අහංකාර නගරේ -15

1
2684

“මගෙ…ඔළුව පැලෙන්න එනව වගෙයි…”

මම හිස අත් බැඳ ගෙන වේදනාවෙන් කෙඳිරුවෙමි. සුරනි ඇවිත් යහන මත හිඳ මගේ නළල මත සිය සුරත තැබුවා ය. දිය නා ගත් ගමන් නිසා ඒ අතේ වූ සීතල මගේ හිස මත වූ ගිනි කබලක ගින්දර ට මහත් වූ සිසිල් සුවයක් දැනවූයේ ය.

“උණක් නං නෑ. ඇක්ස් ඔයිල් ටිකක් ගාමු”

ඇය විගස මගේ නළල දෙපස මොනවා ද තැවරුවා ය. පිච්චෙනවා වන් සංවේදනයක් මුලින් ම දැනිණ. ඇස් දෙකෙන් කඳුළු ගිළිහුණේ හිතේ වූ හැඟීමකට නම් නොවේ. ටික වෙලාවකට පස්සේ සිසිලක් දැනිණ. මම නෙතු හැර බැලුවෙමි.

“දැං කොහොමද …”

සුරනි මගේ හිස ඉහත්තාවේ වූවා ය.

“අඩු වුණා වගේ”

මම නැගිට යහන මත හිඳ ගතිමි.

“මේ දවස් වල ක්ලයිමේට් එක අවුල්නෙ. ඒසී එකේ ඉඳල එක පාරටම එළියට ආවහම එහෙම වෙන්නැති. මේ දවස් වල රෑටත් මාර රස්නෙයිනෙ”

ඇගේ අවංක කම රවටන්නට හෝ කිසිත් සඟවන්නට මට නො හැකි ය. ඒ නිසා මම ඇත්ත ම කියන්නට සිතුවෙමි.

“එයා එහෙම කිව්ව”

සුරනි නළල රැළි ගැන්වූවා ය.

“කවුද…මොනාද කිව්වෙ…”

“සිතිජ. එයා මට ආදරේ කරන්න පටං අරගෙන වගේලු”

“හ්ම්”

කිසිදු පුදුමයක් ඇගේ ස්වරූපයෙහි වූයේ නැත. මීට පෙර ද ඇය ඒ බව අනුමාන වශයෙන් කියා තිබුණා ය. තෙත කොණ්ඩය අතැඟිලි වලින් පිරිමදින ගමන් ටිකක් වෙලා කල්පනා කළ ඕ මදෙස බලා සිනහ වූවා ය.

“දැං ඉතිං වෙන කුමක් කරන්නද…ආ….දරය කරනු මිස…”

ගීතාකාරයෙන් එසේ කිවූ සුරනි මගේ අතකින් ඇද යහනෙන් මා නැගිටුවා ලූවා ය.

“හරි හරි හොර ලෙඩ ඕන්නෑ. වොෂ් එකක් දාං එනව. අද ඉතිං සෙලිබ්‍රේට් කරන්න ඕන දවසක්නෙ”

සත්තකට මේ මගේ දිවියේ දශක දෙකකට ආසන්න ඉතිහාසයෙහි මා වඩාත් ම සන්තෘෂ්ටියට පත් දිනය ලෙස සනිටුහන් වනු ඇත. ඒ සතුට ජීවිතය පුරා රැක ගත හැකි එකක් යයි සිතිය නො හැකි ය. සුරනි නොබෝ දිනයක කීවා සේ මා ප්‍රේමය නිසා දුක් විඳිය යුතු යයි මගේ ඉරණමේ ලියවී තිබෙනවා දැයි නො දනිමි. කෙසේ වෙතත් හිමි වෙන්නට නියමිත දෙයක් ලබා ගත යුතු ය. ඒ දුක ද සැපත ද කියා වෙනසක් නැත.

අප දෙදෙනා නුගේගොඩ පැත්තට යන්න හිතා ගෙන සූදානම් වුණෙමු. සුරනි ට සෙරෙප්පු යුගලත් මිල දී ගත යුතු යයි කීවා ය. 

කියවන්න :  අහංකාර නගරේ -29

“කොල්ලයි බල්ලයි සෙල්ලං කරනව”

පිය ගැට පෙළ බහිත්දී ම, ගෙමිදුල දර්ශනය වන ජනේලයෙන් බලා සුරනි කීවා ය. ඔහු අද වෙන දා ට වැඩි සතුටකිනැයි දුරට දුටු ඔහු ගේ මුහුණ අනුව මට සිතා ගත හැකි විය. අප ගෙමිදුල හරහා යන විට ඔහු ගේ ඇස් වල ‘කොහෙද යන්නෙ’ යන පැනය විය. නමුත් ඔහු එය වාචික ව අසන්නට ඉදිරිපත් වූයේ නැත. අප ගේට්ටුවෙන් පාරට යනකොට ම ජංගම දුරකතනය ට මා බලාපොරොත්තු වූ පණිවිඩය ආවේ ය.

“කොහෙද යන්නෙ…”

කියා එහි ලියවී තිබිණි.

“නුගේගොඩට. සුරනිගෙ බඩු වගයක් ගන්න”

මම ලියා යැව්වෙමි.

දෙපයින් ඇවිදිනවා නොව වලාකුළක පා වී යනවා බඳු සැහැල්ලුවක් මට දැනෙමින් තිබිණි. තමන් ගැන සොයා බලන්නට එක ම එක මනුස්ස හදවතක් හෝ මිහි මත ඇත ය කියා හැඟෙත්දී දැනිය හැකි සැනසීමකි එය. 

“රෝස්මරී මේක දැන ගත්ත දවසට ඔයාට කොල්ලව විතරක් නෙවෙයි ඒ ජොබ් එකත් නැති වෙනව මෙව්නා”

සුරනි බොහෝ දුර දකින්නියක සේ කතා කළා ය. පුදුමයට කරුණ නම් මට කිසිදු බියක් නො දැනීමයි.

“ඇයි හිනා වෙන්නෙ…”

සුරනි පුදුම වී සිටියා ය.

“මන්දා..”

මම මුදු හඬින් මිමිණුවෙමි.

“මට තේරෙන්නෙ ඒ ගැන මට කිසි බයක් දැනෙන්නෙ නෑ කියල විතරයි”

 තවමත් මා සිතිජ ගේ යෝජනාව ට කිසිදු ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත. නමුත් හිත ඉපිලෙමින් තිබුණේ පෙම්වතිය ක ගේ ප්‍රීති ප්‍රමෝදයෙනි. 

“ගමේ ගියානං කිරි අම්ම තක්කෙටම දැන ගන්නව”

“මොනාද…”

“කොල්ලෙක් සෙට් කරං කියල. මේ එක පැයට කෙල්ලගෙ ඇස් දෙක දිළිසෙන්න පටං අරං”

කාත් කවුරුත් නැති ව සිටි මනුස්සාත්මයක් තරම් තනි කම කියන දේ වෙනකෙකු හඳුනන්නේ නැත. එහෙම කෙනෙකු ට අයිතිවාසිකම් කියන්නට කෙනෙක් ඉදිරි පත් වූ විට දැනෙනා හැඟීම, කවදාවත් වචන වලින් විස්තර කළ නො හැකි විදිහේ එකකි. ඒ හැඟීම ඇස් වලින් ලෝකය ට ප්‍රකාශ වෙනවා දැයි නො දනිමි.

“මං සිතිජට මොනාද සුරනි කියන්නෙ…”

නුගේගොඩ ගොස් ආපසු එන ගමන්, වුඩ්ලන්ඩ් මාවත ඇරඹුමේ දී මම ඇසුවෙමි. සුරනි අඩි කිහිපයක් නිහඬ ව ඉදිරියට තබා ගියා ය.

“ඒක මට කියන්න බෑනෙ මෙව්නා. ඒක ඔයාට දැනෙන දේ. ඔයාට දැනෙන දේ කියන්න. කොල්ලා නරක එකෙක් නෙවෙයි කියල දැනෙන නිසා මෙහෙම වෙලාවක අපි අපිට අවංක වෙන එක තමයි කරන්න ඕන හොඳ ම දේ”

කියවන්න :  අහංකාර නගරේ -30

අප එන විට සිතිජ ගේ කාමරයේ දොර තිබුණේ අඩ වන් කොට ය. සාමාන්‍යයෙන් වෙනදා ට එය යන්තමින් හෝ විවර වී තිබෙන අවස්ථාවක් දැකිය නො හැකි වූ තරම් ය.

“ඔයා ආවද කියල දැනගන්නකං තමයි ඔය දොර ඇරල තිබුණෙ”

සුරනි සිනහ වෙවී කීවා ය. 

ඉන් පසු දෙතුන් දිනක් නිහඬ ව ගෙවිණි. ඊට පස්සේ එක සැඳෑවක වැල්ලවත්ත බස් නැවතුමෙහි දී මට ඔහු හමු විය.

“යං”

ත්‍රීරෝද රියක් නවතා මා ඊට නංවා ගත් ඔහු මා කැටිව ගියේ තුම්මුල්ල පැත්තට වන්නට පිහිටි අවන්හලකට ය. එදා සැලොන් එකෙන් පිටත් වෙත්දී ම පමා වී තිබුණෙන්, අවන්හලට ගොඩ වෙමින් තිබි අඳුර පලවා හරිනු පිණිස කහ පාට එළි විහිදෙන බිත්ති හා සිවිලින් විදුලි පහන් කිහිපයක් දැල් වී තිබිණි. නවාතැනට යන්නට පමා වේවි ද කියන දෙගිඩියාව මා තරමක් දුරට නොසන්සුන් කරවා තිබිණි.

“බය වෙලාද ඉන්නෙ…”

මේනු පත බලා යමක් ඇනවුම් කරන ගමන් සිතිජ සිනහ වී ඇසුවේ ය.

“නෑ”

මම විලි බර ව හිනැහුණෙමි.

“යනකොට රෑ වෙයිද කියලයි හිතුවෙ”

“මං ඉන්නවනෙ”

මම ඒ ඇස් වල පැටලී ගන්නට මගේ ඇස් වලට ඉඩ හළෙමි. 

“තාමත් උත්තරයක් නැති නිසයි බැලුවෙ මොකද කියල…”

ඔහු කතා කළේ ඉතා මත් ම නිස්කාන්සුවේ ය. මේ නගරයේ ඉපිද හැදී වැඩුණ මේ වයසේ යෞවනයෙකු ට ඒ තරම් හික්මීමක් ලැබුණේ කොහොමද කියන පැනය යළි යළිත් මගේ හිතේ අලුත් වෙන්නට වූයේ ය.

“අයියෙ….”

මම උගුර යටින් කතා කළෙමි.

“ඔයාට මොනාත් පැහැදිලි කරල දෙන්න ඕන නෑ කියල මන් දන්නව. චුට්ටක් හිතන්න. තව ටික දවසකදි ඔයා ඉංජිනේරුවෙක්. මං කවුද…සැලොන් එකක වැඩ කරන හද්ද වන්නියෙ කෙල්ලෙක්. ඔයාට තේරෙනවද…උඩුගං බලා පීනනව කියන එකේ වුණත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවනෙ…නේද…”

“කෙහෙල්මලක් කියෝනව. මට දැනගන්න ඕනෙ ඔයාගෙ කැමැත්ත විතරයි”

“අයියෙ…”

“කැමතිද නැද්ද….එච්චරයි”

“අයි…යෙ”

“මට කෙටියෙන් කෙළින් උත්තරයක් දෙන්න”

“අයියෙ මං මේක ඔයාට කියන එක වැරදියි. ඒත් දැං මට මේක නොකියත් බෑ. ඔයා දන්නවද දැං මං වැඩ කරන්නෙ කොහෙද කියල…”

ඔහු ගේ මුහුණේ භීතියක සේයා ඇඳිණි. ඒ තොල් කොනක් සැලී යනවා මම දුටිමි. ඒ ඉරියව් දකිත්දී මට මා ගැන මහත් බියක් දැනෙන්නට ගත්තේ ය. 

5 1 vote
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Chamira
24 days ago

👍