ළපෙති මල් – 9

“මෙච්චර දෙයක් වෙලා අම්මා ඩිනර් ගන්නව”

ලංකා නිවසට ගොඩ වූයේ එසේ කියන අතර ය.සිරිමා නෑසුනු කන්ව ඉඳි ආප්ප කිහිපයක් පිඟානට බෙදා ගත්තා ය.

“ලීලෝ..මේ ලංකා මැඩම්ට පිඟානක් ගේන්න..”

ඇය අනතුරුව කීවා ය.

“අම්මට මේවා ගාණක් නැද්ද අම්මා..මට මෙවන්ව එතන තියන්නත් බයයි.”

ලංකා පවසන්නේ හැඬුම්බර හඬකිනි.මිනිසුන් ගැන අධ්‍යනය කරන්නට හොඳින් දන්නා සිරිමාට ලේලියගේ විප්‍රකාර එතරම් කලබල වීමට කාරණා නොවේ.

“අම්මා..මෙවන්ට කතා කරලා කියන්නකො මෙහෙ හරි එන්න කියල…ප්ලීස්. මෙවන් නාස්ති වෙයි කියල මට දැනෙන්නේ පුදුම බයක්..”

ලංකා කියන්නේ සිරිමා කුප්පවීමෙන් හෝ තම අරමුණු දිනා ගන්නට සිතමිනි. නමුත් සිරිමා මහත්මිය සේවිකාව ගෙනවිත් දුන් පිඟානට ඉඳිආප්ප බෙදා එය ලංකා අත තැබුවා ය.

“මෙවන් කියන්නේ අවුරුදු විස්සක දරුවෙක් ලංකා.එයා නාස්ති වෙන ළමයෙක් නෙවෙයි..”

ලංකාට මේ වියපත් අහංකාර ගැහැනියගේ මුහුණට දමා ගසන්නට සිත් පහළ වේ.ඇය ඉඳි ආප්ප පිඟානට රැව්වා ය.

“නාඩගං දැක්කම කොල්ලාට මොනව හිතෙයිද අම්මා.අනික ඔය හිමංගි කාලයක් මගෙ සැලෝන් එකේ වැඩ කරානෙ.මං දන්නව එයා ගැන.මට බය තියෙන්නෙ මෙවන්ව…”

සිරිමා මහත්මිය විදුහල්පතිනියක වූ අතීතයේ බාලිකාවන්ට දුන් රළු බැල්මක් ලංකාට පා කළා ය.ලංකා වහා බිම බලා ගත්තා ය.නැන්දම්මාගේ රශ්මිය තවමත් තමන්ව අළු කරන්නක් වග ඇයට සිතේ.

“ලංකා,මං මේ ඔයාට බොහොම කරුණාවෙන් කියන්නේ.මෙවන් උගත් ලස්සන ඉලන්දාරියෙක්.ඒ ළමයින්ගෙ මියුසික් ගෘප් එක නිසා වගේම මෙවන් ඔය යූ ටියුබ් දාන වීඩියෝස් නිසා ඒ දරුවට ලොකු ෆෑන් බේස් එකක් තියනවා.එහෙම දරුවෙකුට ආදරේ කරන්න ගෑනු ළමයෙක් තෝරා ගන්න එක පහසු දෙයක්. තමන්ගෙ පුතාට කතා හදන්න එපා ලංකා.ඒක හරි කැත වැඩක්..”

සිරිමා මහත්මිය එසේ කියද්දී ලංකා අනමින් සිටි ඉඳි ආප්පය පිඟාන මත අතහැර නැන්දම්මා දෙස බැලුවේ තරහකිනි.මේ ගැහැනියට මේ තරම් උඩ පනින්නට දිය යුතු නොවේ.වෙන අම්මා කෙනෙක් නම් හිමංගි එළියට ඇද දමන්නට පැකිලෙන්නේ නැත.නමුත් සිරිමා සන්සුන් ය.ඇගේ නිහඬබව කියන්නේ මේ ළාබාල ලේලිය ඇය පිළිගත් බව මිස වෙන කුමක්දැයි ලංකා සිතුවේ කෝපයෙනි.

“මං මෙවන්ට කතා හැදුවේ නෑ අම්මා.ඒ වුණාට ඔයා හිතන්නකො අර ජරා ගෑනිට මෙවන්ව රවට්ටා ගන්න පුලුවන්.අනිත් එක ඒ ගෙදර මඟුල් සක්වලක් වුණාම දරුවා නරක් වෙන්නෙ නැති වෙයි කියල අම්මා කොහොමද සහතික කරන්නෙ? තමන්ගෙ තාත්තා වෙන ගෑනියෙක් එක්ක නටන නැටුම් මෙවන්ට පේනව අම්මා.මං කතා කරන්නෙ ඒ ගැන..”

ලංකා තදින් පැවසුවා ය.තරප්පු පෙළ දිගේ වේගයෙන් බැස එන මන්දාරා ඇගේ ඇසට හසු වූයේ ඒ මොහොතේ ය.

“මල්ලාට දැන් අවුරුදු විස්සක්.තාත්තගෙ බෙඩ් රූම් එක අස්සෙ මල්ලා යන් නෑනෙ.නරක් වෙන්නෙ කොහොමද?”

මන්දාරා දෑත් පපුව මත බැඳගෙන අම්මාගෙන් අසන්නේ ඔලොක්කු හඬකිනි. ලංකා තිගැස්සුණා ය.

“එහෙම දේවල් දැක්කට ළමයි නරක් වෙනවද අම්මා..මට ඒ ලෙවල්ස් කරන කාලේ තේජන එක්ක යාලු වෙනකන් අෆෙයා එකක් තිබ්බෙ නෑනෙ.මම එහෙනං කොල්ලො පස්සෙ යන්න ඕන තුන වසරෙදි විතරනෙ..”

මන්දාරාගේ හඬ තියුණු ය.මාළු කරියක් රැගෙන කෑම මේසයට එමින් හුන් ලීලා ආපසු මුළුතැන්ගෙයට හැරුණා ය.බෝම්බයක් පුපුරා යන තැනක අඩුවැඩිය සොයමින් රැඳෙන්නට ජයන්තිට මෙන් ආසාවක් ලීලාට නැත.නමුත් ලංකා නම් මාන්නාකාර ගැහැනියගේ සායම ඇගේ දියණිය අතින්ම සේදී වැගිරෙන තැනක තමන් රැඳිය යුතු නැතැයි ලීලා සිතුවා ය.

“අම්මා..ඔයාව තාත්තා ඩිවෝස් කරන්නෙ මීට සෑහෙන කාලෙකට කලින්.ඒ මං දැකපුව කිව්වනම්.ඒත් අවුරුදු අටක නවයක ළමයෙක්ට ඒ වෙච්ච දේ තේරුම් ගන්න සෑහෙන කාලයක් ගියා.ඔයා ලෝකෙට හොඳ මූණ පෙන්නගෙන හිටියට ඔයාගෙ ඇත්ත මූණ ඔයාගෙ ළමයාම දන්නව අම්මා.”

මන්දාරා දෑතින්ම මුහුණ වසා ඉකි බිඳින්නට ගත්තා ය.වටිනා පෙනුමැති සළුපිළි හැඳ සිටින තමන්ව තම දියණිය නිරුවත් කළ බව ලංකා සිතුවේ තැති ගැන්මකිනි.අනෙක් කාරණාව ඒ තමන්ගේ දික්කසාද සැමියාගේ මව ඉදිරියේ ය. මන්දාරා තමන්ව ඝාතනය කර දැමුවානම් මීට වඩා හොඳ බව සිතූ ලංකා තමන්ට හුරුපුරුදු රඟපෑම මතු කර ගත්තා ය.

“තාත්තා එක එක ඒවා ඔලුවට දාපු හින්දා හැම දුකක්ම උහුලපු තමන්ගෙ අම්මට අහස පොළොව නුහුලන ජරා කතා කියන්න එපා ලොකූ..”

ඇය පළපුරුදු නිළියක සේ හඬාගෙන කාරයට දිව ගියේ සිරිමා මහත්මිය තමන් නවතන බවට විශ්වාසයෙනි.නමුත් සිරිමාට මන්දාරාගේ හැඬුම මිස ලංකා වැදගත් වූයේ නැත.

“ගෑනු ළමයෙක් කියන්නෙ අහසක් වගේ දේවල් දරා ගන්න කෙනෙක්.මේ අවුරුදු ගණන් දේවල් හිත හිතා අඬන ළමයෙක් නෙවෙයිනෙ මගෙ පුතා.”

මව් ඇසුරට වඩා ආච්චම්මාගේ තුරුල ප්‍රිය කරන්නිය හඬමින් මිත්තණියට තුරුළු වූවා ය.

“මං ගොඩක් දේවල් දැකල තියනව ආච්චම්මා.මං ගොඩක් දේවල් දන්නව..”

සිරිමා මන්දාරාගේ හිස පිරිමැද්දා ය.

“අපි කාලෙකට කලින් දැකපු හැමදෙයක්ම මතක තියා ගන්න ඕන නෑ පුතේ..අපි දන්න හැමදෙයක්ම හැමවෙලාවකම මතක් කරන්න ඕනත් නෑ.මේක හරි කෙටි ජීවිතයක්නෙ.අපි කරන්න ඕන ලස්සන මතක එක්ක ජීවත් වෙන එක.කුණු ගොඩවල් අල්මාරියේ දාගෙන හොඳ ඇඳුම් කුණු ලොරියට දෙන්නෙ නෑනෙ අපි කවුරුත්ම. “

මන්දාරා ආච්චම්මාට තුරුළු වී ඇය කියන දේ අසා හුන්නා ය.

“තාත්තා නරක නෑ ආච්චම්මෙ.අම්මා තරම් නරක නෑ..ඇයි එයා හිමංගි මැරි කරේ..”

මන්දාරා ඉකිය අතරින් ඇසුවා ය.

“ප්‍රශ්න වලට විසඳුම් හම්බ වෙන්නෙ කාලෙත් එක්ක පුතේ.ඔයාට තියෙන්නෙ ඩිග්‍රි එක කම්ප්ලීට් කරන්න.මම ඉන්නවා ඔයාට.තේජනත් ඉන්නවා.අපි ඉස්සරලම ඉගෙන ගමුකො..බාප්පා ගාවට යවන්නම් ඉන්පස්සෙ මං ඔයාව..”

සිරිමා මහත්මිය මිණිපිරිය සන්සුන් කරගන්නා අපූරුව ලීලා රස වින්දා ය.අර ඕපාදූපය අසන්නට සිරිමාට උවමනා නැත.ඇය කිසිම කෙනෙකුට චෝදනා නොකර ප්‍රශ්න විසඳන අන්දම දකින්නට පවා තමා පින් කරන්නට ඇති බව ලීලා සිතුවා ය.

“මේ වගේ ඉන්ද්‍රනීල මාණික්‍ය එක්ක ලංකා නෝනලා මොන දලං කෑලිද?”

සේවිකාව මුළුතැන්ගෙයට ගියේ එසේ සිතමිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles