පතොක් මලක ප්‍රේමය -20

ඉතා මන්දගාමීව ඉදිරියට ඇදෙන බස් රිය ගැන මට උපන්නේ තරහකි.දැනටමත් දෙකේ හෝරාව පසුව ගොස් ය.මගේ ගමනාන්තයට තව මඳ දුරක් ඇත.දේශනයක් අවසන් වී එන්නට තීරණය කිරීම නිසා මා ද පමා වූ බව සත්‍යයකි.එකසිය තිස් අට මාර්ගයේ බස් රථ විශ්වාස කිරීම ඊට වඩා අනුවණ ක්‍රියාවකි.

“ඊයෙ හොඳටම උණත් අරන් අද ආයේ යනවද?” කේතකී මගේ ගමනට විරුද්ධත්වය පළ කළා ය.මම මට ගන්නට මඟ හැරුණු පොත් ලැයිස්තුව ඇයට ඉදිරිපත් කළෙමි.මගේ පාසල් මිතුරියන්ගෙන් කෙනෙකු මා හා එක්වන බව ද පැවසුවෙමි.

“ඊටපස්සෙ වෙන්නෙ එයාගෙත් කන පිරෙනකං අර ගොන් වහන්සෙ ගැන කියවයි..ආයෙ ලෙඩ වෙලා එයි..” කේතකී බැන වැදුණු ආකාරය මට සිහි වන්නේ සිනාවකිනි.

කොළඹ සරසවිය අසලින් මා බසයෙන් බැස ගතිමි.ධීර මහා විශ්වාසයකින් මට එන්නට කීවාට ඔහුගේ දුරකථන අංකයවත් මා අත නැති බව මට සිහිපත් විණි.මා මොනතරම් අනුවණ ද? ඔහු අන්තර්ජාලයට පිවිසෙන්නට නොහැකි තැනක හිඳිනවා නම් මට ඔහු සම්බන්ධ කර ගන්නට ක්‍රමයක් නැත.මාලක අයියාගෙන් අංකය ඉල්ලා ගැනීම පහසු දෙයකි.එහෙත් ඔහු ඒ කුමකටදැයි නාසා හිඳීවිදැයි මම සිතුවෙමි.බොහෝ වෙලාවක් කල්පනාවේ ගිලෙන්නට වූයේ නැත.ඔහු සිනාවතින් මට ළං විය.

“වෙලාවට වැඩ කරන්න දන්නවනෙ..මං කෝල් එකකුත් ගත්තා..”

ඔහුට මගේ අංකය කොහෙන්දැයි අසන්නට පෙර සෑහෙන වෙලාවක් පරක්කු වීම ගැන මට දැනුණේ ලැජ්ජාවකි.ධීර ඒ අතර හිතට ආ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

“මං මාලකයගෙ ෆෝන් එකෙන් නම්බර් එක ගත්තා..”

පාර මාරු වන්නට කහ ඉර වෙත යන අතර ඔහු පැවසුවේ ය.මම සිනා සුණෙමි. ඒ හිනාව සමඟ ගල් ගැසෙන්නට වූයේ හදිසියේ ය.කහ ඉර පනිද්දී ඔහු මගේ අතකින් අල්ලා ගත්තේ ය.

ඒ හැඟීම තත්පර කිහිපයකට සීමා විණි.කහ ඉර අවසන් වූ තැන ධීර මා අත අතහැරියේ ය.

ඒ තරම් කතාබහ කරන්නවත් නොලැබුණු යෞවනයෙකු සමඟ පොතපත තෝරා ගැනීම කොහොම එකක් වේදැයි මට අදහසක් තිබුණේ නැත.පසන් සමඟ මෙන් තර්ක කරමින් වඩා හොඳ පොත් තෝරන්නට ධීර ගැළපෙන්නේ නැත.

“මං කියෝලා තියෙන්නෙ ෂර්ලොක් හෝම්ස් පොතුයි ඔය තව පොතක් දෙකකුයි විතරයි.”

ඔහු එසේ කියයි.මම ඔහුට ඕනෑ එකක් කරන්නට හැර පොත් තෝරන්නට පටන් ගතිමි.බොහෝ වෙලාවක් පොත් තෝරමින් සිටි මා එක්වරම ධීර දෙස බලද්දී ඔහු බලා සිටියේ මදෙස ය.ඒ බැල්ම විදුලි කොටන බැල්මක් බව සිතුණු මා වහා පොතක් වෙත නෙත දැල්වීමි.

පොත් හතරක් පහක්ම මිලට ගන්නට පෝලිමක රැඳුණු මොහොතේ ධීර මගේ අතින් ඒවා ලබා ගත්තේ ය.මා ඔහුට මුදල් නෝට්ටුවක් දිගු කළ ද ඔහු ගියේ ඒ නොදන්නා අයුරිනි.

“මේක මගෙන් තෑග්ගක්..”

අනතුරුව ඔහු ඒ පොත් මල්ල මා අතින් තැබුවේ ය.මහන්සිදැයි අසා මොනවා හෝ බොන්නට ධීර මා රැගෙන යනතුරුම මා හුන්නේ ඒ ගැන ලතැවුලෙනි. ඔහු අයිස් කෝපි දෙකක් රැගෙන මවෙත ආවේ ය.

“ඕක බොන්නකො..තව ටිකක් ඇවිදලා මොනවහරි කමු”

මම ධීර දෙස බැලීමි.

“මං මේකට කැමති නෑ ධීර..” ඔහු නැගී සිටියේ ය.

“අයිස් කොෆී ද..මං වෙන මොනවහරි ගේන්නං..ෆැන්ටා? කොකාකෝලා..”

හිතට ආ සාංකාව පහ වී මට සිනා නැගුණේ ඉබේටම ය.

“නෑ අනේ..ඔයා මගෙ පොත් වලට පේ කරාට.ඒක නිකං මං ඔයාගෙන් කඩාවඩා ගන්න ආපු ගමනක් වගේ.”

ධීර තණ බිස්ස මත මට වඩා සමීප හිඳ ගත්තේ ය.ඊයේ පසන්ගේ අතේ එල්ලී ගිය සරනි මට යළි යළිත් සිහියට නැගිණ.

“ඔයා ආස දෙයක්නෙ.අර එදා සොෆ්ට් ටෝයි එකක් දුන්නෙ, ඒත් ආස නිසා..කෙනෙක් ආස දෙයක් අරන් දෙන එක මරු වැඩක්නෙ.මට කවදාවත් එහෙම හම්බෙලා නෑ.ඕනතරම් දේවල් තිබ්බට ආස දේවල් හම්බුණේ නෑ..මට කිට්‍ටුයි කියල හිතෙන අයට මං ඔහොම දේවල් කරනවා.ඒක ගැන අවුලෙන් හිතන්න එපා..අනික මමයි මාලකයයි ජොබ් ට්‍රේනින් පටන් ගත්තනෙ.ඕක මගෙ ෆස්ට් සැලරි ට්‍රීට් එක කියල හිතන්න..”

පළමු වැටුපෙන් තිළිණයක් දෙන්නට තරම් මා ඔහුට කිට්ටුවන්තදැයි අසන්නට මට ඕනෑ විය.එහෙත් කොල්ලන්ට කඩා පනිනා පුරුද්ද ධීර විෂයෙහි නොවන බව මට දැනිණ.

“ඔයා ඇයි ඔච්චර කියවන්න ආස.මාර පොත් ගොඩක්නෙ දැනටමත් ගත්තෙ..තව ගන්නව ඇතිනෙ..”

ඒ මගේ නිවීම බවත් පොතකට ඇලී දවසක්ම ගෙවා දැමීම පහසු බවත් මම ඔහුට පැවසීමි.මගේ ලෝකය එහෙව් නිවීමක් වත් නැතිව ගෙවා ගන්නට අපහසු බව පැවසූ මම මොහොතක් නිහඬ වීමි.

“ආයෙ නවතින්න වෙන්නේ මැක්කගෙන්.ඔයා ඒවා අහන්න ආස නෑනෙ..”

ධීර මගේ අත තිබූ හිස් ප්ලාස්ටික් කෝප්පය ගෙන කසල බඳුනක් වෙත ගියේ කිසිත් නොකියා ය.

“ඇත්තටම අහන් ඉන්න බැරි නෑ සාරා..මං යාලුවො දුක කියවනකොට ඔහෙ අහන් ඉන්න මනුස්සයෙක්.මං හිත හදන්න නම් දන්නෑ.මං මිනිස්සුන්ගෙ ප්‍රශ්නවලට දෙන්නෙ මෝඩ උත්තර.ඒ වුණාට අහන් ඉන්න පුලුවං..ඒත් පසන් ගැන කියන හිතන එක පවා ඔයා කරන මෝඩකමක්..”

ඔහු එසේ කියමින් මදෙස බැලී ය. මම ඉවත බලා ගතිමි.

“ඊට වඩා අපි අර ඔයා කියවන්න ආස ඇයි කියල කතා කරමු..දැන් ඔයා පොත් ගැන මට සෑහෙන්න කතා කිව්වනෙ. තව කියන්න..”

මම තොරක් නැතිව ඇදෙන ජනකාය දෙස බලා හුන්නෙමි.ඒ හැම මුහුණකම ඇත්තේ සතුට ය.ප්‍රදර්ශන භූමිය පුරා පොත් සුවඳ පිරී ඇතැයි මට සිතේ.මම පසෙක තබා ඇති පොත් මල්ලක් අතට ගෙන එහි සුවඳ විඳ බැලුවෙමි. කාලාන්තරයක් හදවතේ සිරකරගත් සිහිනයක් මේ අලුත් මිතුරාට හෙළි කරන්නට මට සිතිණ.

එය පසන් පමණක් දන්නා සිහිනයකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content