මුතුබෙලි හදවත -8

ඔවුන් ගියේ ඇවිදින මං තීරු, හංසයන් පීනන පොකුණු සහිත උද්‍යානයකට ය. කොළ පාට ඇස් මත ලියැවී ඇති කතා ගොන්න වරින් වර තරුණයා ගේ අවධානය ට ලක් විය. මින්දුල ව ඇවිදවන්නට ත් ඔංචිලි පදවන්නටත් උපක්‍රමශීලී වෙත්දී ඒ ඇස් මත වූ බලාපොරොත්තු සහගත ප්‍රීතියට යටින් ලොකු දුකක් තදින් ඇලවී තිබුණේ ය. හැම ගැහැනු ඇසක් ම – නැත – හැම අම්මා කෙනෙකු ගේ ඇසක් ම එආකාර දැයි සිතන්නට දුමාල් උත්සාහ කළේ ය.

කොංක්‍රීට් බංකුවක් මත හිඳ ඔහු බලා සිටියේ කොළ පාට ඇස් ඇත්තී දෙස ම ය. නැතහොත් මින්දුල, ඒ හුදෙකලා දරුවා දෙස ය.

“අක්ක පව් නේද…”

ආමන්තා ඒ බංකුවේ ඉතිරි අඩෙහි හිඳ ගනිමින් දුමාල් ගේ මුහුණ බැලුවා ය. ඔහු යන්තම් හිස සැලුවා පමණකි.

“මං හිතන්නෙ විකුම් අයියයි අක්කයි අතරෙ ලොකු ප්‍රශ්නයක් තියෙනව. පුතා නිසා. අයිය කියනව ළමයව ඕෆනේජ් එකකට දාන්න කියල”

දුමාල් තිගැස්සිණි. ඔහු ගේ ඇඟේ රෝම උද්දීපනය වූයේ ය. මුළු සිරුර ම හිරි වැටී යනවා ඔහු ට දැනිණ. ඉතිහාසය නැවත නැවතත් සිදු වෙන්නේ ඇයි? දුමාල් අත් දෙකෙන් ම සිය හිස බදා ගත්තේ ය.

“මාත් හෙට අනිද්දට ආයෙ විද්‍යාපීට ගියාම අක්ක තනි වෙනව. එයා කිසි දෙයක් කාටවත් නොකියා තනියම හිතේ හිර කර ගෙන ඉන්න කෙනෙක්. ඒකයි මට බය. කාට වුණත් ඕන දෙයක් දරා ගන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවනෙ”

ඔවුන් දෙදෙනා ම එක වාගේ යයි තරුණයා කම්පනයෙන් යුතු ව සිතුවේ ය. ජීවිත කාලය තුළදී මෙවැන්නක් දෙවතාවක් ම ඇසින් දැක සිතින් විඳ ගැනීම පහසු නැත!

හදිසියේ ම නැගිට ගත් ඔහු, අතකින් අල්ලා ගෙන දරුවා ඇවිදවනා කොළ පාට ඇස් ඇත්තිය වෙත ගියේ ය. ආමන්තා බලා උන්නේ තරමක මවිතයකිනි. ඈ ළඟ සිටියදීත් එක බැල්මකින් හෝ ඔහු ඈ ගැන උනන්දුවක් නො දැක්වූ බව සිහිපත් කළ යුවතිය ගේ හදවත කීරි ගැහී ගියේ ය.

දුමාල් ආදිත්‍යා ගේ මග හරස් කරමින් මින්දුල ඉදිරියේ පහත් වූයේ ය. කෙළින් ම ඔහු ගේ ඇස් දෙස බැලුවේ ය. නමුත් මින්දුල ඇස ට ඇස නොදුන්නේ ය.

“පුතේ”

ආදිත්‍යා ගේ හදවත නැවතුන තරමි. මින්දුල ඔටිසම් රෝගියෙකු බව දැන ගත්තා ට පස්සේ, ඔහු ගේ ජීව විද්‍යාත්මක පියා වන විකුම් විජයවික්‍රම පවා ඒ තරම් පීතෘ ස්වරයකින් ඔහු අමතා නැත. මින්දුල මව ට මුවහ වූයේ ය.

“එයා පුරුදු නැති අයට බයයි”

ආදිත්‍යා මුදු ස්වරයකින් කීවා ය.

“කෝ එන්න අපි ඇවිදිමු”

දුමාල් දරුවා ගේ මුදු මොළොක් අතකින් ඇල්ලී ය. නමුත් යහපත් ආදරණීය ප්‍රතිචාරයක් දක්වනු වෙනුවට ඔහු හඬන්නට ගත්තේ ය. ආදිත්‍යා ට ඔහු නලවා ගැනීමට සැලකිය යුතු පරිශ්‍රමයක් දරන්නට සිදු විය.

ඔවුහු ඒ නිදහස් පරිසරයයේ වැඩි කාලයක් ගෙවා දැමූහ. විශේෂයෙන් ම එතැන කුඩා දරුවන් ගැවසීම නිසා ආදිත්‍යා කැමැත්තෙන් මින්දුල ව එහි රඳවා ගත්තා ය. දරුවන් ටත් සාමාන්‍ය සමාජය ටත් මින්දුල ව අනුගත කරවීමේ මහා වගකීමක් ඇය මත පැටවී තිබුණේ ය. තනි මවක් මත පැටවී තිබුණේ ය.

හැන්දෑ වන තුරු ම සොයුරිය සමගින් කාලය ගත කළ ද, ආදිත්‍යා හඬා වැටෙන්නට හේතු වූ කාරණයක් ගැන ඇගෙන් දැන ගන්නට ආමන්තා ට හැකි වූයේ නැත. ගෙයි ගින්දර පිටට, විශේෂයෙන් ම මහ ගෙදරට නො දිය යුතු යයි සියල් සන්තාප දරමින් වුව ආදිත්‍යා දැඩි තීරණයක සිටියා ය.

නිවාඩුව නිම විය. ආමන්තා යළි විද්‍යා පීඨයෙහි නේවාසික වූවා ය. ආදිත්‍යා විකුම් පායෙහි තනි විය. විකුම් තව තවත් ඇගෙන් ඈත් වෙමින් සිටියේ ය. මහා තනි කමක් පාළුවක් ඇය ට දැනිණ. අසරණ කමකින් හා වේදනාවකින් ඇය නිරන්තර බරිත වෙමින් සිටියා ය. නමුත් ඒ හැම මොහොතක් ආදිත්‍යා ව තව තවත් ශක්තිමත් ගැහැනියක බවට පත් කරන ලදී.

සතියකට දින තුන හතරක් ම මින්දුල ව ප්‍රතිකර්ම සඳහා යොමු කළ යුතු වූයේ ය. කථන චිකිත්සක ප්‍රතිකාර, චර්යාත්මක චිකිත්සක ප්‍රතිකාර….මේ වෙලාවේ ඈ පසෙකින් විකුම් නාම මාත්‍රික ව හෝ සිටියා නම් ආදිත්‍යා ට මේ මානසික වෙහෙස ඉවසා දරා ගැනීම පහසු වනු ඇත. අසීරුවෙන් හෝ ඇය මින්දුල වෙනුවෙන් ඇප කැප වූවා ය.

මින්දුල වැඩිපුර සෙල්ලම් කරන්ලට කැමති නැත. ආදිත්‍යා ඔහුව බලයෙන් වාගේ සෙල්ලමට පොළඹවා ගනිමින් කාමරයේ බිම හිඳ ගෙන සිටියා ය. මින්දුල ගේ අවධානය යොමු ව තිබුණේ නැරකෙන විදුලි පංකාව දෙසට ය. ඒ ඔහු ගේ හැටියකි. කැරකෙන දේවල් දෙස අරමුණක් නැති දෑස් යොමු කර ගෙන බොහෝ වේලාවක් ඔහු නිහඬව සිටී. ආදිත්‍යා බලා සිටියේ පපුව පැලෙන්නට එන වේදනාවකිනි.

“මින්දුල..පුතේ…”

ආදිත්‍යා වේදනාව දැදිරි කර ගෙන උගුර යටින් කතා කළා ය. මින්දුල නිකමට හෝ ඇදෙස බැලුවේ නැත. ඔහු කිසිදු ආමන්ත්‍රණයකට ප්‍රතිචාර දක්වන්නේ නැති තරමි. මින්දුල ඔහු ගේ නම බව කෙතෙක් කියා දුන්න ද එය වටහා ගන්නේ නැත.

“පුතාගෙ නම මින්දුල. පුතා මින්දුල. මොකද්ද පුතාගෙ නම…ආ…මොකද්ද නම…”

ආදිත්‍යා ඔහු ට ඔහු කවුද කියා ඉගැන්වීමට නිතර වෙහෙම වන්නී ය.

“මොකද්ද නම…”

දැඩි වෙහෙසකින් පසුවත් ඔහු ගේ ප්‍රතිචාරය එසේ ය. ඉන් පසු ටික වෙලාවක් යන තෙක් ඔහු ‘මොකද්ද නම, මොකද්ද නම’ යනුවෙන් එය ම යළි යළිත් කියයි.

“ආදිත්‍යා…”

ආදිත්‍යා ඒ හඬින් සසැලී හිස නගා බැලුවා ය. කාමරයේ දොරකඩ සිටියේ සේනක විජයවික්‍රම ය. ඔහු ගේ ඇස් වල ඇගේ ගැහැනු ආත්මය බියපත් කරවනා ආකාරයේ බැල්මක් විය.

“තාත්තෙ…”

ආදිත්‍යා දනිපනි ගා නැගී සිටියා ය. ඔහු අඩියක් දෙකක් තබා ඇය වෙත හෙමිහිට සමීප වෙමින් සිටියේ ය.

“ආදි ගැන මට හරිම දුකයි. අපේ එකා මහ ගොං වස්සෙක්”

ඈ සිටියේ කෙසේ ප්‍රතිචාර දක්වන්නද කියා අදහසක් නැතිව ය.

“රත්තරං කඳක් වගේ ගෑනියෙක් ඉඳලත් ඌට අගයක් නෑ. ඒත් ඔයාගෙ වටිනකම මට හොඳට තේරෙනව”

ගොනා හැරෙන්නේ පොල් පැළයට බව නො තේරෙන්නට තරම් ආදිත්‍යා ගොං වැස්සක නොවේ. ඕ ආයාසයෙන් සිනහවක් නගා ගත්තා ය.

“නෑ තාත්තෙ. විකුම් ටික දවසක් යද්දි මේකට මූණ දෙන්න හිත හදා ගනී”

“ඔයා හිත කරදර කර ගන්න එපා. ඔයාගෙ ඕන දේකදි මං ඉන්නව. ඔයාට මං ඉන්නව කියල මතක තියා ගන්න”

ඔහු ටික ටික ඇය ට ලං විණි. ආදිත්‍යා අඩිය අඩිය පස්සට තැබුවා ය. සේනක ගේ ඇස් අඩවන් ව තිබිණි. ආදිත්‍යා ගේ හදවත ගැස්ම වැඩි වී ඇති බවක් ඇය ට දැනිණ. සේනක ඇගේ උරහිසකට අත තබන්නට ගියේ ය. ඇය දිගු අඩියක් පස්සට පැන්නා ය.

“කෙල්ලෙ…බය වෙන්න එපා ළමයො.  මේ මම සේනක විජයවික්‍රම ඇමතිතුමානෙ. මට ඉහළින් යන්න කවුද මේ ගෙදර ඉන්නෙ…”

සේනක ගේ ඇඟිල්ලක් ආදිත්‍යා ගේ ගෙලෙහි ගෑවෙන්නට ඔන්න මෙන්න ව තිබිය දී ඇය සඳැල්ලට පැන ගත්තා ය.

“ලැජ්ජ වෙන්න එපා ළමයො. කෝ මෙහෙට එන්න. මං ඔයාට කිසි ප්‍රශ්නයක් වෙන්න දෙන්නෙ නෑ ආදිත්‍යා”

සේනක එසේ කියා ගෙන සඳැල්ලට යත්දී ම, අසල්වැසි නිවසේ සඳළුතලාව ට දුමාල් පැමිණියේ ය. කලබලකාරී ආදිත්‍යා ව සේ ම ආක්‍රමණකාරී සේනක ව ද ඔහු ගේ එක ම බැල්මට හසු විය. තරුණයා ව නෙත ගැටුණ ගමන් සේනක වහා හැරී කාමරයෙන් ද නික්ම ගියේ ය.

ඔහු ගේ සිත් හි ඇති වූයේ කේන්තියකි. වට පිටේ උඩු මහල් වලට සිය සඳළුතලා නො පෙනෙන සේ ආවරණය කළ යුතු යයි පඩි පෙළ බහින අතරේ ඔහු ඉක්මන් තීරණයකට ආවේ ය.

දුමාල් ප්‍රශ්නාර්ථයෙන් බලා සිටියේ ය. පෙර දී සේ ඔහු ව නොදුටු සෙයින් ඉවත බලා ගෙන යන්නට දැන් ඇය ට නො සිතේ. දිනක දෙකක හෝ සුහද කමක් ඔවුන් අතර වේ. ඔහු නංගී ගැන උනන්දු වෙනවා නම් දිනෙක එක පවුලක සාමාජිකයන් වන්නට ද නියමිත ය.

දුමාල් වහා ම ආදිත්‍යා ට දුරකතන ඇමතුමක් ගත්තේ ය.

“කොහොමද ඔයා මගෙ මොබයිල් නම්බර් එක දන්නෙ…”

ඇය මුලින් ම නිතට නැගි ප්‍රශ්නය විසඳා ගන්නට එසේ ඇසුවා ය.

“ආමන්තා මට දුන්නෙ. එයත් දුර ඉන්න එකේ…මොකක් හරි ඕනකමක් වුණොත් බලන්න කියල”

නංගී ට පිස්සු යයි ආදිත්‍යා සිතුවා ය.

“නංගිට මේ මොනාත් කියන්න එපා දුමාල්. එයා කලබල වෙයි”

“මොකද්ද ඔතන ඇත්තට ම වුණේ…”

“අනේ මන්දන්නෑ දුමාල්”

ඇය පිටුපස හැරී කාමරය දෙස බැලූවේ කිසිවෙකු ඇසෙන මානයක වේ දැයි දැන ගන්නට ය.

“තාත්ත එක පාරටම කාමරේටම ආව”

“තාත්ත..”

ඔහු ඒ වචනය පුනරුච්චාරණය කළේ සමච්චලයට වාගේ ය.

“නංගිට මුකුත් කියන්න එපා. මං පරිස්සමට ඉන්නව. මං තියන්නං දුමාල්”

කියමින් ඕ දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය.

ආදිත්‍යා ගේ හිත බෙහෙවින් කලබල ව තිබිණි. සේනක නැවතත් කොයි මොහොතක හෝ කාමරයට කඩා වදිනු ඇත යන බියෙන් මිදෙන්නට ඇය ට හැකි වූයේ නැත. මෙවන් දෙයක් ගෙදර කාට නම් කියන්න ද? කීවාට කවුරු නම් ඇය ව විශ්වාස කරනු ඇත් ද?  ඉක්මනින් ම ගෙදරින් පිට වී යන්නට ඇය හදිසි තීරණයක් ගත්තා ය. දරුවා ද ගෙන ආදිත්‍යා පිවිසුම් දොරටුවෙන් පිටත් වෙනකොට, සඳැල්ලේ සිටි දුමාල් ඒ දුටුවේ හරි අහම්බෙනි. ඔහු වහා ම රියෙහි යතුර ද ගෙන පහළට බැස්සේ ය.

රිය නවතා එහි නගින්නට ඇරයුම් කරත්දී ආදිත්‍යා ගේ කොළ පාට ඇස් වල ඇඳී ගියේ සැකයකි.

“නෑ නෑ. මං ටැක්සි එකක් ගන්නව. පුතාව ටිකක් පාරෙ ගෙනියන්න ඕන නිසයි මෙහෙම ආවෙ. ඔයා යන්න. තෑන්ක්ස්”

ඇය විනීත ව ඔහු ව ප්‍රතික්ෂේප කළා ය. වහා ම රියෙන් බට දුමාල් අනිත් පසින් විත් ආදිත්‍යා ගේ අතකින් අල්ලා බලයෙන් ම වාගේ ඇය ව රියේ ඉදිරි අසුනට ගොඩ කළේ ය.

“ඇයි මේ…”

එවර ඇය ප්‍රශ්න කළේ මඳ නොරිස්සුමකිනි.

“මං ආවෙ ඔයා එළියට යනව දැකල”

ඔහු තරමක් තදින් කීවේ ය. එසේ නොකොට ආදිත්‍යා වන් ගැහැනියක කීකරු කර ගැනීම පහසු නොවන බව දුමාල් අත්දැකීමෙන් ම දනී. ඇය හිස ගස්සා බැලුවා ය.

“ඔයා මොකටද මගෙ ගමං ගැන බලං ඉන්නෙ…ඔයා නංගිගෙ ඔත්තුකාරයෙක් වෙනවට මං කැමති නෑ. ඒ ළමයගෙ ඔළුව නරක් කරන්නෙ නැතුව ඉන්න අනවශ්‍ය දේවල් කියල. ප්ලීස්…”

“මේ..මං කාගෙවත් ඔත්තුකාරයෙක් නෙවෙයි හරිද…මං ආවෙ මේ පොඩි එකා ගැන හිතල”

“අපිට කවුරුවත් අනුකම්පා කරන්න ඕන කමක් නෑ. ප්ලීස්…ඔහොම නවත්තන්න. අපිව බස්සවන්න”

එවර දුමාල් නිහඬ ව රිය පදවන්නට පටන් ගත්තේ ය. ආදිත්‍යා සිය නො සන්සුන් කම යටපත් කර ගෙන සන්සුන් වෙන්නට උත්සාහ කළා ය. නැතහොත් මින්දුල කලබල වනු ඇති බව ඇය දැන් අත්දැකීමෙන් දනී. ඔහු ට ඔහු අවට කිසිවක් වෙනස් වෙනවා දැකිය නො හැකි ය. කාමරය තුළ වුව ද පැහැදිලි වෙනසක් සිදු වුව හොත් මින්දුල කලබල වෙයි. සමහර විට එවන් හේතුවක් මත නගනා හැඬුමක් පාලනය කර ගැනීමට බොහෝ කාලයක් වැය කළ යුතු වේ.

“මගෙ පුතාට අසනීපයක් තියෙනව තමයි. ඒත් මං එයාගෙ අම්ම. එයාට ඉන්නෙ ශක්තිමත් අම්ම කෙනෙක්. නංගි ඔයාට සමහර දේවල් කියල ඇති. ඒ නිසා වෙන්නැති ඔයා මෙහෙම  අනුකම්පා කරන්නෙ. ඒක මගෙ පුතාට ඕන ම නැති දෙයක්. ළමයගෙ තාත්ත නැතත් මං පුතාව පුළුවන් උපරිමෙන් සනීප කර ගන්නව. එයාට හොඳ අම්ම කෙනෙක් ඉන්නව”

ආදිත්‍යා කියවා ගෙන ගියා ය. දුමාල් දැඩි නො රිස්සුමකින් අයිනකට කොට රිය නතර කළේ ය.

“පිස්සු හැදීගෙන එනවද…දන්නවද මොනාද කියවන්නෙ කියල…”

ඔහු කතා කළේ තදිනි. ආදිත්‍යා වදනකුදු නො දොඩා මින්දුල ද ගෙන රියෙන් බැස ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content