ඈත දුර ආකාසේ -35

එරංගා එදා නිවසට යන්නට පාරට බැස්සේ කසුන් සහ තුරුලි පැවසූ දේවල් සිහි කරමිනි.ඇයට ඒ සියල්ලම සිහි වූයේ ඇදට ය.නුහුරට ය.

“කසුන් කියන්නෙ මොකෙක්ද, හැමදාම උයා පිහාගෙන බෑන්ක් එකට එන මිනිහෙක්.ඕක ලෙඩක් යැ.ප්‍රෙග්නන්ට් උනා කියල ගෑනියෙක්ට නැගිටල උයන්න බැරිද..”

ඔසප් වේදනා දරා ගත නොහැකිව බෙහෙත් පෙති අහුරු ගණන් ගිල දමන ඇය එසේ සිතමින් පෙම්වතා එනතුරු මඟ බලන්නට ගත්තා ය.

“තුරුලිගෙ කොල්ලා ඉන්නෙ රට කිව්වනෙ.ඌට එහෙත් කෙල්ලො ඇති.මෙයාට මෙහෙ තව කොල්ලො ඇති.කසුන්ගෙ අස්සෙම රිංගන් ඉන්න වාතයක්.ඇයි ඉතිං කසුන්ගෙ වයිෆ් උනත් ප්‍රෙග්නන්ට්නෙ..

එරංගාට ලැබුණේ රන් වට්නා උපදෙස් බව ඇයට වගක් තිබුණේම නැත.ඒ වෙනුවට ඇය සිතුවේ ලෝකයම හිඳින්නේ ඇය ගැන ඉරිසියාවෙන් බව ය.පෙම්වතෙකු හා පෙම්වතියක අතර ගැටුම් ඇති වේ.ඒවා සරල සිද්ධීන් ය. අනෙක් අතට පිරිමියාගේ වගකීම වන්නේ ගැහැනියට උපදෙස් දීම ය.එරංගා එවැනි මෝඩ කල්පනා එක්රැස් කරමින් සිටියා ය.

“නංගි ඉක්මනින් බඳින්න.ඔච්චර ඔයා ගන්න හුස්මක් ගානෙ හොයන බලන කොල්ලෙක් මඟ ඇර ගන්න නම් එපා..”

නේත්‍රා දහවලේ ලබා දුන්නේ එවැනි උපදේශයකි.එරංගා ඒ ගැන සිතමින් සිනා සලද්දී ප්‍රේමවන්තයාගේ මෝටර් සයිකලය ඇය අසල නැවතිණි.

“මොකද තමුසෙ හිනා වෙන්නෙ තනියම.මොකාද මතක් උනේ..”

පෙම්වතාගේ සැර හඬ එරංගා පියවි ලෝකයට ගෙන ආවා ය.ඇය වහා තොඳොල් වූවා ය.

“නෑ..අයියා, මේ ඔෆිස් එකේ අක්කා කෙනෙක් කිව්ව දෙයක් මතක් උනා..”

ඇය වහා යාදිනි හඬකින් පැවසුවා ය.පෙම්වතා ඇය අත හෙල්මටය තැබුවේ “ගෑනු කියන ඒවා අහලා හිනා යන්න තමුසෙ ලෙස්බියන් ද ඕයි..” අසමිනි.එරංගා කිසිත්ම නොකියා සයිකලයට ගොඩ වූවා ය.

හිරු බැස යන දියත උද්‍යානයේ සිටින බොහෝ පෙම්වතුන් සිටියේ තමන් ආදරය කරන දෑසට ළංව ය.දවසේ සියළු වේදනා ඉසිඹු ලමිනි.එරංගා සුපුරුදු ලෙසම තවතවත් වේදනා ගොඩ ගසා ගනිමින් සිටියා ය.

“ඔය ලිප්ස්ටික් ගාගෙන ඉන්නෙ ඇයි?”

ඔහු කෝපයෙන් අසද්දී එරංගා දෑස්වල කඳුළු පුරවා ගත්තා ය.ඇය කාර්යාලයෙන් පිට වෙද්දී ඒවා මකා ගන්නට සිටිය ද අමතක වීම ගැන තමන්ටම දොස් නගා ගත්තා ය.

“මඟුලෙ යන එකයි වැඩට යන එකයි දෙකක් එරංගා.මං ආයේ ආයේ කියන්නෑ.ඔතන ඉන්න ගෑනු බඩු උනා කියල තමුසෙත් එහෙම වෙන්න ඕනෑයැ..”

ආලේපන තවරා තමන්ගේ රූපය ඔප් නංවා ගැනීම මඟුලේ යාමක් නොවන බව කියා තර්ක කිරීමේ හැකියාව තිබිය යුතුම වුව ද එරංගා ආදරයේ නාමයෙන් එසේ කළේ නැත.පෙම්වතා ඇගේ ජංගම දුරකථනය පරීක්ෂා කරද්දී ඇය ගල්බීත වී බලා හුන්නා ය.දුරකථනය යනු පෞද්ගලික දෙයක් බව කියන්නට ඇයට නොහැකි ය.ඇය සිටියේ අගුල් වැටුණු මුවකිනි.

“තමුසෙ විරිත්තන් එෆ්බී දාපු ෆොටෝ එකක තියන හාට් වලින් පනස් දෙකක්ම කොල්ලො දාපුව.පනස් දෙකක් එක්ක බුදියා ගන්න තමුසෙට පුලුවංද..”

හිතෛෂීබව,මිතුරුකම පෙන්වන්නට ෆේස්බුක් හදවත් සළකුණු දමන පාසල් මිතුරන්,ඥාති සහෝදරයන් අලලා පැවසූ අසංවර කතාව එරංගා දරා හුන්නා ය.

“අයියගෙ බිස්නස් එක මොකෝ..”

ඇය ඒ බව ඇසුවේ මාතෘකාව වෙනස් කරන්නට ය.පෙම්වතා තව තවත් කෝප ගත්තේ ය.

“ෂොප් එකේ කී මනි ගෙවන්න සල්ලි මදි.කොල්ලන්ට ඉතිං හයියක් වෙන ගෑනු හම්බුනාම ගොඩ යන්න ලේසි.තමුසෙ හිඟන්නියක්නෙ..”

එරංගා සුසුම් හෙළමින් මොහොතක් ගෙවා දැම්මා ය.නගරයේ බෝඩිමට ගෙවන්නට,කෑම බීම සඳහා වියදම් කරන්නට යෙදවූ විට ඇයට වැටුපෙන් ඉතිරිවන්නේ ඉතා අල්ප මුදලකි.ඇය කරට අත යැවූයේ දෙවරක් නොසිතා ය.

“මේ චේන් එක තියල ඔයා ඉතිරි සල්ලි හොයා ගන්න අයියෙ..”

ඇය කුඩා රන්දම් වැල ඔහු අත තැබුවා ය.ප්‍රතික්ෂේප කිරීමකින් තොරව එය ලබා ගන්නා නිර්ලජ්ජි පෙම්වතෙකුට ඇය ආදරය කරමින් සිටියේ උමතුවෙනි.

එරංගා නොදන්නවාට ඈ වෙත තවත් දෑසක් යොමු ව තිබිණ.පුදුමය ද කලකිරීම ද මුසු වූ ඒ දෑසේ අයිතිකාරිය පියවි ලෝකයට ආවේ ඇගේ නැගණියගේ හඬිනි.

“හප්පද බොලේ..අර ආදිත්‍ය කාරයා නේද? ගොං හෝතඹුවා අර අත දික්කර කර බනින්නේ අලුත් කෙල්ලටද?”

සඳලි ඇසුවේ ඈත සිමෙන්ති බංකුවකට නෙත් නොහෙළා බලා සිටින අක්කාගෙනි.තුරුලි වහා පියවි ලෝකයට ආවා ය.

“ඒ ගර්ල්..අපේ බෑන්ක් එකට අලුතෙන් ආව ළමයෙක්.බෝයිගෙන් මාර කරදරයි කියල කසුනුයි මායි එක්ක ඇඬුවෙත් මේ දවාලෙ..”

සඳලිගේ විභාග ආතතිය මකා ගන්නට උද්‍යානයේ සැදෑ සක්මනට ආ තුරුලි පැවසුවේ අනුකම්පාව මුසු කටහඬකිනි.මාස කිහිපයකට පෙර තමන් සිටි තැන හිඳින යුවතියට හොඳ පහරක් ගසා නොනැවතී පලා යන්නයි බල කරන්නට ඇයට ඕනෑ විය .

5 2 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments