සැරිසරන්නී -32

මා හැරුණත් අම්මා එහි වරදක් දකින්නට පටන් ගත්තා ය. ඇය මට ගෙදර කොංක්‍රීට් වහලය මතට නැගෙනා ඉඩක් දුන්නේ ම නැත. ඒ නිසා යන්තම් දවසකට වරක් හෝ රවීන් දකිනා ඉඩක් මට නො ලැබිණ. අම්මා මා කෙරේ හැසිරුණ විදිහ අනුව දවසක් ගානේම හිතේ බය වැඩි වුණ එක ය සිදු වූයේ. ලෝකයේ දරුණු ම වරද කළ වැරදි කාරිය මා සේ ඇය රැකවල් යෙදුවා ය. මා ඉඳහිට රවීන් ට දුරකතන ඇමතුමක් ගත්තේ හෝ ඇය කලබල මැහුමක හිරවී ඉන්නා අතරේ ය.

“මං ඔයාට මුල ඉඳලම කිව්වනෙ. ඕක තමයි තත්වෙ කියල මං දැනං හිටිය. දැන් ඉතිං ළිඳට වැටිච්ච අපි ලිං කටෙන්ම ඕනනෙ ගොඩ එන්න. ඒ නිසා ඉවසීමෙං ඉමු”

රවීන් මා අස්වසමින් කීවේ ය. නමුත් මගේ හිතේ කිසිදු ඉවසිල්ලක් වූයේ නැත.

“කවදා වෙනකල් ඉවසන්නද…මේක කවද හරි වෙනස් වෙයි කියල ඔයා හිතනවද…”

“කලබල වෙලා මොනවත්ම කර ගන්න බෑ මැණික. අපි ටික දවසකින් මේ කුණාටුව සන්සුන් වෙනකල් ඉමු. ලෝකෙ කිසි දෙයක් හැමදාම එකම වදිහට තියෙන්නෙ නෑ. හුඟක් බලවත් දෙයක් වුණත් කාලයත් එක්ක තුනී වෙලා යනව”

රවීන් ගේ දේශනා වෙනදා මෙන් අසා සිටිය හැකි තත්වයක් මගේ මනසේ වූයේ නැත. කාලය ගෙවෙන්නට ගෙවෙන්නට සිදු වූයේ මා සන්සුන් වෙන එක නොව තව තවත් අවුල් වෙන එකයි. මවිසින් ම තනා ගත් සිතිවිලි නූල් බෝලයක තව තවත් පැටලී යන එකයි. එකම සිතිවිල්ලක් තුළ ඒ ආකාරය ට පැටලී හිඳීම කෙනෙකු උන්මන්තක කිරීමට තරම් ප්‍රබල හේතුවක් වන බව මම දැන සිටියෙමි. ඒ නිසා ම මේ වියරු සිතිවිලි ජාලයෙන් නිදහස් වන්නට මට ඕනෑ නොවුණා නොවේ. මම අපොහොසක් වීමි. 

අම්මා මට ගෙදරින් එළියට බහින්නට හෝ ඉඩ නොදී කාමරයෙහි සිර කිරීම තුළ, වත්තේ අනිත් ගෙවල් වල ඇති ව තිබෙන තත්වය හෝ මට දැන ගත නො හැකි විය. චමත්කා මා කෙරේ වෛරයෙන් ඉන්නට ඇත. සිය දියණියක රවීන් ට දෙන්නට හීන ඇහිඳිමින් සිටි නයනා නැන්දා ට මා උස්සා පොළොවේ ගසනා කේන්තියක් ඇති වන්නට ඇත. නමුත් මට ඒවා ගැන ආරංචි ලද නො හැකි විය.

දින තුනකින් වැඩට යන්නට බලා සිටි මට, අම්මා තව දුරටත් යන්නට දුන්නේ නැත. මා පිස්සු වැටුණේ ඉනික්බිති ය.

“මොන විකාරයක්ද මේ…මගෙ ජොබ් එක නැති වෙයි. එහෙම නිවාඩු ගන්න ඒක අම්මගෙ ආයතනයක් නෙවෙයිනෙ”

“ඉතිං අස් කරපුවාවෙ. කොහොමත් ඔයා ආයෙ ජොබ් එකට යන්න හිතං ඉන්න එපා අපි ඔයාව කවුරුහරි හොඳ කෙනෙක් හොයල බන්දල දෙනකල්. ඊට පස්සෙ එයා කැමතිනං ජොබ් කර ගන්න එකයි”

රැකියාවක් කරමින් නිදහස් ජීවිතයක් ගත කළ සමනල් හැඟීමකින් යුතු කෙල්ලකට ජීවිතය තුළ සිරකාරියක විය නො හැකි ය. එය ඈ උමතු කරවනා සිතිවිල්ලකි. මම ද ඒ තත්වයට පත් වෙමින් සිටියෙමි. නංගී හා ආච්චා මගේ හිත අස්වසමින් කියනා වචන කිහිපයක් මත පමණක් ජීවිතය ගැන බලාපොරොත්තු රඳවා ගන්නට මට සිදු විය.

“එක හිතිං ආදරේ කරනවනං මේ මොන තර්ජන තිබුණත් දෙන්නගෙ හිත් වෙනස් වෙන්නෙ නෑ. මේව එක අතකට සොබා දහමෙ පරීක්ෂණ. අපි ඇත්තටම කෙනෙක්ට ආදරේ කරනවද..මොන ප්‍රශ්න ආවත් අපිට නොසැලී ඉන්න පුළුවන්ද කියල බලා ගන්න”

ආච්චා කීවා ය. මම ඇගේ උකුළේ හිස තියා ගෙන ඇස් පියා සිටියෙමි. ආච්චා සිය ඇඟිලි තුඩගින් මගේ හිස මත ආදරය ගල්වමින් සිටියා ය. පරම්පරා ගණනක් තිස්සේ ගැහැනුන් සිය හද නිධානයෙහි හංගා ගෙන ආ ආදරයේ ශක්තිය මගේ හිතට කාන්දු කරමින් සිටියා ය.

“ඒත්..මෙහෙම අත පය හතර බැඳල දාල වගේ මාව මානසිකව හිර කළාම…මං මොනාද ආච්චා කරන්නෙ…”

ඒ මොහොතේත් කඳුළක් වැටුණේ ය. මේ දින කිහිපය තුළ මගේ ඇස් වලින් වැටුණ කඳුළු බින්දු එකතු කළා නම් ඒ ලීටර කීයක් විය හැකි දැයි අනුමාන කරන්නට හෝ තිබිණි. සනුකි කියන්නේ අඬන්නට දැන සිටි කෙල්ලක නොවේ.

“මේ වගේ මානසික දඬුවමක් උහුල ගන්න හුඟක් අයට බෑ. එක කැනකදි වැටෙනව. ඒ වෙලාවෙදි දෙමව්පියො කියන කාව හරි කසාද බඳින්න හුඟක් ළමයින්ට සිද්ද වෙනව. ඊට පස්සෙ අකමැත්තෙන් වුණත් ඒක තමයි ජීවිතේ. මේ දුෂ්කර කාලය අමාරුවෙන් හරි ගෙවා ගන්න එකයි වටින්නෙ. කොයි දේටත් නිමාවක් නෙවෙයි…නමුත් සහන කාලයක් තියෙනව. කන්දකට පල්ලමක් තියෙනව. ඉඩෝරෙකට වස්සානයක් එනව. ගිම්හානෙකට වසන්තයක් මග බලනව. ජීවිතේකටත් සිසිරයක් ඕනෙ සනූ. බිඳ වැටිච්ච දේවල් අලුතෙං ගොඩ නංවගන්න. ආයෙ හිතල බලන්න. මේන්න මේ කාලෙදි කලබල වෙලා පිස්සු නටන්නෙ නැතුව ඊළඟ අදියර ගැන හිතන එකයි නුවනැති මනුස්සයෙක්නං කරන්න ඕනෙ. තේරුණාද…”

හැමදාමත් ඉර පායන්නේ ය. නමුත් සමහර දවස් වලට පායනා ඉර අලුත් ඉරක් සේ අපේ ජීවිත වලට දැනේ. සමහර මිනිසුන් ගේ වචනත් එහෙම ය. අප නිතර කතා බහ කරන, ඇසුරු කරන මිවිසුන් ගේ වචන, එක නිමේෂයක අපේ හදවත තුළ පැලපදියම් වී අප තුළ බලවත් අරගලයක් කරන්නට ගන්නා බවක් අපට දැනේ. ඉරණම ඔවුන් ගේ මුවට ඒ මොහොතේ දී ඒ වචන දෙන්නේ අප ඒවා ග්‍රහණය කර ගෙන ජීවිත ඉරණම වෙනස් කර ගන්නවාද කියා බලන්නට ම විය යුතු ය.

මේ මොහොතේ ආච්චා ගේ වචනත් මා තුළ ප්‍රබල වෙනසක් කරන්නට හේතු විය. කලබල වී කඳුළු සලමින් සියල්ල විනාශ කර ගන්නවාට වඩා, මා වෙනුවෙන් පෙනී සිටින්නට මා ශක්තිය රැස් කර ගත යුතු ය!

ලොකු අයියා ආ වෙලාවට මම කාමරයට හෝ මිදුලට ගොස් ඔහු සමග කතා කළෙමි. ඔහු ගේ ගෙදර තත්වයත් කැළඹිලි සහගත බව මා දැන ගත්තේ එවන් අවස්ථාවක ය.

“අපේ අම්මල මාව කෑව බං”

වතාවක් ඔහු මහත් කලකිරීමකින් එසේ කීවේ ය.

“ඇයි..”

“අර රවීන්ට අපේ ලොකු නංගිව ප්‍රපෝස් කරලනෙ”

හදවතේ පස් කඳු කඩා වැටුණ බවක් දැනිණ. නමුත් මම ඒ කැළඹීම ලොකු අයියාට වුව දැනෙන්නට නො හැරියෙමි.

“සිරියලතාගෙ පපුව ඩිග් ඩිග් ගාන්න ගත්ත නේ…”

අයියා ලස්සන සිනහවකින් මදෙස බලමින් විමසුවේ ය. හැඩි දැඩි සිරුරක් හා නාහෙට නාහන හිතක් ඇති යයි කවුරුත් හඳුන්වන ලොකු අයියා ට, මිනිස් හදක අවස්ථානුකූල හැඟීමක් ව ඉතා නිවැරදි ව අල්ලා ගත හැකි වීම ගැන  මඳ විමකියක් පවා මා තුළ ඇති නොවූවා ම නොවේ. නමුත් මම මගේ සියල් හැඟීම් එක ලා සිනහවකින් මුවහ කර ගතිමි.

“රවීන් කෙලින් ම කියල ඌගෙ එහෙම අදහසක් නෑ කියල. උඹ ඕකට ඌත් එක්ක පැටලෙන්න යන්න ඕන නෑ හරිද…”

ආච්චා කියන්නේ ඇත්ත ය. මේ වගේ කාලයක් ඕනෑ ම මිනිසෙකු ගේ ජීවිතයට උදා වෙන එක හොඳ ය. එතකොට ඔහු ට නිසංසලේ සිය ජීවිතයට එබී බැලිය හැක. අනෙකුන් සමග වන සබඳතා වල වන්නා වූ හර පද්ධතිය කුමක් දැයි හෙමිහිට විශ්ලේෂණය කළ හැක. තමන් ගෙන් මඳක් බැහැර වී තමන් දෙස බලා සිටය හැකිවා සේ ම, අනුන් ගේ ජීවිත වල ඉතා සියුම් වූ තැන් දෙස අන්වීක්ෂීය නෙතකින් බැලිය හැකි වනු ඇත. මම රවීන් දෙසත් එසේ ඈතක සිට බලා සිටින්නට මෙය අවස්ථාව කර ගතිමි.

“මටයි ඕයි ලැජ්ජ. අරූ හිතුවද දන්නෑනෙ මං මේ ඌව අපේ ගෙදරට එක්කං ආවෙම එහෙම ප්ලෑන් එකකින් කියල”

“රවීන් එහෙම හිතන්නෙ නෑ ලොකු අයියෙ. හැබැයි අපේ නංගි හූනා කියන්න වගේ කිව්ව ඕක. නයනා නැන්දා දුවල දෙන්නගෙන් එක්කෙනෙක්ව රවීන්ට දෙන්න තමයි බලං ඇත්තෙ කියල”

“අපේ අම්ම එහෙම කරන්න හිතන් ඉද්දි උඹලගෙ අම්ම මෙහෙමයි නේ..”

අපි දෙන්නා ම සිනහ වුණෙමු. අම්මා දොරෙන් පිටතට හිස දමා අප දෙස බැලුවා ය. මා මගේ කඳුළු වියළා ගෙන යළිත් පුරුදු පරිදි සිනහ වී හිඳීම අම්මා තුළ කුහුලක් ඇති කොට තිබි බව මට නො වැටහුණා නොවේ. 

“හම්මෝ මටනං හිතෙනව මං කවදාවත් කොල්ලෙක් එක්ක යාළු වෙන්නෑ කියල”

නංගි ගේ අදහස එබඳු විය. පසු ගිය දින වල දුටු මගේ කඳුළු හා උමතු හැසිරීමත්, දින කිහිපයකට පසු දකිනා මගේ සිනහවත් ඇය වියවුල් කොට තිබුණේ ය.

“නීතීඥ නෝනා හිතා ගන්න ඕනෙ කොල්ලෙක් එක්ක යාළු වෙන්නෑ කියල නෙවෙයි..මේ සිස්ටම් එක චේන්ජ් කරනව කියලයි..මිනිහෙකුට ජීවත් වෙන්න නිදහස තියෙන්න ඕන. ආදරේ කරන්න නිදහස තියෙන්න ඕන. ගැලපෙන්නෙ නැත්තං වෙන් වෙන්න වගේ ම ආයෙ ගැලපෙන තැනක නතර වෙන්නත් නිදහස තියෙන්න ඕනෙ. මිනිස්සු කවදාවත් අනිත් මිනිස්සුන්ගෙ හැඟීම් තමන්ගෙ අතට ගන්න හොඳ නෑ. ඒකට නීතියෙං ඉඩක් දෙන්නත් හොඳ නෑ. දියුණු වෙන්න ඕන මිනිස්සුන්ගෙ මෙන්න මේ ආකල්ප”

මම කියවා ගෙන ගියෙමි. නංගී මදෙස බලා සිටියේ අරුමයකින් සේ ය. ජීවිතය ගැන ගැඹුරු වූ යමක් කතා කොට ම නැති, සෙල්ලං වයසේ දැරියක ගේ මානසිකත්වයෙන් නිබඳ හැසිරුණ මවෙතින් ඇය මෙවැන්නක් බලාපොරොත්තු නො වන්නට ඇත. පාසල් සමයේදී වත් ප්‍රේමාරාධනයක් පිළි ගෙන නැති මා, රවීන් වාගේ එක් විවාහයකින් නික්මුණ පුරුෂයෙකු වෙත මේ තරම් තදින් බැඳේවියි ඇයට කොහෙත්ම විශ්වාස කර ගත නො හැකි වන්නටත් ඇත.

“නයනා ආන්ටි මාත් එක්ක මාර තරහකින් ඉන්නෙ. පුළුවන් කමක් තිබුණනං එයා අදම මට කාමරේ බාර දීල යන්න කියනව”

රවීන් මට දුරකතනය ඔස්සේ කීවේ ය. සිය අරමුණු ඉටු කොට ගත නො හැකි වූ තැන මිනිසුන් ගේ හැසිරීම කෙතරම් රළු සහ නින්දිත ස්වභාවයක් ගන්නවා දැයි මම සිතුවෙමි.

“ඔයාට ආයෙ ගෙදර යන්නයි තියෙන්නෙ අයියෙ”

“මං ඒ ගෙදරට යන්නෑ කියල හිතං ඉන්නෙ සනූ. ඉඩම මගෙ නමින් තිබුණට ගේ හදන්න එයත් සල්ලි දැම්මා. මං ඒක විකුණල ඒ සල්ලි ටික දීල දානව. අපි අපිට ගෙයක් හදමු. කොහොමත්…පිළුණු වෙච්ච මතක තියන ඒ ගෙදර ඔයත් එක්ක අලුත් ජීවිතයක් පටං ගන්න මං ආස නෑ”

මිනිස් බැඳීම් හා බිඳීම් වල ස්වභාවය ගැන අලුත් පාඩම්, මම ඉගෙන ගනිමින් සිටියෙමි. විටෙක ජීවිතය ගැන කලකිරෙමින් ද තවත් විටෙක දැඩි ලෝභ කමකින් ජීවිතය බදා වැළඳ ගනිමින් ද අපි ජීවිතය දිග ඇවිද යමු. මරණය කරා යන මාවත ඒ බව අමතක කොට, හැමදාම ජීවත් වන්නට උපන් මිනිසුන් සේ අපි මේ රඟ මඬලෙහි රඟමු. 

ශෙහාරා ඈ පෙම් කළ තැනැත්තා සමග රහසේ නික්ම ගොස් තිබුණේ මේ අතර දිනෙක ය. ඊට පෙර දා සැඳෑවේ මා හා කතා කොට යන්නට ඇය අපේ කාමරයට ආවා ය. අම්මා ගේ උකුසු ඇස් විටින් විට අප වෙත දැල්විණි ද මම ඒ වගකට නො ගතිමි.

“මිනිස්සු ඔයා ගැන කතා වෙයි. ඒත් ඒ ටික කාලෙකට විතරයි සනූ. ඊට පස්සෙ වෙන දෙයක් හම්බ වුණහම මිනිස්සුන්ට ඔයාව අමතකයි සනූ. ඒ කතා වලට බයේ ඔයා ඔයාගෙ සතුට අත්ඇර ගත්තොත්…ජීවිත කාලයක් ම විඳවන්න වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාට සතුටු වෙන්න පුළුවන් දේ අත් ඇර ගන්න එපා වෙන කාගෙවත් කටවල් වලට බයේ”

 ඒ වෙලාවේ ශෙහාරා ගේ දෑස් දිළිසෙමින් තිබිණි. පෙර දින වල හැඬූ කඳුළින් උන් බවට සාක්ෂියකුදු ඒ ඇස් වලින් හමු නොවිණි. ඇය සතුටෙන් ඉන්නට තීරණය කළ එක හොඳ යයි මම සිතුවෙමි. අප සියල්ල කරා ළඟා විය යුත්තේ සතුටෙනි. කඳුළු වලින් ඇස් පොඟවා ගෙන නොවේ.

උදේ පාන්දර ඇඳෙන් නැගිටින්නටත් පෙර ගෙදරට පියාඹා ආ ආරංචිය ඇය සිය ඇඳුම් හා රන් අබරණ ද ගෙන ගෙදරින් නික්ම ගොස් ඇති බවයි. 

“ඕක කියන්න නේද ඊයෙ හැන්දෑවෙ ශෙහාරා මෙහෙ ආවෙ…ඔයා දැනගෙන හිටියා නේද එයා යනව කියල…ඇයි අපිට ඒක කිව්වෙ නැත්තෙ…”

අම්මා කාමරයට දිව විත් මගෙන් කාරණා නො විමසා ම මට චෝදනා කළා ය.

“පිස්සුද අනේ…”

මා තුළ සැබෑ නො රිස්සුමක් ඇවිළිණ. 

“මාත් එක්ක කතා කර කර ඉඳල ගියා තමයි. ඒත් මෙහෙම දෙයක් කරන්න ඉන්නව කියල මට ඇඟෙව්වෙවත් නෑ”

මා කීවේ ඇත්තම ය. නමුත් ඇගේ ඇස් වල තිබුණ ප්‍රීතියේ දීප්තිය සදාකාලිකව ඈ තුළ දැල්වේවා යි මේ මොහොතේ මම හදවතින් ප්‍රාර්ථනා කරමින් සිටියෙමි. අම්මා ට වඩා නූතන අදහස් දැරූ ආච්චා පවා ශෙහාරා ගේ සිද්ධියේ දී නම් තැති ගෙන සිටියා ය. ඒ චීවරය කෙරේ බෞද්ධ උපාසිකාවක තුළ වන චිරාගත සම්ප්‍රදායික ශ්‍රද්ධා භක්තිය නිසා යයි මම හඟිමි.

“ආච්චාට මතකද අර භික්ෂුවක් ගෑනු කෙනෙක්ව කරේ තියාගෙන ගඟෙන් එතෙර කරපු කතාව. අතර මගකදිත් ගමන් සගයා වෙච්චි අනිත් භික්ෂුව කතා කළේ ඒ විදිහට කාන්තාවක් කරේ තියාගෙන යාම භික්ෂුවකට අකැපයි කියලයි. ඒ වෙලාවෙ අර මුල් භික්ෂුව කියපු දේ මතකද…මමනං ඒ කාන්තාව කරෙන් බිම තිබ්බා. ඒත් ඔබ වහන්සේ තාමත් ඇයව කරේ තියං යන පාටයි කියල. ඒ වගේ… ශෙහාරා කැමති වෙලා හිටිය කෙනා දැන් චීවරේ ගලවල අයිං කරල ඉවරයි. අපි තවත් ඒ සිවුර ගැන හිත හිත තැවෙන්න ඕන නෑ ආච්චා..වැඩිය වටින්නෙ ඒගොල්ලො ඉතිරි ජීවිතේ සතුටෙන් ගෙවන එක”

ආච්චා ගේ කම්පනය තුනී කරනු වස් මම බොහෝ දේ කීවෙමි. ඇය ටික ටික හිත හදා ගත්තා කියා සිතමි. නමුත් නිමාලි නැන්දා හිටියේ හැඬූ කඳුළෙනි. ඇය ශෙහාරා ව උස් මහත් කරන්නට දැරූ වෙහෙස ගැන කියවමින් හැඬුවා ය. ඒ දරු දුක ගැන කතා හද කම්පා කරන සුළු ය.

“දැක්කා නේද…ළමයින්ට තේරෙන්නෑ දෙමව්පියන්ගෙ පපු වල ඇවිලෙන ගින්දර..ශෙහාරා උපදෙස් දීලා ගියේ ඔයත් එහෙම කරන්න කියල වෙන්නැති නේද…”

නිමාලි නැන්දා සනසන්නට ගොස් ගෙදර ආ ඉක්බිති අම්මා කීවා ය. මම ගල් ගැසී ගියෙමි. සැබවින් දරුවන් ගේ සතුට හා දෙමව්පියන්ගේ සතුට යන දෙක එක රේඛාවක සමපාත කර ගන්නට බැරි හේතුව සොයා ගන්නට අප උත්සාහ නො කරන තාක් කල් මේ කඳුළු ගලන එක නතර කළ නොහැකි වනු ඇත!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles