සඳ කත් මිණි ඇස් -32

අන්තිමට ලොකු හුස්මකින් ළය පුරවා ගත් ආලෝක කාර්යාල පරිශ්‍රයේ පිටතට ආවේ ය. ඔහු ගේ රිය පවනට බඳු වේගයෙන් ඉගිලෙන්නට විය. ඔහු ගේ හිත ඊට වඩා වේගයෙන් ඉගිළුණේ ය.

දැන් ඔහු ව නතර කරන්නට කාටවත් ම නො හැකි ය. ලෝකය ඔහු ගෙන් බොහෝ දේ උදුරා ගත්තේ ය. ඒ බොහෝ දේ අතරේ තාත්තා කියන නම මහා උස් තැනෙක අදටත් වේ. ඔහු යම් යම් දේ ලබා ගත් බව ඇත්ත ය. නමුත් ඔහු ට අහිම් කළ ඒ මහානර්ඝ වස්තුවට සම කළ හැකි වූ කිසිවක් උපයා සපයා ගන්නට අද වන තුරු ඔහු සමත් වූයේ නැත. මතු මතුත් එය එසේ ම වනු ඇත. 

කප් සුවහස් කල් පෙරුම් පුරා ලබන්නට යන පිය පදවිය උදුරා ගන්නට ඔහු මෙලොව තබා වෙනත් ලොවක වෙසෙන්නෙකුට වුව ඉඩ නොදෙනු ඇත. මේ මොහොතේ ආලෝක ගේ සමස්ත සිරුර ම පිරී පවත්නේ ඒ වෙනුවෙන් අලුතෙන් ම ජනනය වෙමින් පවත්නා වූ ශක්තියෙනි. ඒ ශක්තිය වැඩි වෙන්නට වෙන්නට රියෙහි වේගය ද වැඩි වූයේ ය. එය එක්තරා ආකාරයක පියවි සිහිය ඉක්මවා යාමකි. 

ආලෝක ගේ රිය ඔහු ව ගෙන ගොස් තිබුණේ ප්‍රවීන් ගේ ගෙදොරකඩට ය. දැවැන්ත කැටයම් ගේට්ටුව හැර දමා තිබිණි. ආලෝක ගේ රිය පැමිණි වේගයෙන් ම ඉන් ඇතුළු ව හඬ නගා තිරිංග තද කොට නැවතිණ.

“ප්‍රවීන්”

ආලෝක රියෙන් බැස්සේ එසේ කෑ ගසමිනි. සාමාන්‍යයෙන් ඔහු එහෙම හැසිරෙන පුද්ගලයෙකු නොවේ. ජීවිතයේ වටිනා ම දේවල් දේවල් අහිමි කරනු ලැබූ මිනිසෙකු ඉතා නිහඬ තැනැත්තෙකු බවට පත් වේ..නැත්නම් මහා කළහකාරයෙකු වනු ඇත.  ආලෝක වෙනුවෙන් සොබා දහම තෝරා ගෙන තිබුණේ ඒ දෙකෙන් පළමු වැන්න ය. 

ව්‍යාපාර ක්ෂේත්‍රය ඔහු ව හැඳින ගෙන තිබුණේ නිවුණ මිනිසෙකු සේ ය. හතළිස් ගණනක් වන තුරු විවාහයක් කර නොගත්, නිතර මන බඳනා සිනහවකින් මුව සරසා ගත් කඩවසම් නිහඬ පුරුෂයෙකු සේ ය. බොහෝ ව්‍යාපාරික බිරින්දෑවරු ඔහු වන් පුරුෂයෙකු ලැබුණා නම් යයි එක වරක් හෝ සිතින් සිතා තිබේ. නිබ්බුත පද කියන්නට කිසා ගෝතමී ලා ට සිතෙන්නේ එවන් පුරුෂයන් වෙනුවෙනි.

ආලෝක ගේ හඬින් ප්‍රවීන් ගේ මැදුර දෙදරුවේ ය. ප්‍රවීන් පිටතට ආවේ දෙගිඩියාවෙනි. ඔහු එන විට ඔහු ගේ බිරිඳ අප්සරා ද ආලින්දය දෙසට එමින් සිටියා ය. මේ ගෙදර දොරකඩට ඇවිත් මීට පෙර කිසිවෙකු මේ විදිහට කෑ ගසා නැත.

“උඹව ඉතුරු කරන්නෑ මං දැනගනිං”

ආලෝක ප්‍රවීන් වෙත පැන ඔහු හැඳ උන් ටී කමිසයේ කරෙන් අල්ලා ගත්තේ ය.

“අනේ…ඇයි මේ…”

අප්සරා කෑ ගැහුවා ය. ඇය බියෙන් බිරාන්ත ව සිටියා ය. සැබවින් ආලෝක ගේ විලාශය ගැන ප්‍රවීන් තුළ ද මඳ ගැස්මක් ඇති ව නො තිබුණා ම නොවේ. ඔහු තුළ මෙනන් යක්ෂයෙකු සිටිනා බවක් මීට පෙර දකින්නට ලැබී නැත.

“උඹ…උඹ දැනගනිං ප්‍රවීන් මං දැං ඉවසුව හොඳටම ඇති කියල. උඹ මගෙ තේ කොළ වලට ගිනි තිබ්බා. මගෙ ෆොරින් ඕඩර් එක වංචා කරල ඩැහැ ගන්න ගියා. ඉතිං මට මොකද බං…උඹ හිතනවද ඒව කරල මාව වට්ටන්න පුළුවන් කියල…උඹ ගනිංකො මගෙ මුළු බිස්නස් එකම. මං අලුත් තැනකින් තැනකින් පටං ගන්නව ය කෝ”

කෑ ගසමින් ම ආලෝක ප්‍රවීන් ව මඳක් තල්ලු කරමින් ඔහු ගේ කමිසය අත් හළේ ය.

“කාන්තාර වලත් මල් පිපෙනව මිනිහො. හිම යටිනුත් උඩට මතු වෙලා මල් පිපෙනව. හයිය පොත්තක් ඇතුළෙ තියෙන බීජයක් අවුරුදු ගාණක් බලං ඉඳල හරි හොඳම වෙලාවෙයි පැළ වෙන්නෙ. හොඳම පොළොවෙයි පැළ වෙන්නෙ. මාත් එහෙම මිනිහෙක් දැනගනිං. ම කිසිම හදිස්සියක් තිබුණෙ නෑ. මං බලං හිටියෙ මට ඕන ම දේවල් වෙනුවෙන්. උඹල වගේ දනින ඕන දේකට කෙළ හලන පෙරේතයෙක් කියල හිතන්න එපා මං”

ආලෝක තදින් හුස්ම කිහිපයක් ගත්තේ ය. එක දිගට වේගවත් ව කතා කිරීම නිසා ඔහු හති දමමින් සිටියේ ය.

“හැබැයි ආයෙත් සැරයක් උඹ මගෙ ගෑනිට අත තියන්න ලෑස්ති වෙන්න එපා”

“පිස්සුද මනුස්සයො…මොනාද මේ කියවන්නෙ…”

ප්‍රවීන් වහා ඉස්සර වූයේ ය. අප්සරා ඔහු වෙතට හෙළුවේ දැවී යන බැල්මකි. ප්‍රවීන් ඒ නොදුටු බවක් ඇඟවී ය.

“මොකද්ද සුමනරත්න ඒ කතාව…මං එහෙම එකක් දන්නෑ”

එවර ඇය ආලෝක දෙසට හැරුණා ය.

“සූර්යා ට මූ ඇසිඩ් ගැස්සෙව්ව”

“දෙයියනේ…”

අප්සරා පපුවේ අතක් තියා ගත්තා ය.

“සුමනෙ ඉනෆ් රයිට්. මෝ දෑන් ඉනෆ්”

ප්‍රවීන් තරමක් කැළඹී සිටියේ ය..අප්සරා මේවා දැන ගන්නවා කියන්නේ පැයක් තරම් කාලයක් ගෙදර රැඳිය නො හැකි වන බව ඔහු දනී.

“ඇති වෙන්නෙ කොහොමද…උඹයි ඒක කළේ..පොලීසියට උසාවියට සාක්ෂි ඕන නිසා මං ඉවසල පාඩුවෙ හිටිය. හැබැයි ඒ ඉවසීම නිවට කමක් කියල හිතන්න එපා”

ආලෝක සිය දබර ඇඟිල්ල ප්‍රවීන් ගේ මූණ සමීපයට ම කොට දිගු කළේ ය.

“පිස්සු මූට”

බිරියට ඇහෙන්නට එසේ මිමිණුවාට ප්‍රවීන් ගේ හදවතේ වූයේ ගැස්මකි. 

“ඇයි මෙයා එහෙම කළේ සුමනරත්න…ඇයි ඔයාගෙ වයිෆ්ට මෙයා ඇසිඩ් ගැස්සෙව්වෙ…”

“හහ්…ඒක ඉතිං අහන්න ඕන මෙයාගෙන් තමයි. ලබා ගන්න බැරි දේවල් විනාශ කරල දාන එක නරුමයන්ගෙ ගතියක්”

ආලෝක ගේ සමච්චල් සිනහව තුළ අප්සරා ට යමක් අවබෝධ කර ගත හැකි විය. කොහොමටත් ඇය සිය සැමියා ගේ කල්ක්‍රියාව ගැන නොදන්නා බිරිඳක නොවේ. මේ වෙලාවේ ඇය ප්‍රවීන් වෙතට හෙලු බැල්මෙහි වූයේ ‘අල්ලගන්නං මං පස්සෙ’ වාගේ කතාවකි.

“ප්‍රවීන්…මේක දැනගනිං. මං හුඟක් දේවල් නැති කරගත්ත මිනිහෙක්. හැබැයි…මට ඉතුරු වෙච්ච…ජීවත් වෙන්න හුස්ම වගේ නැතුවම බැරි දේවල් මං කොහොමවත් නැති කර ගන්නෙ නෑ. උඹ දැනගනිං මෙහෙම හිටියට මං එච්චර හොඳ මිනිහෙක් නෙවෙයි. මං ඇවිත් ඕන දෙයක් කරන්ල පුළුවන් මිනිහෙක්. උඹ දන්නවද අපේ තාත්ත මැරුණෙ කොහොමද කියල…මැරුණා නෙවෙයි යකෝ මැරුව. ටයර් සෑයක් උඩ පුච්චල මැරුව.ඇයි ඒ…තාත්තල වගේ වීර මිනිස්සුන්ට මේ නිවටයො එච්චරටම බය වෙච්ච නිසා. මගෙ ඇඟේ දුවන්නෙත් ඒ ලේ යකෝ. මං බය නෑ යකෙක්ටවත්. බාගෙට පිච්චුණ මිනිස්සු…කලින් දවසෙත් ඔළුව අත ගාල කතා කරල ගිය මිනිස්සු මහ පාරෙ පිච්චිල මැරිල ඉන්නව දැකපු ඇස් දෙකක් තියෙන එකෙක් මං. එහෙව් එකෙක්ට කරන්න බැරි දෙයක් නෑ. උඹ වගේ බිස්නස් උඩ ඉපදිච්ච එකෙක් නෙවෙයි මං. බය නැති යක්කු වගේ  මිනිස්සුන්ගෙ හිත් හයිය දැක දැක ඉපදිච්ච එකෙක්. ඒක නිසා මට කරන්න බැරි දෙයක් නෑ”

ආලෝක ගේ තර්ජනාංගුලිය ප්‍රවීන් ගේ අභ්‍යන්තරය දෙදරවා තිබිණ. සාමාන්‍යයෙන් නිහඬ මිනිසුන් කෝප ගැන්වුණ විට නිදා උන් සිංහයන් අවදි වූවා බඳු වේ. 

“මාව ආයෙ මේ ගෙදරට ගෙන්නවන්න එපා. එච්චරයි. ටයර් සෑයවල් දැක්ක මට…මේ ගෙවල් පිටින් සෑයවල් කරන එක මහ දෙයක් නෙවෙයි. මේ බොහෝම කරුණාවෙන් කියන්නෙ. මෙන්න වැන්දා. අපිට අපේ පාඩුවෙ ඉන්න දීපං”

ආලෝක අත් දෙක එකතු කොට වඳිනා ඉරියව්වක් පෑවේ ය.

“යන්නං”

ඔහු එසේ කීවේ අප්සරා දෙස බලා ය. එසැනෙන් ආපසු හැරුණ ආලෝක රියෙහි නැගී ඉගිල ගියේ ය. 

මහත් විපතකින් පසු ඇති වන්නා වූ දැවැන්ත නිහඬ බව ප්‍රවීන් ගේ මැදුර තුළ ඇති විය. අප්සරා සිය සැමියා දැවී හළු වෙන විදිහේ බැල්මක් හෙළුවා ය. ප්‍රවීන් හෙමිහිට ඉවත බලා ගත්තේ ය. ඒ නිහඬ බව බිඳිනු වස් වචනයක් හෝ කතා කරන්නට තරම් සවියක් දෙදෙනා ගේ ම සිත් වල වූයේ නැත. 

ආලෝක කෙලින් ම ගියේ නුගේගොඩ පීටර්ස් පෙදෙසෙහි සූර්යා ගේ ගෙදරට ය. මීට වසර ව්සි ගණනකට පෙර සූර්යා උසස් පෙළ කරන්නට පෙර අවසාන පන්ති දවසේ එහි ගියාට පසු ඔහු මේ එහි යන මුල් ම වතාව ය. ඒ පාරේ මැදුරු ඒ තරම් වෙනස් වී නැත. ආලෝක හරියට ම හරි තැනට ගියේ ය.

විදුලි සීනුව හඬවා ඔහු මඳක් පසෙකට වූයේ ය. කුඩා ගේට්ටුව හැර එබී බැලුවේ වසර විසි පහකින් වියපත් ව සිටි ගජධීර මැතිණියයි. තරමක් තරබාරු වූවාට ඒ වසර විසි පහට ඇය වයස් ගත ව තිබුණේ පස් වසරක පෙනුමෙනි.

“කෝ සූර්යා…”

ආලෝක ගේ දැඩි විලාශය ට එතුමිය ට උත්තර නැති වූ තරමි. නමුත් ඇය පසෙකට වී ඉඩ දුන් ආකාරයෙන් කියවුණේ සූර්යා ඇතුළත සිටින බවයි. ආලෝක පියවර කිහිපයක් ඉදිරියට තබමින් ‘සූර්යා’ කියා හඬ ගෑවේ ය.

කාමරයේ යහන මත ඇඳුම් බැගේජය සකසමින් උන් සූර්යා තිගැස්සී ගියා ය. ඇය කුසට අත තියා ගත්තේ “තාත්තා පුතේ” යයි සිතින් කියමිනි. යම් දෙයක් සිදු වෙමින් පවත්නා බව ඉවෙන් වාගේ ඇය ට දැනිණ. සූර්යා පිටතට ආවේ දෙගිඩියාවෙනි. ඔහු ගේ හඬ වෙනදාට වඩා උස් ය. ඇගේ ළය ද ඒ රිද්මයට අනුව ගැස්සෙමින් තිබිණ.

“බය වෙන්න එපා පුතේ. තාත්තා නරක කෙනෙක්වත් නපුරු කෙනෙක්වත් නෙවෙයි”

ඇය නැවත ද සිතින් මිමිණුවා ය.

සූර්යා ව දුටු ආලෝක වේගවත් දිගු අඩි තබා ඇය වෙත ආවේ ය. ඇගේ අතක මැණික් කටුව ළඟින් තද කොට අල්ලා ගත්තේ ය. ඔවුන් ගේ ඇස් එක මොහොතකට එකට යා විණ. සූර්යා ගේ ඇස් වල බියක් විය. සඳබකත් මිණි ඇස්!

ඔහු වචනයක් හෝ කතා කළේ නැත. ඇය ව ඇද ගෙන රිය වෙත ගොස් එහි ඉදිරි අසුනට ගොඩ කොට රිය දොර වසා දැමුවේ ය. අනිත් පසින් ගොස් රියට නැගී එය පණ ගන්වා ගෙන වේගයෙන් යන්න ගියේ ය. ගජධීර මැතිණිය මුව ද මඳක් අයා ගෙන බලා සිට ගේට්ටුව වසා දැමුවා ය.

“මොනාද මේ වෙන්නෙ කියල මටනං තේරෙන්නෙ නෑ”

ඇය තනිව මුමුණමින් ගෙතුළට පිය නගන්නට වූවා ය.

සූර්යා සිටියේ බිම බලා ගෙන ය. ඇයට තිබුණේ වැරදිකාර හෘදය සාක්ෂියකි.

“තාත්තට හොඳටම තරහ ගිහිං පුතේ. ඒ වුණාට ඔයා බය වෙන්න එපා. එයා අම්මට පණ වගේ ආදරෙයි”

රියෙහි වේගය වැඩි වෙත්දී ඈ එසේ සිතුවා ය. පීටර්ස් පෙදෙසෙන් නෑවිත් කොහුවල පැත්තෙන් නුගේගොඩ දක්වා රිය පදවන්නට හේතුව ඒ අධික කෝපය බව සූර්යා දැන සිටියා ය. විනාඩි දෙක තුනකදී අපාට්මන්ට් එක ඉදිරියේ රිය නැවතිණ. යතුර ගෙන නො ආ බව සූර්යා ට සිහි වූයේ විදුලි සෝපානයේ දී ය. නමුත් ඒ බවක් කියන්නට ඇගේ දිව නැවුණෙ නැත. 

ආලෝක සිය කලිසම් සාක්කුවට අත දමා ඔහු ළඟ තිබූ අමතර යතුර ගෙන දොර ඇරියේ ය. දවසක් ඔහු ට යතුරක් දුන් බවත් සූර්යා ට සිහි වූයේ ඒ වෙලාවේ ය.

ආලෝක ට ඕන වුණේ දඩං ගා දොර වසා දමන්නට ය. ඒත් එසැනෙන් සූර්යා ගේ කුසෙහි නිදනා සිය පුතනුවන් ඔහු ට සිහි විය. හයියෙන් දොරක් වැසෙනා හඬට වුව කුස තුඵ හිඳිනා දරුවෙකු තිගැස්සෙන්නට පුළුවන් බව කියවා තිබුණා ආලෝක ට සිහි විය. අත් හැරෙන්නට ගිය දොර යළිත් අල්ලා ඔහු හෙමිහිට එය වසා දැමුවේ ය.

සූර්යා සිටියේ බිරාන්ත ව ය. ආලෝක හැරී ඇදෙස බැලුවේ ය. ඔහු ගේ කෝපාවිෂ්ඨය දැන් කොහේ ගියා ද නැති බවක් ආලෝක ට දැනිණ. ඔහු ඉකාමත් හෙමිහිට ඇය වෙතට පිය නැගුවේ ය. බෙහෙවින් ලං ව ඈ ළඟ නතර වූ හෙතෙම අනතුරුව සූර්යා ඉදිරියේ එක් දණක් බිම තබා හිඳ ගත්තේ ය. ඉඟටිය දෙපසින් අල්ලා ඇගේ කුස සිප ගත්තේ ය. 

“මගෙ පුතා හොඳින් නේද…”

සූර්යා ට තවත් වාවා ගත නොහැකි විණ. ඇය ඔහු ගේ හිස ඇගේ උදරය මත තද වන සේ දෑතින් ම ඒ හිස වැළඳ ගත්තා ය. ඇයත් නොදැන ම ඇගේ ඇස් වලින් කඳුළු වැස්සක් වහින්නට ගත්තේ ය.

“මගෙ පුතාව මට ඕනෙ සූර්යා…ප්ලීස්…එයාව මගෙන් ඈත් කරන්න එපා”

ඔහු මුමුණන්නට විය. ඇගේ උදරයට කඳුළක සීතල දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles