(අ)හිමි සිහින 11

මම හොඳ ලියන්නියක් බව එක දවසක කිව්වා ඔබට මතක ඇති.ඔව්! මම හොඳ ලියන්නියක්.කවදාවත් ලිවීම වෘත්තිය කර නොගත්තත් ලේඛන වෘත්තියෙන් ඉදිරියට නොගියත් මා තුළ ඉන්න රචිකාව තවම ඉඳහිට මතු වෙනවා.ඒත් මගේ වෘත්තිය වෙනස්ම එකක් වූ වර්තමානයේ මට ලියන්න ඉඩ ලැබෙන්නේ ෆේස්බුක් එකේ විතරයි.

පාසල් කාලයේදී මම ප්‍රේමයේ වේදනාවන් කවියට හරවනවා.ඒ කවි දකින මගේ මිතුරියන් සමහර වෙලාවට මා ලවා ඔවුන්ගේ පෙම් හසුන් ලියා ගත් දවස් පවා තිබුණා.මා ලියූ ඒ කවි මා ළඟ එකක්වත්ම නැති බව ඔබ විශ්වාස නොකරනවත් ඇති.නමුත් එහෙම තමයි.මට ඒවා ප්‍රවේසම් කර ගන්න බැරි වුණා.හැමදෙයක්ම හාරාවුස්සා හොයන ගෙදරක එකම දුව වුණු මගේ අතින් ලියැවුණු පෙම වෑහෙන කවි අම්මලා දැක්කනම් එයාලා තාම හිරේ! මං ආයේ තව කොහේහරි ඉපදිලා.

ඒත් ඒ හැම කවියක් ම මා ලියූ හැම ලිපියක් ම සුධාරක පණ වගේ රැක ගත්තා කිව්වොත් ඔයාල විශ්වාස කරන එකක් නැහැ.නමුත් ඔහු එහෙම කරා.අපට අප අත් හැරී යන මොහොතඉක පවා එහෙම කළා.සටන් බිමට ඒ ලිපි කුඩා මල්ලක අඩුක් කරගෙන රැගෙන ගියා.

ඒ ආදරේ සංසාරික ප්‍රේමයක් බව මම කියන්නේ ඒ නිසා.

අපේ ආදරේ වෙනුවෙන් මම කරපු කැපකිරීම් අනන්ත අප්‍රමාණ බව ඇත්ත.නමුත් සුධාරක බොහෝ සියුම් දේවල් පවා ආදරේ වෙනුවෙන් කළ බව මම දන්නවා.ඔහු ආදරය කළේ පුදුමාකාර විදියකට.අවසන් මානුෂීය මෙහෙයුම කාලයේදී ඔබ ඔහු රූපවාහිනි තිරයෙන් මතු වෙලා යුද්ධයේ තතු ගෙනෙන තුරු බලා සිටියා.ඔහු ඒ නිතර දකින වටිනා මුහුණු අතර හිටියා.ඔබ හැම කෙනෙක්ම සුධාරකව දන්නේ රටේ වටිනා සෙන්පතියෙක් හැටියට.

නමුත් ඔහු මගේ ආදර බලකොටුව ප්‍රේමයෙන් රැක ගත් සෙන්පතියා! ඔබ රූපවාහිනි තිරයෙන් දුටු ඔහු මොනතරම් තද කෙනෙක් වුණත් ඒ මිනිසා තුළ ජීවත් වූ ළතෙත් හදවත් දරන්නා හරියටම දැක්කේ මම.ඔහු ආදරය කළේ නොදුටු අනුරාධා කෙනෙකුට.ඒ අනුරාධාගේ ලිපිවලින් ඔහු මා හඳුනා ගත්තා.ඒ නිසාම ඒ ලිපිත් ඒ කවිත් සුධාරකට ඒ තරම් වටින්න ඇති.අනුරාධා නිසා ඔහුට සුන්දර ආදරයක් ගොඩ නගන්නට ඉඩ ලැබුණේ නෑ.සැකයෙන් සහ අහිමි වීමේ බිය ඇතිව පවා ඔහු මට ආදරය කළා.රටේ ඉහළම තැන් ඔහුව ප්‍රසංසා මුඛයෙන් අගයද්දී ඔහුට මගේ දෙමාපියන් “පුංචි කෙල්ල රවට්ටා ගත්තු එකා” කියලා අපහාස කළා.

නමුත් ඔහු සසැලුණේ නෑ.ඉතින් මේ සංසාරික ආත්ම බන්ධනයක් මිස වෙන කිසිම දෙයක් නෙවෙයි.

සුධාරකගේ ළමා කාලය පහසු එකක් නෙවෙයි.ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඩා නගරයක පාසල් අධ්‍යාපනය ලැබු කෙනෙක්.ඔහු උපන්නේ එහෙ නොවුණත් ඥාති නිවසක ජීවිතේ ගෙවන්න සුධාරකට සිද්ධ වෙලා තියෙනවා.

“පුංචි ළමයෙක්ගෙන් ඒ මිනිස්සු ගත්තු වැඩ තොගයක් මැණිකේ..”

ඒ අතීතය මතක් කරමින් ඔහු කියද්දී ඇඬුවෙ මම.අඹ යහළුවෝ කතාවේ නිමල් වගේ චරිත ඇත්ත ලෝකේ ජීවත් වුණු බවත් මම දැන ගත්තේ මගේ සුධාරක නිසා.ඔහු එතරම් දුක් විඳලා රටට වටිනාම මිනිසෙක් වීම එක විදියක ප්‍රාතිහාර්යයක්.

ඒත් ඒ වගේ දුක් ඉහිලීම ම සුධාරකව ශක්තිමත් මිනිසෙක් කරන්න ඇති.

මේ සටහන් සමහරවිට අපිළිවෙල බව ඔබ හිතනවා ඇති.ඒත් මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කියෙව්වට පස්සෙ ඒ කතාව ලියවෙන්න ඕනත් මෙහෙම අපිළිවෙලට කියලා ඔයාලට හිතෙයි.

සිතු දෙය නොම වෙයි
නොසිතු දෙයක් වෙයි..

කියලා මගේ ආදර කතාවට විතරක් නෙවෙයි, මගේ මුළු ජීවිත කතාවටම කියන්න පුලුවන්.ඒ කතාව කෙටියෙන්ම හඳුන්වන්න තියෙන්නේ ඒ පද දෙකෙන් කියලා මට හිතෙනවා.

මගේ හදිසි විවාහ ලියාපදිංචියට පස්සේ මම මිසිස් කෙනෙක් හැටියට ජීවිතේ ගෙවා දැමූ සුන්දරත්වය කියවන්න ආසාවෙන් ඔබ බලා ඉන්න බව මම දන්නවා.

ඇත්තටම එහෙම දේවල් ලියන්න තිබ්බා නම් හොඳයි! නමුත් මහරගම ඇමිටි බිල්ඩින් එකේදී පටන් ගත්තු ඒ සුන්දර සිහිනය ගල්කිස්ස උසාවියෙන් අවසන් වූ හැටි හෙට කියවමු.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles