි ඇතිල්ලී ගියේ ය.

කියවන්න :  පළිඟු මන්දිර -25

“ඔයා මොකද හිතන්නෙ කිසල් කියපු දේ ගැන…”

වත්සලා තිගැස්සී ගිහින් නැවතත් චමල් ගේ දෑස් දෙස බැලුවා ය. ඒ ඇස් වල මළානික හුදෙකලාව පරයා නැගී සිටින්නට තතනන අපේක්ෂාවේ දීප්තියකි. වත්සලා ගේ සිතිවිලි ව්‍යාකූල ව තිබිණි. ඇගේ ඇස් බැල්මෙහි පවා වූයේ කැළඹීමකි.

“මං හිතන්නෙ දැං ඔයා ඉන්නෙ ඕව කතා කරන්න පුළුවන් තත්වෙක නෙවෙයි”

ගැහැනු ස්වරයක ඒ වගේ අයිතිවාසිකම පිළිබඳ නො රිස්සුමක් ලෙහෙසියෙන් තැවරෙන්නේ නැත. එවැන්නක් උපදින්නේ තමන්ගේ කියන හැඟීම දැනෙන කෙනෙක් වෙනුවෙන් පමණකි.

“දැං ඔයා හිතන්නෙ මං සිහි කල්පනාව නැති වෙන තරමට ඩ්‍රින්ක්ස් අරගෙන කියලද…”

චමල් හඬ නගා හිනැහුණේ ය. ඒ සිනහ හඬට ආලින්දයේ උන් තරුණ පිරිස සේ ම මධු විතක් තොල ගාන සනත් ද හැරී බැලූහ. වත්සලා ලැජ්ජාවෙන් රතු වූවා ය.

“බොන තැනක හිටිය කියල වෙරි වෙන්නෑ ළමයො”

“ඔවු ඔවු…හිටිය විතරයි”

“හිතට දැනෙන දේවල් වචන වලට පෙරලගන්න බැරි වුණහමත් මිනිස්සු බොනව වත්සලා”

වත්සලා  ගේ හදවත ඇතුළේ භූමි කම්පාවක් ඇති විය. හරියට ම වෙන් කොට හැඳිනගත නො හැකි සිතිවිලි පරම්පරාවක් තෙරපෙමින් ඇගේ අභ්‍යන්තර තුවාල පෑරී ය.

“දැං ඕව කතා කරල තේරුමක් නෑ”

ඇය උගුර යටින් යන්තමින් කියා ගත්තා ය. ඒ මිමිණුම ඔහු ගේ සවන් වලට නොව, ආමන්ත්‍රණය කළේ ඔහු ගේ හදවතට ය.

“ඇයි…”

“තේරුමක් නැති නිසා”

“අපි කෙළිංම කතා නොකළත්…ඒ කාලෙ මට දැනුණා ඔයා මට ආදරෙයි කියල. ඒකමයි පහු වෙලා හරි මං ඇත්තම කිව්වෙ…මං ඒ වෙද්දිත් මං මැරි කරලයි කියල. ඒ ආදරේ…ඔයා ඒ අතීතෙම විසි කරල ආවද…”

“ඒ ආදරේ අදටත් තිබුණ තැනමයි චමල්. හැම දවසකටම ඉර පෑව්වෙ ඒ ආදරෙත් එක්කම තමයි. ඒත්…ඒක එහෙමම තිබුණදෙං. මට මේ කෙල්ලත් එක්ක ඉතුරු ටිකත් ජීවත් වෙන්න පුළුවන්”

“ඒ කෙල්ල අපේ කොල්ලත් එක්ක කූඩුවක් හදා ගත්ත දවසක ඔයා තනි වෙයි”

“මගෙ කෙල්ලවත් ඔයාගෙ කොල්ලවත් මාව තනි කරන්නෑ කියල මට විශ්වාසයි”

“ඉතිං අපිට බැරි ඇයි දෙපැත්තක ගෙවන තනිවෙච්ච ජීවිත දෙකක් එක වහලක් යටට ගේන්න…”

වත්සලා ඇස් පියාගෙන සුසුමක් හෙළුවා ය. ඒ වුණත් හදවත මත පැටවී ඇති බරෙහි අඩුවක් නම් දැනුණේ නැත.

“ලෝකෙට බයේ ජීවත් වුණා ඇති නේද…දැංවත් අපි අපේ හිත් වලට ඕන විදිහට ජීවත් වෙන එකේ වැරැද්ද මොකද්ද වත්සලා…”

එරෙහි වනු වස් ඉදිරිපත් කළ හැකි කාරණා මොනවා දැයි ඇයට සිතා ගත හැකි වූයේ නැත.

“කසාද සහතිකේ කියන දේ ගැන මගෙනං ලොකු විශ්වාසයක් නෑ. ඒත් ඔයාගෙ පැත්තෙං ඒකෙ වැදගත්කමක් නැත්තෙත් නෑ. ඒක නිසා හෙට අනිද්දටම රෙජිස්ට්‍රේෂන් එකක් කරල දාමු. තාමත් ඔයා විරුද්දද…”

කියවන්න :  පළිඟු මන්දිර - 29

වත්සලා නිරුත්තර වූවා ය. මේ වගේ තීරණාත්මක ප්‍රශ්න වලට උත්තර හොයන්නට නො වෙහෙසී ඉන්නට ඇත්නම් මොන තරම් දෙයක් ද? ජීවිතයත් එක්ක පොර බදා සැබවින් ම ඇයට දැන් වෙහෙස ය. ජීවිතයේ සියල් බර ආදරණීයයෙකු මත පටවා නිදහස් වෙන්නට ඇත්නම් එයත් මොන තරම් සැනසීමක් ද? තනිව උහුලනා ජීවිතය දෙදෙනෙකු සමග බෙදා ගත්දී දැනෙන සැහැල්ලුව ඇයට අමුතු දෙයක් නොවේ. ඒ කෙටි කලකට වුව ඈ විඳ ඇති දෙයකි. නමුත් දැන් ඈ සිටින්නේ එහෙවු නිදහසක් සොයා යා හැකි වයසක ද කියා වත්සලා දන්නේ නැත.

“ඔයාට තීරණයක් ගන්න බැරිනං තීරණ ගන්න අයිතිය මට දෙන්න. ඔයා වගේ ම පළිඟු දුව ගැනත් ඕනම වගකීමක් ගන්න මං ලෑස්තියි”

පිරිමියෙකු එහෙම කියත්දී ජීවිතය ම ඔහු ගේ දෝත මතින් තබන්නට දෙවරක් නො සිතීම ගැහැනු ගතියකි. නමුත් වත්සලා අඩියක් පසු පසට ගෙන තවත් වතාවක් සිතුවා ය. දැන් ඈ සිටින්නේ පළිඟු මෙන් දෙගුණයක් පසු කළ වයසක ය.

“මං ඇතුළට ගිහිං එන්නං”

කියමින් චමල් නික්ම ගිය පසුත් වත්සලා කල්පනා කරමින් සිටියා ය. පිනි බින්දු තණ පත් මත සිසිල තවරමින් පතිත වෙමින් ඇත. වත්සලා ගේ නග්න දෙපා මත, තණ පලස මත වූ පිනි අහුරු හාදු තැවරී ය. පමා වී පැමිණි වසන්තයක මල් පුසුඹ ඈ වට කොට ඇති බවක් ඇයට දැනිණි.

පළිඟු හෙමිහිට වැරැන්ඩාවට විත් වත්සලා දෙස බැලුවා ය. ඈ සිටින්නේ අග මුල පාදා ගත නො හැකි අවුලක බව පළිඟු ට දැනේ. ඇයටත් නො දැනෙන්නට පිටුපසින් පැමිණි පිරිමි දෙතොලක් පළිඟු ගේ කොපුලක තැවරිණි. ඇතුළාන්තය හිරි වැටී ගියත් යුවතිය ඒ සඟවා නෝක්කාඩු බැල්මක් හෙළුවා ය. 

“තාත්තත් ඉන්නව නංගිත් ඉන්නව හොඳේ”

“ඉතිං…”

“හොඳ ළමයෙක් වගේ හැසිරෙන්න ඕනේ…”

යන්තම් ඇගේ බඳ වට සුරත යැවූ කිසල් පළිඟු ව ඔහු වෙතට වඩාත් සමීප කර ගත්තේ ය. 

“මේ වගේ අපේම ගෙදරක මෙහෙම ඉන්න ආසයි පළිඟු”

“ඒකට දවසක් එයි. ඉක්මන් නොවී ඉමු”

“මට වඩා හොඳ කොල්ලෙක් හම්බ වෙනකල්ද බලං ඉන්නෙ…”

“හොඳ කොල්ලො හම්බ වෙලා නැතුව නෙවෙයි මීට කලිං. මට ඕනෙ ලෝකෙ ඉන්න හොඳම කොල්ලෙකුත් නෙවෙයි. මං ආදරේ කරන කොල්ලෙක්. ආදරේ දැනෙන කොල්ලෙක්. ඒකට ඔයා හොඳටම ඇති”

“පුංචා කැමති වෙයි නේද චූටි මාමා ළඟට එන්න…”

“මට හිතාගන්න බෑ. පුංචා කියන්නෙ හිත හයිය ගෑනියෙක්. ආදරේ කරන්න අයිති කර ගන්නම ඕන නෑ කියලයි එයා හිතන්නෙ”

“පුංචා මට ආදරෙයි. මාව විශ්වාස කරනව. ඒක නිසා එයා මං කියන දේ අහයි. එයාව කැමති කර ගන්න මට පුළුවන් වෙයි”

“එහෙම වෙනවනං මං කැමතියි”

නැවත වතාවක් කිසල්  පළිඟු ගේ කොපුලක ඉක්මන් හාදුවක් තැවරී ය. ඒ පොරොන්දුවක් බව, වචන යමක් නො කීවාට පළිඟු දනී. වචන නැතිවාට ආදරය කතා කරන බව ද දැන් ඈ දනී.

4.1 8 votes
Article Rating
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Saman kumari Kulasuriya
2 months ago

හරිම වින්දනීයයි ස්තූතියී

Priya
2 months ago

Nicely written!