(අ)හිමි සිහින -16

විවාහය සිදු වෙන්න පෙර මම ගෘහ නිර්මාණ ශිල්පය සම්බන්ධ ආයතනයක සේවය කළා.ඒ වෙද්දී මම මොරටුව විශ්ව විද්‍යාලයෙන් සැලසුම් ශිල්පිනියක් ලෙස පාස් අවුට් වෙලා හිටියේ.ඩ්සයිනර් කෙනෙක් හැටියට මගේ අනාගතය සහ වෘත්තීය ජීවිතය දියුණු කරගන්න සිහිනයක ඒ දවස් වල මම හිටියා.ඒ සිහින අතරේ ඒ දවස් වල සුදාරක නොහිටියා නෙමේ.මගේ රැකියාවෙන් ඉදිරියටම ගිහින් මගේ කියලා දේවල් කරන්න ඒ දවස් වල මට හීන තිබුණා.

හැබැයි රැකියාව කරන කාලයෙත් මට දෛවය අපූරු පරීක්ෂණයක් දුන්නු ආකාරය මට මේ මොහොතේ සිහි වෙන්නේ අහම්බෙකින් වගේ.රාජගිරියේ පුපුරාගිය බිහිසුණු බෝම්බයකින් මම ගැලවුණේ විනාඩි කිහිපයක වෙනසක් නිසා.එය මගේ ජීවිතය අනූ නමයෙන් ගැලවුණු අවස්ථාවක්.සමහර වෙලාවට ඒ කාලයේ මම ජීවිතයටත් වඩා ආදරය කළ මිනිසා සටන් බිමේ සෙන්පතියෙක් නිසා මට ඒ ආශිර්වාදය ලැබෙන්න ඇති.ඔහු තමන්ගේ ජීවිතය ගැන කිසිම ලෙසකින් සිතුවෙ නැහැ.නිතරම හිතුවේ යුද්දේ ඉක්මනින් අවසන් කරන දවසක් ගැන.ඇත්තටම සුදාරක යුද්ධය අතහැරලා වෙන රැකියාවක් තෝරා ගත්තනම් අද ඔබට කියන්න තරම් විශේෂ කතාවක් මට නැහැ.එහෙම වුණානම් මමත් මේ සටහන කියවන ඔබ බොහෝ දෙනෙක් වගේ රැකියාවට යන නිවසේ ඉවුම් පිහුම් කරන තමන්ගේම කියා විනෝදාංශ ඇති සුන්දර පවුල් ජීවිත‍යක් හිමි කාන්තාවක්.මම අදටත් විශ්වාස කරන දෙයක් සුදාරක මටත් වඩා සමහරවිට මට තරමටම රටටත් ආදරය කළා.ඒ ආදරය අවසන් සටනේ දී ඔබ ඔහුට පෙරළා දෙන ආකාරයත් මම දැක්කා.අපේ පෞද්ගලික ජීවිතවලට ඔහුගේ ඒ රැකියාව මොනතරම් මොනතරම් බාධකයක් වුණත් මගේ සුදාරක රටට ණය නැති මිනිසෙක්.

එවැනි මිනිසෙකුගේ ප්‍රේමවන්තිය වී ජීවත් වීම මට ආශිර්වාදයක් වෙන්න ඇති.ඒ නිසා එදා මගේ ජීවිතය බේරෙන්න ඇති කියලා කියලා මම හිතනවා.

කොහොම නමුත් මරණය අපි වෙත එන්නේ එය ලැබිය යුතු මොහොතක.එතෙක් ජීවිතය අපට දෙන සියල්ල අප විඳදරා ගත යුතුමයි.ඒ බවත් මේ කතාව ඉදිරියට කියවද්දී ඔබට පැහැදිලි වෙයි.

අසංකගෙ බිරිඳ වෙලා එද්දී සුදාරක සහමුලින්ම අමතක කළ බව මම ඔබට කිව්වා.එහෙනම් මම තවදුරටත් ඔහු ගැන කියවන්නේ ඇයි කියලා ඔබ හිතනවා නේද? එක හිත නැති ගෑනියෙක් කියලා කමෙන්ට් කරන්නත් හිතෙනවා නේද?

ඒත් මේ කතාව හිතනවට වඩා බොහොම වෙනස් එකක්.මග නොහැර හැම කොටසක්ම කියවද්දී ජීවිතය කියන්නේ මගහැර යන්න බැරි තැනක් කියලා ඔබටත් වැටහේවි.

කොහොමින් කොහොමහරි එදා අසංකගේ අතේ සත පහක් වත් තිබුණේ නෑ.විවාහය කියන්නේ අතනෑර දරාගැනීම කියලා තේරුම් අරගෙන හිටපු මම අතේ කනේ කරේ තිබුණු හැම රත්තරන් බඩුවක්ම ඔහු අතින් තිබ්බේ වෛරයකින් නෙමෙයි.ඔහු මගේ සැමියා.මෙතැන ඉඳලා ඔහුගේ හැම වේදනාවකට ම හැම පරාජයකට ම ශක්තියක් වෙන්න ඉන්නෙ මම.ඒ නිසා මම හැම දෙයක්ම ඔහුට දුන්නා.වෙඩින් එකකදී වැඩිපුර ලැබෙන්නේ මුදල් ත්‍යාග.මට හම්බුණු හැම සල්ලියක්ම මගේ අම්ම තාත්තත් මගේ අතට දුන්නා.මං ඒ හැම ලියුම් කවරයක් ම විවෘත කරන්නෙවත් නැතුව අසංක අතින් තිබ්බා.

“ජීවිතයේ සතුට නැතිව ගියාට පස්සේ සල්ලි මොකටද කියලා අක්කට හිතුනද”

මේ සටහන ලියන smartlady කණ්ඩායමේ නංගි මගෙන් එහෙම ඇහුවා.

මම හිතන්නේ ඒකට උත්තරේ ඔව් කියන එක නෙවෙයි.

මම අලුත් ජීවිතයට කැපවුණා.සුදාරක ගැන සිහිකරමින් ජීවත්වීම දැන් මට යුතු නැහැ.ඒකෙන් අසංකටවත් සුදාරකටවත් මටවත් ලැබෙන දෙයක් නෑ.මගේ ඉරණම අසංකගේ බිරිඳ වීම නම් මම ඒක බාර ගත යුතුමයි.ඒ වෙලාවේ මම හිතුවේ එහෙමයි.මේ සටහන කියවන තරුණ නැගණියන්ට මට දෙන්න උපදේශයක් තියෙනවා.ප්‍රථම ප්‍රේමය හෝ ජීවිතයේ වඩාත්ම දැනුණු ප්‍රේමයක් ඔයාලට ඇති.මොනම හේතුවක් නිසා හෝ ඔහුගෙන් දුරස් වෙන්න සිද්ධ වුණා නම් ඔහු ගැන හිතන්න එපා.හැඟීම් වලට වැට බඳින්න බැහැ.නමුත් ඔබ ඔහු ගැන සිතමින් ඔහු වෙනුවෙන් වැලපෙමින් සහ ඔබව විනාශ කරගනිමින් ජීවත් වෙන්න ගියොත් එය ඔබේ වර්තමානය අයිති කෙනාට කරන තදබල අසාධාරණයක්.ආදරය අමතක කරන්න බෑ.ජීවිතයේ සුන්දරම මතකයක් පමණක් වී ජීවත් වෙන්න ඔබේ ලස්සනම ආදරයට ඉඩ දෙන්න.එයින් විනාශ වෙන්න එපා.ආදරය කියන්නේ කියන්නේ ජීවිතේ තියෙන ලස්සනම දේ සහ අපිව ලස්සන කරන දේ මිසක් අපිව විනාශ කරන දෙයක් නෙමෙයි

සුදාරක ගැන හිතමින් ඔහු හා සම්බන්ධ වෙන්න විදියක් කල්පනා කරමින් ඔහුට පණිවිඩයක් යවන්න ක්‍රම හොයමින් ඒ කාලය ගෙව්වා නම් ගෞරවනීය ගැහැනියක් විදිහට ජීවත්වෙන්න මට බැරි වෙයි.ජීවිතයේ මොන හැලහැප්පීම් සිදුවුණත් අසංකට කිසිම දවසක ද්‍රෝහිකමක් කරේ නෑ කියන සතුට මට තියෙන්නෙ ඒ නිසා.

නුවර ජීවිතය අමුතුයි.වෙන එකක් තියා අසංකත් අමුතුයි.ඒ මොකද කියලා හෙට කියන්නම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles