fbpx

පතොක් මලක ප්‍රේමය -22

ගැහෙන අතකින් මා දුරකථනයේ ඇමතුමට සම්බන්ධ වූයේ හදවත වේගයෙන් ගැහෙද්දී ය.අසන්නට උවමනාම හඬකින් බොහෝ කාලයකින් ඇමතුමකි. මම තරප්පු පෙළ මත හිඳ ගතිමි.

“තමුන්ගෙ ඔලුව නරක් වෙලාද සාරා ඔහොම හැසිරෙන්නේ.”

පසන්ගේ වේගවත් කටහඬ හදවත කැබලි කර දැමී ය.මා කුමක් කළාදැයි සිතමින් මම ගැහෙන්නට ගතිමි.කාලයකට එපිටදී නම් දෙතුන් වතාවක් සරනි සමඟ ගැටුමට පැටලෙන්නට මම තැත් දරා ඇත්තෙමි.එහෙත් මේ ගෙවී යන්නේ මා මගේ පාඩුවේ ඉන්නා කාලයකි.

“මම ඊයේ බුක් ෆෙයා එකේදී තමුසෙව දැක්කා.කොල්ලෙක් එක්ක..”

නිර්වාන්ට මා සනසන්නට වූයේ පසන් නිසා ය.ඔහු අනපේක්ෂිත මොහොතක මගේ ඇස ගැටීම නිසා ය.සරනිව අතේ එල්ලාගෙන සිටි ඔහුට මා නිර්වාන් සමඟ හිඳීම ගැටළුවක් වී ඇති හැඩ ය.

“ඒ නිර්වාන්..මගේ කැම්පස් යාලුවෙක්..” ඉතා අසීරුවෙන් වචන ගලපා ගන්නා ගමන් මා කළේ ඉකි ගැසීම ය.

“ඒ නිර්වානෙ නම් තමුසෙ අද අතේ එල්ලිලා හිටියෙ යම රජ්ජුරුවන්ගෙද.. මොකක්ද සාරා තමුසෙගෙ මේ හැසිරීම් වල තේරුම?”

සැබෑවටම කළ යුතුව තිබුණේ ඒ මගේ මිතුරන් දෙදෙනෙකු බව පැහැදීම ය.නැතිනම් එක් අයෙකු පෙම්වතා බවත් අනිකා හිතවතෙකු බවටත් මුසා බස් දෙඩීම ය.එසේත් නැතිනම් පසන්ට මගේ ජීවිතය තුළ කාරණා ප්‍රශ්න කරන්නට අයිතියක් නැති බවත් මා දින තුන්සිය හැට පහකදී කොල්ලන් තුන්සිය හැට පහක් සමඟ දුටුව ද ඔහුට එය අදාළ නැති බවට බැන වැදීම ය.

මගේ පිළිකුල් සහගත හැසිරීම ගැන දිගින් දිගටම දොස් නැඟූ පසන් දුරකථනය විසන්ධි කර දැමුවේ ය.මම හුන් තැනම ඇද වැටී ඉකි බිඳින්නට ගතිමි.චමත්කා පඩිපෙළ පහලට දිව විත් මා වැලඳ ගත්තා ය.ඇය සිදු වූ දෙයක් දන්නේ නැත.නමුත් මා දරා හුන්නා ය. අප එසේ කල් ගෙවද්දී එතැනට ආ කේතකී මගෙන් වචන කිහිපයක් පිටතට ගන්නට සමත් විණි.

“ඌ ඊයේ අර ගෑනි එක්කනෙ හිටියෙ.ඉතිං එහෙම ඉඳගෙන ඔයාගෙන් එක එක මඟුල් අහන්නෙ ඇයි? ඔයාට කොල්ලෙක් නෑනෙ සාරා.අදත් අර ඔයාගේ යාලුවගෙ කවුරුහරි ඔයා එක්ක කතා කරනවවත්නෙ දකින්න ඇත්තෙ..අනික ඇත්තටම ඔයා කොල්ලෙක් එක්ක හිටියත් එයාට මොකද?අනික ඌ ඔය බනින විදියට ඩබල් ගේම් ගැහුවත් මොකද? ඔයාව ඒ තැනට දැම්මෙ අපිද?

කේතකී නොනවත්වාම බනින්නට පටන් ගත්තා ය.චමත්කා ඈ නවතන්නට උත්සාහ කළ ද තේරුමක් වූයේ නැත.ඇය නිර්වාන්ගේ කනේ ද කේලම තබා තිබුණා ය.නිර්වාන් මට ඇමතුවේ රාත්‍රියේ ය.

“මං පසන්ට කතා කරලා කියන්නද අපි යාලුවො විතරයි කියල..”

එය අනවශ්‍ය වැඩක් බවට දුරකථන සංවාදය මැදින් පැන කියන්නට කේතකී වග බලා ගත්තා ය.

“එහෙම කියන්න ඕන නෑ.කරන්න ඕන ආයේ මෙයාව අතින් අල්ලන් ඌට පේන්න යන එක..” කේතකී ඕනෑම ප්‍රශ්නයකට ඇගේ තාලයට විසඳුම් හොයන්නට හපනියකි. නිර්වාන් හිනැහුණේ ය. ඔවුන් දෙදෙනාම පවසන්නේ කළ යුතු දේවල් නොවේ.

“ඔය එකක්වත් කරන්න ඕන නෑනෙ..සාරාව දැන් පසන්ට අදාළම නෑනෙ.ඒ නිසා කරන්න ඕන එකම දේ ආයේ කිසිම දේකට කතා කරන්න එපා.උපදෙස්වත් අණ දීම්වත් ඔයාට වැඩක් නෑ කියල කෙලින් කියන එක..”

චමත්කා මගේ හිස පිරිමදින අතර කීවා ය.මා කළේ වැළපීම ය.

පසන්ට නික්ම යාමට කුමන හෝ හේතුවක් ඇතැයි විශ්වාස කරන්නට අසීරුවෙන් හෝ හිත හදා ගත හැකි ය.නමුත් මා සහමුලින්ම වෙනස් වී හැඟීම් දැනීම් නැති දැරියක ලෙස ජීවත් වෙද්දී පවා ඔහු අහඹු ලෙස මගේ ජීවිතයට කඩා වැදීම ද එහි යම් යම් කාරණා ගැන ඔහුගේ තාලයට තීරණ ගැනීම ද මට ඇති කළේ සුළුපටු වේදනාවක් නොවේ.

“එයා ගියානම් ගිය විදියට ඉන්න ඕන..නැද්ද? මං එයා ගියාට පස්සෙ හරිම වෙනස් කෙනෙක් වුණා.කොච්චරවත් හිනා වෙවී හිටිය මං දැන් බලන්නෙම කේන්තියෙන් ඉන්න.බලන්නකො, මං දැන් පිළිවෙළකට අඳින්නෙවත් නෑනෙ.මට කිසිම වෙලාවක සතුටක් නෑ.මං මේ ඉගෙන ගන්නෙ වුණත් ඒක කරන්න ඕන නිසා.මං අනාගතයක් හදාගන්නවට අම්මලා ආස නිසා.මං එකතැනක හිරවෙලා.ඔහේ හිර වෙලා..”

දෙදිනකට පසු මා ධීර සමඟ පැවසුවේ ඔහු එන්නට කී ගමනට එක් වෙන අතර ය. සැබෑවටම මා සිටින්නේ මා අතැර දමා ය.අමතක කර දමා ය.නැතිනම් මේ එතරම් නොදන්නා තරුණයා එන්නට කී ගමන යන්නට මා එකඟ වේවි ද?

“රුපියල් විස්සක් දෙන්නකො..”

කොට්ටාව නගරයේ දී බොරැල්ල බසයකට නැග හිඳ ගත් පසු ධීර මට පැවසී ය.මම පුදුමයෙන් ඔහු දෙස බැලීමි.මා දැන් ඔහු සමඟ දුක් කතාවක් පවසා අහවර වූවා පමණි.ඔහු එයට පිළිතුරු නොදී මගෙන් රුපියල් විස්සක් ඉල්ලයි.මම පැටලී ගත් සිතකින් ඔහුට විස්සේ නෝට්ටුවක් දිගු කළෙමි.

“ඊයේ අර කිව්වෙ..එහෙම කාගෙන්වත් ගන්න ආස නෑ කියල.මෙතන ඉඳල අපි යන දුරට රුපියල් විස්සයි වෙන්නේ..”

ධීර එසේ පවසා රිය සහායකයාට මුදල් දී ටිකට් පත ලබා ගත්තේ ය.මේ කෙටි දුර ඔහු මා රැගෙන යන්නේ කොහේදැයි මා සිතුවේ සිනාවක් උපදින අතර ය.

“බහිමු..”

ධීර මා සමඟ බසයෙන් බැස ගත්තේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක් අසල දී ය.මම විමතියෙන් එදෙස බැලීමි.ඔහු කිසිත් නොකියා මගේ අත ගත්තේ ය.

“කවුද ධීර හොස්පිටල් එකේ ඉන්නෙ..ඔයාගෙ අම්මද?”

ඔහුට ඇත්තේ මඳ සිනාවකි.නමුත් මෙවෙලෙහි ඔහු හඬ නගා හිනැහුණේ ය.අප පසුකර ගිය ඇතැමෙක් හැරී බලන අන්දම මට පෙනිණ.

“ඔයා එයාට බැනල නේද එදා හොටෙල් එකෙන් ආවේ..ඉතිං මං එයාව බලන්න ඔයාව එක්කන් එයිද?

මේ වන්නට යන්නේ කුමක්දැයි සිතමින් මම දස අත බලමින් හිඳින්නට ගතිමි.කවුන්ටරයට ගොස් මුදල් ගෙවූ ධීර යළි මවෙත පැමිණියේ ය.

“අද මට ඩොක්ට කෙනෙක්ගෙ අපොයිමන්ට් එකක් තියනව.මං මේ ඔයාව තනියට එක්කන් ආවේ.ඔයා මගෙ හොඳම යාලුවා වෙන්නං කීවෙ.දැන් මං එක්ක ඔහොම ඉන්න..”

විදුලි සෝපානයට නැග එහි අංකයක් එබූ ධීර දෙස මා බැලුවේ තිගැස්මෙනි.

“ධීර!! ඔයාට මොකුත් අසනීපයක් ද?”

ඔහු හිස සැලී ය.අසනීපයක සේයාවක්වත් නැති ඒ මුහුණ දෙස බලමින් මම නොයෙකුත් භයානක කල්පිතවලට එළඹෙන්නට ගතිමි.පිටතට නොපෙනෙන ඒ අසනීපය කුමක් විය හැකි ද?

“ලෙඩක් හැදීගෙන එනව කියල මට තේරුණා.ඒ නිසා මේ ඩොක්ටව චැනල් කරන්න හිතුණෙ.යංකො..මං කියන්නං .”

ඔහු සෝපානයෙන් පිටතට ආවේ එසේ කියන අතර ය.කිසිත් වටහා ගන්නට නොහැකි වුව ද මම ඔහු පසුපස ගියෙමි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
1
0
Would love your thoughts, please comment.x
()
x